මල් ගෝවා මෙහෙම කාලා තියනවද?

මල්ගෝවා කියන්නෙ අඩු කැලරි ප්‍රතිශතයක් සහ විටමින් C, K, B6 වගේ ඉතා ඉහළ විටමින් වගේම ෆයිබර්, ෆෝලේට්, පොටෑසියම්, මැංගනීස් වගේ පෝෂක ගණනාවක් අඩංගු එළවළුවක්.

මල් ගෝවා වැඩිපුර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන්න, ජීර්ණ ගැටළු මඟහරවා ගන්න වගේම හදවතේ නීරෝගී බව පවත්වා ගන්නත් උදව් වෙනව කියලත් සඳහන් වෙනව.

නමුත්, අපේ රටේ අනිත් එළවළු වගේම මල් ගෝවා ආහාරයට ගන්න එක ගැනත් දෙපාරක් හිතන්න අපිට සිද්ධවෙලා තියන්නේ ඒවාට අධික කෘමිනාශක ප්‍රමාණයක් එකතු කරනව කියන මතයක් පැවතීම නිසයි.

ඒ නිසා මල් ගෝවා ආහාරයට ගන්න කලින් ලුණු මිශ්‍ර ජලයෙන් හෝදා ආහාරයට ගැනීම වඩා යෝග්‍යබවත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

මල් ගෝවා කියන්නෙ අනිත් එළවළු වගේම ඊටම ආවේණික රසයක් තියෙන එළවළුවක්. බිත්තර එක්ක තෙම්පරාදු කරල, ව්‍යාංජනයක් විදිහට පිළියෙල කරල වගේම සුප් නූඩ්ලස් වලටත් එකතු කරල මල්ගෝවා පිස ගැනීම සාමාන්‍ය ක්‍රමයනේ.

ඉතිං අපි අද ඔබට කියන්න සූදානම් වෙන්නෙ රසම රස මල්ගෝවා ව්‍යාංජනයක් හදාගන්නෙ කොහොමද කියලයි.

අවශ්‍ය ද්‍රව්‍ය

මල් ගෝවා ගෙඩියක් 

අබ ඇට තේ හැඳි ½ ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි ½ ක් 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 02 ක් 

සුදුලූණු බික් 02 ක් 03 ක් 

කරපිංචා ඉත්තක කොළ 

අඟලක පමණ කුරුඳු පොතු කැබැල්ලක් 

එනසාල් ඇට 02 ක් 

කරාබුනැටි 02 ක් 

තක්කාලි ගෙඩියක් 

මිරිස් කුඩු තේ හැඳි 1 ½ ක් 

බැදපු තුනපහ කුඩු තේ හැන්ඳක් 

(මිරිස් කුඩු සහ තුනපහ කුඩු ඔබේ රස අනුව අඩුවැඩි කර එකතු කරගන්න පුළුවන්)

කහ කුඩු තේ හැඳි ¼ ක් 

රස අනුව ලුණු කුඩු 

වතුර 

පොල් කිරි අඬු කෝප්පයක් (අත්‍යාවශ්‍ය නැත) 

දැන් අපි බලමු මේ රසවත් ගෝවා මල් ව්‍යාංජනය පිළියෙල කරගන්නෙ කොහොමද කියල.

සාදාගන්නා ආකාරය 

මුලින්ම මල් ගෝවා මල් කදෙන් වෙන්කර කුඩා කැබලි වලට කඩාගන්න.

කඩාගත් මල් ගෝවා කැබලි ලුණු මිශ්‍ර ජලයේ පොඟවා විනාඩි 15 ක් පමණ තබාගන්න.

ඒ අතරතුර තක්කාලි ගෙඩිය කුඩා කැබලි වලට කපා කැබලි නොසිටින සේ හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. 

දැන් පොඟවාගත් මල් ගෝවා ජලයෙන් ඉවත්කර හොඳින් සෝදා වතුර බේරීමට පසෙකින් තබාගන්න. 

ඊළඟට භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වන විට අබ ඇට, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, ලූණු, සුදුලූණු, අමු මිරිස් සහ කරපිංචා එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. 

ලූණු මැලවී ගෙන එන විට එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු සහ මල්ගෝවා කැබලි  එකතු කර නැවත හොඳින් කලවම් කර විනාඩි 05 ක් පමණ පිසගන්න. 

විනාඩි කට පසු අඹරාගත් තක්කාලි ටික එයට එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

මල්ගෝවා වැසෙන ප්‍රමාණයට වතුර දමා නැවත හොඳින් කලවම් කර භාජනයේ පියන වඩා මල්ගෝවා හොඳින් තැම්බෙන සේ විනාඩි 05 ක් 07 ක් පමණ පිසගන්න. 

දැන් එයට ඔබ සූදානම් කරගත් පොල්කිරි ටික දමා පොල් කිරි නටන තුරු පිසගෙන ඔබ කැමති ප්‍රමාණයට ඉස්ම සිටින තෙක් හින්ඳවා ගන්න. 

මේ අවස්තාවේදී රස බලා ලුණු අඩුවැඩිය එකතු කරගන්න ඔබට පුළුවන්. 

එහෙනම්, රස වගේම ගුණ පිරුණු මල්ගෝවා ව්‍යාංජනයක් මේ විදිහට හදල බලන්නත් අමතක කරන්න එපා. 

මේ වගේම රසවත් කෑමකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles