පමා වී පිපුණු මල් 4

සිනා කතා රැසකුත් වෙහෙස මහන්සියෙන් ගෙවූ වරු රැසකටත් පස්සේ එළඹුනේ අරුණලීත් මෙනුකත් බොහෝ බලාපොරොත්තු තබාගෙන උන් ඒ ආදරණීය දවසයි.

සුන්දර මැයි මාසයේ මැද දවසක මධ්‍යම රාත්‍රියේ දොලහට පමණ අරුණලී තමන්ගේ දෙමව්පියන්ගේ නිවසින් නික්මුනේ පතිනියක් ලෙස සැරසෙනු පිණිස රූපලාවන්‍යාගාරයටය. සිතූ අන්දමටම ඉල්ලූ පරිද්දෙන්ම ඉතාම චාම් ඩල් ගෝල්ඩ් පැහැති සාරියකින් සැරසී හුන් අරුණලී අත තිබුනේ මෙනුක විසින් ලියා එවන ලද ලා රත් පැහැති කොලයකසටහන්ව තිබූ ආදර හසුනකි.

ප්‍රවීණ ජායාරූප ශිල්පී විදුරංග ජයවික්‍රමගේ කැමරා කාචය අරුණලී විටෙක සිනහවෙනුත් විටෙක සන්තුශ්ටියේ කඳුලෙනුත් ඒ හසුන කියවන ආකාරය වෙත එල්ල වි තිබුණි. බොහෝ නලු නිලියන්ද ගායක ගායිකාවන්ද දැන් මෙසේ එකිනෙකා කෙරේ හුවමාරු කරගත් ආදර හසුන් තම.මංගල දිනයේදී කියවන බව අරුණලී දැක්කේ දිනක්ශි සාරංග විවාහ මංගල උත්සවයේ වීඩියෝ පටය නරඹද්දීය. ඒ දුටු මොහොතේ සිට තම විවාහ මංගල වීඩියෝ පටයටත් එවන් මොහොතක් එක්කරගන්නට අරුණලී සිහින දැක්කාය.

“බබා,

අවුරුදු ගාණක් අපේ ආදරේ අද අපිට ආදරේ කරන ගොඩක් අයගෙ ඇස් ඉස්සරහ තවත් ලස්සන පරිච්ඡේදයක් ආරම්භ කරනවා.

ඉතින් ඔයාට තරම්ම මටත් මේ දවස හරිම සුවිශේෂීයි. ආදරේ කියන්නෙ කොච්චර ලස්සන හැඟීමක්ද කියල මම දැනගත්තෙ ඔයාට ආදරේ කරන්න පටන් ගත්තයින් පස්සෙ. 

ඉතින් එච්චර ලස්සන ආදරයක් මට දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි.

ඒ හැමදේටම වඩා මාව ආදරෙය්න් පිලිගත්තට,මාත් එක්ක ලස්සන ජීවිතයක් පටන් ගන්න කැමති උනාට ඔයාට ගොඩක් ස්තුතියි.

මම පොරොන්දු වෙනවා ඔයා හීන දැකපු ඒ ආදරවන්තයා උනා වගේම ඔයා බලාපොරොත්තු වුන ආදරණීය ස්වාමිපුරුශයා වෙන බවට. ඔයාගේ ජීවිතේ ඉතිරි කාලයම සතුටෙන් පුරවන බවට. 

ඉතින්,

හඳ දිලිසෙන්නෙ ඉරේ එලියෙන් වගේ මටත් ඔයාගෙ ආදරෙන් දිලිහෙන්න ජීවත් වෙන්න ඉඩ හදල දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි. 

මම වැරදි ගොඩක් තියෙන මිනිහෙක් වෙන්න පුලුවන්. ඒ හැමදේම ලඟ ඔයා මාත් එක්ක ඉඳීවි කියල මම හිතනවා.

ආදරෙයි!

අරුණලී උන්නේ අපරිමිත සතුටක කිමිදෙමිනි. මෙතරම්ම ආදරයක කිමිදෙන්න මෙන්ම තව හෝරා කිහිපයකින් ඒ ආදරයත් ඒ ආදරණීය හදවතත් නීතියෙන්ම තමන් සතු කරගන්නට හැකිවීම ගැන අපරිමිත සතුටකිනි. හෝටලයේ විසල් වීදුරු ජනේලයෙන් පෙනෙන නිල්වන් මුහුද දෙස අරුණලී බලාගෙන උන්නේ සන්තෝසයෙනි. තරුලි අක්කා හෝටලයටම විත් ඇඳ පැලඳගන්නට උදව් උපකාර කල නිසා ඒ හැම අවස්තාවක්ම කැමරා කාචයේ සනිටුහන් කරගන්නට විදුරංගට හැකි වීම ගැන අරුණලීට සතුටුය. සුන්දර සිංහල ගීතයකින් හැඩ වුණ විවාහ මංගල වීඩියෝවක් තමන්ගේ විවාහය වෙනුවෙන් සකසා ගැනීමට අරුණලී විවාහය ගැන සිතන්නට පටන් ගත් මුල් කාලයේ පටන් මතකයේ තබාගෙන උන්නාය. අද මේ එකින් එක එලිවෙන්නෙ ඒ කාලයක් තිස්සේ දුටු සුන්දර සිහින පෙළකි.

අම්මා උන්නේ එහා කාමරයේ තරුලි අක්කාගෙ අතින් හැඩ ගැන්වෙමිනි. තරුලි අක්කාගේ සහයට ආ අනෙක් යුවතිය නංගීවත් එම කාමරයේ සිටම හැඩගන්වද්දී අරුණලී කාමරයට වී වායු සමීකරණය යට හිඳගෙන සනීපයට දෑස් පියාගෙන උන්නාය.

“එලියට හෙම එන්න එපා පුතේ, මේ දවස්වල රස්නෙ නිසා මේකප් එක දියවෙයි” කියා යන්නට අම්මා අමතක කරේ නැත. පියාගත් දෙනෙත යට අරුණලී බොහෝ සුන්දර කල්පනාවන්වල නැවතී උන්නාය. 

තමා මේ හෝටල් කාමරයේ හිඳින අතර එලියේ තව නොබෝ වේලාවකින් ඇරඹෙන මංගල උත්සවය සඳහා සූදානම් වෙන මිනිසුන්ගේ කලබලකාරී හඬ විත් එහෙන් මෙහෙන් අරුණලීගේ දෙසවන්වල තැවරේ. ඒ කලබලකාරී හඬක් වුව දෙසවනට මිහිරිය. අද දවස තමාගේය. අද දවසේ රැජින තමාය.

කල්පනා සාගරය බිඳුනේ දුරකතනයට මැසෙන්ජර් පණිවිඩයක් ආ බව කියවෙන හඬකිනි. හැඳ පැලඳගන්නට පෙර අරුණලී තමාගේත් මෙනුකගේත් සුන්දර ජායාරූපයක් මුහුණු පොතට එක් කර “ඩේ හෑස් අරයිව්ඩ්” කියා දැමූ ස්ටෝරි එකට මිතුරන් එවන සුබ පැතුම් විය හැකි බව අරුණලී සිතුවාය.

මෙනුක උන්නේ තමන්ට වෙන්වූ කාමරයේ හැඳ පැලඳගෙන මිතුරන් සමග විහිලු තහලු කරමිනි. අරුණලී යනු දාහකින් හොයාගන්නට බැරි කෙල්ලෙකි. එවන් යුවතියක හා විවාහ වෙන්නට වීම ගැන තමා මොනතරම් සතුටු විය යුතුද යන්න ගැන මෙනුක නිරත්තරයෙන් සිතුවේය.

“ඇයි මචං රමිත් ආවෙ නැත්තෙ?”

කේශිත ඇසුවේ මෙනුක මුහුණුපොතට අප්ලෝඩ් කරන ජායාරූප වැඩි හරියක මෙනුක ලඟින්ම ඔහුගේ කරට අත දාගෙන ඉන්න මිතුරා ගැන ලංකාවේ ඉන්න මෙනුකගේ මිතුරන් පවා දැන උන් නිසාවෙනි. ඔස්ට්‍රේලියාවේ ගෙවන මෙනුකගේ ජීවිතයේ ඔහුට වඩා ලඟ මිතුරන් අතර රමිත් සහ කුමිලට ඉහල තැනක් ඇති බව කේශිත දනී. එවන් සමීපතමයා මෙනුකගේ ජීවිතයේ වැදගත්ම දවසේ ඔහු ලඟ නොසිටිම ප්‍රශ්න කල යුතු කාරණාවකි.

මෙනුක කුමිල සමග හුවමාරු කරගත්තේ හදිසි බැල්මකි. එය අඩවන් වුවත් එහි බොහෝ දිග කතාවක් ලියවී තිබුන බව සියල්ල දත් කුමිල දැන ගෙන උන්නද මෙනුක අද දවසට පා තබන්නට ඇත්තේ ඒ සියල්ල ගැන බොහෝ හොඳින් සිතා බලා යැයි කුමිල සිතුවේය. මෙනුකගේ හදිසි අඩ බැල්මෙන් තම දෙනෙත මුදවාගත් කුමිල වීදුරුවෙන් එපිට පෙනෙන මුහුද දෙස බලා හුන්නද මෙනුක විසින් කියන්නට යන දේ වෙනුවෙන් දෙසවන් විවර කර ගෙන උන්නේය.

“ඌට මේ ඔෆිස් එකෙන් නිවාඩු දුන්නෙ නෑනෙ”

“අප්පා අපරාදෙනෙ. හරිනං මම නෙවෙයි මේ වෙලාවෙ මෙතන ඉන්න ඕන රමිත්.උඹේ බුදු ෆිට් එකක්නෙ ඌ” කියා කේශිත උන්නේ අත් ඔරලෝසුවේ රන් පැහැ පටිය සකස් කරමිනි.

කුමිල එක එල්ලේ විදුරුවෙන් එපිට පෙනෙන මුහුද දෙස බලා ඉන්නට හේතුව දැන උන්නද කිව යුතු දෙයක් හෝ කල යුතු දෙයක් මෙනුකට සිතාගන්නට නොහැක.

තමා ලංකාවට ආ පසුව බොහෝ පණිවිඩ යැව්වද රමිත ඒ හැමවිටකම ඇසුවේ එකම එක පැනයක් පමණි. ඒ පිලිතුරක් දිය නොහැකි, නොඑසේනම් පිලිතුරක් නැති පැනයකි. තමා නිහඬ වූවාද නොඑසේනම් සමාජය විසින් තමාව නිහඬ කරාද යන්න මෙනුක නොසිතුවා නොවේ. එහෙත් මේ හැර ගන්නට වෙනත් කිසිදු තීරණයක් නැත.

කාමරයේ වූ වායු සමීකරණය යන්ත්‍රයට නිවාලිය නොහැකි දාහයක් ගතට දැනෙද්දී මෙනුක කාමරයෙන් එපිට බැල්කනියට ගියේ ඒ දාහය නිවාලන්නට මුහුදු හුලඟට හැකිවේදැයි කියා සිතමිනි.

අරුණලීගෙන් වට්ස්ඇප් පණිවිඩයක් ආ බව දුරකතනය පෙන්වයි. ඇය සුන්දරව සැරසී ඇති බව ඉතින් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ.අරුණලී කොහොමත් ලස්සනය. එහෙත් මේ පණිවිඩය මනාලියක් ලෙස හැඩවුණ ඇයගේ ජායාරුපයක් විය නොහැක.

“මම විදුරංගට කිව්වා උදේම අපේ ෆොටෝස් ලස්සනට ගමු කියල. ඔන්න ඔයා කලින් මාව බලන්න එන්න එපා හරිද. මට ඕන අර මම ඔයාගෙ පිටිපස්සෙන් ඇවිත් උරහිසට තට්ටු කරද්දිම ඔයා මාව දැකල සර්ප්‍රයිස් වෙනව බලන්න”

“හරි මම ඉස්සෙල්ල ඔයාව දැක්කොත් මොකද කරන්නෙ?”

“අනේ අයියෝ ටක් ගාලා අහක බලාගන්න හොඳේ. නැත්තම් බොරුවට හරි සර්ප්‍රයිස් වෙන්න, නැත්තම් වීඩියෝ එක කැතවෙයි” කියා කියූ කෙල්ල කීයටවත් තමන්ගේ ජායාරූපයක් එවා තිබෙන්නට හැකියාවක් නැත.

මෙනුක වට්සැප් ගිණුම විවර කලේ ඒ සිනාව සමගිනි. එහෙත් සිනාවක් පවා තප්පර ගණනකින් වෙනස් විය හැකි බවටත්, සතුට අසුරු සැණකින් වේදනාවක් විය හැකි බවටත් මෙනුක දැනගත්තේ ඒ මොහොතේය. 

අරුණලී විසින් කිසිදිනක හෙලි කර ගනු ඇතැයි දැන ගනු ඇතැයි නොසිතූ අන්ධකාර රහසක සුලමුල රැගත් ඒ වට්සැප් පණිවිඩය ජීවිතය, අනාගතය සහ සතුට ගිනි තබන්නට හේතුවක් වී තිබුණි. තමා කල යුත්තේ කුමක්දැයි කියා සිතාගන්නට බැරුව ඉද්දී, හිස හරහා ගිය විදුලියක් බඳු හැඟීමක් දෙපා අඩවන් කල බවත් තමා අවසිහියෙන් මෙන් බැල්කනියේ බිම වාඩිගත් බව මෙනුකට මතකය.

කුමිල දුවගෙන ආවේ හිසට අත තබාගෙන බැල්කනියේ බිම වාඩි වී හිඳින මෙනුකව දැකය. මෙනුක උන්නේ කතා කරගන්නට වත් පණක් නැතුව මුත් විවර වී තිබුණ වට්සැප් ගිණුමේ පෙනෙන්නට තිබූ පණිවිඩය කුමිල දුටුවේය. ඒ වීඩියෝවත් ස්කීන්ශොට් එකත් පැමිණ තිබෙන්නේ අරුණලීගේ අංකයෙන් බව දුටු මොහොතේ මේ සියල්ලේම අවසානය බව කුමිල තේරුම් ගත්තේය.

අරුණලීගේ ඇස් වල තරුලි විසින් සීරුමාරුවට තවරා තිබුණු අඳුන් අරුණලී ගේ මුහුණ පුරාත් සුභාගේ ලා කහ පැහැ ස්ටෙලාසෝ සාරිය පුරාත් තැවරී තිබුනි. හැඬීම නිසා රත් පැහැ වී තිබුන දෙනෙත් කියා පෑවේ මංගල්‍යයක අසිරිය නොවේ.

ආරියරත්න උන්නේ කෝපයෙන් කාමරයේ එහා මෙහා ඇවිදමිනි. කාමරයේ ඇඳ උඩ වාඩි වී උන් ස්‍රීනි, භානු ඇතුලු ආරියරත්නගේ නෑ පාර්ශ්වයේ ලඟම හිතවතුන්ද සඳලිනී ද උන්නේ තිගැස්සී මෙනි. 

“අනේ අම්මේ, අනේ අම්මේ ඇයි අම්මේ මෙනුක මාව එහෙම රැවැට්ටුවෙ” කියා හඬා වැලපෙන අරුණලීට වේදනාව දරාගන්නට යැයි කිව යුතු වුවද සුභා උන්නේද මහ හඬින් කඳුලු හලමිනි. උදේ පාන්දරම නැකතට ගෙදරින් පිටත් කල දියණිය මනමාලියක ලෙස සැරසී මෙසේ බිඳ වැටුණු සිහින සමග හඬමින් ඉද්දී අම්මා කෙනෙකු කෙසේ නම් ඉවසන්නද?

“අනේ ආරි අපි තව ටිකක් හොයල බලමු මේකතාව ඇත්තද කියල” කියා සුබා හැඬුම් අතරින්ම කැඩි කැඩි කියද්දී ආරි හිත අස්සේ තද කරගෙන උන් මෙනුක වෙනුවෙන් උපන් කෝපය පිට කලේ සුබා මතිනි.

“හොයල බලන්න? තව මොනව හොයල බලන්නද? ඔය යස අගේට රෙකෝඩ් කරලම එවල තියෙන්නෙ. ඌ හිනාවෙවී ඉන්නෙ අපූරුවට. තව මොනව හොයන්නද?”

“අනේ ආරි ඒ උනාට අපේ දරුවා, කොහොමද දැන් ලෝකෙට මූණ දෙන්නෙ?”

සුභාගේ කතාවට පිලිතුරු දෙන්නට ආරිට ඉඩක් ලැබුනේ නැත. කාමරයේ විවර වූ දොර ඉදිරියේ හිටගෙන උන්නේ තිගැස්මත්, කලබලයත් මුසු වූ බැල්මක් දෙනෙතේ ඇඳගත් මෙනුක ය. ඒ බැල්ම ආරියරත්න සහ සුබාව පසුකර අවසානයේ රැඳුනේ සුබාගේ තුරුලට වී හඬමින් උන් අරුණලීගේ වේදනාබර මුහුන අසලය.

“බබා මං කියන දේ…” අහන්න කියා මෙනුක කාමරය තුලට අඩියක් තිබුවද ඉඩ ලැබුනේ එකම එකක් අඩියක් තියන්නට පමණි.

“වනචරයා, උඹ ඇයි දැන් ආවේ?” කියමින් ආරියරත්නගේ අත්ල වේගයෙන් විත් මෙනුකගේ කම්මුල මත පතිත විය.










අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles