මල්වර මල් සර – 09

අළුයම පිබිදෙන විට මහා සැනසිලි සුවයක් දුල්නෙත් ට දැනෙමින් තිබිණ. එය හරියට අනෝරා වැස්සක් සමග ආ සුළි සුළඟකට පසු පරිසරයේ දැකිය හැකි නිහඬ නිස්කාංසුව වාගේ දෙයකි. කැඩී බිඳී සිඳී වැනසී සේදී යා යුතු සියල්ල එසේ ම සිදු වූවාට පස්සේ ඇති පවිත්‍ර බව එහි විය. සුන් බුන් නිසා සිදු වී ඇති හැඩි වීමක් ද තිබුණේ ය. නමුත් ඒවා අස් පස් කොට ඉවත් කළ හැකි දෑ ය.

මංජරී ගැන දැන් ඉතිරිව ඇත්තේ දැවැන්ත කලකිරීමකි. ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තිය කියා ඔහු වන්දනා කරන්නට ගිය පිළිරුව ඉරිතලා දෙදරා ගොස්, දුල්නෙත් ගේ හද මන්දිරේ එය ගරා වැටී තිබේ. එ් ගැන සන්තාප වැඩිය නො හැකි තරමට කළකිරීමේ මීදුම ඝණ ය.

දුල්නෙත් පෙර දා රාත්‍රියේ මංජරී ට කතා නො කළේ හිතා මතා ම ය. කිසි සේත් නො සිතූ ලෙස අයානා ව සිප වැළඳ ගැනීමෙන් ඉක්බිති හදවතේ ඇති වූ ආනන්දය කුඩු පට්ටම් කර නොගෙන පරිස්සමට තියා ගන්නට ඔහු ට ඕන විණි. ඒ විදිහට අඩඳුරේ නිර්වාණ ද්වාරය තුළදී ම අයානාව සිප ගැනීම තරම් හිතුවක්කාර කමක් දුල්නෙත් මීට පෙර කර නැත. ළමා වියේ පටන් ම ඔහු කීකරු ළමයෙක් වූයේ ය. විශ්ව විද්‍යාලයට පැමිණි පසු වුව ඇති කර ගත් මුල් ම පෙම් සබඳකම මංජරී සමග ය. ඇතැම් අවස්ථාවක ඇය ඔහු ට ද වඩා ඉදිරියෙන් සිටි බව, මංජරී සමග හුදෙකලා වූ වෙලාවක දුල්නෙත් ට දැනී තිබේ. අවස්ථාවක් ලැබුණ ගමන් ඇය ඔහු හා තනි වෙන්නට බැලුවා ය. වෙනත් පිරිමියෙකු වී නම් එවන් අවස්ථා වලින් ප්‍රයෝජන නොගෙන සිටින්නේ නැත. නමුත් කායික සන්තර්පයකට එහා ගිය ආත්මීය වූ බැඳීමක් සොයමින් ය දුල්නෙත් පසු වූයේ. එවන් මොහොතක “මමාස් බෝයි වෙන්න හදන්නෙපා අනේ” යනුවෙන් මංජරී විහිළුවක සරින් චෝදනාවක් ද කළා ය. මංජරී තැත් කළේ සිය ශරීරය ඔහු වෙත පැවරීමේ උපක්‍රමය මත හෝ ඔහු ව ඈ වෙත රඳවා තබා ගන්නට යයි දුල්නෙත් සිහිනයෙනුදු සිතුවේ නැත. 

 මංජරී සිටියේ ද දෙගිඩියාවෙනි. දුල්නෙත් පිට්ටනියේ ක්‍රිකට් ගසමින් සිටියදී වෙනදා වාගේ බල කොට ඔහු ඇද ගෙන යන්නේ නැතිව ඇය තනිව දෙල්කඳ නවාතැනට ගියේ මිතුරෙකු අත දුල්නෙත් ට පණිවිඩය යවා ය. දුල්නෙත් ගෙන් පුරුදු ඇමතුම නැත්තේ ඔහු ට සියල්ල ආරංචි වී ඇතැයි ඇය අනුමාන කළා ය.

“මට කරන්න දෙයක් නෑ. එයා මං කිව්ව දේ ඇහුවනං මෙහෙම දෙයක් වෙන්නෙ නෑනෙ”

තමන් නිවැරදිය කියා ඒත්තු ගන්වනු වස් ඇය තමන්ට ම එසේ කීවා ය. නමුත් වරදකාර හැඟීමක් ඒ යටින් හිස ඔසවන්නට නො බැලුවා නොවේ. එතැනදී ඉස්මතු වූයේ සිය ග්‍රාම්‍යත්වය යයි සිතන්නට ඇය බිය වූවා ය. ඒ සිතිවිල්ල, දිය යට ඔබනා රබර් බෝලයක් සේ සිත යට එබුවා ය. ඇය ඒ විදිහට කලහ කරත්දීත් අයානා හැසිරුණ සන්සුන් ආකාරය, මංජරී තුළ ඊර්ෂ්‍යා සහගත බවක් දනවයි. අයානා වාගේ ස්ත්‍රී පෞරුෂයක් සිත් බැඳ ගන්නා සුළු ය. නෙත් ඇද ගන්නා සුළු ය. මේ තරම් විශ්ව විද්‍යාල සිසුන් සිටියදී ඇය දුල්නෙත් ව ම නතු කර ගන්නට හදන්නේ ඇයි දැයි සිතමින් මංජරී හිත උමතු කර ගත්තා ය.

විජේරාමෙන් බසයෙන් බැහැ ගන්නට සැරසෙත්දී දුල්නෙත් ගේ හද ගැස්ම හොඳට ම වැඩි වී තිබිණ. අයානා ගේ මූණ බලන්නේ කෙසේ දැයි ඔහු  සිතා ගත නො හැකි ව සිටියේ ය. නිර්වාණය ඉදිරියේ දී ඉවත බලා ගෙන යන්නට තරම් ආත්මාර්ථකාමී මිනිසෙකු විය නො හැකි ය. නමුත් එතැනදී ගමන් වේගය අඩු කොට ඇගේ හිතත් එක්ක සෙල්ලම් කළ හැකි ද කියාත් ඔහු සිතුවේ ය. ඒ සියල්ලට විසඳුමක් ලෙස ත්‍රීරෝද රියකට ගොඩ වී ඔය අල්ප දුරින් බහින්නට සිතා ඔහු ඊට නැගෙන්නටත් ගියේ ය.

“පොඩි වැඩක් මතක් වුණා අයියෙ සොරි”

යනුවෙන් ත්‍රීරෝද රථ රියැදුරා ගේ පිටට තට්ටුවක් දැමූ හෙතෙම ආත්ම ධෛර්යයෙන් පපුව පුම්බා ගෙන කෙළින් ම නිර්වාණය දොරකඩට ම ආවේ ය.

ඊට මඳ වෙලාවකට කලින් අයානා පාර අයිනේ නැවී හිඳ ගෙන ට්‍රයිඩැක්ස් මල් මිටියක් කැඩුවා ය. පාර අයිනේත් කාණු පල්ලේත් පිපුණා ට ට්‍රයිඩැක්ස් මල් වලට කැලෑ මල් කියන්නට තරම් ඒවායේ වන කැලෑ ගතිය කුමක් දැයි අයානා ට වැටහෙන්නේ නැත. ඉස්සර බාලිකාවේදීත් ඇය උදේට පිට්ටනිය වටේ ගොස් ට්‍රයිඩැක්ස් මල් මිටියක් කැඩුවා ය. ගුරු මේසය මත මල් බඳුණේ සිනහ වුණ ඒ මල් මිටිය, දවල් වන තුරු ම ඇගේ හිත ප්‍රබෝධයෙන් තබන්නට සමත් විය.

දුල්නෙත් නිර්වාණයට ආවේ අයානා මල් මිටිය ගෙන වීදුරු දොරෙන් ඇතුළට ආ ගමන් ය. ඇය දිග සායක් ද කෙටි බ්ලවුසයක් ද හැඳ ලේයර් කැපූ වරල ඉහිරුවාගෙන සිටි අතර දුල්නෙත් ට ඇය පෙනුණේ ඉස්සර කියවූ රුසියානු කතාවක උන් සුරංගනාවක සේ ය. අයානා ගේ දෙතොල් අතරේ යම් අවකාශයක් ඇති කරමින් ඒවා විවර වුණත්, සිනහවක් නගා ගන්නට ඇය උත්සුක වූයේ නැත. අයානා දුල්නෙත් ගේ මුහුණ දෙස බැලුවා ය. ඒ නෙත් සර පහර විඳ ගන්නට යම් අපහසුවක් දැනුණෙන් දෝ ඇය අත වූ මල් මිටිය දෙස බැලුවා ය. පෙර දා අඳුරේ මේ නන්නාඳුනන තරුණයා ගේ පපුවට තුරුලු වී උන් සුවදායක නිමේශය සිහි වී ඇගේ හිත හිරියකින් වෙව්ලා ගියේ ය.

“එයාට බණින්නෙපා”

ඇය කොඳුරා කියා ගත්තා ය. 

දුල්නෙත් සිටියේ යෞවනය උතුරනා දෑසකින් ඇදෙස බලා ගෙන ය. අයානා ගේ වෙව්ළුම් ස්වරය අස ඔහු ගේ දෙතොල් සිනහවකට අර අඳිමින් තිබිණි. මේ උදයේ ම ඔහු දෑසින් ඇය සිප ගත්තේ ය.

“ඔයා දැං යන්න. එයා දැක්කොත් හරි නෑනෙ. ප්‍රශ්න ඇති කර ගන්නෙපා”

පෙර දා රාත්‍රියේ සේ ම තදින් ඇය වැළඳ ගැනීමේ නො සන්සිඳෙන ආශාවක් දුල්නෙත් ට හදිසියේ ම දැනිණ. නමුත් ඔහු එහෙම නො කොට වීදුරු දොර වෙත ගොස් එය හැරියේ ය. තිරුවාන කැට ඇතුරූ මිදුලට බහින්නට පෙර ආයෙත් හැරී අයානා දෙස බැලුවේ ය. 

“අනේ ඉන්න දුල්නෙත්” කියා සිය හදවත කෑ ගසනු, අයානා නෑසුණා සේ හිටියා ය.

සුමංගල මන්දිරය ඉදිරියේ නො සන්සුන් ලෙස දුල්නෙත් සක්මන් කරමින් සිටියේ ය. ඒ මංජරී එන තුරු ය. අද මේ සියල්ල එකලාසයක් කර ගත යුතු යයි ඔහු තදින් සිතා සිටියේ ය.

“එයාට බණින්නෙපා”

අයානා ගේ මිමිණුම් හඬ ඔහු වට කොට ගෙන තිබිණ. නමුත් මංජරී ගැන තීරණයකට එන්නට මීට වඩා අවස්ථාවක් යළි පැමිණිය නො හැකි බව දුල්නෙත් දැන සිටියේ ය.

දුර තියා ම දුල්නෙත් දුටු මංජරී ගේ හිතේ ගැස්මක් ඇති නොවුණා ම නොවේ. නමුත් දෙගිඩියාවක් නොපෙන්වා ඔහු ට මූණ දෙන්නට ඇය හිතා ගත්තේ නවාතැනෙන් පිට වෙත්දීම ය.

“මොකද්ද ඔයා ඊයෙ නිර්වාණෙට ගිහිං අර කරල තියෙන්නෙ…”

පමා නොවී දුල්නෙත් මාතෘකාවවට පිවිසියේ මල් වැටිය අතරින් කැන්ටිම දෙසට පිය නගත්දී ය. මංජරී සමච්චල් සිනහවක් නගා ගත්තා ය.

“උදේම අර බඩ්ඩ කේළම කනේ තියල නේ…”

“උදේ නෙවෙයි මං දැනගත්තෙ ඊයෙ හවස. කනේ තිබ්බෙ අපේ ෆැකල්ටි එකේම එකෙක්. අනිත් එක ඒක දැං මුළු කැම්පස් එකම දන්නව”

‘එයාට බණින්නෙපා’ යන වචන දෙක ඇතුලාන්තයේ නින්නාද වෙමින් තිබි නිසා හැකි තාක් කේන්තිය පාලනය කර ගන්නට දුල්නෙත් උත්සාහ කළේ ය.

“ඔයා මං කියන දේ ඇහුවනං එහෙම වෙන්නෑනෙ”

දුල්නෙත් ගේ සීමාව ඉක්ම ගියේ මංජරී ගේ ඒ හිතුවක්කාර ප්‍රකාශයත් එක්ක ය. 

“මොකද්ද කියන දේ…”

ඔහු ගේ ඇස් වල වෙන කිසි දාක නොවූ ගින්දරක් ඇති බව මංජරී වහා හැඳින්නා ය. 

“මීට කලින් කවදාවත් ඔයා මට ඔය විදිහට කෑ ගහල නෑ දුල්නෙත්”

ආරක්ෂක උපක්‍රමය වශයෙන් මංජරී වහා ඇස් වලට කඳුළු පුරවා ගත්තා ය. දුල්නෙත් මෙල්ල කළ හැකි බලවත් ම අවිය කඳුළු බව ඇය ටික කලෙක සිට අවබෝධ කර ගෙන සිටියා ය. මොහොතකින් මංජරී ගේ කොපුල් දිග කඳුළු රූරා හැලෙමින් තිබිණ.

“මංජරී මේ…මං ඔයත් එක්ක බොහොම ඉවසීමෙන් කතා කරන්නෙ මේ. වෙන කොල්ලෙක්නං එක්කො ඔයාගෙ කන පුරෝල පාරක් දීල මේ සම්බන්දෙ නතර කරල දානව. එහෙම නැත්තං ආයෙ ඔයා ඉන්න පැත්ත පලාතක් බලන්නැතුව හතර මායිමකවත් ඉන්නැතුව දුවනව”

“ඉතිං දුල්නෙත්…මං ඔයාට මෙච්චර ආදරේ කරද්දි ඔයා යන්න ඕන්නෑනෙ මං නැති අතරෙ නිර්වාණෙට”

“ඉතිං ඒකට අර කෙල්ලට ගහල හරියනවද…ආ…ඔයාගෙ මේ හැසිරීම් මාව එතනට තල්ලු කරනව මංජරී..”

“ඇයි මාව තේරුං ගන්නැත්තෙ…මාත් කෙල්ලෙක්නෙ…”

“ඔයා ආදරේ කියන්නෙ මොකද්ද කියල කවදාවත් දැනගෙන ඉඳල නෑ මංජරී”

දුල්නෙත් දිගු සුසුමක් හෙළුවේ ය. මහත් පශ්චත්තාපයක් ඔහු වෙලාගෙන තිබේ. 

“මේකෙන් අපි දෙන්නටම වෙන හොඳක් ඇති කියල මං හිතන්නෑ. අපි මේ සම්බන්දෙ නවත්තමු”

මංජරී ට දැනුණේ ඇය ඉලක්ක කොට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූවා සේ ය. අභ්‍යන්තයෙන් ඇය දුහුවිලි අංශු වන තරමට කැඩී බිඳී විසුණු ව ගියේ ය. මඳ වෙලාවක් ගෙවී යන තෙක් ඇය දුල්නෙත් නෙත බොඳ කඳුළු දෑසින් බලා සිටියා ය. ඔහු ගේ රුව කඳුළු වලට බොඳ වී නො පෙනී ගියේ ය. 

මංජරී මිල දී ගත් කෙටි කෑම මේසය මත තිබියදී ම දුල්නෙත් කැන්ටිමෙන් නික්ම ගියේ ය.

ඒ කම්පනය ගැන මංජරී ට සිතා ගත නො හැකි ය. දුල්නෙත් නැති ජීවිතයක් ගැන සිතනවාට වඩා මරණය ගැන සිතනා එක ඇයට පහසු ය. විශ්ව විද්‍යාලයේ දී ඔහු නෙත ගැටීමෙන් පස්සේ ඇය සිය අනාගතය ගැන සිතුවේ ම ඔහු ද ඈඳා ගෙන ය. ඒ සියල්ල රාත්‍රියේ දුටු සිහිනයක් සේ බොඳ වී යත්දී, යළි සුන් බුන් මතින් නැගිට ගන්නේ කෙසේ දැයි මංජරී දැන සිටියේ නැත. 

“මොකද ළමයො අඬන්නෙ මේ උදේ පාන්දරම…”

කියමින්, අලුතෙන් සමාජ විද්‍යා අංශයට පැමිණෙන්නට වූ ආරාධිත දේශකවරයා ඈ ළඟ පුටුව ඇද හිඳ ගන්නා තුරු ම මංජරී කඳුළු සයුරක කිමිදී සිටියා ය.

සයුරංග ඒකනායක!

මංජරී කම්මුල් වල කඳුළු පිස දමමින් සිනහ වූවා ය. 

ඒ සම්බන්දය නවත්වමු කියා කියන්නට දුල්නෙත් එකතු කර ගත් ශක්තිය ගැන ඔහු ට ම සිතා ගත නො හැකි ය. කාලයක් තිස්සේ කිව යුතු ව තිබූ දෙයක් වී ද ඒ පවසා ගන්නට තරම් දිරිය වඩා ගන්නට ඔහු සමත් වූයේ නැත. මේ මොහොතේත් ඔහු ට පපුවේ පිච්චීමක් දැනේ. මංජරී ගැන සන්තාප වේදනාවක් දැනේ. තමන් ගැන ද හිතා ගන්නට බැරි කලකිරීමක් දැනේ. මංජරී කෙතරම් නො ගැලපෙන්නේ කියා දැනුණේ වී ද ඇයට එහෙම කියන්නට වුණු එක ඔහු ට රිදුමකි. කිසි දාක එසේ කියන්නට බලා ගෙන ඔහු ඒ සම්බන්ධය ඇරඹුවා  නොවේ. දුල්නෙත් මංජරී ව තෝරා ගනිත්දීත් අයානා සිය ටීක් බෝල ඇස් වලින් බලමින් ඔහු ගේ හදවතේ පැටළුණා  ය. ඔවුන් දෙදෙනා ව තරාදියක දෙපැත්තට දමා කිරා මැන බැලීමක් ඒ දින වල ඔහු කිහිප විට කළේ ය. බර වැඩි වූයේ මංජරී ගේ පැත්ත ය. අයානා වෙත ඒ කාලයේත් ව්‍යවහාරික විද්‍යා පීඨයේ කොල්ලන් ගේ ඇස් යොමු ව තිබිණි ද, ඇය ගැන ඔවුන් කී එක එක කතා නිසා දුල්නෙත් පසුබෑවේ ය. විවාහයක් දක්වා ගෙන යන සබඳකමක් නම් අයානාට වඩා ගැලපෙන තැනැත්තිය මංජරී යයි ඔහු තීරණය කළේ ය. 

වරද කාගේ වුණත් කලක් පැවති සම්බන්ධයකින් වෙන් වීම පහසු නැත. ඒ වෙන් කිරීම වේදනා දනවන්නකි. නොසන්සුන් කම දනවන්නකි. 

පණ නැතිව ගිහින් වාගේ දුල්නෙත් දෙදිනක් ම දේශන වලට නො ගොස් ගෙදරට වී යහනට වැටී සිටියේ ය.

“මට තව එක අවස්ථාවක් දෙන්න දුල්නෙත්. මං ඔයා කැමති විදිහට හැදෙන්නං”

මංජරී කෙටි පණිවිඩයක් එවා තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles