අක්ෂි කාච ගැන ඔබ දැන සිටිය යුතුම කරුණු

පෙනීම වැඩි දියුණු කරන ඇස් කණ්ණාඩි වෙනුවට සහ විලාසිතාවක් විදිහටත් අද කාන්තා පිරිමි දෙපාර්ශවයම අක්ෂි කාච එහෙමත් නැත්නම් contact lenses භාවිතා කරනව කියල ඔබ දන්නවනේ. 

මේ හේතු දෙකෙන් කුමන හෝ හේතුවක් නිසා ඔබත් දැනටමත් අක්ෂි කාච පළඳිනව නම් එහෙමත් නැත්නම් අක්ෂි කාච පළඳින්න හිතාගෙන ඉන්නව නම් ඔන්න අක්ෂි කාච ගැන ඔබ දැන සිටිය යුතුම කරුණු 10 ක් ගැන ඔබව දැනුවත් කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම් බලමු ඒ කරුණු මොනවද කියල ?

ඔබට පෙනීමේ දෝෂයක් තිබුනත්, නැතත් වසරකට වරක් ඔබේ ඇස් පරීක්ෂා කර ගැනීම අනිවාර්‍යයි. 

ඔබ දැනටමත් කණ්ණාඩි හෝ අක්ෂි කාච පළඳිනව නම් ඒවාගේ පෙනීමේ වෙනසක් සිදුකර යුතුද? ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා, දියවැඩියාව ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු, වර්ණාන්ධතාව වගේ ගැටළු මේ ඔස්සේ හඳුනාගන්න පුළුවන් වීම ඊට හේතු විදිහට දක්වන්න පුළුවන්. 

පිළිගත් තැනකින් පමණක් මිලදී ගන්න

අක්ෂි කාච සහ එම කාච ආරක්ෂණ බොහෝ රටවල් වල වෛද්‍ය උපකරණ විදිහට පිළිඟන්නේ ඒවාගේ ඇති වැදගත්කම නිසාමයි. ඒ නිසා නිවැරදි අක්ෂි පරීක්ෂාවකින් අනතුරුව, පිළිඟත් සහ සුදුසුකම් ලත් ස්ථානයකින් අක්ෂි කාච මිලදී ගැනීම අනිවාර්‍ය වෙන්නේ ඒවාගෙ ගුණාත්මක බව ඔබේ ඇස් වල නීරෝගී බවට ඍජුවම බලපාන නිසයි. 

ඒ නිසා ප්‍රමිතිගත නිෂ්පාදන ඔබට වගකීමක් ලබාගත හැකි තැනකින් පමණක් මිලදී ගැනීම අත්‍යාවශ්‍යයි. 

උපදෙස් පරීක්ෂා කරන්න

ඔබ මිලදී ගන්නා අක්ෂි කාච වල සඳහන් උපදෙස් කියවා ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමත්, ඔබ අක්ෂි කාච මිලදී ගද්දී ඔවුන් ඔබට ලබාදෙන උපදෙස් පිළිපැඳීම ඉතාම වැදගත්. 

ඔබ කාර්‍යබහුල වුනත්, හැමදාම ඒ උපදෙස් පිළිපඳින්න ඕන නෑ කියල නොහිතා ඉතාම සැලකිලිමත්ව සහ අවදානයෙන් ඒවා පිළිපැඳීම අත්‍යාවශ්‍ය වෙන්නේ ඔබ පිටතින් ආගන්තුක ද්‍රව්‍යයක් ඔබේ ඇස් මත යෙදීම සිදුකරන නිසයි. 

ඒ නිසා අක්ෂි කාච පළඳින්න කලින්,

අත් හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම, 

නියපොතු කොටට කපා තිබීම,

ඇසෙන් ඉවත් කර අක්ෂි කාච ආරක්ෂණ දියරයක් තුළ නිසි ආකාරව ගබඩා කර තැබීම,

අක්ෂි කාච රඳවනය හොඳින් පිරිසිදු කර මඳ පවනේ වියළා ගැනීම, 

අක්ෂි කාච සහ අක්ෂි කාච ආරක්ෂණ දියර වල කල් ඉකුත් වීමේ දින ගැන අවබෝධයෙන් සිටීම, 

එක දිගට පැය 8 කට වඩා අක්ෂි කාච නොපැළඳීම සහ

අක්ෂි කාච පැළඳ සිටින අවස්ථාවේ අධික රස්නය ඇති ස්ථාන වලින් ඈත්ව සිටීම වැනි ඔබට ලැබුණු උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් කියල අපි ඔබට මතක් කරන්න කැමතියි. 

කොහෙද කියල බය වෙන්න එපා

හිටිහැටියේම ඔබේ ඇස් වල අක්ෂි කාච කොහෙද කියල ඔබට නොපෙනී ගියොත් ඒමත් නැත්නම් අක්ෂි කාච තිබෙන බව නොදැනුනොත් ඒ ගැන කලබල වෙන්න එපා. 

අක්ෂි කාච පැළඳගෙන ඉන්න වෙලාවට ඔබ ඇස් පොඩි කරොත් මේ විදිහට සිදුවෙන්න තියෙන ප්‍රවණතාව ඉතාම ඉහළයි. 

ඔබ නොදන්නවා වුනත් ඔබේ මුළු ඇසම ආවරණය කරල තියෙන කොන්ජන්ටිවා කියන පටලය නිසා ඔබේ අක්ෂි කාච ඇස් වල පිටුපස ප්‍රදේශයෙන් ඇස් තුළට ගිලී යාම සිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසා කලබල නොවී ඇස් පියාගෙන ඇස් එහෙමෙහෙ හරවමින් සුළු වේලාවක් ගත කරන්නත්, සේලයින් හෝ කෘතිම කඳුළු බින්දු වැනි ද්‍රව්‍යයකින් ඔබේ ඇස් තෙත් කරන්නත් ඔබට පුළුවන්. 

නමුත් මෙය නැවත නැවත සිදුවෙනව නම් ඒ සඳහා ඔබ අක්ෂි කාච මිලදී ගත් ස්ථානයෙන් හෝ ඔබේ අක්ෂි වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සිදුකර යුතුමයි. 

ඇස් වල පාට

පෙනීමේ ගැටළු වලට පළඳින ඇස් කණ්ණාඩි වලට ආදේශකයක් විදිහට වගේම ඇස් වල වර්ණය වෙනස් කරන්නත් අක්ෂි කාච පළඳින්න පුළුවන් කියල ඔබ දන්නව. 

හවුලේ පළඳින්න එපා

ඔබේ අක්ෂි කාච පළඳින එකම පුද්ගලයා ඔබ විය යුතුයි වගේම ඔබ පළඳින අක්ෂි කාච පළඳින්නේ ඔබ පමණක් වීම අත්‍යාවශ්‍යයි. 

ඒ මඟින් විවිධ ආසාදන ඇතිවීමේ හැකියාවක් පවතින නිසා මේ කාරණාව ඔබ තරයේ හිතේ තබාගෙන පිළිපැඳිය යුතුමයි. 

නළ ජලය එපා

අක්ෂි කාච පිරිසිදු කිරීම සහ ගිල්වා තැබීම සඳහා ඒ සඳහා නිර්දේශිත දියරයක් මිස නළ ජලය භාවිතා කිරීමෙන් වැලකීම අත්‍යාවශයයි. 

ජලයේ විවිධ බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි නිසා මේ පියවර අනුගමනය ඉතාම වැදගත්. ඔබට ලැබෙන උපදෙස් අනුව කාච ගිල්වා තබන දියරය මාරු කිරීමත් අත්‍යාවශ්‍යයි. 

පිරිසිදු බව

කාච පැළඳීමේදී ඔබේ දෑත් වගේම කාච රඳවනයත් පිරිසිදුව පැවතීම අනිවාර්යයි. කාච පැළඳූ පසු කාච රඳවනය පිරිසිදු කර වතුර ඉවත්වීම සඳහා අනෙක් පස හරවා තැබීම සිදුකළ යුතුමයි කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

නිදාගන්න එපා

අක්ෂි කාච පැළඳ නිදාගැනීම ඔබ නොකළ යුතුම ක්‍රියාවක්. ඒ නිසා ඇසේ විවිධ ආසාදන ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. 

නමුත්, පැළඳ නිදාගැනීමේදී ගැටළු ඇති නොවෙන අක්ෂි කාචත් වර්තමානයේදී මිලදී ගන්න පුළුවන් නිසා ඒ ගැන ඔබ අක්ෂි කාච මිලදී ගන්නා ස්ථානයෙන් හෝ ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැනුවත් වෙන්න පුළුවන්. 

මාරු කරන්න

එක් වරක් පමණක් පැළඳිය හැකි, වාර 30 ක් පැළඳිය හැකි වගේම ඊට වඩා වැඩි කාලයක් පැළඳිය හැකි අක්ෂි කාච තිබෙනවා. 

වඩා වැදගත් වන්නේ, මේ නියමිත කාලයෙන් පසු තවදුරටත් එම කාච නොපැළඳ ඉවත් කිරීම අත්‍යාවශ්‍ය වීමයි. 

ඒ නිසා නියමිත කාලය ඉක්මවා එම කාච නොපැළඳ ඒවා ඉවත්කර නව අක්ෂි කාච වලට මාරු වීමට ඔබ කටයුතු කළ යුතුමයි.

ඇස් දෙක ඇස් දෙක වගේ පරිස්සන් කරගන්න කියල කියමනකුත් තියෙනවනේ. ඒ නිසා මේ කරුණු පිළිපැඳීම අනිවාර්ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

ඉතිං මේ කරුණු අක්ෂි කාච පැළඳීමේදී ඔබට උදව්වක් වේවි යැයි අපි විශ්වාස කරනවා. 

මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles