මතක දිගහැරුම 37 – අප්සාරි සිංහබාහු තිලකරත්න

තිස් හත්වන දිගහැරුම,

පවුලේ සියලු වගකීම් කර මතට ගත් වැඩිමහල් දියණිය ලෙස, ඉතා ඉවසීමෙන් යුතුව අම්මා සහ තාත්තා මැදිවී ඇති ගැටළුව විසඳා දීම මා කළ යුතු විය.අම්මා පැවසූ සියලු දේවල් වලට ඉතා සාවධානව සවන් දුන් මා , මේ ගැටලුව විසඳා ගැනීම සඳහා අපට ගත හැකි පියවරයන් මොනවා දැයි ඔවුන් සමග සාකච්ඡා කළෙමි.පලවෙනි විසදුම ලෙස නඩු මගට බැසීම අප කළ යුතුව තිබුනත් , අදාල ඥාතීන් විසින් නීත්‍යානුකූලව අපට එම ඉඩම පවරා නැති වීම ගැටලුවක් විය.අනෙක් කාරණාව නම් නඩු කටයුතු සඳහා සහභාගි වීමට ඉතා අහිංසක කාන්තාවක් වූ මගේ අම්මාට ඒ තරම් තේරුමක් නොතිබීමත් , තාත්තා අසනීපයෙන් පසු වීමත් සහ නංගි පාසල් යන වයසේ පසු වීමත් බාධාවක් විය.ඒ වගේම පුහුණුවීම හේතුවෙන් මාස තුනක් ගත වන තුරු නැවත මට ලංකාවට පැමිණීමට නොහැකි වීම ද නිසා නඩු මගට බැසීමේ විකල්පය සම්පූර්ණයෙන් අත්හැර දමන්නට අපට සිදුවිය.ජීවිතයේ ප්‍රථම වරට සහෝදරයෙකු නැති අඩුව මට තදින්ම දැනෙන්නට විය. පවුලේ දරුවන් ලෙස නංගිත් මාත් පමණක් සිටීම පිළිබඳව කිසිම දිනක මා පසුතැවී නැති නමුත් , ඒ මොහොතේ මා හට අයියා කෙනෙකු සිටියා නම් මොනතරම් හොඳ දැයි සිතුනි.

අපට තිබූ ඊළඟ විකල්පය වූයේ නිවස ගොඩ නැගීම සඳහා වැය වූ මුදල ඔවුන්ගෙන් ඉල්ලා සිටීමය.නමුත් ඒ මොහොතේ ,මෙපමණ මුදලක් වැය වූවා යැයි ඔවුන්ට පෙන්වීම සඳහා , නිවස සෑදීමට අවශ්‍ය කරන බඩු මිලදී ගත් බිල්පත් කිසිවක් අප සතුව තිබුණේ නැත.මන්ද අනාගතයේ දවසක මෙවැනි සිදුවීමකට මුහුණ පාන්නට සිදුවේ යැයි අප සිහිනෙකින්වත් සිතුවේ නැත.එම නිසා දළ වශයෙන් වටිනාකමක් ඔවුන්ට පවසන්න යැයි මා තාත්තාට කීවෙමි.එවිට තාත්තා පැවසුවේ අදාළ සිදුවීම සිදු වූ අවස්ථාවේ දී එම විකල්පය තාත්තා ඔවුන් වෙත ඉදිරිපත් කළ බවයි.ඒ මොහොතේදී ඔවුන් පවසා ඇත්තේ ඒ සඳහා ඔවුන්ට මුදල් නැති බවයි.ඉතා කුඩා මුදල් ප්‍රමාණයක් පවසා එම ප්‍රමාණය පමණක් තාත්තාට දිය හැකි බවත් ඔවුන් පවසා ඇත.නමුත් එතරම් කුඩා මුදලකින් එකල නිවසක කුඩා කොටසක් වත් ඉදිකිරීමට හැකියාව තිබුණේ නැත.එම නිසා එම විකල්පයත් අතහැරීමට අපට සිදුවිය.

ඉතාම තරුණ වියේ සිට මුදල් ඉපැයූ නිසාවෙන් මුදල් යනු මට අලුත් දෙයක් නොවීය.ඒ වගේම කිසිදු දිනක දී මුදල් පිළිබඳව ලෝබකමක් ද මට නොතිබිණි.එම නිසා භෞතික දේවල් පිළිබඳව දැඩි ආශාවක් හෝ ඇලීමක් මා තුළ තිබුණේ නැත.එබැවින් අප හට තිබූ අවසාන විකල්පය වූයේ වෙහෙස මහන්සි වී ඉපැයූ මුදලෙන් ඉදිකළ නිවස අදාළ පුද්ගලයන්ට භාර දීමය.ඥාතීන් පිරිස නිවස ඉල්ලූ දිනට එය භාර දෙන ලෙස මම අම්මට සහ අම්මාට සහ තාත්තාට පැවසුවෙමි.එයට පෙර හිතවත් කිහිප දෙනෙකුට පවසා කුඩා නිවසක් හෝ සොයා ගන්නා ලෙස මා ඔවුන්ට උපදෙස් දුන්නෙමි.

නිවසක් මිලට ගැනීමට මුදල් වුවමනා වී තිබූ නිසා ඥාතීන් කිහිපදෙනා ලබාදෙනවා යැයි කියූ සුළු මුදලත් ලබා ගෙන මාගේ කාර් රථය ද විකුණා මුදල් ලබා ගන්නා ලෙස මම අම්මාට සහ තාත්තාට කීවෙමි.ඒ වන විට මා ලංකාවෙ නැති නිසාවෙන්ද , තාත්තා රැකියාවට නොයන නිසාවෙන් ද කාර් රථය අවශ්‍ය නොවන නිසා හැකි ඉක්මනින් එය විකුණා ,එම මුදල් අපට අත්‍යවශ්‍යම අවස්ථාවේ ප්‍රයෝජනයට ගත හැකි වීම මට මහත් සහනයක් විය.

මහරගම නාවින්න විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ තාත්තා සමග බොහෝ හිතවත් ය.කෙසේ හෝ නිවසක් සොයා ගැනීමට හැකි වන බව සහ කිසිදු දිනක අප පවුල අසරණ නොවන බව උන්වහන්සේ තාත්තාට පවසා තිබුණි.එසේ පැවසූ ස්වාමින් වහන්සේ විසින් පසු දිනක උන්වහන්සේගේ හිතවත් අයෙකු හෝමාගම රෝහල අසල කුඩාවට ඉදි කළ නිවසක් පිළිබඳව විස්තර තාත්තාට ලබා දී ඇත.ඥාතීන් පිරිස විසින් ලබා දුන් සුළු මුදල සහ මාගේ කාර් රථය විකුණා ලබා ගත් මුදල ද එකතු කර තාත්තා එම නිවස මිලදී ගෙන ඇත.තාත්තා මිලදී ගත් එම නිවස අඩක් ඉදිකළ එකක් විය. අප සතුව දැනට ඇති ගෘහ භාණ්ඩ සියල්ල එම නිවසට රැගෙන නොයා , අත්‍යවශ්‍යම භාණ්ඩ පමණක් රැගෙන ගොස් අනෙක් ඒවා දුප්පත් මිනිසුන් හට බෙදා දෙන ලෙස මා තාත්තාට පැවසුවෙමි.මා නැවත පැමිණි විට අලුතෙන්ම ගෘහ භාණ්ඩ මිලදී ගෙන දෙනවා යැයි මා තාත්තට පොරොන්දු වූයෙමි.ඉතා හොඳ රැකියාවක නිරත වූ මා තාත්තා මිලදී ගත් නිවසේ ඉතිරිය ඉතා හොඳින් සහ සුව පහසු ඇති අන්දමට ඉදි කර දෙන්නට ඉටා ගත්තෙමි.

කෙසේ හෝ නොසිතූ ලෙස මැදි වූ එම ගැටලුව අප එසේ විසඳා ගත් අතර , අසාධාරණ ලෙස අපට සැලකූයේ අපගේම ඥාතීන් බවත් , එම නිසා මින් මතුවට එවැනි ඥාතීන්ගේ සබඳතා අපට අවශ්‍ය නොවන බව හොඳින් මතකයේ තබා ගන්න යයි අවසාන වශයෙන් මා තාත්තාට පැවසුවෙමි.සිදු සිදු වූ සියලු දේ අමතක කර නිවසේ යතුර ඔවුන්ට භාර දී , ස්තූති කර සතුටින් පිටත්ව එන්නැයි කියාද මා අම්මාට සහ තාත්තාට කීවෙමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles