සීත මාරුතේ – 55

0
6421
සීත මාරුතේ

ගුරුතලාව වැස්සෙන් වට වී තිබිණ. එක ටර්පන්ටයින් ගසක් හෝ දැන් පෙනෙන්නේ නැත. හාත්පස සුදු දුමාරයකින් පිරවූවා සේ ය. මට දැනුණේ මා අයිස් කුට්ටි වලින් තැනූ ඉග්ලූ නිවාසයක් තුළ සිටින්නා සේ ය.

ගුරු නිවාසය පිහිටන්නේ උස් බිමක ය. මෙතැනට වටාපිටාව හොඳින් පෙනේ. කිසිත් නො පෙනී සුුදු මීදුම් දුමාරයකින් වට වී හිඳීමේ වෙනම ම සුන්දරත්වයක් තිබේ. 

පෙර දා මිස්ට් ෆීල්ඩ් තුළ සිටියදී ඇරඹුණු පොද වැස්ස දැන් මහ වැස්සකි. කඳුකරයට වහිනා විට මැවෙන්නේ චමත්කාරයකි. මිස්ට් ෆීල්ඩ් වල නම් මගේ කුටියේ එක් පැත්තකින් ඈත කඳු පෙළක් දිස් වේ. මෑතට වහින්නේ නැතිව ඈත කඳු වලට වහිනා හැටි බලා ඉන්නට ආස ය. මේ මොහොතේ නම් එතන කඳු පෙලක් තිබෙනවාද කියා හෝ නො පෙනෙනවා විය යුතු ය.

පෙර දා සැඳෑව කේක් සාදයක් වූයේ ය. මුණිවර හිටියේ ජයග්‍රාහී සතුටක් හංගා ගෙන ය. නමුත් ඇතැම් විටෙක ඔහු ට තනිව පවා සිනහ නැගෙනා හැටි මම දුටිමි. කේක් කන්නෑ කියූ ඔහු එදා පයිනැපල් ගැටෝ කමින් කෝපි බීවේ ලොකු තාත්තා සමග මොනවා ද කියවමින් සිනහ වෙවී ය. මම සියලු අංශ වලට කේක් දුන්නෙමි. එසේ කරත්දී සේවකයෝ එක එක දේවල් ඇසුවෝ ය. කේක් දෙන්නට හේතුවක් ගැන කියන්නට යමක් සිතා ගන්නට හෝ මට හැකි නොවිණි. “මිස්ට මුණිවර තමයි කේක් ගෙනත් තියෙන්නෙ” කියමින් මම ඔවුන් වෙතින් මිදී ගතිමි. එතකොට ඇතැම් තරුණියක නම් “ආ…” ගෑවේ කිසියම හොරයක් ඉව වැටුණා හෝ රහසක් අල්ලා ගත්තා බඳු ස්වරයකින් ඇද පැද ය. මම ඒවා නොතේරුණා සේ ඒ තැන් වලින් නික්ම ආවෙමි.

එක කේක් එකක් මා ගෙදර ගෙන ආවේ කසුනිලා ගෙන් හා නංගී ගෙන් තිබූ කරදරය නිසා ය. ලොකු තාත්තා කේක් එක ගෙන එනු වස් හවස මා සමග එන්නට හැදුවේ ය.

“එතකොට ලොකු තාත්ත ගෙදර යන්නෙ පයින්ද..”

මුණිවර සැර කළේ ය.

“කමක් නෑ. ලොකු තාත්ත එන්න ඕන නෑ. මං මේක ඉස්සරහින් තියන් යන්නංකො”

මම නෝක්කාඩුව වැඩිපුර පෙන්වන්නේ නැති සාමාන්‍ය හඬකින් කියා ගතිමි.

“ලොකු තාත්ත ඔන්න ඕක අරං ගිහිං වාහනේට නගින්න”

සැර දමා එසේ කියා ගෙන මුණිවර රිය වෙත ගියේ ය. ලොකු තාත්තා සිනහව ගිල ගෙන කේක් එක ද සමග ගොස් රියට නැගුණේ ය. මං ස්කූටිය පැද ගෙන යත්දී, මට පෙනෙන මානයේ, අඩු වේගයකින් නිතර ම ඔහු ගේ රිය තිබිණ. අප ගුරු නිවාසය ළඟ නතර වූයේ එකට ම ය.

“තෑන්ක් යූ මිස්ට මුණිවර”

ආඩම්බරකාරයා හ්ම් කීවේවත් නැත. 

ඒ වෙලාවේත් වැහි පොදය පැවතිණ.  ගුරු නිවාස බරාඳය කෙළවර හිඳ කෙල්ලෝ මුණිවරට පින් දෙමින් කේක් කෑවෝ ය.

“හොඳ වැඩේ. මේ ලෝකෙ කර්ම විපාක කියල දෙයක් තියනව කියන්නෙ ඕකනෙ. අපේ අක්කට පස්සෙන් යන්න සිද්ද කළේ යම් සේ ද දැන් උන්දැටත් අපේ අක්ක පස්සෙ එන්න සිද්ද කරන්න ඕනෙ”

නංගී වැහිබිරම් අහස දෙස බලා ගෙන දෙවියන්ගෙන් ඉල්ලා සිටියා ය.

“අපි අදීශ්ට කියමු අපි කන්න ආස දේකින් චුට්ටක් මිස්ට් ෆීල්ඩ් වලට අරං යන්න කියල. ජූජකය එතකොට කාගන්න බැරි වෙන තරමට ඒව මෙයාට ගෙනත් දෙයිනෙ. තව ටික දවසක් අපි එහෙම එයාගෙන් රස කෑම ටිකක් කෑවහම මොකද…වැඩි කාලෙකට මෙහෙම චාන්ස් එන්නෑ රජෝ”

මගේ දෙතොල් මත්තේ තවමත් සිනහවකි. බරාඳයෙහි වන කුඩා මේසය මත නිකට තබා ගෙන පිටත බලා ඉන්නට වී දැන් අඩ හෝරාවක් තරම් විය යුතු ය. වැස්ස අඩු වන පාටක් නැත. තෙමෙන්නේ නැති තාක් වැස්ස සුන්දර ය. ස්කූටිය පැද ගෙන මේ වැස්සේ කොහොම මිස්ට් ෆීල්ඩ් වෙත යන්නද?

“අද යන්න වෙන්නෙ නෑනෙ. දැං ඉතිං බලං ඉඳල වැඩක් නෑ දුවා. පායන එකක් නෑ අද දවසටම”

අම්මා බරාඳයට එබී කීවා ය. අප්පච්චීත් නංගීත් මල්ලීත් පාසලට ගිය පසු අම්මා ට තෙරක් නැතිව වැඩ ය. ඉහුම් පිහුම් මැහුම් ගෙතුම් සේදුම් අලුතෙන් හදා ගෙන හෝ ඇය කරයි. අම්මා සතුටු වන්නේ වැඩ කිරීමෙනි. වැඩක් නැති වෙලාවක් බලා නිදන්නට ම තනනා මා අම්මා සමග කෙසේ සසඳන්නදැයි සිතීමටවත් නො හැකි බව අප්පච්චි කියන්නේ ය.

“ගෙදර හිටියත් නිදා ගන්නනෙ වෙන්නෙ. ඒකයි මං බැලුවෙ ටිකක්හරි පායයිද කියල”

“මොන පෑවිල්ලක්ද…බයිසිකලේක යන්න පුළුවන් වැස්සක්ද මේ…”

එසේ කියා අම්මා ට හැරෙන්නට ලැබුණේ නැත. මුණිවර ගේ රිය අපේ දොරකඩ නැවතිණ.

“මෙතනිං යන ගමන් මතක් වුණා මන්දාකිණීටත් යන්න බැරුව ඇති කියල”

ඔහු කවුළුව මඳක් පහත් කොට හඬ වැඩි කොට එසේ කීවේ තමන් මා වෙනුවෙන් විශේෂයක් නො කළ බව හඟවන්නට ය. මම ඉක්මනට අම්මා ට වැඳ කුඩය දිග හැර ගෙන මිදුලට පැන්නෙමි.

සැබවින් ඕනේ නම් අම්මා නියන්නටත් පෙර ම මට ගෙදර නවතිනවායි තීරණය කරන්නට තිබිණ. නමුත් මිස්ට් ෆීල්ඩ් නොයා ඉන්නට හිත හදා ගන්නට බැරි කුමක්දෝ සාංකා හැඟීමක් මට දැනෙමින් තිබුණේ ය. එය මුණිවර දැකීමත් සමග තුනී ව ගියා සේ දැනිණ. වැස්සේ සීතලට සුදු පාටින් මිදී ගිය පැති වීදුරුවෙන් පිටත කිසිත් නො පෙනුණේ වී ද මම ගෙල හරවා ගෙන පැත්ත ම බලා සිටින්නට වීමි.

“තව මොනාද ආස…”

වැස්සට යටින්, ඈත මන්දාකිණියක සිට ඇසෙනා හඬක් සේ ඒ හඬ ඇසුනේ ය. මම තිගැස්සී ගිහින් බැලුවෙමි. විදුලියක් කෙටුවේ මන්දාරම් අහසේ නොව අපේ ඇස් අතරේ ය.

“ආ…”

“අම්…නෑ මං ඇහුවෙ…පයිනැපල් ගැටෝ වගේ තව ආස දේවල් තියෙනවද කියල”

මම යළිත් ඉවත බලා ගෙන මුව මත පිපෙන්නට ආ සිනහව ඔහු ගෙන් සඟවා ගතිමි. පොඩි කාලේ කෙසෙල් ගෙඩියක් ඉල්ලා නරක ලෙස හැසිරුණ වරදට අප්පච්චි මා බිමින් හිඳුවා කෙසෙල් ඇවරිය ම බිම තබා සියල්ල කෑ යුතු යයි දඬුවමක් පැමිණවූ සිදුවීම ඇසිල්ලකින් මගේ මතක ඉතිහාසයේ සිට ඉහළ ආවේ ය. කා ගන්නට බැරි ව එදා මම කඳුළු පෙරුවෙමි. නමුත් ජීවිතය ඇති තුරාවට පාඩමක් ඉගෙන ගතිමි. මුණිවර දුන්නේ ත් එදා අප්පච්චි දුන් ආකාරයේ ම දඬුවමක් ද?

“කොහෙමද අර හාදයව අඳුරන්නෙ…”

යළිත් කඩඉම් ප්‍රශ්නයකි.

“කවුද හාදය…”

සැබවින් ඔහු විමසන්නේ කවරෙකු ගැන දැයි මට නිනව් වූයේ ද නැත. නමුත් මේ අතෝරක් නැති කඳුකර වැස්ස මැද මුණිවර ගේ පිරිමි ඇස් පාමුල කතාවකට හේතුවක් හදනා මාතෘකාවක් වීමේ සතුට මට තිබිණි.

“අදීශ්”

මගේ තොල් මත්තට මඳහසක් ආවේ ය. යන්තම් හිස හරවත්දී ඒ මඳහස් රේඛාව දුටු මුණිවර ඉවත බලා ගත්තේ ය.

“මගදි හම්බ වෙලා”

“මගදි…”

“හ්ම්”

“මගදි හම්බ වෙච්ච කොල්ලෙක් එක්ක ඔච්චර ලොකු ගනු දෙනුවක් තියනවද…”

“සමහර වෙලාවට එහෙමත් වෙන්න පුළුවන්. සංසාරයක් ළඟ හිටිය වගේ දැනුණ අය නන්නාඳුනන ගාණට දුරස් වෙලා යන්නත් පුළුවන්නෙ”

“අම්…අදීශ්ව බඳින්නද ඉන්නෙ…”

එවර නම් මට සිනහව නතර කර ගත නො හැකි විය. මම අතකින් මුහුණ වසා ගෙන පැති වීදුරුවේ මුහුණ ඔබා ගතිමි. ඇස් වල තෙතමනයත් එක්ක යළි මා ඔහු දෙස බලත්දී මුණිවර රිය පදවන හැරී බැලූයේ නොදරු බැල්මකිනි.

“මිස්ට මුණිවර කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. බඳින්නනං කෙනෙක් පාරෙ යන ගමන් අත්පුඩියක් ගහල හරි නතර කර ගන්න පුළුවන්…”

‘ඒත් ආදරේ කරන්න කෙනෙක් එහෙම හොයන්න බෑ. ඒක හිතට දැනෙන්න ඕන දෙයක්’ කියා මම නො කියා සිටියෙමි.

ඉන් පසු අප අතරේ කතා බහක් සිදු වූයේ නැත. කතා කරන්නට තරම් දුරක් තව ඉතිරි ව තිබුණේ ද නැත. ලොකු තාත්තා දැන් මල් ඕඩර පිටත් කොට තිබුණෙන් හා අධික වර්ෂාව නිසා පිටතට යා නො හැකි වූයෙන් කරන්නට වැඩක් නැතිව මා සිටියේ මේසය මත නිකට තියා ගෙන අලස පැන්සල් ඉරි වලින් ඇඳුම් මෝස්තරයක් ඇඳෙන්නට හරිමිනි. මට මෙහි එන්නට ම ඕනෑ නොවූවා නම්, ඔහු එහි විත් මා කැටිව නො ආවා නම් මා මේ වන විට වැස්ස මැද්දේ වැහි හඬ අසමින් පොරවා ගෙන සුව නින්දකට වැටී ඇතිවා විය යුතු ය. නිදි නැත ද නින්දත් නො නින්දත් අතරේ සීතල සිහිනයක මා සැරිසරනවා විය යුතු ය. 

එදා දිවා ආහාරය සඳහා මා හා ලොකු තාත්තා භෝජනාගාරයට ගිය විගස මුණිවර ද එහි ආවේ ය. අපි මඳ වෙලාවක් නිහඬ ව කෑම කමින් සිටියෙමු.

“අම්…මං ඊයෙ අම්මට කිව්ව. ධාරා ගෙ ගෙදරට පණිවිඩයක් දෙන්න කියල”

මුණිවර උන්හිටි ගමන් කීවේ ය. මමත් ලොකු තාත්තාත් මූණෙන් මූණ බලා ගතිමු.

“උඹ ඒ උඩැක්කියව බඳින්න කැමැත්ත දුන්නද…මන්නං ආයෙ මේ ෆාම් එකේ පස් පාගන්නෙ නෑ රජ්ජුරුවො. ඒකිගෙ ලොකුකං බලන්න මට ඕන නෑ. මං ගෙදරට වෙලා විටක් හපාගෙන පරණ පුරුදු විදිහට ඉන්නං”

“මං කිව්වෙ මං එයාව මැරි කරන්න කැමති නෑ කියල පණිවිඩයක් යවන්න කියල. අපරාදෙ ඒ ළමය බලං ඉන්නවනෙ”

“ඇති යාන්තං…වැස්සට පොද ගැහිලවත් උඹේ මොළේ පෑදුණා”

මට සිනහ නැගෙන්නට ආවේ ය. මම වැළමිටෙහි ඇතුළු පැත්තේ මූණ ඔබා ගතිමි. වැස්ස නිසා වැඩිපුර වැඩක් ද නොවුණෙන් ලොකු තාත්තා පුහුල්පොල පරණ කතා කියවමින් සිනහ වූයේ ය. මුණිවර ද ඒ කතා අසා සිටියේ සතුටෙනි. පුහුල්පොලත් එක්ක ඔහු ගේ වන පෙකණිවැල බැඳීම ගැන මම දනිමි. නමුත් මා ඒවා දන්නා බවක් ඔහු නො දනී. එය කෙතරම් අවාසනාවක් ද?

කෑමෙන් පසු අදීශ් ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. වැස්ස නිසා ඔහු සේවය කරන තේ වතු යායේ දලු නෙලීමේ කටයුතු ද අඩාල වූ බව පැවසූ ඔහු, වැස්ස බලමින් හවසට කඳු පාර වල රවුමක් ගසමු දැයි ඇසුවේ ය. මටත් ගෙදර යන්නට ස්කූටරය නොවන නිසාවෙන් මම ක්ෂණික ව කැමති වුණෙමි. කොහොමත් මා සිටියේ හවස ගෙදර යන්නේ කෙසේ දැයි සිතමිනි. මුණිවර උදේ කැටිව ආවාට හවසට ගෙන යාවිද කියා මා දැන සිටියේ නැත. ඒ වගේ ඉල්ලීමක් කරන්නට වුව දැන් ඉන්නේ ඉස්සර හිටි මුණිවර නොවේ.

අඩ හෝරාවක් යන්නට පෙර අදීශ් මිස්ට් ෆීල්ඩ් වෙත පැමිණ සිටියේ ය. මා සේවය නිම කරනා අත්සන යොදා අදීශ් සමගින් කාර්යාල කුටියෙන් පිට වන විට මුණිවර දුරකතන සංවාදයක හිටියේ ය. ඔහු දුරකතනය සවනේ තිබියදී ම අදීශ් වෙතට අතක් දිගු කළේ ය.

“අදීශය”

“මචං…මේ මන්දාකිණීට වැස්ස බලන්න කඳු පාර වල යන්න ආසයි කිව්ව. මං මේ ඕෆ් වෙන වෙලාවට ආවෙ පොඩ්ඩක් වටයක් ගහන්න එක්ක යන්න”

මුණිවර හිස සලමින් ම අදීශ් ට අක වැනුවේ ඊළඟට මුළු අවධානය දුරකතන සංවාදය වෙත යොමු කරමිනි. ඔහු මදෙස බැලුවේ හෝ නැත. මුණිවරට රිදවනු වස් අදීශ් හා යන්නට එකඟ වී ද මට දැනුණේ එහෙව් ගමනක් යන්නට මේ මොහොතේ මා කිසි සේත් සූදානම් නැති බවකි. 

“මචං අදීශ්”

පිටුපසින් මුණිවර ගේ හඬ ඇසුණේ අදීශ් සිය ලොකු කුඩය පසෙක තිබී අතට ගෙන දිගහරිත්දී ම ය. අප වෙත ඉක්මන් අඩි තබා පැමිණි ඔහු මගේ අතක මැණික් කටු සන්ධිය තද කොට අල්ලා ගත්තේ ය. මම මුළුමනින් සීතල වන්නට වූයෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here