සතුටු මන්තර 21

ගඟක් නම් ගලා යා යුතු වේ. ජීවිතය ද එහෙම ය. එක තැනක නතර කොට ගන්නට අපට උවමනා වී ද එය සිදු වන්නේ නැත. 

සයුරංගනා පසෙකට වී බලා සිටියා ය. යශෝදර කෑම ඇනවුම් කළේ ගෙවල් දෙකේ ම අයට ය. ඔහු වරින් වර සයුරංගනා ගෙන් කෑම ගැන ඇගේ අදහස් විමසුවේ ය. 

“ඔයා කැමති දෙයක් යශෝදර. හැබැයි පාරි දැනගත්තොත් ඉන්න හම්බෙන්නෑ. එයා නැති දවසෙම ඔයා ලන්ච් ගෙනත් කියල රණ්ඩු වෙයි”

“මං එයාට කෝල් එකක් දුන්න”

යශෝදර මන බඳනා සිනහවකින් කීවේ ය.

“පුළුවං වුණොත් එයා ඉන්න ක්ලිප්ස් ටික මුලින් රෙකෝඩ් කරෝගෙන ඉක්මනට එන්න බලනව කිව්ව”

“එහෙමනං හොඳයි”

 ජින්ජර් බියර බෝතල් දෙකක් ද ගෙන යශෝදර මෝටර් රථයට ගොඩ වෙත්දී සයුරංගනා අත් ඔරලෝසුවේ වෙලාව බැලුවා ය. 

“තාමනං නර්සරි එක ඇරල නෑ. අපිට දුවවත් අරං යන්න පුළුවන්නං…”

“ඉතිං අරං යං. පව්නෙ කෙල්ල වෑන් එකේ තව පැය එකහමාරක් විතර රවුං ගහන්නෙ”

උදේ වාගේ නොව යශෝදර වෙතින් සතුටක් විහිදුණේ ය. රෑ බදුල්ලෙකුගෙන් එළිය විහිදෙනවා වාගේ ඒ සතුට ද කිරණක් ව විහිදෙයි. අප සතුටෙන් ඉන්නා විට සතුටු කිරණ වල ඝණත්වය වැඩි වෙයි. එවිට අභ්‍යන්තරයෙන් ම ඇති වන ප්‍රභාවක් අප වටා රැස් දහරක් තනයි. අධ්‍යාත්මික වශයෙන් දියුණු වූ ආගමික ශාස්තෘවරුන්ගේ මෙන් ඒ රැස් වළල්ල සාමාන්‍ය මිනිසුන් වෙතින් දැකිය නො හැකි වී ද යම් කිසි ප්‍රභාවක් හැඳිනිය හැකි වන්නේ ය. 

ඔවුන් පෙර පාසල අසලට යන විට එසඳි වෑන් රියට ගොඩ වෙමින් සිටියා ය. අම්මා ව දුටු ඕ සතුටෙන් සිනහ වී ගෙන ඇගේ අතට පැන්නා ය. හිතකට සතුටක් ඇති කළ හැකි පුංචි පුංචි දේවල් හැම තැනක ම විසිරී පැතිරී පවතියි. ඒවා සොයා එකතුකර ගන්නාට දවස සතුටෙන් ගත කළ හැකි වේ. 

එසඳි වඩාත් සතුටු වූයේ යශෝදර රියෙහි සිටිනු දුටු විට ය. 

“මං එකපාරටම දැක්කෙ අපාචි ඇවිත් වගේ”

ඇය සිනහ කටකින් කීවා ය. සයුරංගනා ගේ උකුල මත හිඳගත් දැරිය වෙත පහත් වී යශෝදර ඇගේ හිස සිප ගත්තේ ය.

“ඒ වුණාට මං තරහයි. ඔය දෙන්න මාව දාල ගමනක් ගිහිං”

“අම්මිගෙ වැඩකට ගියා පුතේ. ඉතිං ඒකනෙ ඔයාව ගන්න අපි මෙතනට ආවෙ”

එසඳි වඩාත් ප්‍රබෝධයෙන් පෙර පාසලේ දවසේ විස්තර කියවමින් සිටියා ය. ඒ අතරේ හදිසියේ ම,

“මොනාහරි කෑවනං හොඳයි වගේ”

කියා කීවා ය. ඇය ඒ කී තාලයට යශෝදර ට සිනහ නැඟිණ. එසඳි ලැජ්ජා සිතී අම්මා ගේ ගෙල බදා ගෙන එහි සැඟවුණා ය.

“මොනාද ඉතිං කන්න ඕනෙ…ම්…”

“කඩචෝරු කාල බඩ පුරෝගන්න එපා ඉතිං…යශෝදර අංකල් ලන්ච් ගත්තනෙ. ගෙදර ගිහිං කමු. අනංමනං කාල බත් කන්න බැරි වෙයි”

“එහෙනං චොක්ලට් ඩ්‍රිංක් එකක් බිව්වවං හොඳයි වගේ. මෙතනිං යද්දි අපාචිනං මට චොක්ලට් ඩ්‍රිංක් එකක් අරං දෙනවමයි”

සයුරංගනා ගේ හිතේ සීරීමක් වන් රිදුමක් ඇති විය. දැරිය ගේ හිතේ තවමත් ගිම්හාන් ගේ ආදරය සරැලි නගයි. ඇගේ පුංචි හිතේ පිරී ඇති රස මතක සියල්ල ම ඔහු හා බැඳුණු ඒවා ය. අම්මා වශයෙන් කවදාවත්, මොනවා කළත්, ඇගේ හිතේ අප්පච්චී උන් තැනට අත තැබිය නො හැකි ය. සයුරංගනා ද නො දැනී ඇයට ලොකු සුසුමක් ගිලිහී තිබිණ. 

චොක්ලට් අවුට්ලට් එකෙන් යශෝදර චොක්ලට් බීම තුනක් මිල දී ගත්තේ ය. එසඳි වඩා ගෙන ඇයට ඕනේ කියූ හෑන්ඩ් මේඩ් චොක්ලට් මල්ලක් ම ගෙන දුන්නේ ය.

“තාත්තිට හොඳ දඩයක් දැම්ම නේ…”

චොක්ලට් හලේ තරුණියක එසඳි ට විහිළු කළා ය.

“අපාචි”

කියමින් ඈ ඔහු ගේ ගෙල බදා ගත්තේ සයුරංගනා ට එදා පන්සලේ සිදුවීම යළි සිහි කරවමිනි.

“අප්පෝ…අප්පච්චිද ඔයාගෙ…ඔයාගෙ නෙවේ අනේ..මගෙ අප්පච්චි”

“නෑ මගේ….”

එසඳි තව තවත් යශෝදර ව බදා වැළඳ ගත්තා ය. 

“කඩවල් වල ඉන්න ගෑනු ළමයින්ටත් පිස්සු. කවුරු හරි ළමයෙක් වඩං හිටිය කියල ඒ ළමයගෙ තාත්තම වෙන්න ඕනයැ”

රිය වෙත එන ගමන් සයුරංගනා නො රිස්සුමෙන් කියවූවා ය. ඇදෙස අඩැසින් බැලූ යශෝදර එසඳි දෙස බලා තොල පිට පෙරලුවේ ය. ඇය ද එසේ ම කරමින් සිනහ වූවා ය.

ඔවුන් ගෙදර යන විට ජයරත්න රයිස් කුකරයට බතක් ඉදෙන්නට තබා තිබුණේ ය. ඒ දුටු සයුරංගනා ගේ හදවත හෝස් ගා දැවිණ.

“අනේ…අප්පච්චි ඇයි ඉව්වෙ…මං ඇවිත් කරගන්නවනෙ…”

ඔහු අහිංසක සිනහවක් පෑවේ ය.

“මං හිතුවෙ දුව එන්න තව පරක්කු වෙයි කියලයි. මේ පොඩි කෙල්ලව බඩගින්නෙ තියන්න බැරි නිසා මං ඔය හාල් ටිකක් තිබ්බ. ඉස්සරහ ගෙදර මල්කාන්ති නංගි ඇවිත් කිව්ව එහෙනං එයා මාළු පිණි දෙන්නං කියල”

“යශෝදර අපි ඔක්කෝටම කෑම එළියෙන් ගත්ත අප්පච්චි”

යශෝදර ගෙදර ගිහින් අම්මා ව ද තේමිය ව ද සයුරංගනා ගේ ගෙදරට කැටිව ආවේ ය. 

“මං එනකල් කන්නෙ එහෙම නෑ. තමුසෙලව ඉතුරු කරන්නෑ මං නැතුව කෑවොත් එහෙම”

දුරකතන ඇමතුමක් දී පාරමී තර්ජනය කළා ය. ගුවන් විදුලි නාට්‍යයේ ඇය ඉන්නා කොටස් ටික මුලින් ම හඬ ගත කරනා ලෙස ඇය ඉල්ලීමක් කළෙන් දවල් වන විට ඇයට නිදහස් විය හැකි විය. බස් එක ප්‍රමාද විය හැකි නිසා ඕ පන්නිපිටියේ සිට ම කැබ් රියක එමින් සිටියා ය.

පාරමී එන තුරු බොන්නට සයුරංගනා ඉඟුරු දමා තේ හැදුවා ය. එය සතුටු දවසකි. හදිසියේ ම සයුරංගනා ට උදා වූ අවස්ථාව ගැන කවුරුත් කතා කළහ. පාරමී එන්නටත් පෙර තුලන ටීවී වෙතින් දුරකතන ඇමතුමක් ආවේ ය. සයුරංගනා ව උදෑසන වැඩසටහන සඳහා තෝරා ගෙන ඇති බව දැනුම් දිනි. එය පූර්ණ කාලීන හෝ ස්ථිර රැකියාවක් නොවේ. නිදහස් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ය. සයුරංගනා ට ගෙවීම් කරන්නේ ඉදිරිපත් කරනා වැඩසටහන් ගණනට ය. සතියේ දින පහ තුළ උදේ පැය දෙකක් වැඩසටහන විකාශය වේ. ඇරඹුමේ දී ඇයත් සමග පළපුරුදු ඉදිරිපත් කරන්නියක වැඩසටහන කරගෙන යනු ඇත. ඒ සයුරංගනා පුහුණුව ලබනා තෙක් ය. පසුව ඇය ට තනිව එය මෙහෙවන්නට සිදු වේ. ඒ සඳහා ගෙවනා මුදල ඇයට හොඳට ම ප්‍රමාණවත් යයි සයුරංගනා සිතුවා ය. උදා වන සඳුදා සිට ඒ සඳහා පැමිණිය යුතු බව දැනුම් දිණි. 

“ගෑනුංගෙ වාසනාව කුණු මුල්ලෙය කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ ළමයිනේ”

ජයරත්න උදම් ඇනුවේ ය. පාරමී ආවේ නිරංග වෙතින් ආරංචිය ලබාගෙන ම නිසා ඕ සතුටෙන් කුල්මත් ව සයුරංගනා වැළඳ ගෙන ඇය එසවූවා ය.

“වැටෙයි…මාව බිමින් තියනව පාරි…”

සයුරංගනා සිනහ වෙමින් ම කෑ ගැසුවා ය.  ඒ සතුට බෙහෙවින් නිර්ව්‍යාජ ය. ඒ සහෝදරත්වය ඇස් වලට කඳුළු එක් කරනා තරම් ය.

තේමිය කෙසෙල් කොළයක් කපා ගෙන ආවේ ය. පාරමී ආලින්දය මැද පත්තර  පිටු එලා ඒ මත කෙසෙල් කොළය දමා, පෙට්ටි වල තිබූ සී ෆුඩ් රයිස් එහි හැලුවා ය. ව්‍යාංජන තැන් තැන් වලින් දැමුවා ය. බිත්තර තම්බා ලස්සනට සැරසිලි කළා ය.

“මේ වගේ සතුටක් සෙලිබ්‍රේට් කරන්න ඕන මෙහෙම කාලයි”

සැබවින් එය කදිම භෝජන සංග්‍රහයකි. එක ම පතකට වට වී කවුරුත් කෑම කන සම්ප්‍රදායන් ගැන කලින් තිබූ නොපහන් හැඟීම අතුරුදන් වනු සයුරංගනා ට ද දැනිණ. හැම කෙනෙකු ගේ ම හදවත් ස්ඵන්දනය වූයේ එක ම සංඛ්‍යාතයකින් විය යුතු ය. ඒ හදවත් අතරේ සංසරණය වූයේ එක ම ප්‍රීතියකි. එහි ඊර්ෂ්‍යාවක් කියා බිඳකුදු නොවිණ. අනෙකා වෙනුවෙන් සතුටු විය හැකි හදවත් එකතු වූ විට ඉතිරී පැතිරී යන සතුටු කැබලිති හැම තැනක ම ඉසිරි විසිරී තිබිණි.

“පාරි නිසා තමයි මේ හැම දේම…පාරි මට යූ ටියුබ් චැනල් එකක් බලෙංම හදපු නිසයි එහෙම අවස්ථාවක් හම්බුණේ”

සයුරංගනා හදවතින් ම ඇයට ඒ ගෞරවය පුද දුන්නා ය.

“යකූ ඒක මාර අසාධාරණ කතාවක්නෙ. චැනල් එක හැදුවෙ මං. තම්බ්නේල් හැදුවෙ මං. එඩිට් කළේ මං….”

” චැනල් එකට නම යෝජනා කළේ මං…”

“ඒක තමයි. හැබැයි අන්තිමට ක්‍රෙඩිට් එක පාරිට විතරයි”

තේමිය හා යශෝදර නෝක්කාඩු කීවේ ද ආදරයට ය.

“නෑ නෑ ඉතිං…ඕගොල්ලො තුන් දෙනාම නිසා තමයි. ඔය තුන් දෙනා වගේම ගිම්හාන් මට මේ වගේ අප්පචිචි කෙනෙක් දීල ගිය නිසා. අප්පච්චි මාව තේරුං ගත්තෙ නැත්තං…විශ්වාස කළෙ නැත්තං..මට කවදාවත් මේක කරන්න ඉඩක් හම්බෙන්නෙ නෑ”

සයුරංගනා ගේ හඬ බිඳී ගියේ ය. උගුර හිර වූවා සේ ඇයට දැනිණ. ගවුම් උරහිසින් ඕ නෙතු කඳුළක තෙත මාත්තු කළා ය. ජයරත්න සිනහවකින් ලේලිය ගේ හිස මත වමත තැබුවේ ය.

“නාඬා බත් ටික කන්න දුව. කාටවත් වැරදි කරල නැති මිනිස්සුන්ට කවදාවත් වරදින්න විදිහක් නෑ. ම්..අපි ඒ විස්සාසෙන් අපේ වැඩ කරගෙන යං”

“හැබැයි තිලකා අක්කනං මේ ගැන මොනා කියයිද දන්නෑ”

“එයා මොනා කියන්නද…මේ ළමය රස්සාවක් කරනවද ඒක මොන විදිහෙ රස්සාවක්ද කියල තීරණේ කරන්න එයාට බෑනෙ නංගියෙ”

“අපි ඔය අසුබ දේවල් අමතක කරමුකො. මෙච්චර වුණා වගේ ඉතුරු ඒවත් හොඳට වෙයි කියල හිතමු”

පාරමී බත් කටක් අතට ගෙන යශෝදර වෙත යොමු වූවා ය. ඔහු බලාපොරොත්තු නොවූ මොහොතක එය ඔහු ගේ මුවෙහි එබුවා ය.

“කනව කනව. හොඳට කනව. බලනව ඇඟේ හැටි”

“මේකිට පිස්සු”

බත් පිඬ මුවෙහි තබා ගෙන ම යශෝදර ඒ කී විදිහට එසඳි කිකිණි හඬින් සිනහ වූවා ය.

“මාත් කවන්නං අපාචිට”

“අනේ පුතේ යශෝදර අංකල්”

සයුරංගනා ඒ වෙලාවේ ඒ වරද නිවැරදි කරන්නට තැත් කළේ යශෝදර ගේ මව සිටි හින්දා ය. පාරමී යෙහෙළිය දෙස හොඳින් බැලුවා ය.

“ඉතිං මොකද…පොඩි එකාට තව හර්ට් කරන්නැතුව ඉන්නවද…එයා එයාගෙ ලෝකෙ එයාට ඕන විදිහට ආදේශක හදාගනී”

එය තරමක තරවටුවක් සේ ය. සයුරංගනා අසරණ දෑසකින් හිස නගා බැලුවා ය. යශෝදර ගේ ඇස්, ඇයට ආසන්නයෙන් ම හමු විය. ඔවුන් දෙදෙනා ම හිටියේ අවිනිශ්චිත තැනෙක ය.

💜️ඔබ තියා යන ආදරය හදවතින් ම වැළඳගනිමි.

💜️මගේ අලුත් කතාව, කුසුම් නිම්නය කියවන්නට Shinie’s Writings  යූ ටියුබ් නාලිකාවට එන ලෙස ඇරයුම් කරමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles