වසර විසි හතකට පසුවද සත්‍යය තවමත් හෙළිදරව් වී නැත.”The truth is still out there” -The X files

ඒ සංගීත නාදය ඇසෙද්දී “ඊළඟට වෙන්නේ මොකක්ද? ” යන භීතිය ද කුතුහලය ද අපව වෙලා ගත් හැටි ඔබට මතක ඇති. The x files ලෝකය පුරා සේම ලංකාවේ අපේ ද උන්මාදයක් බවට පත් වූ අතීතය ඔබට මතකද?

1993 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින ඇමරිකාවේ ක්වන්ටිකෝ Federal Bureau of Investigation ඇකඩමියෙන් පුහුණුව ලබා වොෂිංටන් Federal Bureau of Investigation (FBI) ප්‍රධාන කාර්යාලයට සේවයට පැමිණෙන වෛද්‍ය උපාධියක් සහිත ඩේනා කැතරින් ස්කලී ආයතනයේ ප්‍රධානීන් විසින් විශේෂ පරීක්ෂක ෆොක්ස් මෝල්ඩර් වෙත යොමු කරනවා.

මෝල්ඩර් ගේ පරීක්ෂණ සඳහා සහාය පරීක්ෂිකාවක් සහ ඔහු ගේ විමර්ශන කටයුතු වල විද්‍යාත්මක පසුබිම් සකසමින් වාර්තා ඉදිරිපත් කිරීමටයි ස්කලී පැමිණෙන්නේ. නමුත් එය සැබෑ අරමුණ නෙවෙයි.FBI ආයතනයේ සැබෑ අරමුණ වන්නේ මෝල්ඩර් ගේ ක්‍රියාකලාපය ඇමරිකානු රජයේ රහසිගත මෙහෙයුම් වලට සිදුකරන බාධාව මැඩපැවැත්වීමට ස්කලී යොදා ගැනීමයි.

මෝල්ඩර් FBI ආයතනයේ අතිදක්ෂයෙක්.ඔහු අවංක සහ කැපවීම ඇති කෙනෙක් ඒ නිසා ඇමරිකානු රජයේ දූෂිත හා අමානුශික සැලසුම් ඔහු අතින් හෙළිදරව් වීමේ අවදානම මැඩපවත්වා ප්‍රොටොකෝලය තුළ ඔහු රඳවා තැබීමට FBI ආයතනයට අවශ්‍ය වෙනවා. ඒ නිසා ස්කලී මෝල්ඩර්ගේ සහායක තනතුරට ඔවුන් යොමු කරනවා.

පිටසක්වල ජීවීන් පෘථිවිය සමඟ සිදුකරන ගනුදෙනු හා රහසිගතව සම්බන්ධ වීම සහ 2012 දෙසැම්බර් 21 දිනයේදී පිටසක්වල ජීවීන්ට පෘථිවිය ආක්‍රමණය කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීම යන අමානුෂික සැලසුම ඇමරිකා රජය සඟවමින් සිටිනවා. ඔවුන් මෝල්ඩර්ගෙන් සඟවන්නේ ඒ කාරණාවයි.

1993 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින ආරම්භ වූ The X Files කතා මාලාව පරිච්ඡේද 9 ක් හා කතාංග 202 වශයෙන් 2002 මැයි 19 වන දින අවසාන වෙනවා.පිටසක්වල ජීවින් ගැන හොලිවුඩය බිහි කළ අපූරු නිර්මාණයේ දසවන පරිච්ඡේදය කතාංග 6ක් ලෙස නිකුත් වන්නේ වසර දහයක නිහැඬියාවකට පසුයි.The X Files හි 11 වන පරිච්ඡේදය කතාංග 10 ක් ලෙස 2018 ජනවාරි 03 වන දින එළි දැක්වුණා.

පසුගිය වසර විසි හත තුළ එනමින් චිත්‍රපටි දෙකක් ද නිකුත් වී තිබෙනවා.

1945 පටන් පිටසක්වල ජීවින් ඇමරිකා රජය හා සම්බන්ධතා පැවැත්වූ බව, පරීක්ෂණ සඳහා පුද්ගලයන් රැගෙන ගිය බව, යානා ගුවනේ දිස් වූ බව යන කටකතා පදනම් ව The X files කතා මාලාව නිර්මාණය වී තිබෙනවා.

පැහැදිලිකළ නොහැකි සංසිද්ධි (Unexplained phenomena) සහ අත්භූත සිදුවීම් (paranormal activity) ගවේෂණය කිරීම මෝල්ඩර්ගේ රාජකාරියයි, ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පසුබිම සකස් කිරීම ස්කලී ගේ රාජකාරියයි. නිර්මාණය වන ගැටළුවට විසඳුම් නැත්නම් ඒ වාර්තා X කාණ්ඩයේ තැන්පත් කරනවා එවන් වාර්තා X Files ලෙස සටහන් වෙනවා.

ෆොක්ස් මෝල්ඩර් ගේ චරිතය සුපිරි හොලිවුඩ් නළු ඩේවිඩ් ඩිකව්නි විසින් ද ඩේනා ස්කලී ගේ චරිතයට සුපිරි හොලිවුඩ් නිළි ගිලියන් ඇන්ඩර්සන් විසින් ද නිරූපණය කළා.ස්කලී සහ මෝල්ඩර්ගේ අපූරු මිත්‍රත්වය සහ ඒ බැඳීම බොලිවුඩයේ නොමැකෙන සටහන් තබන්නට සමත් වූවා. ආදරය සහ මිත්‍රත්වය අතර දෝලනය වෙමින් පැවති ඒ බැඳීම ප්‍රේක්ෂකයන් අතිශය සංවේදී කරමින් ගලා ගියා.

මෝල්ඩර් ලෝකය පුරා යුවතියන්ගේ ආකර්ෂණය දිනා ගත් Crush එකක් වූයෙත් ඔහුගේ රූපයටත් වඩා ඒ විචක්ෂණශීලි බුද්ධිය නිසාමයි. එදා අපේ ඒ ආදරය දිනාගත් ඩේවිඩ් ඩිකව්නි දැන් හැට හැවිරිදි බව ඔබට විශ්වාස කරන්නත් නොහැකි වේවි. නළුවෙකු, ගායකයෙකු,ගී පද රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙකු ලෙස නොයෙක් භූමිකා ද ඔහු හොබවනවා. ඔහු නිළියක වූ Tea Leoni සමඟ 1997 වසරේ විවාහ වූ අතර දරු දෙදෙනෙකුගේ පියෙකු බවටත් පත් වෙනවා. ඩේවිඩ්ගේ විවාහය වසර කිහිපයක් තිස්සේ දෙදරා යමින් යළි එක්වෙමින් පැවතියත් ඔහු 2014 ජූනි මාසයේ දික්කසාදය ලබා ගන්නවා.X Files එකොළොස්වෙනි සීසන් එකෙන් පසු ඔහු යළිත් රඟපෑම් වලට එක් වූයේ නැහැ. ලේඛනය සහ ගායනය දැන් ඔහු වඩා ප්‍රියකරන දේවල් වී අවසන්.

ගිලියන් ඇන්ඩර්සන් ද දැන් පනස් දෙහැවිරිදි වියේ පසුවන්නියක්. ඇගේ පළමු සැමියා එක්ස් ෆයිල්ස් හි සහය කලා අධ්‍යක්ෂකවරයා යි.ඔවුන්ට දියණියක් ද සිටිනවා. නමුත් ඒ විවාහය දික්කසාදයකින් කෙළවර වූ පසු ගිලියන් වාර්තා චිත්‍රපට කරුවෙකු සමඟ නැවත විවාහ වෙන්නේ 2004 දී. ඇය අපේ රටට ආදරය කරන්නියක්. ලංකාවේ දේශගුණය සහ පරිසරයට ගිලියන් කොතරම් ප්‍රියකරනවාද කියන්නට ඇති හොඳම නිදසුන ඈ කොස්ලන්ද ප්‍රදේශයෙන් තේ ඉඩමක් සහ නිට්ටඹුවේ වලව්වක් ද මිලට ගෙන නිවාඩු කාල ඒවායේ ගත කිරීමයි.
රංගනයට අමතරව ඇය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයටද යොමුව තිබෙනවා. එක්ස් ෆයිල්ස්වලින් පසු විවිධ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය මාලා සඳහා ඇය දායක වුවත් ස්කලි යනු සදා නොමැකෙන මතකයක් වී හමාරයි.

දැන් වසර විසි හතක් ගෙවී ගොස් අවසන්.

නමුත් පිටසක්වල ගැන හෙළි නොවූ දෑ The X files ඉදිරියේ දී ද අපට කියන්නට ඉඩ තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles