සැනසිල්ල.

“මොකද ෆෝන් එක ඔෆ්?”

අචිනි උඩ ගිහින් බිම වැටුණේ ඉසුරුගේ හඬේ තිබුණු කේන්තිය තේරුම් ගන්න අපහසු වුණු නිසා.ඇත්තටම ජංගම දුරකථනය ක්‍රියාවිරහිත වෙලා තිබුණු බව ඇය දැක්කේ ඒ වෙලාවේ.සමහරවිට සෑහෙන වෙලාවකින් කතා නොකරපු නිසා ඉසුරු කලබල වෙන්න ඇති කියලා හිතපු අචිනි ඒ බව ඉසුරුට කිව්වා.කාර්යාලය නිමාවෙලා ගෙදර ඇවිත් ඇඟපත හෝදගෙන හොඳ නින්දකට වැටෙන හිටපු අචිනි අවදි වුණේ අම්මගේ කට හඬට.ඉසුරු ගෙදර ස්ථාවර දුරකථනයට අමතලා ගිනි හොයන බව අම්මා කිව්වට පස්සේ.

“ෆෝන් එක චාජ් කරන්න අමතක වෙලා ඉසුරු.ඔයා බය වුණාද?”

අචිනි එහෙම ඇහුවේ ආදරේ පිරුණු කටහඬකින් උනාට ඉසුරු නොනවත්වාම බනින්න පටන් ගත්තා.ඉසුරු කියන විදියට අචිනිගෙ තියන හොර වැඩක් තමයි දුරකථනය ක්‍රියා විරහිත කිරීම.හොඳටම බැනුම් අහපු අචිනි කාමරයට ආවේ කේන්තියෙන්.

හැම මහන්සි දවසකම අවසානයේ දී ඉසුරු ගෙන් බැනුම් අහන එක අචිනිට දැන් පුරුද්දකට ගිහින්.”යන්නේ කොහෙද ,කා එක්කද, මොකද්ද ඇඳපු ඇඳුම”වගේ දාහක් ප්‍රශ්න ඉසුරුට රණ්ඩු වෙන්න හේතු හොයලා දෙනවා.එයා කියන්නේ නම් ආදරේ හැටි එහෙමයි කියලා.ඒත් ආදරේ කියන්නෙ ඇත්තටම එහෙම දේකට ද කියන එක අචිනිටම පැහැදිලි නෑ.

“ප්‍රනීෂාගේ වෙඩින් එකට අපි නුවරඑලියේ යනවා..”

ඊළඟ දවසේ ඉසුරු ට දැනුම් දෙන්න ආරංචියක් අචිනිට තිබුණා.කාර්යාලයේ ඉන්න එකම දමිල යුවතිය ප්‍රණීෂා නිසා මේ ගමන මගහැර ගන්න කාගෙවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.වෙනත් සම්ප්‍රදායකට අයත් විවාහ උත්සවය නැරඹීමේ ආශාව වගේම නුවර එළියෙ ඇවිදින්න යාම ගැනත් අචිනි හිටියේ සන්තෝසෙන්.

“පිස්සුද ඔය දෙමලුන්ගෙ විකාරවල යන්නෙ?

ඉසුරු කතා කරන හැටි මොන තරම් කැතයි ද කියලා අචිනිට හිතුණේ ඒ කතාව අහලා.ෆේස්බුක් එකේ වුණත් සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන ලොකු කතා ලියන ඉසුරු ප්‍රනීෂා ආස්සරේ කරනවටත් අකමැති වුණු බව අචිනිට මතකයි.

“ඇයි? විකාරයක් වෙන්නෙ කොහොමද? “

විවාහ උත්සවයක් කියන්නෙ කෙනෙකුගේ ජීවිතේ ලස්සනම දවස කියලා ඉසුරුට මතක් කරලා දෙන ගමන් අචිනි කිව්වා.ඒත් එහෙම යන්න අවශ්‍ය නැති බව කියන්නේ ඉසුරුටත් දාහක් හේතු තිබුණා.

“පළවෙනි දේ ඔයා තනියම එහෙම යන්නේ නෑ..”

ඒ ප්‍රශ්නෙට නම් ඉතින් උත්තරයක් තියෙනවා.ප්‍රනීෂා මගින් මගටම අචිනිට කිව්වේ ඉසුරු වත්තේ ගමනට එකතු කරගන්න කියලා.ඒ බව කියද්දී ඉසුරු අචිනි දිහා බැලුවේ කේන්තියෙන්.වෙනත් ජාතියක මනුස්සයෙක් එක්ක තමන්ට යාළුකම් පවත්වා ගන්න උවමනා නැතිබව ඉසුරු කියනකොට අචිනිට දැනුණේ පිළිකුලක්.බොරු ජාතිවාදී අදහස් තියන කෙනෙක් ඇත්තටම භයානකයි කියල කොහෙන්දෝ කියවපු සටහනක් අචිනිගේ මතකයට ආවා.

“ඒක ඔයාගේ තීරණයක්.මට නම් ප්‍රනීෂා හොඳම හොඳ යාලුවෙක්.ඒ නිසා මට ඒ ගමන යන්නම වෙනවා.”

අචිනි කිව්වේ අවසාන තීන්දුව අරගෙන.කොහොමටත් ඉසුරු පනවන ගොඩක් නීතිවලට කිසිම පදනමක් නැති බව ඇයට හිතෙන්න අරන් බොහෝ කාලයක්.

sad women

ඒ වගේ කාරණා අතිශය සාමාන්‍ය වෙමින් ජීවිතය ගෙවිලා යනකොට මේ ඇත්තටම ආදර සම්බන්ධයක් ද කියලත් අචිනිට හිතුණු අවස්ථා ඕනෑතරම්.රණ්ඩු වෙමින් බැනුම් අහමින් ගත වෙන මේ ජීවිතේ විවාහයකට ගියාම කොහොම වෙයිද කියලා ඇයට හිතුණු වාර අනන්තයි.

“අපෝ ඕවා බැන්දම හරියනවා.ඊටපස්සෙ පිරිමි පූස් පැටව් වගේ.”

සමහර මිතුරියන් එහෙම කිව්වට ඒ කතාව පිළිගන්න අමාරුයි කියලා අචිනි හිතුවේ දවසින් දවස ඉසුරුගේ හැසිරීම වෙනසක් නොවෙන නිසා.හැමදෙයක්ම පුපුරා යන දවසක් එනවා.ඒ දවස එන්නේ ඉවසීම නැති කරගෙන බව අචිනි නොදැන හිටියා නෙවෙයි.

“මොකක්ද අචිනි ඔය ඇඳන් ඉන්නේ..”

අත් නැති ගවුමක් වෙනුවෙන් ඇරඹුණු ඒ කතාබහ ඉවර වූණේ ඉසුරුගේ අතක් අචිනිගේ කම්මුල මත පතිත වීමකින්.ඊටපස්සෙ මොනතරම් ඉසුරු බැගෑපත් වුණත් සමාව ඉල්ලුවත් ඉවසීම අවසන් විය යුතු බව අචිනි තේරුම් ගත්තා.

“දැන් මේ ඇති ඉසුරු.බොරු නීති දාන,සමාජෙ දිහා හරිම යල් පැනපු විදියට බලන,ආගමයි සංස්කෘතියයි ඉස්සරහට දාගෙන බොරු විකාර කතා කියන ඔයා නිසා මම පීඩනයෙන් හිටියා හොඳටම ඇති”

එදා රෑ ඉසුරුට එහෙම කෙටි පණිවිඩයක් යවලා අංකය අවහිර කරන අතර අචිනි හුස්මක් ගත්තේ සැනසිල්ලෙන්.අකමැති අවහිර තැනකින් මිදුණාම ඒ තරමට සැනසිල්ලක් දැනෙන බව ඇයට තේරුම් ගියේ ඒ මොහොතේ.

More Stories

Don't Miss


Latest Articles