මුදු සුළඟ වුණත් රුදු වන අවස්ථා තිබෙන්නේ ය. චණ්ඩ ප්‍රචණ්ඩ වී විනාශයන් කරන්නට එහෙව් සුළඟට පුළුවන. මේ හමා එන සුළඟත් එවැන්නක් බව අජිත් ට ජීවන අත්දැකීම් විසින් සිහිපත් කරවන ලදී. නමුත් මහ පර්වත මුදු පවනටත් රළු සුළඟටත් මුහුණ දෙන්නේ එක ම හදවතකිනි.
“කෝ අර කෙල්ල…”
අජිත් හැසිරුණේ පසු ගිය කාලය පුරා ම කවදාවත් ඔහු හැසිරී නැති ආකාරයකට ය. ඔහු හොඳ මිනිසෙකු ලෙස සියල්ලෝ සිතූහ. ඔහු සැමට සැලකුවේ කරුණාවෙනි. මේ විදිහේ භාෂාවකින් ඔහු සිය සේවකයෙකුට හෝ කතා කොට නොමැත්තේ ය. බුදුන් කල එක්තරා දාසියකට සිය ස්වාමිවරිය සැලකූයේ ද ඉතා හොඳින් ය. කවදාවක් බැණ අඬ ගසා නැත. සේවිකාව ද ඉතා අනලස් ලෙස මෙහෙ කළා ය. මේ ස්වාමි දියණිය සැබවින් ම ඇතුළාන්තයෙන් ම නිවුණු යහපත් කැනැත්තියක ද කියා දැන ගැනීමේ සිතක්, එක දිනෙක සේවිකාව තුළ පහළ විය. ඇය කිහිප දිනක් හිතා මතා ම දවල් වන තුරු නිදා ගත්තා ය. ස්වාමි දුවගේ නිවුණු බව කල එළි බැස්සේ එකල්හි ය.
බොහෝ විට අපට වෙස් මුහුණු පැළඳ සිටිත හැකි වන්නේ අප අවට සියල්ල අප රිසි පරිදි සිදු වන තෙක් පමණ ය. අප නොසතුටු දෑ සිදු වෙත්දීත් උපේක්ෂාවෙන් බලා සිටිය හැකි මිනිස්සු සැබවින් යහපත් අය වෙති. මේ මොහොතේ පරාක්‍රම සිටියේ අප බොහෝ දෙනෙකු අයිති වෙන පළමු කුලකයේ ය.
“කවුරු ගැනද ඔය අහන්නෙ…”
අජිත් නො දන්නවා වාගේ විමසුවේ ය.
“මං දිසත් ගෙ ෆාද ඉන් ලෝ. මේ කෙල්ලත් එක්ක සම්බන්දයක් හදාගෙන දැන් දිසත් මගෙ දුවව ඩිවෝස් කරන්නයි හදන්නෙ”
ගෙතුළ සිටි අම්මාටත් දුවටත් ඒ හඬ ඇසිණ. ඔවුන් දෙදෙනා ම ඉස්තෝප්පුව දෙස ට පය ඉක්මන් කළේ ගැහෙන හදිනි. නිර්මලා අජිත් ළඟට ම ගොස් ඔහු පසෙකින් සිට ගත්තා ය. අමාරසී දොරකඩ නතර වූවා ය.
“මේ මහත්තය හොඳටම දැනගෙනද ඔය වගේ චෝදනාවක් කරන්නෙ…”
කේන්තියක් හිතේ වූවත් අජිත් සන්සුන් ව කතා කළේ ය.
“දැනගෙන තමයි ඕයි මේ ඇවිත් ඉන්නෙ. ආ…මෙයාද මේ තුත්තිරි කරල..පිරිමියෙක් දැක්ක ගමං ඇඟේ එල්ලෙන්න බලං ඉන්න..”
පොළොව පලා ගෙන හැංගෙන්නට හිතෙන විදිහේ තද බල ලැජ්ජාවක් අමාරසී ට දැනිණ. ඇගේ ඇස් වලින් කඳුළු පැන්නේ ය. නමුත් හිතේ වූ රස්නයට ඒ වාෂ්ප වී ගියේ ය.
“මහත්තය මේ…මහත්තයටත් දුවෙක් ඉන්නවනෙ…ඒක නිසා ගෑනු ළමයින්ට නම්බු තියල කතා කරන එකයි වටින්නෙ නේ…”
අජිත් තව දුරටත් ඉවසීමෙන් කතා කළේ ය. අමාරසී ගේ මූණේ වන කඳුළුබර හැඟීම් දෙස බලන්නට වුව ඔහු ට නො හැකි වූ තරම ය.
“නම්බු…බම්බුවක් කතා කරන්න එපා ඕයි. අනුංගෙ මිනිහෙක්ව අල්ලගෙන ඒ පවුල කඩල දාන තැනට වැඩ කරපු ජරා ගෑනියෙක්ට මොන විදිහෙ නම්බුවක් දෙන්න කියලද තමුසෙ මට කියන්නෙ”
“මහත්තය මේ…”
අජිත් අඩියක් ඉස්සරහට තැබුවේ ය. නමුත් නිර්මලා තව අඩියක් තබන්නට ඔහු ට ඉඩ නො තබා තදින් ඔහු ව අල්ලා ගත්තා ය.
“අජී”
ඇගේ ඇස් ආයාචනා කර සිටියේ තව දුරටත් ඉවසමු කියා ය.
“මං මේ කියල යන්නයි ආවෙ. ළමාතැනී…මේව මහ අසික්කිත වැඩ. අනිත් එක මගෙ දුවගෙ ජීවිතේ විනාස කරල එතන තමුසෙලට අලුත් මාලිගා හදන්න මං ඉඩ තියන්නෑ. අද ම ඔය සම්බන්දෙ නවත්තන්න ඕනෙ. හරී…මං මේ බොහොම හොඳින් කියන්නෙ. මට මගෙ දුව වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්”
“ඕයි මේ මහත්තය. මටත් මගෙ දුව වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් ඕයි. අනුංගෙ ගෙවල් වලට පැනල ගෑනු ළමයින්ට අත පය දික් කරන්න කලින් තමුංගෙ දුවට කියල දෙනව පවුල කන්නෙ නැතුව පවුල් කන්නෙ කොහොමද කියල..නිර්මලා මට ෆෝන් එක දෙනව. අම්මප ගහනව වන් වන් නයින්. ය කෝ මුන්ට ගිය රටනෙ මේ”
අජිත් නිර්මලා ව ගේ දෙසට තල්ලු කළේ ය. ඒ වන් වන් නයින් කතාවට පරාක්‍රම තරමක් මෙල්ල වූයේ ය. ඔහු ඇස් කරකවා බැලුවේ සීසීටීවී කැමරා පද්ධතියක් ඔහු ගැන අවධියෙන් සිටියා ද කියා ය.
“මීට පස්සෙ දිසත් ව මෙහෙට ගෙන්න ගන්න බෑ හරිද…ඔය කියන දිසත්ට තමුං හරි ආදරෙයිනං කියනව නඩුව අයින් කර ගන්න කියල”
එය අමාරසී වෙත එල්ල කළ තර්ජනයකි.
“මේ මේ මේ…අපේ ගෙදරට එන යන මිනිස්සුංගෙ ගමන් නතර කරන්න තමුසෙද මේ ගෙදර ගෘහ මූලිකය…දිසත් ට එන්න එපා කියල ඕන්නං මහත්තය ඒක නතර කර ගන්න. හැබැයි අපි දිසත් ට කියන්නෑ එන්න එපයි කියල. අනිත් එක ඔය නඩු ගැන කතා අපිට අදාල නෑ. ඒව ඕගොල්ලො බේර ගන්න හොඳේ”
ක්‍රෝධයෙන් හෝ කෝපයෙන් මොළය අවුල් වූ විට මිනිසුන් හැසිරෙන්නේ කැලෑ සතුන් පරිද්දෙනි. මේ මොහොතේ පරාක්‍රම සිටියේ ද ඒ තත්වයේ ය. ඔහු අජිත් ව තල්ලු කොට දැමුවේ ය. බලාපොරොත්තු නොවූ මොහොතක පසුපසට විසි වී ගිය අජිත් බිම වැටුණේ ය. අමාටත් නිර්මලාටත් කෑ ගැසිණ. පරාක්‍රම වහ වහා වත්තෙන් පිට ව ගොස් රියට නැගුණේ ය.
අජිත් දනි පනි ගා නැගිට ගත්තේ ය. නිර්මලා ඔහු ගේ අත පය පිරිමැද බැලුවා ය.
“තමුසෙ ආයෙ මේ පැත්ත පලාතෙ එන්න හිතන්න එපා. සල්ලි තිබුණට මොළේ කළඳක් නැති බූරුවා”
“තාත්තෙ…”
අමාරසී අජිත් ව බදා ගත්තා ය. ඔහු ගේ නිරුවත් උඩු කය දහදියෙන් තෙත් ව තිබිණ. ඒ හද ගැස්ම කෙතරම් තීව්‍ර ව ඇත්දැයි ඇගේ කනට ඇසිණි. අජිත් ද සිය දෑතින් දියණිය තුරුලු කර ගත්තේ ය.
“අනේ මට සමා වෙන්න මගෙ තාත්තෙ…”
කියා ගත හැකි වූයේ එපමණකි. ඇය ට ඉකි ගැසී හැඬිණි. ඒ ඉකිය වරෙක උගුර හිර කළේ ය. විටෙක පපුව හිර කළේ ය. තාත්තා ගේ දහදියත් දුව ගේ කඳුළුත් හරි හරියට එකට මුහු වී තිබිණ. කෑ ගසන්නට අමා ට ඕන විය. නමුත් ඇගේ ස්වර තන්ත්‍ර වල එහෙව් සමත් කමක් වූයේ නැත. යමක් කියා ගන්නට අජිත් ට ඕන විය. නමුත් ඔහු ද ඊට අසමත් ව සිටියේ ය. ඒ වෙනුවට ඔහු කළේ තමන් බදා ගෙන ඉකිලන දියණිය ව තව තවත් තුරුලු කර ගැනීම ය. පොඩි කාලේ ඔහු ගේ සරම් තොටිල්ලේ නැලවෙන්නට ආශා කළ කෙල්ල ඈ ය. ඔහු කියන පැරණි කතා අහන්නට රිසි වූ කෙල්ල ඈ ය. මඳ පමණ මත් වූ විට ‘තාත්තෙ මිල්ටන් ගෙ සින්දුවක්’ කියා ආදරේ පෙන්වූ කෙල්ල ඈ ය. දැන් මේ මොහොතේ ඔහු ගේ නග්න පපුව බදා ගෙන ප්‍රේමයේ නාමයෙන් හඬා වැටෙනා කෙල්ල ඈ ය.
අජිත් යටි තොල තදින් සපා ගත්තේ ය. දරුවන් වෙනුවෙන් තාත්තලා ගේ ළැම කිරි නො එරෙන බව ඇත්ත ය. නමුත් තාත්තා කෙනෙකු ගේ දාරක ස්නේහය සම කළ හැක්කේ කාට ද? සිය හුස්ම හිර වෙන බවක් අජිත් ට දැනිණ.
නිර්මලා විත් තාත්තා හා දුව යන දෙදෙනා ව ම සිය දෑතින් වැළඳ ගත්තා ය.
“ඇයි මං මෙහෙම කළේ..ඇයි මං ඔය දෙන්නට මෙහෙම කළේ…”
සියල් වේදනා අතරින් අමාරසී අසීරුවෙන් කියා ගත්තා ය. අජිත් හා නිර්මලා යන දෙදෙනා ම එක වර දියණිය ගේ හිස මත අත් තැබූහ.
“ඔයා මුකුත් කළේ නෑ පුතේ”
අජිත් හිතට හයිය ගෙන කතා කළේ ය. සිදු වූ දේ නොව ඔහු ට ඉවසා ගත නො හැකි අමා ගේ මේ වැළපීමයි.
“අපි පවුලක් විදිහට එකට මේකට මූණ දෙමු. ඔයා අපේ දුවනෙ. මතකද…ඔයා ශිෂ්‍යත්වෙ පාස් වුණ වෙලාවෙ අපි කොච්චර සතුටු වුණාද…ඔයා ඉහළින් ම ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වෙනකොට..හයර් ස්ටඩීස් කරනකොට..අපි කොච්චර ආඩම්බර වුණාද…ඒ ඔයා අපේ දුව නිසානෙ. ඉතිං ඔයා අපෙං පිටස්තර කෙනෙකුට අදරේ කරද්දි ඇයි අපිට ඒකට එකට මූණ දෙන්න බැරි…මේක ඔයාගෙ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි පුතේ. මේක අපේ ප්‍රශ්නයක්. අපේ පවුලෙ ප්‍රශ්නයක්”
නිර්මලා ගේ ඇස් වලින් නිහඬ කඳුළු ඇල්ලක් ගලා ගියේ ය. මේ වෙලාවේ අජිත් නොවන්නට මේ සා ප්‍රශ්නයකට කොහොම මූණ දෙන්නද කියා හිතා ගන්නට පවා ඇය නොදැන සිටියා ය.
“ගෙට යමු. වටේ පිටේ මිනිස්සු බලං ඉන්නව”
තාප්ප වලින් ද මතු මහල් වල බැල්කනි වල සිට ද ගේට්ටුව ඉදිරියට විත් ද අසල්වැසියෝ බලා සිටියහ. අජිත් හෙමිහිට අමාරසී ව මුදවමින් මඳක් ඉස්සරහාට ගියේ ය. කතා කරන්නට කලින් ඔහු හිත හයිය කර ගෙන උගුරේ රැල් බුරුල් ඇරියේ ය.
“මේ…නෑ ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම අපිට කිසි අවුලක් නෑ. තෑන්ක් යූ සද්දයක් ආව නිසා බැලුවට”
එසේ කියූ හෙතෙම බිරිඳ හා දියණිය ඉස්සර කර ගෙන ගෙට ගොඩ වූයේ ය. තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ පහසු දෙයක් නොවේ!
“තේ එකක් බොමු නිර්මලා”
‘දැං ඉතිං බත් කන වෙලාවනෙ’ කියා නො කියා ඇය කුස්සියට ගියා ය. අජිත් රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය දැමුවේ ය. එදෙස බලා සිටියා ට ඔහු ට එක පුවතක් හෝ ඇසුණා නොවේ.
අමාරසී කාමරයට ගොස් යහනට වැටී දුරකතනය සවනට ගත්තා ය. දිසත් ට මුලින් ම ඇසුණේ ඇගේ ඉකි හඬයි.
“අමා…”
“කේෂිගෙ තාත්ත ඇවිත් ත්‍රෙට් කරල ගියා. තාත්තව තල්ලු කළා වැටෙන්…න…ම…”
ඇය ට දරා ගත නො හැකි වූයේ එයයි. කවදාවත් අමතක කළ නො හැකි හදවතේ ගැඹුරු ම තුවාලය හැදුණේ එලෙසයි.
දිසත් අජිත් සමගින් කතා කළේ ය.
“මං ආවට කමක් නැද්ද අංකල්”
කියා ඇසුවේ දෙගිඩියාවෙනි.
“පුතා එන එක හොඳයි. මටත් ටිකක් කතා කරන්න ඕන වගේ”
මේ වෙලාවේ දිසත් ගෙන්වා ගැනීම ගැන නිර්මලා සතුටු වූයේ නැත. කරදර සමනය කර ගන්න බලනවා වෙනුවට උග්‍ර කර ගන්නට තැත් නො කළ යුතු යයි ඇය සැමියා ට හෙමිහිට කීවා ය.
“නෑ. මීට පස්සෙ දිසත් ඕන වෙලාවක මෙහෙ ආපුදෙන්. මෙහෙ ආවයි කියන්නෙ දිසත් රසීව කසාද බැන්දයි කියන එක නෙවෙයිනෙ. නිවට ඇම්බැක්කය දැක්කම එළුවත් රැවුල පානව නිර්මලා. නීතියක් කියල දෙයක් තියෙනවනෙ”
“රුක්ෂානුයි පබායි වුණත් දැන ගත්තහම දොස් කියයි”
අජිත් ගේ රැවුමට නිර්මලා ඉවත බලා ගත්තා ය. ටික වෙලාවකට පස්සේ අජිත් හඬ අවදි කළේ අමනාපයක් නැති බව හඟවමිනි.
“වෙන කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න හරි අමාරුයි නිර්මලා. ලේසිම දේ අපි අපිට ඕන විදිහට…අපි විදිහට ජීවත් වෙන එක. මං හිතන්නෑ අර යකා ආයෙ මෙහෙ පස් පාගයි කියල. ඔන්න අපි ඌගෙ සද්දෙට ඇඹරිලා දෙකට නැවෙන්න ගියානං ඔළුව උස්සන්න වෙන්නෑ”
අජිත් තේ එක බී ඉවර වෙන්නට පෙර දිසත් එහි පැමිණියේ ය. අමාරසී ගේ ඇස් ඉදිමී, තඩිස්සි වී තිබිණි. නමුත් දිසත් දුරින් සිට ඒ දෙස බැලුවා පමණකි. ඊළඟට සුසුමකින් අජිත් අභියස පුටුවකට බර වූයේ ය.
“මං එන ගමං ලෝයර්ට කතා කළා. මං නඩුව දාල තියෙද්දි ඒගොල්ලෙන්ට බෑ මෙහෙම හැසිරෙන්න. ඒ වුණත්…මේ වුණ දේ ගැන මට හරි කණගාටුයි අංකල්”
“බත් ටිකක් කාල ඉමු නේ…”
කියා ගෙන අජිත් නැගිට කුස්සිය පැත්තට ගියේ ය. දිසත් හිස හරවා, උළුවස්සට හේත්තු වී හිඳිනා අමාරසී දෙස බැලුවේ ය. ඒ ඇස් මත වූයේ දුක්බර ආයාචනයකි.
“තාත්තට…මුකුත් කළොත් නං මට ජීවත් වෙන්න ඕන නැති වෙයි”
ඇය ඇස් පියන් අඩවන් කර ගත්තා ය. නමුත් කඳුළු වාන් දොරටු බිඳ ගෙන පිටමං වූයේ ය. දිසත් නැගිට අමා වෙත ගියේ ය. ඇය හඬා හෙම්බත් ව ඇති බවක් පෙනෙන්නට තිබිණ.
“මොකද්ද මං කරන්න ඕන…ම්…ඔයා හිතන්නෙ මං මොකක් කළොත් හොඳයි කියලද…”
ඇය ට ඒ මොහොතේ ඕන වුණේ ඔහු ගේ තුරුලේ හඬන්නට විතර ය. නමුත් එසේ කළ නො හැකි බව හිත දැන සිටියේ ය.