සිහින අසපුව – 12 කොටස

ඉදි කරන ලද දර ලිපක තැබූ නැවුම් මුට්ටියක රංජනී කිරි උතුරවන ආකාරය ආරාධ්‍යා හිස් දෑසින් බලා සිටියාය. රත් පැහැති ගිනි දැල් මුට්ටිය වට කොට නටයි. පෙණ නගමින් කිරි උතුරාගෙන එන අයුරුත්, නැවුම් මුට්ටිය මඳින් මඳ කලු පැහැයට හැරෙන අයුරුත්, බිම හිඳගත් රංජනී බලාපොරොත්තු පිරුණු දෑසින් එදෙස බලා සිටින අයුරුත් ආරාධ්‍යාගේ නිරීක්ෂණයට හසු විය. අලුත් අවුරුදු දිනයේ නිවසෙහි සියලු දෙනාම එකතු වී මෙම අවුරුදු චාරිත්‍ර ඉටු කළ යුතු වුව ද, මතක ඇති කාලයේ සිටම තම නිවසෙහි මෙම චාරිත්‍ර ඉටු කරන්නේ රංජනී පමණකි. වෙනත් අලුත් අවුරුදු දින වලනම්  තමා සමග විහාරා ද මහත් සතුටින් මෙම චාරිත්‍ර අකුරටම ඉටු කරන රංජනීගේ සහයට පැමිණියද, සුහේල්ගේ අතුරුදහන් වීම නිසා සිත් වේදනාවෙන් පසුවන ඇය සිය කාමරය තුළට වී කාලය ගත කරයි.

“බුදුන්ගේ සරණයි. දෙයියන්ගේ පිහිටයි. කිරි උතුරන්න වගේ මේ ගෙදරට හරි යන්න ඕන. ”

රංජනීගේ කටහඬින් ආරාධ්‍යා කල්පනා ලොවින් මිදුනාය. මුට්ටියේ වූ කිරි උතුරා යමින් තිබේ. මෙම දර්ශනය මොන තරම් නම් සුන්දරදැයි ආරාධ්‍යාට සිතිණ. රංජනී කිරිබත් පිසින්නට සුදානම් වන අයුරු ඇය බලා සිටියාය. වෙනත් නිවෙස් වල නම් මේ චාරිත්‍ර සියල්ලම ඉටු කරන්නේ නිවසක අම්මා ය. රූපවාහිනියේ පෙන්වන අවුරුදු චාරිත්‍ර දකිද්දී සිතට දැනෙන වේදනාවෙහි නිමක් නොමැත. අලුත් අවුරුද්ද අයත් නිවසක අම්මාටය. දින කිහිපයක සිටම නිවෙස් පිරිසිදු කරන, රසකැවිලි තනන, අලුත් අවුරුදු දිනයේ නැකැතට සියලු චාරිත්‍ර ඉටු කරන අම්මා කෙනෙක් ලබන්නට තමා මෙන්ම විහාරා ද, මලීෂ ද පින් කර නැතැයි ආරාධ්‍යාට සිතිණ. රංජනී තමාට හැකි උපරිමයෙන් සියල්ලම ඉටු කරයි.  ඇය ද නොසිටියා නම් අද දිනයේ මෙම චාරිත්‍ර කිසිවක් ඉටු කිරීමට අවස්ථාවක් නොලැබෙයි.

පෙර දිනයේ අම්මා නිවසට පැමිණියේ වෙනදාට වඩා ප්‍රමාදවය. උදෑසන පිටව යද්දී හැඳ සිටි සාරිය පිටින්ම කෑම මේසයට හිඳගත් ඇගේ මුහුණෙහි වූ විඩාපත් බව ඇය ගත කළ අවිවේකී දිනය පිළිබඳව පෙන්වන කැඩපතක් යයි ආරාධ්‍යාට සිතිණ. 

 “මහන්සියි.”

කෑම මේසයට හිඳ ගත් ඇය වතුර වීදුරුවෙන් අඩක් පමණම එක හුස්මට පානය කළාය.

“කාටත් අවුරුදු තෑගි දීලා නිවාඩු දුන්නා. අවුරුද්ද පුරාම මහන්සි වෙන අයට නිවාඩුවක් ඕනනෙ.”

පළමු බත් හැන්ද තාත්තාගේ පිඟානට බෙදන ඇය පවසද්දී විහාරා අවඥාවෙන් කට ඇද කරන අයුරු දුටුවේ ආරාධ්‍යා පමණකි.

“අනිත් අය විතරක් නෙමෙයි. ඔයත් විවේකයක් ගන්න ඕන සුහර්ෂා…”

තාත්තා පැවසුවේය.

“මොකක්ද මේ ජීවිතේ? පවුලක් විදියට අපි හැමෝම එකට ඉන්න ඕන. මෙච්චර කාලයක් අපි අතින් අඩුපාඩුකම් සිදු වුන බව ඇත්ත. දැන්වත්… දැන්වත්… ඔය වගකීම් කාට කාටහරි පවරලා ඔයා ටිකක් විවේක ගන්න.”

“හොඳට තියේවි.”

අම්මා විහාරාගේ පිඟානට බත් හැන්දක් බෙදද්දී ඇය පිඟාන පසෙකට ඇද ගත් හෙයින් බත් මේසය මතට වැටිණ. වහා පැමිණි රංජනී ඒවා අස් කර දැමුවාය.

“කවුරුවත් මට බෙදන්න ඕන නෑ. මගේ අතේ පයේ හයිය තියෙනවා.”

විහාරා එසේ පැවසුවද සැන්දෑ වී නිවසට පැමිණි විහාරාගේ මුහුණෙහි වු විඩාපත් බව ආරාධ්‍යා දුටුවාය. 

“මම හෙට පාන්දර නුවරඑළියෙ යනවා.”

විහාරාට පිළිතුරක් නොදුන් අම්මා, තාත්තාගේ පිඟානට වෑංජන බෙදන්නට වූවාය.

“අනේ… අම්මා අලුත් අවුරුද්දටවත් ගෙදර ඉන්නෙ නැද්ද?”

තමා විමසූ ආකාරයත්, අම්මා එයට දුන් පිළිතුරත් ආරාධ්‍යාට සිහියට නැගිණ.

“මම අවුරුද්ද පුරාම අසීමිත විදියට මහන්සි වෙනවා. මට කියලා නිදහසක් නැද්ද?  මං විවේක ගන්න ඕන. හෙට පාන්දර ගිහින් ටික දවසක් නුවරඑළියෙ ඉඳලා එනවා.”

“තනියමද යන්නෙ?”

තාත්තා එයට විරුද්ධව කිසිවක් පවසනු ඇතැයි ආරාධ්‍යා බලාපොරොත්තු වුව ද, ඔහු එය ඇසුවේ සාමාන්‍ය ලෙසිනි.

“නැතිව? සෝමපාලත් අද ඉඳලා දවස් හතක් නිවාඩු.”

“එහෙමනම් ජීප් එක අරන් යන්න එපා. කාර් එකක් අරන් යන්න. කඳු පාරවල් වල ඩ්‍රයිව් කරන්නෙ පරෙස්සමෙන්.”

විහාරා ආරාධ්‍යා දෙස බලා කට ඇද කළාය. මේසය අසළ සිටගෙන මේසයෙහි අඩුපාඩු ගෙනැවිත් තබන්නට සූදානමින් සිටින රංජනී ද අමනාප මුහුණින් යුතුව ඉවත ගියාය.

“අන්න හැමෝටම අලුත් අවුරුදු තෑගි ගෙනත් තියෙන්නෙ. මලීෂ ඔයාටවත් කතා කරේ නැද්ද ආරාධ්‍යා?”

ආරාධ්‍යා නැතැයි යන්න අඟවමින් හිස දෙපසට වැනුවාය.

“අයියා විතරක් නෙමෙයි. තව ටික දවසකින් මාත් මේ ගෙදරින් යන්න යනවා.”

අපිළිවෙල ලෙස බත් අනන විහාරා පැවසුවේ අම්මා කෝප ගැන්වීමටය. 

“යනවා ඉතින්. ගෙදර දොරවල් ඇරලා තියෙන්නෙ. මේ ගෙදර ඉන්න බැරි ඕනම කෙනෙකුට ඕනම තැනක යන්න පුලුවන්.”

“මං සුහේල් ගියේ කොතැනටද එතනටම යනවා.”

මඳක් ශබ්ද නගා සිනාසෙනු හැරෙන්නට අම්මා කිසිත් නොපැවසූ බව ආරාධ්‍යාට සිහියට නැගිණ. 

අම්මා අද පාන්දරම නිවසින් පිටව යන්නට ඇත. මතක ඇති කාලයේ සිටම අලුත් අවුරුදු දිනයේ අම්මා නිවසෙහි නොසිටි බව සිහිවෙද්දී ආරාධ්‍යාගේ මුවින් සුසුමක් පිට වූයේ ඇයට ද රහසේය.

“බේබි…”

රංජනීගේ කටහඬ ඇසුණු ආරාධ්‍යා ඇය දෙස බැලුවාය. කෙසෙල් කොල අතුරන ලද වට්ටියක  දැමූ කිරිබත කෙතරම් සුන්දර හා සිරියාවන්ත දසුනක්දැයි ඇයට සිතිණ.

“ඇයි රංජනී?”

“කිරිබත හදලා ඉවරයි. අපි කෑම මේසෙ ලෑස්ති කරමු නේද බේබි? මම ස්වීට් හවුස් එකෙන් කැවිලි ටිකක් ඕඩර් කරලා ගෙන්න ගත්තා. බේබි පහන ලෑස්ති කරන්න. මම ඉතුරු ටික කරන්නම්.”

රංජනී පහන සහ පොල්තෙල් ද, තිර ද පමණක් නොව පහන සැරසීම සඳහා සුදු මල් ද සූදානම් කර තිබිණ. 

“අම්මා යුතුකම් මග ඇරලා ගියාට ගෑනු දරුවො චාරිත්‍ර කරන්න පුරුදු වෙන්න ඕන. හැමදාමත් මේ ගෙදර ඉන්නෙ නෑනෙ.”

රංජනී හැමදාමත් පුරුද්දට මෙන් පවසයි. මවකගේ යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන රංජනී පිළිබඳව ආරාධ්‍යා තුළ ඇති වූයේ ආදරයකි.

පහනට තෙල් වත් කරන ආරාධ්‍යාට හසිත් සිහියට නැගුණේ නිතැතිනි. ඔහු ද අලුත් අවුරුද්ද සඳහා නිවසට යන්නට ඇත. ඊයේ දිනයේ අඩුම තරමේ දුරකතන ඇමතුමක්වත් දෙන්නට එසේත් නැත්නම් කෙටි පණිවුඩයක් හෝ එවන්නට ඔහුට තිබිණ. එසේ නොකරන්නට ඇත්තේ තමා ඔහුට නොවටිනා කෙනෙක් වන්නට ඇති නිසාදැයි ඇය කල්පනා කළාය. වටපිට බැලූ ආරාධ්‍යා ‘සුබ අලුත් අවුරුද්දක් වේවා’ යි කෙටි පණිවුඩයක් හසිත්ට යැව්වාය. වෙනත් දින වලදී නම් කෙටි පණිවුඩයක් යැවූ සැනින් පිළිතුරු එවන හසිත්ගෙන් කිසිදු පිළිතුරක් නොලැබිණ. දිගු සුසුමක් හෙලු ආරාධ්‍යා රංජනී සුදානම් කර තිබූ සුදු පිච්ච මල් වලින් පහන සරසන්නට වූවාය.

                    *

කවීන් යහන මත වැතිර කල්පනාවට වැටී සිටියේය. අද අලුත් අවුරුදු දිනය නොවේදැයි ඔහුට සිහිපත් විය. කුඩා කළ නිවසේදී අම්මා අලුත් අවුරුදු දිනය වෙනුවෙන් පේ වන්නේ මාසයකට පමණ පෙර සිටය. ඇය විසින් ඉටු කරන ලද අවුරුදු චාරිත්‍ර සිහිවන්නේ සිහිනෙන් ගෑ සුවඳක් ලෙසිනි. සුහර්ෂා සමග විවාහ වූ මුල්ම අවධියේ අම්මා තරමටම නැතත් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට සුහර්ෂා පුරුදුව සිටියද, රාජ්‍ය නොවන සංවිධානය පිහිටුවා ගැනීමෙන් පසු එම සිරිත් කෙමෙන් ගිලිහී ගියේය. දරුවන් කුඩා කාලයේ බොහෝ විට අලුත් අවුරුද්ද ගෙවුනේ විදෙස් රටකය.

කවීන් දිගු සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත්තේය. සුහර්ෂා අද පාන්දරම නිවසින් පිටව යන්නට පෙර තම කාමරයේ දොර තට්ටු කළ අයුරුත් තමා වෙත තෑගි පාර්සලයක් දුන් අයුරුත් කවීන්ට සිහිපත් විය.

“මම යනවා.”

ඩෙනිම් කලිසමකින් ද, සැහැල්ලු කපු කමිසයකින් ද සැරසී සිටි ඇය පැවසුවාය. එම ඇඳුමට ඇය  පෙනුනේ තරුණියක ලෙසිනි.

“ඔය ඇඳුමට ඔයා ලස්සනයි.”

කවින් පැවසුවේය.

“තෑන්ක් යූ. හැබැයි නීතියේ දෙවඟන තරමට නෙමෙයි.”

සුහර්ෂා ‘නීතියේ දෙවඟන’ යනුවෙන් පවසන්නේ මොනාලිට බව කවීන්ට සිහිපත් විය.

“පිස්සු කතා කියන්න එපා. මං හැමදාමත් කියනවනෙ. ඒ ළමයා තවම පොඩි ළමයෙක්. මා එක්ක කතාබහ කරාට එකට කෝට්ස් ගියාට ඔයා හිතන කිසිම දෙයක් මෙතන නෑ.”

“ලෝයර්ස්ලා එක්ක කතා කරන්න බෑ.”

සිනාසුන සුහර්ෂා පැවසුවාය.

“අනික ඒ ළමයා මැරි කරන්න ඉන්නෙ කියලත්, ඒ බෝයි ඉන්දියාවෙ ඉඳලා ආවම වෙඩින් එක ගන්නවා කියලත් මම කීසැරයක් ඔයාට කියලා තියෙනවද?”

“තමා වරදකරුද නිවැරදිකරුද කියලා මම ප්‍රශ්න කරේ නෑ කවීන්.”

“එහෙම ප්‍රශ්න කරන්න ඔයා ජජ් නෙමෙයිනෙ සුහර්ෂා.”

“යන්න ලෑස්ති වෙලා මා එක්ක තර්ක කරන්න එපා කවීන්. හිත නිදහසේ මේ ගමන යන්න දෙන්න.”

“හොඳයි. පරෙස්සමෙන් ගිහින් එන්න.”

තම කොපුලක හාදුවක් සටහන් කළ සුහර්ෂා නිවසින් පිටව ගිය ආකාරය කවීන්ට සිහියට නැගිණ. ඇය විසින් දෙන ලද තෑගි පාර්සලය තවමත් යහන මතය. එය ලිහා බලන්නට පවා ඔහුට නොසිතිණ.  ඇය වෙනුවෙන් හෝ දරුවන් වෙනුවෙන් කිසිදු තෑග්ගක් ගන්නට තමාට අමතක වූයේ මන්දැයි ඔහු කල්පනා කළේය.

“මගේ අතිනුත් යුතුකම් මග ඇරෙනවා.”

ඔහු තමාටම පවසා ගත්තේ කළකිරීමෙන් යුතුවය. මීට දෙසතියකට පමණ පෙර අවුරුදු තෑගි මිළ දී ගන්නට උවමනා බව මොනාලි පවසා සිටියාය. තමා සමග සාප්පු සවාරියක යන්නට ඇයට උවමනා වු නමුත් තමා හිතාමතාම එය මග හැරීම එක් අතකට මොන තරම් නම් හොඳදැයි ඔහු සිතුවේය.

“ගහක් ගලක් වගේ ඉන්න එපා කවීන්. සුහර්ෂා ඔහොම වෙන එකේ වැරැද්දකුත් නෑ මට පේන විදියට.”

“ඒගොල්ලන්ට අඩුපාඩුවක් නෑ.”

එවේලෙහි තමා පැවසූ අයුරුත් මොනාලි සරදම් ලෙසින් සිනාසුන අයුරුත් කවීන්ට සිහිපත් විය.

“තෑග්ගක් දෙන්නෙ අඩුපාඩු සම්පූර්ණ කරන්න නෙමෙයි. තමන්ගෙ හිතේ තෑග්ග ලබන කෙනා ගැන ඇති හැඟීම නිසයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන චූටි දේකින් වුනත් ඇති වෙන සතුට කවීන් කවදාවත් දන්නෙ නෑ. ඒකම තමයි අර මනුස්සයා ඔයාගෙන් දුරස් වෙන්න ඇත්තෙ.”

මොනාලි නොකියා කියන්නේ තමා ඇයට ද අලුත් අවුරුදු තෑගි රැගෙන දිය යුතු බව වුව ද, එය නොතකා හරින්නට ඔහු උත්සාහ කළේය. තමාට කරුණු කාරණා පැවසීමෙන් පලක් නොවන බව දත් ඇය තම මිතුරු නීතිඥවරියක් සමග සාප්පු සවාරි ගිය නමුදු ඉන්පසු ඒ පිළිබඳව වදනක් හෝ සිහිපත් නොකළාය.

දොරට තට්ටු කරන හඬ ඇසුණු කවීන් අතීතයෙන් මිදුනේය. ආරාධ්‍යාගේ ගීතවත් කටහඬ ඉන්පසු ඇසිණ.

“තාත්තෙ… මං…”

කවීන් නැගිට ගොස් දොර විවෘත කළේය. ආරාධ්‍යා දොරකඩ සිටගෙන සිටියාය.

“මේසෙ ලෑස්තියි තාත්තෙ. නැකැත් වෙලාවත් කිට්ටුයි. අලුත් ඇඳුමක් ඇඳගෙන එන්න.”

“මං විතරක්? ඔයත් අලුත් ඇඳුමක් අඳින්න එපායැ?”

ඔහු සිනාසුනේය.

“අම්මා ගෙනාව ඇඳුම් ඔක්කොම මට මදියි තාත්තෙ. අම්මා හිතන්නෙ මං තවම පුංචි ළමයෙක් කියලා.”

ආරාධ්‍යාගේ වදන් කවීන්ගේ හදවත පතුළටම කිඳා බැස්සේය. ඔහු ඇගේ හිස මත අත තැබුවේය.

“මං එන්නම්.”

සිනාසුන ආරාධ්‍යා ගෙතුළට දිව ගියාය. සුහර්ෂා තෑගි කළ තෑගි පාර්සලය තුළ අලුත් කමිස කිහිපයක්ම ඇති බව ඔහු දැන සිටියද, ඉන් එකක් ගෙන අඳින්නට ඔහුට නොසිතුනේ දරුවන්ට අලුත් ඇඳුම් නොමැති නිසාවෙනි.

“මං මොන තාත්තා කෙනෙක්ද?”

අල්මාරිය තුළින් කමිසයක් ගෙන ඇඟ ලා ගත් ඔහු කල්පනා කළේය. මුදල් මත පීනන්නට වුවද හැකි දරුවන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් අඳින්නට අලුත් ඇඳුමක් නොමැති වීම මොන තරම් දුක්ඛදායකද?

“හෙට මං නිවාඩුවක් දාන්නද සර්?”

මීට මසකට පමණ පෙර තම ලිපිකරු අමර් විමසූ බව කවීන්ගේ මතකයට නැගිණ.

“වයිෆ් එක්ක අවුරුද්දට ඇඳුම් ගන්න යන්න ඕන සර්. නොගියොත් ඉතින් ගෙදර වසලා හමාරයිනෙ.”

ඔහු එසේ පැවසූ මොහොතේවත් දරුවන්ට සහ සුහර්ෂාට තෑගි ගත යුතු බව සිහිපත් නොවුනේ මන්දැයි සිතමින්ම කවීන් කෑම කාමරය දෙසට ගියේය. 

සුදු ඇතිරිල්ලක් එලන ලද මේසය මත වූ කිරිබත් පිඟානත්, කැවිලි වර්ග රැසත් රංජනී විසින් පිළියෙල කරන්නට ඇත. සුදු පිච්ච මල් වලින් සැරසු පහනක් ද මේසය මත තබා තිබිණ. බිමට නැඹුරු කරගත් මුහුණින් යුතුව වුව ද, විහාරා මේසය අසළ සිටගෙන සිටි අතර, ඇය ද පරණ ඇඳුමකින් සැරසී සිටි නමුත් රංජනී පමණක් අලුත් ගවුමකින් සැරසී සිටියාය. 

“නැකත හරි තාත්තෙ. පහන පත්තු කරන්න.”

ආරාධ්‍යා ගිනිපෙට්ටිය කවීන් අත තැබුවාය. ඒ හා සමගම රතිඤ්ඤා හඬ දසතින්ම ඇසෙන්නට වූයේ සුබ නැකත උදා වූ බව කියා පාමිනි.

* smartlady කණ්ඩායමේ කෞමදී මහත්මිය ඇතුලු කාර්යය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ආදරණීය පාඨක ඔබටත් සාමය, සතුට සපිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා…!  – ප්‍රියංකා අමරතුංග 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles