ඒකපාර්ශ්වික 26

උදෑසන සිට දුටු සිහිනය දෙපා මුල කඩාවැටීමේ සොවින් මේඝා හැඬුවාය. ධනුක පැමිණ උන්නේ තරහිනි. මේඝා ආයේ ආයෙත් හදවතේ තුවාල පාරා ගැනීමේ තරහෙනී.

” ඇත්තටම උඹට මොලයක් තිබුනේ නැද්ද ඕක එව්වෙ නිම්නාද නෙවෙයි කියලා හිතන්න ? එතකොට උඹ තාමත් හිතාගෙන ඉන්නේ ඌ ආපහු එයි කියලද ? “

ධනුක ඇසුවේ ඇත්තටමය. හිත හදා ගන්නවා යයි සිතුවාට මේඝා තවමත් නිම්නාද ගැන සිතනවා යැයි සිතුනේ ධනුකට පමණක් නොවේ.නිකිනිද උන්නේ ඒ සිතුවිල්ලේමය.

” අනික, ඌ එහෙම ආවොත් ඌව බාරගන්න බලාගෙනද දැන් උඹ ඉන්නේ ? ” 

මේඝා හිස ඔසවා ධනුක දෙස බැලුවේ ඒ මොහොතේය.

” මං එහෙම හිතුවේ නෑ. ඒත්.. මේවා එව්වේ එයා කියලයි මම හිතුවේ ” 

මේඝා හැඬුම අතරේ කීවාය. 

” හරි එහෙම එව්වනං නමක් ගමක් එක්ක එවනවනේ. නැත්තං කෝල් එකක් හරි දෙනවනේ ? උඹට ඕක වැරදිලා ආව එකක් කියලා හිතාගෙන හිත හදාගෙන හිටපන් .එච්චරයි ” 

ධනුක අවසාන තීරණය දුන්නේය. හොඳින් හෝ නරකින් මේඝාව යථා තත්ත්වයට පත් කර ගත යුතු බව ඔහු සිතුවේය. ඒ සියල්ල අතරේ ඔහුට තිබූ නම් ගැටලුව නම් ඇත්තටම මේඝාට මේ තෑගි එවන්නට ඇත්තේ නිම්නාද ද යන්නයි. නමුත් එය අසන්නටවත් නිම්නාදට ඇමතුමක් හෝ ගන්නට ධනුකට උවමනා නොවීය.එතරම්ම නිම්නාද යනු අප්‍රිය සහගත පුද්ගලයෙක් බව ධනුක සිතුවේය. 

නිම්නාදගෙන් කම්මුල් පහරක් කෑ පසුව වර්ෂා දිනක් පමණ ගතවන තුරු නිම්නාදට මුහුණ දෙන්නට ආවේ නැත. අත්‍යවශ්‍යම දෙයකට හැරුණු කොට දෙදෙනා අතර කතා බහක් සිදු වුණේ නැති තරම්ය. එහෙත් මේ නිහඬියාව දරා ගන්නට වර්ෂාට තවදුරටත් හැකි වූයේ නැත. තමාගේ හිත බොහෝ නොසන්සුන් වී ඇති බව දැනෙන නිසා නිම්නාද සමඟ කතා කරන්නට වර්ෂාට අවැසි විය. 

නිම්නාද උන්නේ මුළුතැන්ගෙයට වී එළවළු කපමිනි. වර්ෂා හෙමින් සීරුවේ ගොස් නිම්නාදට හේත්තු වූවත් නිම්නාද බැල්මකින් වත් හැරී බැලුවේ නැත.

” තාම තරහද නිම්නාද ? ” 

නිම්නාද නිසොල්මනේය. මෙය මෙසේ විය යුතු නැත. ඇත්තටම වරද තමාගේ අතේය. ඒනිසා ඉස්සර විය යුත්තේ තමා බව වර්ෂා සිතුවාය.

” නිම්නාද.. ඕක නවත්තන්නකෝ අනේ ” 

වර්ෂා පිහිය උදුරා ගත්තාය. නිම්නාද හැරී බැලුවේ එවිටය.

” ඕක දෙන්න වර්ෂා ” 

” දෙන්නං. මාත් එක්ක තරහද කියන්න ? ” 

” නැහැ ” 

” එහෙනම් කතා නොකර ඉන්නේ ? ” 

නිම්නාද කිසිවක් නොකියා අත සෝදා ගත්තේය. ඔහු නිහඬව ඉන්නේ එක්කෝ තරහෙන් විය යුතුය. එසේත් නැත්නම් තමා මෙන්ම නොසන්සුන් වී සිටින නිසා විය යුතුය.

” ප්‍රශ්නයක් තියෙනවනම් කතා කරලා විසඳගමුකෝ. මෙහෙම එක ගෙදර දෙපැත්ත බලාගෙන ඉන්න පුලුවන්ද ? ” 

වර්ෂා බැරිම තැන ඇසුවාය. නිම්නාද අත පිස දාගෙන වර්ෂා ළඟට ආවේ සෘජු බැල්මකින් ඇය දෙස බලමිනි.

” දැන් ඔයා කියන්නේ අපිට එක ගෙදර ඉන්න බෑ කියලද ? එහෙනම් මම යන්නද ?” 

” අනේ මොකක්ද නිම්නාද ? වචනයක් වරදින්න බැහැනේ. මම ආයෙ රෑට ඔයා නැතුව කොහෙවත් යන්නේ නැතුව ඉන්නම්. මටත් එදා කේන්ති ගියා. සොරි ඉතින්. ආයෙ එහෙම වෙන්නෙ නැහැ. අපි යමුකො ඩිනර් වලට ” 

වර්ෂා නිම්නාදගෙ අතින් ඇදගෙන නිදන කාමරයට ඇදගෙන ආවාය. එහෙත් නිම්නාදගේ සිතට දැනෙන දෙගිඩියාව නැති වූයේ නැත. ජීවිතය හදා ගනු මිස තමාට එහි අතරමං වන්නට නොහැක. වර්ෂාගේ සමහර හැසිරීම් ජීවිත කාලයටම තිබුණහොත් මෙම බැඳීම වැඩි කල් නොපවතිනු ඇත. නිම්නාද උන්නේ සිතුවිල්ලේ ය. වර්ෂා එය හොඳින්ම දුටුවාය. නිම්නාදව අත හැර ගන්නට බැරි මොකද්දෝ බැරි කමක් ඇයට තදින්ම දැනෙමින් තිබුණි. 

වර්ෂා අල්මාරිය හැර නිම්නාදගේ ප්‍රියතම කමිසයන්ගෙන් එකක් ගෙන ඔහු වෙත පෑවේ සිනහවකිනි.

” ලෑස්ති වෙලා එන්නකෝ.යන්න ඉතින් ” 

නිම්නාද නැගිට නාන කාමරය වෙත ගියේ කිසිවක්ම නොකියාය. වර්ෂා වෙනස් වනවා නම් එයට ඉඩ යුතු යැයි ඔහු සිතුවේය.

” දුර ඈත ආකාසයේ 

නුඹ පුංචි තරුවක් වගේ

හිත නැද්ද දැන් මා කෙරේ 

අපි අපෙන් ඈතයි වගේ ” 

විශ්මිත එනවා යැයි පොරොන්දු වූ වේලාව පසුවී ගොස් ඇති නිසා අහස් Podium එකට ඇතුලු වී දෙවැනි මත්පැන් වීදුරුවත් හිස් කරමින් උන්නේය. විශ්මිත පැමිණියේ එය අවසන් වන්නට ඔන්න මෙන්න තිබෙද්දීය.

” ට්‍රැෆික් බන්.. මොකෝ සීන් එක ” 

” මුකුත් නෑ . මං උඹට නිකං එන්න කිව්වේ ” 

අහස් වීදුරුව හිස් කර දැම්මේය. 

” අනේ නිකන් හිටපං. දැන් උඹට මට කියන්න බැරි දේවලුත් තියෙනවද ? ” 

” එහෙම සීන් එකක් නෙමෙයි. ඒත් මගේ හිතට මොකක් හරි අවුලක් දැනෙනවා ” 

” එහෙනම් ඉතින් බොමු ” 

විශ්මිත තවත් ඇණවුමක් සේවකයෙකුට ලබා දුන්නේය. අහස් හේතුවක් නොමැතිව මෙවැනි තැන් වලට එන්නේ නැත. කුමක් හෝ සිදුවී ඇත? 

” උඹට ඔෆිස් එකේ මුකුත් අවුලක්ද බං ?” 

විශ්මිත ආයෙත් ඇසුවේය. අහස් ගී ගයන තරුණයා දෙස බලාගෙන සිටියා මිස කිසිවක් කීවේ නැත .

” උඹ මේඝා ගැන හිතනවද ? ” 

විශ්මිත කෙලින්ම ඇසුවේ යමක් දැනුනු නිසාය. අහස් එක වරම තිගැස්සී බැලුවේය. 

” මොකක්ද උඹ ඇහුවේ ?” 

” උඹට ඇහෙන්න ඇතිනේ මම අහපු දේ ” 

” අනේ මන්ද බං ” 

” ඇයි ? ” 

අහස් මොහොතක් නිහඬව සිටියේය. සිතට දැනෙන හැඟීම හරියටම තෝරා ගන්නට අහස් අපොහොසත් වූයේය.ඔහු දැන සිටියේ පැටලී ඇති සිතුවිලි සමහරෙක මේඝා සිටින බව පමණක් ය.

” මම සිරාවටම අහන්නේ අහස් . උඹ මේඝා ගැන හිතනවද ? ” 

” හිතනවානම් තමයි. ඒත් ඒක මොකක්ද කියන්න මම හරියටම දන්නෑ . අනික , … ” 

අහස් හෙලුවේ බරැති සුසුමකි. එය බොහෝ දේ නොකියා කියන බව විශ්මිත තේරුම් ගත්තේය. 

” මේඝා කියන්නේ එහෙම ලේසියෙන් අල්ල ගන්න පුළුවන් කෙල්ලෙක් නෙමෙයි ” 

අහස් කතාව සම්පූර්ණ කළේය. 

” දැල් එලලා ඇම දාලා අල්ල ගන්න ඒකි මාළුවෙක් නෙමෙයිනේ බං. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා මට තේරෙන විදියට ” 

” මොකද්ද ? ” 

” මේඝාට තියෙන්නේ ඔය බ්‍රේකප් කතන්දරෙ විතරක් නෙමෙයිනේ බං . සමහර traumas නිසා කැඩෙන්න පුළුවන් හැම තැනින්ම කැඩිලා , බිඳෙන්න පුළුවන් හැම තැනින්ම බිඳිලා ඉන්න මේඝා වගේ කෙල්ලෙක්ට ඕනේ එයාව හරි smoothly handle කරන්න පුළුවන් පාට්නර් කෙනෙක්. හැබැයි රජෝ ඒකටනම් පට්ට ඉවසීමක් තියෙන්න ඕනේ “

විශ්මිත කියන්නේ සැබෑවක් බව අහස් පිළිගත්තේය. මේඝාව මග හැරෙන්නට දෙන්නට නොහැකි මොකක්දෝ බැරිකමකින් අහස් පෙලුනේය. 

” හැබයි අහස් , උඹ ඉක්මන් වෙන්න එපා ” 

විශ්මිත තවත් යමක් නොකියා කීවේය. අහස්ට සිතන්නට බොහෝ දේ විය. 

Podium එක කෙළවරේ කුඩා මේසයක හුන් වර්ෂා අහස්ව දුටුවේ අහම්බෙනි. නිම්නාද තමා සමඟ සිටින නිසා සහ පෙර දින අහස් තමාට කතා කළ ආකාරය නිසා ඔහු තමාව නොදකින තරමට හොඳයයි වර්ෂා සිතුවාය. එහෙත් සියල්ලටම පෙර නිම්නාද අහස්ව දුටුවේය.

” අර අහස් නේද ඉන්නේ ? ” 

නිම්නාද ඇසුවේ වර්ෂාගෙනි. එහෙත් වර්ෂා උන්නේ වෙන කල්පනාවකය. 

” වර්ෂා ?” 

වර්ෂා තිගැස්සුනාය.

” මො..මොකද්ද ඇහුවේ ? ” 

” මම ඇහුවෙ අතන ටේබල් එකේ ඉන්නේ අහස් නේද කියලා ? ” 

වර්ෂා යන්තමින් හිස හරවා බැලූවාය. අහස් මිතුරා සමග බර කතාවක පසු වූයේය. 

” ඔව් නේද ” 

වර්ෂා පිළිතුරු දුන්නේ එතරම් ගානක් නැති බව පෙන්වමිනි. 

” මට ඌත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ ” 

එකවරම එසේ කියූ නිම්නාද තම අසුනෙන් නැගිට්ටේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles