මුතුවන් දත් දෙපල රැකදෙන දන්තාලේප තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතුම දේ

ලස්සන දත් දෙපලක් රුවට ආලෝකයක්. දත් දෙපල රැකදෙන දන්තාලේප (toothpaste) යනු දත් දෙපෙලේ පමණක් නොව සමස්ත මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයටම උපකාරී වන්නකි.

දත් පවිත්‍ර කිරීමට, දත් වල  පෙනුම හා සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ද දන්තාලේප භාවිතා කෙරේ. මුඛයෙන් වහනය වන දුර්ගන්ධ ශ්වසනය ඉවත් කිරීමට ද හැකියාව ඇත. එසේම ඒවායෙහි අඩංගු ෆ්ලෝරයිඩ් ආදී ක්‍රියාකාරී අමුද්‍රව්‍ය විදුරුමස් රෝග වැළැක්වීම සඳහා  උපකාරීවේ. තවද ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මඟින් දත් දිරායෑමට හේතු කාරක වන බැක්ටීරියා වර්ධනය වළක්වා දත් දිරා යෑම් අඩු කරන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. දන්තාලේප තෝරා ගැනීමේදී එබැවින් ෆ්ලෝරයිඩ් සහිත වැදගත්ය.

ගොරෝසු බව වැඩිවීමත් සමඟ දතේ එනමලයට හානි පැමිණීමක් සිදුවිය හැකි හෙයින් සුමුදු දන්තාලේපයක් භාවිතා කිරීම වැදගත්. දන්තාලේපයක් නිෂ්පාදනය කර කාලයක් ගතවීමත් සමඟ එහි අඩංගු රසායන ද්‍රව්‍ය ක්ෂය වීමත් සිදුවෙන නිසා දන්තාලේප මිලදී ගැනීමේ දී නිෂ්පාදිත කාලය පිළිබඳව අවබෝධය වැදගත්.

වැඩිහිටියකු නම් දන්තාලේප ගත යුත්තේ කඩල ඇටයක ප්‍රමාණයක් වන අතර දන්තාලේප බුරුසුවට දමා ගැනීමේදී බුරුසුවේ දි ක් අතට නොව හරස් අතට දමා ගැනීමෙන් නිසි පමණට ගැනීම පහසු වේ. කුඩා දරුවෙකුට මුං ඇටයක පමණ ප්‍රමාණයක් වරකට ගැනීම නිර්දේශ කෙරෙන අතර කුඩා ළමයින්ට දන්තාලේප පාවිච්චියට දිය යුත්තේ කෙළගැසීමට හැකිවන වයසේදීයි.

දත් මැදීමට පෙර දත් බුරුසුව තෙමීම බොහෝදෙනෙකුගේ සිරිතක් වූව ද බුරුසුව වියළිව ඇතිවිට දත් මැදීමට ගන්නා දන්තාලේප මුඛයේ වැඩි වේලාවක් රඳවා ගැනීමට හැකියාවක් ලැබේ. මින් දන්තාලේපවල ඇති ෆ්ලෝරයිඩ් වැඩි වේලාවක් මුඛයේ රඳවා ගැනීමට හැකියාව ඇත. මෙලෙස වැඩි වේලාවක් ෆ්ලෝරයිඩ් මුඛයේ තබා ගැනීමෙන් එහි ඇති ෆ්ලෝරයිඩ් අයන දතේ මතුපිට, ශ්ලේෂ්මල පටලය ආදී ස්ථානවල වැඩිපුර වේලාවක් රඳවා ගැනීමෙන් ෆ්ලෝරයිඩ්හි ක්‍රියාකාරීත්වය වැඩි වේලාවක් මුඛයේ පවත්වාගත හැක.

දන්තාලේප යොදා දිනකට දෙවාරයක් දත් මැදීම සාමාන්‍ය නිර්දේශය වන අතර එය උදේ සහ රාත්‍රී (නින්දට පෙර) සිදු කිරීම ඉතා වැදගත්වේ. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්නොවුණු දන්තාලේප වැනි මුඛ සෞඛ්‍යය පිළිබඳව අත්‍යාවශ්‍ය දෑ පිළබඳව අවධානයෙන් සිටීමට අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles