පතිනියකගේ සටහන් – 6

0
1271

තාම වෙනසක් නැද්ද?

කේන්ති ගැනීම හොඳ දෙයක් නොවන බව මම දන්නවා. නමුත් මට දැනෙන්නේ කේන්තියක්. අනුන්ගේ ජීවිතයට ඕනෑවට වඩා අත දමන නෑදෑයන් ගෙන එන්නේ සතුටක් නෙවෙයි.

“දැන් බැඳලා මාස හය හතක් වෙලත් තාමත් මොකුත් වෙනසක් නැද්ද”

භානුකගේ නැන්දාගේ වචන වලට පිලිතුරක් නොදී මම ඉවසීමෙන් හිටියේ අසීරුවෙන්. අපේ ජීවන සැලසුම් අනිත් අයට හෙළි කරන්න අවශ්‍ය බව භානුකවත් මමවත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් දරුවෙකු පමා කරන හේතු ඇයට කියන්න මට අවශ්‍ය වුණේ නෑ.

දරුවන් නැති අයට බෙහෙත් කරන වෛද්‍යවරු කීප දෙනෙක් ගැන අපිව දැනුවත් කල නැන්දා පිටව ගිහින් ටික වෙලාවක්. විවාහ වූ හැටියේම අම්මා කෙනෙකු වෙන්නට බල කරන සමාජය ගැන කෝපයෙන් මම තවමත් ඉන්නේ. භානුකට නම් ඒ ගැන වගක් නැති පාටයි.

කියවන්න :  තවමත් දරු පැටවුන් සොයා නුවර වීදි වල සරනා ඇහැලේපොල කුමාරිහාමිගේ කඳුළු කතාව.

“ඔයා ඉන්නේ පොඩි නැන්දා එක්ක කේන්තියෙන් නේද තාරු”

භානුක අසන්නේ බොහෝ වෙලාවකට පසු.

“පොඩි නැන්දගේ දූ හර්ෂි අක්කට බබාලා නැතුව අවුරුදු පහක් හිටියා. අක්කගෙ වගේම අයියගෙත් පොඩි පොඩි දුර්වලකම් තිබිලා තියනවා. පවුල පවා කැඩෙන්න ගියා. අන්තිමට තමයි ඔය මානවී දූ ලැබුණේ. හුඟක් බෙහෙත් කරල. පොඩි නැන්දා හිතන්නේ දැන් හැම ගෑනිටම දරුවො ලබා ගන්න බැරි ප්‍රශ්න තියෙන්න පුලුවන් කියලා”

භානුකගෙ කටහඬ බොහොම සැහැල්ලුයි.

“මට ඇත්තටම හුඟක් කේන්ති ගියා භානු.අපේ ගෙදර හදන වැඩ ඉවර ඉවර වෙනතුරු අපි බබෙක් ගැන නොහිතා ඉන්න බව එයාලට කියන්න ඕන නෑ තමයි. ඒත් අනිත් මිනිස්සුන්ගේ බෙඩ් රූම් එකට එබෙන අය මට අප්‍රසන්නයි”

කියවන්න :  ස්කූටි පදින විට කවදාවත් මේ වැරදි කරන්න එපා..

මට ඉන්නේ තවමත් පහ නොවුණු කේන්තියෙන්

“ඕක සාමාන්‍ය දෙයක් තාරු. තමන්ට දෙයක් වුණාම ඒක අනිත් හැමෝටම විය යුතු බව හිතීම අපේ රටේ මිනිස්සුන්ට තියන පොදු රෝගයක්. මල් පිපෙන්න ඕන අපිට හොඳම කාලෙට බව දන්නේ අපි. ඕවා ගැන නොහිතා ඉන්න. මිනිස්සු නොනවත්වාම ඔයාගෙන් ඔය ප්‍රශ්නෙ අහවි. අපේ කාලය එනකන් හිනා වෙලා ඒක අමතක කරන්න”

මගේ කෝපය හෙමින් නිවෙන්න පටන් අරන්. හැමදාමත් වගේ භානුක හරි.

“මල් පිපෙන්න ඕන හොඳම කාලෙට”

-නිබන්ධිකා-