ප්‍රේමයේ අභිමන් -41

අපරාජිතා රොෂෙල් ට දුරකතන ඇමතමක් ගත්තා ය. මීට පෙර වසර ගණනාවක් තිස්සේ ඇය රොෂෙල් ව දැන හැඳින ද කතා බහ කොට ද තිබේ. ‘මැඩම්’ කියා ඈ අපරාජිතා ඇමතුවේ ගෞරවයෙනි. අපරාජිතා එක්ක ඇයට නිරන්තර තරගයක් විය. ඇය හැම මොහොතක ම හදවතින් ඒ තරගයෙහි නියුතු ව සිටියා ය. සිය සේව්‍යයා ද පෙම්වතා ද වන අරවින්ද ගේ නෛතික බිරිය වශයෙන් අපරාජිතා ට රොෂෙල් තුළ වූයේ ඊර්ෂ්‍යාවකි. ඇය සම්බන්ධ කාරණා වලදී රොෂෙල් අරවින්ද සමග රණ්ඩු වූවා ය. ඇය ට නින්දා අපහාස කළා ය. බැන වැදුණා ය. දොස් කීවා ය. නමුත් අපරාජිතා ව මුහුණට හමු වන හැම අවස්ථාවක ම ඈ කෙරේ ගෞරවනීය නොවී ඉන්නට රොෂෙල් ට නො හැකි විය.

මේ ගැන රොෂෙල් විටෙක පුදුම වූවා ය. විටෙක තනිව ඒ ගැන සිතවා ය. ඇය ට ම වටහා ගත නො හැකි මොකක්දෝ කාරණයක් මත එසේ අපරාජිතා ට ගෞරව සම්ප්‍රයුක්ත වන එක කිසි සේත් වැලකිය නො හැකි වූයේ ය. අපරාජිතා වූ කලී රොෂෙල් වාගේ විලාසිතා වලට බර වූ තැනැත්තියක නොවේ. ඇගේ විලාසිතාව චාම් බව වූයේ ය. ඈ තෝරා ගන්නා වර්ණ ඒ චාම් බව තීව්‍ර කරවී ය. දුඹුරු හිස කේ ද මුව මඳහස ද ඇයට තිබූ සියුම් අබරණ විය. ඒ මඳහස ද ඍජු ව හිස කෙළින් තබා කරන කතා බහ ද අන්‍යයන් ඈ ඉදිරියේ කුරු කුහුඹුවන් කළ පෞරුෂ ලක්ෂණ ය. 

අපරාජිතා ගේ නම සහිත ව දුරකතන අංකය රොෂෙල් ගේ දුරකතනයෙහි ගබඩා වී තිබුණේ ය. ඒ නම තිරය ආලෝකවත් කොට තිබෙනු දකිත්දී ම රොෂෙල් ගේ හද ගැස්ම වැඩි විය. හිත හයිය කර ගෙන ඇය ඇමතුම ට පිළිතුරු දුන්නා ය.

“මැඩම්”

එසේ නො අමතා සිටිය නො හැකි බලවේගයක් ක්‍රියාත්මක වන හැටි රොෂෙල් හොඳට ම අත්වින්දා ය.

“මං අපරාජිතා. රොෂෙල් එක්ක මට වැදගත් දෙයක් කතා කරන්න තියෙනව”

“කියන්න”

ඇගේ හඬ අතිශය දුර්වල ව උගුර යට සැඟව ගියේ ය. 

“අරවින්ද දවස් දෙකක් විතර මගෙ ඇනෙක්ස් එක ළඟට ආව අනන්‍යා ව මීට් වෙන්න. එයා එහෙම එනවට මං කැමති නෑ. එයා එහෙම එන එක හොඳත් නෑ. එයා අනන්‍යා ට ගොඩක් ආදරෙයි. ඒ තාත්තා දුව බැඳීම කඩල දාන්න මං කවදාවත් ට්‍රයි කරල නෑ. ඔයා එහෙම කරන්නත් එපා. අරවින්ද අනන්‍යා ට තියන ආදරේ පොඩ්ඩක් තේරුං අරං එයා ගැන පොඩ්ඩක් සොෆ්ට් වෙන්න බලන්න. අරවින්ද අනන්‍යා ට ආදරේ කළා කියල ඔයාට ප්‍රශ්නයක් වෙයි කියල මං හිතන්නෑ. ඔයා එයාව තේරුං ගන්න එකෙන් වෙන්නෙ අරවින්ද තවත් ඔයාට ලං වෙන එකයි. එහෙම නොවුණොත් ඔයාගෙනුත් ඈත් වෙලා එයාගෙ ජීවිතේත් අවුල් කර ගනියි. මං වෙන වුණා කියල එයාටවත් ඔයාටවත් වරදිනව දකින්න ඕන කමක් නැති නිසයි මං මෙහෙම ඔයාට කතා කළේ. එහෙනං තියන්නං”

“තෑන්ක් යූ මැඩම්”

රොෂෙල් ගේ උගුර හිර වී තිබිණ. ඒ වචන පිට වූයේ යන්තමිනි. අපරාජිතා ට සැහැල්ලුවක් දැනුණේ ය. 

ඒ ඇමතුමෙහි සිටින විටත් අපරාජිතා ට කිවිසුම් කිහිපයක් ගියේ ය. ඇය එය ඒ තරම් ගණන් ගත්තේ නැත. නමුත් හැන්දෑ වන විට හිස රිදුම් දී ගෙන ද උගුර රිදීගෙන ද ආවේ ය. අපරාජිතා විටමින් සී පෙති කිහිපයක් මුවෙහි ලා ගෙන ඇඳට වූවා ය. අනන්‍යා යෙහෙළිය සමග සාප්පු සවාරියේ ගොස් සිටියා ය. යන්තම් නින්ද ගිය ද ඒ නින්ද අතරින් ම ඇඟ පත තලා දමනවා වන් රිදුම දැනී නො දැනී ගියේ ය. අපරාජිතා කෙඳිරි ගාමින්  නැගිට රාත්‍රී ආහාර පිසුවා ය. වේදනා නාශක පෙති දෙකකින් රෝග ලක්ෂණ යටපත් වී ගිය ද පසු දා අවදි වන විට ඇය සීතලයකින් වෙව්ලමින් සිටියා ය. 

“අම්මි…ඇයි මේ…”

අනන්‍යා සිටියේ තරමක් බිය වී ය. අපරාජිතා තව තවත් පොරෝනාවෙහි ගුලි වූවා ය. අනන්‍යා වහා දිව ගොස් සසංක ව එහි කැටිව ආවා ය. 

“මට කෑම ටික දෙන්න වුණත් අපේ ගෙට ආවනෙ. වයිරල් ෆ්ලූ එක තමයි”.

“අයියෝ…මටත් බෝ වෙයිද…”

සසංක අනන්‍යා විනිවිදලන බැල්මක් හෙළුවේ ය. ඒ තරවටු බැලුම ඉදිරියේ ඇය ට බිම බැලිණ.

අනන්‍යා කොහොමත් එහෙම ය. ලෙඩ බෝ වීම ගැන කුඩා කාලයේ පටන් ඇය ට වූයේ බියකි. ඒ නිසා ම බෝ වන රෝග වලින් ඇය හැකි තාක් ප්‍රවේසම් වූවා ය. පාසලේ දී ද පන්ති වලදී ද සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණ මිතුරියන් ගෙන් පවා ඈත් වී සිටියා ය. 

“දැං මොකද කරන්නෙ…අම්මි වෙව්ලනවනෙ…”

“ම්..මං කියන්නද…අපි ඩොක්ටර් ළඟට එක්කං යමු. ඔයා අම්මව ලෑස්ති කර ගන්න”

අනන්‍යා අපරාජිතා ගේ ඇඳුම් මාරු කර ගත්තේත් අසීරුවෙනි. පිය ගැට පෙළ බැස යාමේ හැකියාවක් ඇය ට නො තිබුණ තරමි. අනන්‍යා අම්මා ව වාරු කර ගන්නට තැත් කළ ද ඇය ඊට සමත් වූයේ නැත. අවසන අපරාජිතා ව වාරු කර ගෙන පිය ගැට පෙළ බහින්නට සිදු වූයේ සසංකට ය. 

බෙහෙත් ගෙන ඒමෙන් පසු සසංක ම අපරාජිතා ගේ කුස්සියට ගොස් තේ හදන්නට සූදානම් කළේ ය.

“හිස් බඩ බෙහෙත් දෙන්න හොඳ නෑ. කිරි එකක්වත් හදල දීල ඉමු”

ඔහු අනන්‍යා ට යෝජනා කළේ ය. ඔවුන් දෙදෙනා එක්ව තේ සාදා අපරාජිතා ට බෙහෙත් ටික පෙවූහ. 

“මං කියන්නද…මං ලන්ච් ටයිම් එකේ එන්නං. ඔයාට උයන්න පුළුවන්ද අම්මට බත් ටිකක් කන්න දෙන්න…නැත්තං මං එළියෙං ගේන්නද…”

“අපි දේශි පුංචාට කියමුද…එයා ඇවිත් උයයි”

“එයා ඔෆිස් ගිහිං හවසටම ආපුදෙන්. අනිත් එක අම්මට සාත්තඅ කරන්න එයා ආවොත් එයාටත් බෝ වෙලා ඔෆිස් යන්නත් බැරි වෙයි. ඒක නිසා අපි දෙන්නා පුළුවන් තරං මැනේජ් කර ගන්න බලමු. හරි මං කෑම අරං එන්නංකො. උදේට කන්නත් මං මොනාහරි ගෙනත් තියල යන්නං”

සසංක සම්පූර්ණයෙන් ඒ වගකීම් තමා මත පටවා ගන්නා හැටි අනන්‍යා බලා උන්නේ තරමක විමතියකිනි. අම්මා යනු නිතර ගිලන් නොවූ අයෙකු ලෙස අනන්‍යා ගේ හිතේ මතකය ඉතිරි කොට තිබේ. ඇය සිය ශරීරයේ ප්‍රතිශක්තිය ගැන ආඩම්බර වූවා ය. එවන් ප්‍රතිශක්තියක් ඇති කර ගනු වස් වැඩිපුර ශාකාහාර වලට යොමු වන ලෙස අනන්‍යා ටද නිතර උපදෙස් දුන්නා ය. නමුත් අරවින්ද සේ ම ඇය ද වරඩිපුර රුචි වූයේ මාංශාහාර වලට ය. ඉඳහිට අපරාජිතා ගිලන් වූ දා ක මුළු ගෙදර ම ලෙඩ වූවා සේ දැනුණ හැටි අනන්‍යා ට සිහි කර ගත හැක. එද තාත්තා සසංක සේ ඒ බර කරට නොගත් බව ද ඇයට මතක ය. 

දවාලේ සසංක එන විට දේශිකා වරු නිවාඩුවක් දමා අපරාජිතා ගේ ඇනෙක්ස් එකට ඇවිත් සිටියා ය. ඇවිටිලි කොට යෙහෙළියට බත් කටක් දෙකක් කැවිය හැකි වූයේ දේශිකා නිසා ය. 

ඇය ළඟ රැඳීමෙන් අනන්‍යා ට ද වෛරසය බෝ විය හැකි නිසා දේශිකා ට ඇය කැටිව යන ලෙස අපරාජිතා ඉල්ලා සිටියා ය. ඈ සිතුවේ ඒ ශරීර අපහසුතාව දරා ගන්නට අනන්‍යා ට නො හැකි ය යන්න පමණකි.

“ඒ වුණාට එතකොට රෑට හරි ඔයාට ඕන වුණොත් කතා කරන්න කවුරුත් නෑනෙ”

අපරාජිතා ගේ යෝජනාවට සසංක වහා විරෝධය පෑවේ ය. 

“අනන්‍යා පොඩි ළමයෙක් නෙවේනෙ. බෝ වුණොත් අපි එයාටත් බෙහෙත් ගමු. මට ඔෆිස් එකේ වැඩ ටික බලල ඉක්මනට එන්න පුළුවන්. ඒ අතරෙ හරි අනන්‍යා තනියට ගෙදර ඉන්න එක හොඳයිනෙ”

“ඒක ඇත්ත. මං කියන්නද…අනන්‍යා ඉස්සරහ බිමින් නිදාගන්න. මටත් ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිල නිසා නිවාඩු ගන්න බෑ. දවස් තුන හතරක් ඉතිං අපූට වැඩක් කර ගන්නනං බැරි වෙයි. උඹ නෝනා හාමු වගේ ඉන්නැතුව තියන දෙයක් බලල කරපං හරිද…මං හවසට ඔෆිස් ඇරිල යන ගමං එන්නං”

දේශිකා විසඳුමක් යෝජනා කළා ය. ඒ අනුව කටයුතු සිදු වූයේ ඒ ආකාරයට ය. 

සසංක ඒ දින දෙක තුනෙහි ම අත්‍යාවශ්‍ය වැඩ ටික නිම කොට ගෙදර දිව ආවේ දවල් බත ද ගෙන ය. තුන් වන දිනයේ අනන්‍යා ව උදව් කර ගෙන බතක් හා ව්‍යාංජන දෙකක් අසීරුවෙන් හෝ අපරාජිතා උයා ගත්තා ය. අනන්‍යා අම්මා ගේ රෙදි ද ඇතුළුව ඇගේ රෙදි සෝදා ගත්තා ය. අපරාජිතා ගේ බැල්කනියේ තිබූ මල් උයනට වතුර දැම්මේ සසංක ය. අනන්‍යා ගෙන් ද කැමැත්ත විමසා රෑ කෑම ගෙනාවේ සසංක ය. ඒවා අස් පස් කොට ඇතැම් විට භාජන සේදුවේත් ඔහු ය. 

නමුත් ඔහු ගිලන් වූ විට තරම් ඇය මනසින් නොවැටුණ බවක් පෙනිණ. අපරාජිතා පිරියක් නැතිව වුව කෑම ටිකක් කා බෙහෙත් ටික බීවේ ඉක්මනින් නැගිට වැඩ ටික කර ගැනීම ඇගේ ඒකායන අරමුණ වූ නිසා ය. පශ්චාද් රෝග ලක්ෂණ සහිතව ම එක හවසක අපරාජිතා සිමෙන්ති බංකුවේ වාඩි වී සිටියදී සසංක පැමිණියේ ය. ඈ දුටු ඔහු ගේ මුහුණේ සිනහවක් විකසිත විය.

“ඇති යන්තං මෙච්චර ඉක්මනට ආයෙ මෙතන ඉඳං ඉන්න පුළුවන් වුණා”

ඔහු බංකුවේ පසෙකින් අසුන් ගත්තේ ය. අපරාජිතා සන්සුන් මඳහසක් නගා ගත්තා ය. ඇගේ ඇස් වල වූයේ ආදරයෙන් උතුරා ගිය ගැහැනියක ගේ බැල්මකි. සසංක හැඳ සිටිනා ලා දම් පැහැති කමිසය ඈ හඳුනයි. ඔහු ගේ ව්‍යාජ උපන් දිනය දා ඇය තිලිණ කළ කමිසය! ඒ ඇස් කමිසය මත නතර වී තිබෙනු දුටු සසංක ට සිනහවක් නැගිණ. ඒ උපන් දිනය බොරු එකක් වුණත් ඇගෙන් ලැබුණ මේ තිලිණය ට ඔහු බෙහෙවින් ආදරය කරයි. 

“තෑන්ක් යූ”

මෘදු ස්ත්‍රී භාෂිතයකින් ඕ මිමිණුවා ය. ඒ වෙලාවේ ඇගේ ඇස් වලත් වූයේ ලා දම් පාට දීප්තියකි. සසංක තැන්පත් පිරිමි කමකින් ඇදෙස බලා ඇස් කුඩා කළේ ය.

“ඇයි…”

“මේ දවස් ටිකේ කෙල්ලවයි මාවයි බලා ගත්තට”

ඔහු ට ඕනෑ වූයේ ‘හැමදාම වුණත් ඒක කරන්න පුළුවන්’ කියා කියන්නට ය. උකුල මත වන ඇගේ සියුමැලි අතැඟිලි සිය අතකින් අල්ලා ගනිමින් ඒ මූණට එබී, කම්මුලට ට වැටී තිබෙන කියඹු වැලක් ඈත් මෑත් කරන්නට ය. හීනියට ඒ නළල මත හාදුවක් තියන්නට ය. ඒ කිසිත් කළ නො හැකි තැන ඔහු දෑසින් ඈ සිප ගත්තා විතර ය.

සසංක ව වඩාත් කඩවසම් ව අපූට පෙනුණේ ය. ඔහු වගේ කෙනෙකු, දරු පවුලක් ගැන අත්දැකීම් ඇත්තෙකු සේ ඒ දින දෙක තුන තුළ කළ කී දේවල් හීනයෙන් වගේ සිහි වෙත්දීත් ඇයට දැනෙනා හැඟීම සුපසන් ය. ජීවිතය මැද්දේ තනි වූ ගැහැනියකට එහෙව් දයාර්ද්‍ර හැඟීමක් වූ කලී සැනසිල්ලකි.

“තාම මහන්සි වෙන්නෙපා”

අන්තිමට ඔහු කොඳුරා ගත්තේ ය.

“මහන්සි නොවී බැරි වෙයි. කෙල්ලගෙ වැකේශන් ඉවර වීගෙන එන්නෙ. තව සතියක්වත් නෑ ෆ්ලයි කරන්න. කෑම ටිකක් හදල දෙන්න ඕන…කොහෙ හරි එක්කං යන්නත් ඕනෙ…”

“හිතේ හයියට නැගිට්ටට ඔයා තාම වීක්”

ඇය යළිත් මන්දස්මිතයක් පෑවා ය. 

“යන දිහාක මං එක්කං යන්නං. එක දිගට ඩ්‍රයිව් කරන්න තාම ඔයාට බෑ”

හදිසි පපුවේ හිර වීමක් අපරාජිතා ට දැනිණ. සසංක ට නො දැනෙන සේ ඕ සිය පපුව පිරිමැද ගත්තා ය. එය හඬන්නට හිතෙනා විදිහේ හැඟීමකි. අපරාජිතා වනාහි තනිව සිනහ වෙන්න ද රහසින් හඬන්න ද දන්නා ගැහැනියකි. ඇය ට සියල්ල දරා ගන්නට සිදු වූයේ තනිව ම ය. යමක් බෙදා හදා ගත්තා නම් ඒ දේශිකා  සමග පමණකි. අරවින්ද කියන්නේ හැමදාමත් ඈතකින් පායා තිබූ තරුවක් යයි ඇය ට සිතෙයි. ඔහු ගැන කිසි දාක සිය හදවතේ ආදරයක් පිළිසිඳ නො ගත්තේ ඇයි කියා ද ඇය දන්නේ නැත. 

 අරවින්ද ට සමීප විය නො හැකි වූ හදවතේ අවකාශ වල සසංක මේ තරම් සීරුවට පිය තබා යන්නේ කෙසේ ද? නමුත් ඒ බවක් නො තේරෙන සෙයින් ඇය බංකුව මතින් නැගිට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles