(අ)හිමි සිහින -155

අපි ඒ ආරාමයේ දිගින් දිගටම බෝධි පූජා පැවැත්වූවා.පූජාව මාංශ සහිතව සිදු කළේ ඒ පූජාවට එය අත්‍යවශ්‍ය නිසා වුවත් එය එතැනින් අවසන් වුණා.නමුත් බෝධි පූජාව පැවැත්වීමේ දී මස් මාංශ අනුභව නොකර අපි සම්පූර්ණ නිර්මාංශ වී පැමිණෙතැයි මෙහෙනින් වහන්සේ අපේක්ෂා කළා.

“ඉතිං අද දවල්ට මොනවද කෑවෙ?”

දිනක් මෙහෙණින් වහන්සේ මගෙන් සහ නෑදෑ පිරිසගෙන් එසේ විමසුවා.මම සම්පූර්ණයෙන් නිර්මාංශ වී ඇති බව ඇය දන්නවා.ඇයට සැකයක් ඇති වන්නට ඇත්තේ නෑදෑ පිරිස ගැන විය යුතුයි.දිවා ආහාරයට දැල්ලන් ආහාරයට ගත් බව ඔවුන් පවසා සිටියා.ඒ ඇසූ මෙහෙණින් වහන්සේ ඉතාම කෝපයට පත් වුණා. ඒ අපි පූජාව පවත්වන අතරවාරයේමයි.

“මගේ බෝධි පූජාවලින් කෙනෙකුට පොඩි හෝ සහනයක් ලැබෙනවා.හැබැයි ඒවායේ වත් පිළිවෙත් ඒ ආකාරයටම වෙන්න ඕන.එහෙම නැතුව රෝගියෙකුට ගොඩ ඒමක් නෑ.ඒත් බෝධිපූජාවෙන් කිසි පලයක් නෑනේ මට ඕන විදිහට  ඒක කෙරෙන්නෙ නෑනෙ”

ඉතා කලකිරීමෙන් එසේ පැවසූ ඇය ඥාතීන් දෙසට බැල්මක් යොමු කළා.

“දැන් මේ ලෙඩ වෙලා ඉන්නේ කවුද? ඔයාලගෙම සහෝදරයා නේද? ඔයාගේ දරුවා නේද? කිසිම හැඟීමක් නැතිව ඔය විදියට හැසිරෙන එක හරිද? අනුරාධා නෝනා නම් නිර්මාංශයි.මං ඒක දන්නවා.ඒත් මේ අනිත් ඇත්තන්ගේ හැසිරීම හරිම වැරදී”

ඒ ගැන කිසිවක් ම තමන් නොදැන සිටි බව සුදාරක නැගණියක් පවසද්දී මෙහෙණින් වහන්සේට තවත් කේන්ති ගියා.

“නොදැන ඉන්න විදියක් නෑනේ.ඔයාලා බෞද්ධ නේද? උප්පැන්න සහතිකයට විතරක් බෞද්ධ වෙලා වැඩක් නෑ.මේ වගේ මොහොතකවත් මස්මාංස වලින් පොඩ්ඩක් ඈත් වෙන්න බැරි ඇයි? අනේ කරුණාකරලා ආයෙ එන්න එපා. මම මේ පූජාව තියාගන්නම් ඕගොල්ලන් එන්නත් කලින් මං මේ පූජාව තිබ්බා.මට ඒක නිවැරදිව කරගන්න දීල ආයේ මේ පැත්ත පලාතේ නෑවිල්ලා ඉන්න.”

නැවත පැමිණෙනවා නම් නිර්මාංශ වීම අනිවාර්ය බව ඇය දිගින් දිගටම කියා සිටියා.නමුත් ඒ අමනාපයකින් නෙවෙයි. තමන් කරන කාර්යය නිවැරදිව කිරීම අත්‍යවශ්‍ය බව ඇය කියා සිටියා.පූජාවෙන් කිසිම හාස්කමක් සිදු නොවීමට හේතුව හෙළිදරව් වීම ගැන ඇයට සැබෑවටම කෝපයක් තිබූ බව මට වැටහී ගියා.ඒ සුදාරකගේ හෝ මගේ වෙලාවදැයි කියන්නට මා දන්නේ නැහැ.නමුත් එය ඒ ආකාරයෙන් සිදුවී තිබීම ගැන මටත් දැනුනේ වේදනාවක්.

සියලුම ඥාතීන් ඉතා ලැජ්ජාවට පත් වූ බව මට තේරුම් ගියත් මටත් කරන්නට දෙයක් තිබුණේ නැහැ.ඔවුන් අතින් වරදක් සිදු වීම ගැන මටත් දැනුනේ පශ්චත්තාපයක්.අනිත් කාරණාව එතන සුදාරකගේ කනිෂ්ට නිලධාරීන් ද සිටීම නිසාත් ඔවුන්ට ලැජ්ජාව වැඩිපුර දැනෙන්නට ඇති.නමුත් මෙවැනි මොහොතක ඉතා සුළු වරදක් පවා විශාල වේදනාවක් ඇති කරන්නට හේතු වන බව දන්නා නිසා මම ඔවුන් වෙනුවෙන් වචනයක්වත් නො පවසන්නට ප්‍රවේසම් වුණා.

ඔවුන් නැවත නවාතැනට පැමිණියේ කිසිම හිත හොඳකින් නෙවෙයි.ඒ ගැන නැවත කතා නොකර ඉන්නට මම ප්‍රවේසම් වුණත් බිඳී ගිය තැන් පිළිසකර කිරීම අපහසු බව මම ද හොඳින් දැන සිටියා.පෙර දිනෙක පැවැත්වූ පූජාව නිසා ඔවුන්ගේ පැරණි අවකල් ක්‍රියා හෙළි වූ කෝපයෙන් ද සිටි ඔවුන් නැවත කෝපය අලුත් කරගත් බව මට රහසක් වුණේ නැහැ.

සමහරවිට සියල්ලේම ඇරඹුම එතැන් සිට සිදුවන්නට ඇති! දෛවය සිදුකරන ඒ පරීක්ෂණයට මුහුණ දෙන්නට මම හිත හදා ගත් හැටි වචනයක් නෑර ම ඔබට ඉදිරියට කියන්නම්.  

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles