සුහදිනී -35

“සකී,මට ඒක ගැන පුංචි සැකයක් ඇති වෙලා තිබ්බේ.ලොකුවට නොවුණත් මම හිතුවා.ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියලා ආයේ ආයෙම හිතුවා.”

නිම්නා එසේ කියන අතර කාමරයට එබී බැලුවා ය.රන්මිණි නාන කාමරයේ ය.ඇය ක්‍රිකට් ගීයක් මහා හයියෙන් ගයමින් එතුළ වේ.නිම්නාගේ තොල් මත සිනාවක් පිපී ආවේ රන්මිණි වෙනුවෙන් යැයි සකී සිතුවා ය.

“ඔයා අද හුඟක් අවුල් වුණා.ඒක වෙනදට නැති අවුලක්.මට කවදාවත්ම තේරුම් ගන්න බැරුව ගිහින් තිබ්බෙ ඔයා එයා වෙනුවෙන් ඔච්චරටම පෙනී ඉන්නේ ඇයි කියලා.ඒත් දැන් හිතෙනව ඒක සංසාර බැඳීමක් වෙන්න ඇති.නැත්නම් අහසේ තිබුණු තරුවක් ඔහොම ඔයාගේ අත් දෙකට එන්නේ නෑනේ.”

නිම්නා එසේ පවසන අතර සකීව වැළඳ ගත්තා ය.ඒ මිත්‍රත්වය පිරී ගිය සුබපැතුමට සකීට කඳුළු ඉනූ තරම් ය.හොඳ මිත්‍රත්වයක් සහ ආදරයක් ජීවිතය සොම්නස සහ උණුසුමින් පුරවන බවට අහස් දවසක පැවසූ කතාව සකී සිහි කළා ය.සැබෑවටම හොඳ මිත්‍රත්වයක් කියන්නේ අසීරු මොහොතක මෙන්ම ප්‍රීතිමත් මොහොතක ද ළඟ රැඳිය යුතුම දෙයකි.

“මට සතුටුයි.ඇත්තටම මේක අපි රන්මිණිට නොකියා ඉන්න ඕන රහසක් වුණත් මට සතුටුයි.”

එසේ පැවසූ නිම්නා සකීගේ දෑසේ ඇති කඳුළු මැකිය හැකි ක්‍රමයක් සිතුවා ය.එය කළ හැකි ලෙහෙසිම ක්‍රමය පහසුවෙන් සිනාසෙන්නට හැකි විහිළුවක් සොයා ගැනීම ය.

“පළවෙනි සතුට තමයි අහස් මේ වගේ මැච් දිනන ගාණට කේක් කන්න පුලුවන්.නැත්තං මොනාහරි ට්‍රීට්ස් ඉල්ලා ගන්න පුලුවන්.”

සකීට සිනාවක් මතුව ආයේ ය.ඇගේ හදවත මහා බරකින් නිදහස් වී තවම ගෙවී යන්නේ මිනිත්තුවලින් ගැනිය හැකි වෙලාවකි.

“දෙවෙනි සතුට තමා ඉතිං මගේ ක්‍රෂ් කෙල කෝටියෙන් කීපයක් ඔයාගේ සුදු මහත්තයගෙ යාලුවොනෙ.අඩුම තරමෙ ෆොටෝ එකක් හරි ගන්න බැරියැ.”

සකීගේ සිනාව වඩා පුළුල් විය.සරසවියේ නිතරම දකින කොලුවෙකුගේ සිට ලෝකය පුරා ජීවත් වන තාරකා බහුතරයකට ආකර්ෂණය වන නිම්නාට ජාතික කණ්ඩායමේ මෙන්ම විදෙස් රටවල ක්‍රිකට් කණ්ඩායම් වලද කැමතිම අය ඉන්නා බව සකී දන්නී ය.අඩුම තරමේ ඔවුන්ගේ අත්සනක්වත් ඇයට ලබා ගන්නට දැන් අසීරු නොවන්නට ඉඩ තිබේ.

“තුන්වෙනි එක තමා ලොකුම සතුට.කවදාහරි රට හොල්ලන වෙඩින් එකක බ්‍රයිඩ්ස්මේඩ් මමනෙ.දැන්ම තියා කහ ටිකක් කෝමාරිකා ටිකක් උලාගෙන ලස්සන වෙන්න පටන් ගන්නෝන.”

සකීගේ දවස පුරා පැවති ආතතිය මුළුමනින්ම පහව ගිය අතර ඇය උස් හඬින් හිනැහෙන්නට පටන් ගත්තා ය.ඔහුගේ මනාලිය වන දවස ගැන සිතීම පවා සොම්නසක් යැයි ඇයට සිතේ.සිහින අතර සරන්නට පෙර සකීගේ ජංගම දුරකථනයට අහස් අමතමින් සිටියේ ය.

“ඒ කියන්නේ මැච් එක ඉවර වෙලා ලොකුවෙලාවක් නොයා එයාට ඔයාට කතා කරන්න පුලුවන්.එහෙනම් ඒ ඕපාදූපෙත් හොයාගත්තා.දැන් මං රන්මිණි ගැන බලා ගන්නම්.ඔයා අහස්ට කියන්න මට ලොකු ට්‍රීට් එකක් ඕන මාව හොඳින් තියා ගන්න කියලා මං කිව්වා කියලා.”

නිම්නා එසේ කියමින් පිටව යද්දී සකී ඒ වීඩියෝ ඇමතුම හා සම්බන්ධ වූවා ය.ඔහු අප්‍රමාණ ප්‍රීතියකින් දිදුලමිනි.ඉඳහිට ෆේස්බුක් හරහා සංසරණය වන වීඩියෝ වලින් දැක ඇති ක්‍රිකට් තරගයෙන් පසු මොහොත ඇය දෑස පුරා විඳ ගන්නට වූවා ය.පිටියේ මහත් ආක්‍රමණිකයන් වන යෞවනයන් එකිනෙකාට සරදම් කරගනිමින් අතිශය සැහැල්ලු මානසිකත්වයකිනි.එහෙත් ඒ කිසිවෙකුත් දෙස නොබලා සකීට ඇගේ වීරයා දෙස බලා සිටින්නට හැකි ය.දෑස් පියවන්නට පවා ලෝබ සිතෙන තරමට ඇය ඔහුට ඇබ්බැහි වෙමින් සිටියා ය.

“මට ඇස් පිල්ලම් ගහන්නත් ලෝබයි.ඔයා දිහාම බලන් ඉන්නෝන.”

මලයාලම් සිනමා පටයක ඇති දෙබස් තරමට ප්‍රේමණීය වදන් තමන්ගේ මුවට කෙසේ ගලා එන්නේදැයි අනතුරුව සකී සිතන්නට විය.ඇය එපමණකට ප්‍රේමයෙනි.උතුරා යන තරමට ප්‍රීතියෙනි.

“ඇස් පිල්ලම් නොගහ මං නාගන්න හැටි බලන් හිටියද? ඔයා දැක්කද මට අර යක්කු නෙළපු නෙළිල්ල.”

ප්‍රීතිමත් මොහොත අමතක කර අහස් පසුතැවිය යුතු තැන් ගැන කතා කරයි.සකී එයට එරෙහි වන්නට ගියා ය.එහෙත් තමන් අසාර්ථක වූ තැන් සිය වරක් හෝ නැවත නැවත නරඹමින් ඒවා නිවැරදි කර ගන්නට අවශ්‍ය බව අහස් කියද්දී සකී කළේ ඔහු කියවන්නට ඉඩ දී අසා සිටීම ය.ඇය ඔහු පවසන තාක්ෂණික කාරණා දන්නේ නැත.

“මං මුල් හරිය බැලුවෙම නෑ.”

දැන් ඔහුට ඒ රහස හෙළි කළ හැකි හන්දා සකී පැවසුවා ය.නමුත් අහස්ට ඒ ගැන වැඩිදුර කියන්නට ඉඩ නොවේ.අනවසරයෙන් තිරයට එබී බලා සකීට අත වනන කණ්ඩායමේ යෞවනයන් බොහෝ ය.වඩා දඟකාරයා බවට ප්‍රචලිත තරුණයා “හායි සන් ෆ්ලවර්” යැයි ඈ අමතන්නට ද අමතක නොකළේ ය.තාරකා පොළොවට බැස තමා වෙත එන්නේ ද නැතිනම් නම් ඈ තරු අතර සරන්නේද යන්න තෝරා ගන්නට නොහැකිව සකී අන්දමන්ද වී ගියා ය.ඇගේ කලබලකාරී බැල්ම අහස්ට හොඳින් වැටහේ.

“මුනුත් සියුම්ලා වගේම තමයි.ඊටවඩා පිස්සු කියලා ඔයාට දවසක හිතෙයි.දෙගොල්ලන්ගෙ තියන එකම වෙනස ඔයා සියුම්ලා දකින්නෙ ඇස් දෙකෙන්.මුන් ටීවි එකෙන්.ඒකත් ඉස්සරහට වෙනස් වෙයි ඉතිං.”

සකීගේ සිනාව සුවපහසු සිනාවක් නොවන බව තේරුම් ගත් අහස් දිගින් දිගටම කියවාගෙන යන්නට පටන් ගත්තේ ය.

“කොහොමහරි අපි සෙලිබ්‍රිටිලා නෙවේ සකී.අපිව එහෙම සෙලිබ්‍රිටිලා කරන්න උත්සාහ කරන මිනිස්සු අපිට පොඩ්ඩක් වැරදුණාම ගොසිප් චැනල් හදාගෙනම නෙළනවා.”

ඔහු ඇය ගැන ප්‍රසිද්ධියේ ම පැවසී ය.නම හෝ කිසිම හෙළිදරව්වක් නැති වුව ද අහස් ඔහුගේ ප්‍රේම සම්බන්ධතාවය සහ පෙම්වතිය ලබා දෙන ධෛර්යය ගැන මහා ජන සන්නිපාතයකට පවසා අහවර ය.ඒ කතාව සමාජ ජාලා වල මහත් වේගයකින් සංසරණය වෙමින් පවතී.ඒ ඔහුගේ ආදරය සාරණ්‍යාට බවත් ඔවුන් ළඟදී ම විවාහ වනු ඇති බවත් ඕපාදූප පැතිර යාම සකීට කොහොමටත් දුකක් නොවේ. එහෙත් ඔහු ජයග්‍රහණයේ වැඩි අයිතිය පෙම්වතියට ලබා දුන්නේ ය.දැන් ඔහු අසමත් වන සෑම මොහොතක ම ඔහුට පහර ගසන්නට යොදා ගන්නා දුර්වල නිලය එය බව සකී දනියි.

“ඔයාට හොඳක් වෙනවනම් මම අත කැඩෙනකම් හරි සන් ෆ්ලවර්ස් අඳින්නම්.”

සකී එසේ පැවසුවේ ඔහු වෙනුවෙන් අඳින ලද සිතුවම පෙන්වන අතරේ ය.අහස් සමු ගනිද්දී පවා ඇයට දෙගිඩියාවක් විය.ඔහු අහිමි නොයන බව ඇය දනියි.

“ඇයි ඔයා ප්‍රසිද්ධියේ එහෙම කීවේ.සාරණ්‍යා ඔයාගෙන් පලි ගනී.අනිත් එක ඔය වගේ දේවල් මිනිස්සු හොඳට මතක තියා ගන්නව.”

සකී එසේ පැවසුවේ සාරණ්‍යා හෝ වෙනත් කිසිම පෙම්වතියක ගැන අහස් එළිපිට කතා කරන්නට අකමැති වූ බව සිහි කරමිනි.එතරම් දිස්නය දෙන කෙල්ලන් ගැන පවා ප්‍රසිද්ධ නොකළ ඔහු තීන්ත නාගනිමින් සිතුවම් අඳින කුඩා කෙල්ලක ගැන තදබල විශ්වාසයෙන් කතා කරමින් සිටියි.

ඒ විශ්වාසය සකීට දරා ගත නොහැකි තරම් විය

(ඔබේ අදහස ලියා යන්න.හෙට දවස අපේ අහස්ලාගේ අන්තිම බලාපොරොත්තුව හොඳම බලාපොරොත්තුව බවට පත් කරන දවසක් වේවා!)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles