” මෙච්චර හරියක් වෙනකන් උඩ බලන් ඉඳලද නිම්නාද තමුසේ අපිට ඔක්කොම කියන්නේ ? ”
ධනුක කෑගැසුවේ මහ පාර මැදය. කාර්‍යාලයෙන් පිටවූ මේඝා ගිය තැනක් සොයා ගන්නට නැත.ඇය නිවසට ගොස්ද නැත.දුරකථනයද ක්‍රියා විරහිත කර ඇත. පැය ගණනාවක් බලා හිඳීමෙන් පසුව වෙන කරන්නට දෙයක් නොමැතිම තැන නිම්නාද මේ බව ධනුකට දැනුම් දුන්නේ මේඝාට කියා වෙන කිසිවෙකුත් නැති නිසාය.
” ඔයාට තිබ්බා නිම්නාද ඊයේ හරි ධනුකට කෝල් බැක් කරන්න. එයා ඔයාව කන්ටැක් කරගන්න ට්‍රයි කරේ පෙරේදා හවස ඉඳලමයි ”
නිකිනි උන්නේ සඟවා ගත් කෝපයෙනි. මේඝා ගැන මොකද්දෝ බියක් සිත වසාගෙන පැතිරෙයි. ඇයව කොහෙන් හෝ සොයා ගත යුතුව ඇත. එහෙත් ඇය ගිය තැනක් ගැන හෝඩුවාවක් වත් නැත.
” අඩුම ගානේ ඔෆිස් එකේදිවත් උඹට තිබ්බා ඒකිට හොඳින් කතා කරන්න. උඹලට මීට කලින් විසඳගන්න බැරි ප්‍රශ්න තිබිලා නැහැනේ ”
” මේකයි මචං. එහෙම ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. දන්නවනෙ ඉතින් මේඝා පොඩි දෙයක් උනත් ලොකු කර ගන්නවනේ ”
නිම්නාදට උවමනා වූයේ මේ චෝදනාවලින් ගැලවෙන්නටය. හදිසියේ හෝ මේඝාට යම් කරදරයක් වී ඇත්නම් එයට වගකිව යුත්තා වන්නේ තමාය. ඒ නිසා කුමන ආකාරයකින් හෝ මෙයට විසඳුමක් සොයා ගත යුතුය.
” ලොකු ද පොඩිද කියලා බලන්න සේරටම කලින් මේකිව හොයාගෙන ඉන්න එපැයි ”
නිකිනි කීවේ නිම්නාද ගේ වචන වලට ධනුක තවත් කෝපයට පත් වන්නට පෙරය.
” මට හදිසි වැඩ වගයක් ඉවර කරලා දෙන්න තියෙනවා නිකිනි. ඒ නිසා මට ආපහු ඔෆිස් එකට යන්න වෙනවා ”
නිම්නාද කීවේ කලබලයෙනි. ධනුකත් නිකිනිත් නිම්නාද දෙස බැලුවේ එකවරමය. ඔවුන් දෙදෙනාගේම මුහුණුවල පුදුමය හැරුණු කොට වෙන කිසිවක් ලියැවී තිබුණේ නැත.
” මෙච්චර හරියක් වෙලා තියෙද්දී තමුසෙ ඔෆිස් යන්න ?”
ධනුක පියවරක් ඉදිරියට තබද්දී නිකිනි වහාම එය වළක්වාලීය.
” මේඝා ත් එතන නැත්නම් මමවත් ඉන්න ඕනේ. අනික මේ ප්‍රශ්න හැමෝම දැනගන්නවට මම කැමති නැහැ. ඒක මේඝාටයි මටයි දෙන්නටම තමයි හොඳ නැත්තේ ”
” උඹ මේක හොඳට මතක තියා ගනින්. මේඝාට හීරීමක් හරි වෙලා තිබුනොත් මම උඹ ගැන බලාගන්නම් ”
ධනුක තවත් වචනයක් හෝ කියන්නට පෙර නිම්නාද වාහනයට නැග පිටත් උනේය. නිකිනි ධනුක දෙස බැලුවේ අසරණ දෑසිනි.
” මේඝා මොකක් හරි කරදරයක්වත් කරගෙනද “
” උඹට පිස්සුද බං . එහෙම වෙන්න විදියක් නෑ. ඒත්… ”
ධනුක කියන්නට ගිය දේ ගිල ගත්තේය. මෙවැනි කලබල නගරයක මේඝාව සොයන්නට පටන් ගන්නෙ කොතනින්ද කියාවත් සිතා ගන්නට නොහැක. නැවත මේඝාගේ නිවසට ගොස් බැලුවද ඇය එහිද නැත. මේඝා යන්නට ඇතැයි සිතිය හැකි සෑම තැනකටම ගොස් බැලුවද ඇයගේ සේයාවක් වත් නැත. ඒ පැය ගණනාව පුරාවටම නිකිනි වෙත නිම්නාදගෙන් ලැබුනේද එකම එක දුරකථන ඇමතුමක් පමණි.
වැස්ස ආරම්භ වන විට සවස හය පමණ විය. නිකිනිත් ධනුකත් සිටියේ මේඝාව සොයා හෙම්බත් වීගෙනය. වාහනය පාර අයිනක නවතා ගෙන මීළඟට කරන්නේ කුමක්දැයි සිතමින් ධනුක සිටින විට නිකිනි උන්නේ හඬමිනි. එක කුසෙන් උපන්නේ නැතිවුවද මේඝා යනු තමාට සහෝදරියකටත් එහා ගිය ආදරණීයෙකි. ඇය අහිමි වෙතැයි කියා දැනෙන බිය කෙසේ නතර කර ගන්නද ?
” අපි මොකද කරන්නේ ධනුක දැන් ? රෑ වෙන්නත් එනවා. ඒ මදිවට වහිනවා ”
” මං මගේ යාළුවෝ කීප දෙනෙක්ටත් කිව්වා. දන්න හැම තැනකටම කිව්වා. තව පැයක් විතර බලල පොලිසියට යන්න තමයි දැන් තියෙන්නේ. ”
” නිම්නාද කතා කළේ නෑ නේද ?”
” හදිසියේ හරි අරකිට මොනවාම හරි වෙලා තිබුණොත් මම ඌව හිරේ ඇරලා තමයි නවතින්නෙ ”
ධනුක දත්මිටි කමින් කීවේය.
නිම්නාද පාර්ලිමේන්තු පාර අයිනේ වාහනය නවතාගෙන සිටියේ මහ වැස්සක පෙර නිමිති මතු වෙද්දීය. කොල්ලුපිටියෙන් පිටත් වන විට වැස්ස ආරම්භ වී තිබුණද පාර්ලිමේන්තු පාර අසලට එන විට එය තුරන් වී තිබුණි. තවත් විනාඩි කිහිපයක් ගතවන විට වර්ෂාගේ රථය විත් නිම්නාදගේ රථය ඉදිරියේ නතර විය. ඉන් බැසගත් වර්ෂා පැමිණ නිම්නාදගෙ රථයට ගොඩ වුනේ අනාරාධිතවමය. ඔහුගේ මුහුණේ සිනාහවක ලකුණක් වත් නැති බව වර්ෂා දුටුවේ එවිටය.
” මොකද ? මම වැඩිය කතා කරපු නැති නිසා අවුලෙන්ද ? ”
වර්ෂා අසන්නේ නැලවෙමිනි. එය ව්‍යාජ හැසීරීමක් බව නිම්නාදට නොදැනුනා නොවේ.
” ඔයා ගියාට පස්සේ තව යාළුවො ටිකක් ආවා මාව හම්බවෙන්න. මං පොඩ්ඩක් බිසී උනා. දන්නැද්ද ඉතින් ”
ඔය කියන්නේ මොන ආකාරයේ යාළුවන් ගැන දැයි සිතන්නට නිම්නාද වෙහෙස වූයේ නැත.
” නිම්නාද ? ”
වර්ෂා නිම්නාදගේ උරහිසට අතක් තබා සෙලවුයේ නිම්නාදගේ නිහඬ බව එතරම් හොඳ එකක් නොවන බව සිතුන තැනදීය.
” මොකද අනේ වෙලා තියෙන්නේ ? ”
එවර නිම්නාද වර්ෂා දෙස බැලුවේය.
” මේඝා අතුරුදහන් වෙලා ”
නිම්නාද කීවේය.
” අතුරුදහන් වෙලා කිව්වේ ? ”
නිම්නාද පැවසූ දෙය පැහැදිලි කර ගන්නට වර්ෂාට උවමනා විය.
” එයා උදේ නිවාඩු දාලා ගියා. ඊට පස්සේ එයා ගැන කාටවත් කිසිම ආරංචියක් නැහැ ”
නිම්නාද ඉදිරිය බලාගෙන කියා දැම්මේය.
“එයා එහෙනම් නිවාඩු දාලා ඔයාල නොදන්න කෙනෙක්ව හම්බවෙන්න ගිහින් ඇති. කලබල වෙන්නෙ නැතුව ඉන්න අනේ. හෙට දිහාට එයා ඔෆිස් එයි ”
වර්ෂා සිනාසෙමින් කීවාය.
” මේඝා එහෙම කෙල්ලෙක් නෙමෙයි ”
නිම්නාද ට කියවුනේය. වර්ෂා ඔහු දෙසට හැරුනේ පුදුමයෙනි.
මේඝා ගැන මෙතරම් විශ්වාසයක් ? වර්ෂා ඇතුලාන්තයෙන් දැවුනාය. පෙර දිනයක රූගත කිරීම කෙරුණු තැන සිටි කාර්යාලයේ අය පවා කීවේ මේඝාගේ හොඳම පමණි. ඇගේ දස්කම් ගැන පමණි. නිම්නාද මෙතරම් වද වීමට හේතුවක් නැතිවෙන්නට බැරි බව වර්ෂා ඒ මොහොතේ තේරුම් ගත්තාය. නමුත් මෙය එසේ පහසුවෙන් අතහැරිය යුතු නොවන බව පමණක් ඇය නිහඬවම සිතුවාය.
රාත්‍රී අට වන විට ධනුක නිකිනි සමඟ බම්බලපිටිය පිලව්ස් වෙත ආවේ උදෑසන සිට දෙදෙනාටම කිසිම කෑමක් නැති නිසාය.එහෙත් කන්නට පිරියක් නැත. තේ දෙකක් ඇණවුම් කර ගත් ධනුක එය රැගෙන නැවත වාහනයට එද්දී නිකිනි උන්නේ අසුනට හිස බර කරගෙනය.
“මේක බීලා ඉන්න නිකී ”
නිකිනි තේ එක අතට ගත්තේ ඕනෑවට එපාවටය. මේඝා ගැන තොරතුරක් නැතිව ආපසු කෙසේ නිවසට යන්නදැයි ඇයට සිතා ගන්නටවත් නොහැක. දුරකථනයන් නාද වන සෑම විටකදීම සිතෙහි ඇති බිය දෙගුණ තෙගුණ වේ. දැන් දැන් කුමක් හෝ නරක ආරංචියක් ලැබෙතැයි සිතේ. කාලය ගෙවෙන්නෙද සෙමෙන් යැයි දැනේ.එසේ සිතද්දීම නිකිනිගේ දුරකථනය නාද විය. ඇය එකවරම එය අතට ගෙන බැලුවාය. හදවත නතර වනු නිකිනිට දැනුනේ තිරයේ සටහන් වූ නම දුටු විටය.