බිම්මල් – 05

සුදු නංගී අම්මා විසින් කලින් පිළියෙල කර තිබූ මංගල කාඩ්පත් යැවිය යුතු අයගේ නාම ලේඛණය මා අත තැබුවාය. එහි මුලින්ම වූයේ ‘මේජර් වංශනාථ’ යන නමයි. එහි වූ අත් අකුරු අම්මාගේ නොව සුදු නංගීගේ අත් අකුරු බව මම හඳුනා ගතිමි. 

“බලන්නකො. බොරුවට රණ්ඩු කරාට, ගෙදරින් පන්න ගත්තට අපි කාටත් හොරෙන් මෙයා ලිස්ට් එකේ උඩින්ම ලියලා තියෙන්නෙ මේජර් වංශනාථගෙ නම.”

දිදුලන දෙනෙතින් යුතුව සුදු නංගී පැවසුවාය.

“මොකක්?”

ලේඛනය අතට ගත් අම්මා එය කියවා බැලුවාය. සුදු නංගීගේ දඟකාරි ක්‍රියාවන් නිසා මුවට නැගි සිනාව වළක්වා ගනිමින් අම්මා ඇගේ උරහිසට පහරක් ගැසුවාය.  

“පිස්සු වැඩ කරන්න එපා සුදු… විහිලුවෙත් සීමාවක් තියෙනවා.”

“එයා ඉතින් ඔයාගෙ හස්බන්ඩ්නෙ.”

“හස්බන්ඩ් කෙනෙක් විදියට නෙමෙයිනෙ එයා වැඩ කළේ. යහමගට ගන්න හැම උත්සාහයක්ම කළා. ගෑනියෙක් දරුවෙක් නැති විදියටනෙ හැමදාමත් වැඩ කලේ. එහෙම නොකළා නම් අද වගේ දවසක එයා මොන තරම් සතුටු වෙන්න ඕනද? විහිලුවටවත් එයාගෙ නම මෙතනට ඕන නෑ.”

ලේඛණය අතට ගත් අම්මා මේජර් වංශනාථ යන නම පෑන් ඉරකින් කපා දැමුවාය. සුදු නංගී හඬ නගා සිනාසුනාය. 

“කාටද අපි ඉස්සර වෙලාම කාඩ් එක ලියන්නෙ?”

මම ඇසුවෙමි. 

“ඉස්සර වෙලාම සාෂා ආන්ටිටයි, අංකල්ටයි ලියන්න.”

කාඩ්පතක් දිග හැර මා ඉදිරියෙන් තැබූ අම්මා පැවසුවාය.

“මගේ ජීවිතේ මූණ දුන්න හැම ප්‍රශ්නෙකටම සහෝදරියක් වගේ හයියට හිටියෙ සාෂා තමයි. ඩිනාලිගෙ වෙඩින් එකේ කටයුතු ලස්සනට කරගන්න වුනත් ඒ දෙන්නා තමයි මගේ හයියට ඉන්නෙ.”

මම පළමු කාඩ්පත අම්මාගේ උපදෙස් පරිදි සාෂා ආන්ටිට සහ ඇගේ සැමියාට ලිව්වෙමි. සුදු නංගී එය කවරයට දමා මා අතට දුන්නේ කවරයෙහි ලිපිනය ලිවීම සඳහාය.  

“සීයටයි, ආච්චිටයි?”

“සීයටයි ආච්චිටයි කාඩ් දීලා හරියන්නෙ නෑ. ගමේ ගිහින් බුලත් දීලා කියන්න ඕන. පුංචිටයි මාමටයි වුනත් එහෙම තමයි.”

“අනේ අම්මා අපි ගමේ යමු.”

සුදු නංගී ඉල්ලා සිටියාය.

“යමු. මේ සෙනසුරාදා යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මේක අපේ බෑන්ක් මැනේජර් මිස්ට සසංක ගුණවර්ධනට. අපේ බිස්නස් වලදි උපරිම සහයෝගය දෙන කෙනානෙ.”

“කොහොමද ලියන්නෙ?”

කාඩ්පත දිග හැරගත් මම ඇසුවෙමි.

“මිස්ට ඇන්ඩ් මිසිස් ගුණවර්ධන කියලා ලියන්න.”

දෙවන කාඩ්පත ලියා අවසන් වන්නටත් පෙරම මගේ උදරය දෙසින් පැමිණි වේදනාව මා අකර්මණ්‍ය කරන්නට සමත් විය. මම වේදනාව ඉවසා සිටින්නට උත්සාහ කළෙමි.

“ඇයි ඩිනාලි?”

මා අතින් අත හැරුණු පෑන අහුලා මේසය මත තැබූ අම්මා ඇසුවාය.

“මුකුත් නෑ.”

වේදනාව ඉවසා සිටින්නට තැත් කරමින් මම පැවසුවෙමි.

“මුකුත් නෑ වෙන්නෙ කොහොමද? ඔයා ඉන්නෙ වේදනාවෙන්. ආයෙම බඩ රිදෙන්න ගත්තද?”

“ටිකක් රිදෙනවා.”

අම්මා නැගිට මා වත්තම් කරගෙන යහන කරා ගෙන ගියාය.

“ඔහොම ඉන්න ඩිනාලි. සුදු ගිහින් වජිරට එන්න කියන්න.”

සුදු නංගී කාමරයෙන් පිටව යන්නට ඇතත් වේදනාව නිසාම දෑස් පියාගෙන අපහසුවෙන් සිටි මා එය දුටුවේ නැත.

“මේන් මැඩම් බබාගෙ බෙහෙත් ටික ගෙනාවා. රෑටයි දෙන්න තියෙන්නෙ. කමක් නෑ. අපි දැන් දෙමු.”

අම්මා බෙහෙත් පෙති කිහිපයකුත් වතුර වීදුරුවත් මා අතට දුන්නාය. බෙහෙත් පෙති උගුරට හලාගෙන වතුර ස්වල්පයක් පානය කළ ද බඩවැල් පෙරලාගෙන පැමිණෙන වමනය වළක්වා ගන්නට  මම අසමත් වීමි. අම්මා මගේ පිටත් පපුවත් පිරිමැද්දේ වමනය වීමට පහසුවක් සලසමිනි. වමනය වූ පසු මඳ පහසුවක් දැනුනද, උදරය දෙසින් දැනෙන වේදනාවෙහි අඩුවක් නොවීය.

“ගොඩක් රිදෙනවද පුතේ?”

අම්මා ඇසුවේ හැඬුම් හඬිනි. 

“එච්චරම නෑ.” යි මා පැවසුවද, උදරය දෙසින් දැනෙන වේදනාව එන්න එන්නම වැඩි වන සෙයක් මට දැනිණ.

“බබාව හොස්පිටල් ගෙනිච්ච නම් හොඳයි මැඩම්.”

වජිරා පැවසුවාය.

“මාත් ඒකම තමයි කල්පනා කළේ. මේ වැස්සෙ යන්නෙ කොහොමද? හිත කලබල වුනාම ඩ්‍රයිව් කරන්න මං බයයි.”

“අපි හේෂාන් සර්ට කෝල් කරමු.”

වජිරා යෝජනා කළාය.

“එපා. එපා. ඒගොල්ලන්ට දැනගන්න තියන්න එපා. දන්නවනෙ චාන්දනීගෙ හැටි? නැති ප්‍රශ්න  ඇති කරාවි.”

අම්මා ‘චාන්දනී’ යි පැවසුවේ හේෂාන්ගේ අම්මාට ය.

“කියන්න එපා. වෙඩින් එක කට උඩ තියාගෙන ලෙඩ හදාගත්තා කියලා එයා අපේ ලොකුට චෝදනා කරාවි.”

සුදු නංගී පැවසුවාය. මේසය මත තිබු මගේ ජංගම දුරකතනය නාද වන හඬ ඇසිණ. සුදු නංගී එය අතට ගත්තාය.

“හේෂාන්..”

ඇය දුරකතන තිරය අම්මා වෙත පෑවාය. සුදු නංගී හේෂාන් අයියා යනුවෙන් නොපවසා හේෂාන් යයි ඇමතීම ගැන වෙනත් අවස්ථාවක නම් අම්මාගේ දෝෂ දර්ශනයට ලක් විය හැකි වුව ද, බෙහෙවින් කැළඹිලි සහගත සිතින් යුතුව සිටි ඇය කිසිවක් නොපැවසුවාය.

“මං ආන්සර් කරන්නද? ලොකුට සනීප නෑ කියලා කියන්නද?”

“එපා. රින්ග් වුනාදෙන්.”

කිහිප වරක්ම නාද වූ දුරකතනය අනතුරුව නිහඬ විය. මගේ සිතට සැනසීමක් දැනිණ.

“මගේ ඔලුව අවුල් වෙලා. හිතාගන්න බෑ මොනවද කරන්නෙ කියලා.”

වෙනත් අවස්ථාවල බොහෝ කල්පනාකාරීව වැඩ කටයුතු කරන අම්මා බෙහෙවින් කැළඹී සිටියේ මගේ අසනීපය ඇගේ සිතට පීඩාවක් වූ නිසා වන්නට ඇත. 

“කැබ් එකකට කෝල් කරන්න මැඩම්. අපි බබාව ඒකෙන් හොස්පිටල් අරගෙන යමු.”

වජිරා යෝජනා කළාය. අම්මා දුරකතනය ද රැගෙන කාමරයෙන් පිට වූවාය.

“එන්න බබා. අපි ඇඳුම් මාරු කර ගනිමු.”

අල්මාරිය තුළින් ගත් ඇඳුමක් යහන මතට දැමූ වජිරා මා හිඳුවන්නට උත්සාහ කළාය. එහෙත් වේදනාව නිසාම මට හිඳගැනීම අසීරු විය.

“කමක් නෑ එහෙනම්. ඔය ඇඳුමත් හොඳයි. හැන්දෑවෙනෙ ඇන්දෙ.”

“වොමිට් ටික මං ඇවිත් අස් කරලා දාන්නම්. ඉන්න මාත් ඇඳුමක් දාගෙන එන්නම්.”

වජිරා කාමරයෙන් පිටව ගියාය.

“අමාරුද ලොකූ?”

මගේ මුහුණට මුහුණ ළං කළ සුදු නංගී ඇසුවාය. වේදනාව නිසාම මගේ දෙනෙතින් කඳුලු ගලා ගියේය. සුදු නංගී ඇගේ ඇඟිලි තුඩු අගින් මගේ දෙනෙත් පිස දැමුවාය.

“කැබ් එක ළඟ ළඟම එනවා. අපි හෙමිහිට පහළට යමු ඩිනාලි.”

අම්මාත්, සුදු නංගීත් මා වත්තම් කර ගත්හ. වේදනාව නිසාම අසුබදායී සිතිවිලි වැල නොකැඩී සිත තුළට ප්‍රවිෂ්ඨ වන්නට වුවද, එම සිතිවිලි වලට ඉඩ නොදෙන්නට මම උත්සාහ කළෙමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles