නීරෝගී දිවියකට මග සලසන මෙනේරි

මෙනේරි යන නම ඇසුණු විට බොහෝ දෙනාට මතක් වනුයේ කුරුළු කෑමක් ලෙසයි. නමුත් එය කුරුල්ලන් සඳහා  වන ආහාරයක් පමණක් නොවේ. ලෝකයේ සෞඛ්‍ය සම්පන්නතම ආහාරයක් ලෙස සැලකෙන මෙනේරි (Millet) ඖෂධීය ශක්තිය මෙන්ම පෝෂණීය ගුණය ඉහළතම ආහාරයකි.

මෙහි ඇති අධික ප්‍රෝටීන් ප්‍රමාණයට ශරීරයට ඉතා ගුණවත් අතර මෙහි බනිජ ලවණ ද අඩංගු නිසා මෙනේරි අංග සම්පූණ පෝෂ්‍යදායී ආහාරයක්‌ ලෙස හැඳින්විය හැකිය. එය ආහාර දිරවීම වැඩි දියුණු කිරීම, හෘද රෝග හා දියවැඩියාව වළකා, පිළිකා අවධානම අඩු කරන අතර ශරීරයේ විෂ හරණය කිරීමට උපකාරීවේ.

වියළි කලාපයට ඔරොත්තු දෙන බෝගයක් වන මෙනේරි කෙටි කාලයකින් අස්‌වනු ලබාගත හැකි ධාන්‍ය වර්ගයකි. කුඩා මෙනේරි සහ මහ මෙනේරි වශයෙන් මෙනේරි වර්ග දෙකකි. මෙනේරි බීජයේ පොත්ත ඝනකමින් වැඩි අතර එය බීජ ගබඩා කර තැබීමේ දී කෘමීන් ගෙන් වන හානි අවම කර ගැනීමට හේතු වේ. එම පිට පොත්ත ඉවත් කර මෙනේරි  සකස්‌ කරගත යුතු ය. මෙය තරමක් දුෂ්කර කාර්යයක් වීම මෙනේරි භාවිතයට උනන්දුව අඩු වීමට හේතුවක්‌ වේ. ධාන්‍ය අතරින් සුවිශේෂී තැනක් හිමි මෙනේරි ධාන්‍ය රසයෙන් ඉහළ අතර ඉතා ගුණදායක ය.

මෙනේරි ඇට පිටි කර කැඳ පිළියෙල කර ගැනීමෙන් සම්පූර්ණ ආහාරයක්‌ ලෙස ප්‍රයෝජනයට ගත හැකි අතර මෙනේරි කැඳ ඉතා ගුණදායකය. උදේ ආහාරයට සුදුසු මෙනේරි කැඳ කිතුල් හකුරු සමඟ ආහාරයට ගත හැක. සුදු පැහැති මේනේරි සහල් පිසීමෙන්  දී ප්‍රමාණයෙන් වැඩි වන අතර මෙනේරි බත් සහ කට්ට සම්බෝල රසවත් උදෑසන ආහාරයක් මෙන්ම රාත්‍රී ආහාරයකි. මෙනේරි සහල් ග්‍රෑම් 250ක්‌ හතර දෙනකු ගෙන් යුත් පවුලක් උදෑසන ආහාරය සඳහා ප්‍රමාණවත්වේ.

ලෙඩ රෝග වැඩි වෙමින් පවතින මේ කාලයේ දේශීය ස්‍යෙඛ්‍ය සම්පන්න ආහාර රටාවක් වර්ධනය කර ගැනීම වැදගත් වන අතර මෙනේරි වැනි පෝෂ්‍යදායී ධාන්‍ය පිළිබඳව දැනුවත්වීම අවශ්‍යවේ. මෙනේරි සෘජුවම ආහාරයට ගැනීමට අපහසු නම් මෙනේරි පිටි කර තිරිඟු පිටි හා මිශ්‍ර කර රසවත් මෙන් ගුණයෙන් පොහොසත් ආහාර සකසා ගත හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles