“මං ඔයාට ආදරේ කරපු දවසේ ඉඳන්ම ඔයා ගැන එක දෙයක් දැනගෙන හිටියා රශී.ඒත් අද ඒක එහෙම නෙවෙයි කියලා මං දැන ගත්තා.මට ඇත්තටම හුඟක් අප්සට්..”
නිම්න එක්තරා රාත්‍රියක නිවසට පැමිණ රශ්මිට කීවේ පරාජිත දෑසකිනි.ඔහු පවසන දෑ වටහා ගන්නට නොහැකිව රශ්මි උඩබිම බලන්නට විය.තව නොබෝ දිනකින් ඔහු පිය පදවියට උසස් කරමින් සිඟිත්තෙකු පැමිණෙන්නට තිබියදී පවා නිම්න මෙවැනි අමුතු වචන පැවසීම රශ්මි මහත් භ්රාන්තියට පත් කළා ය.
“ඔයා මොනවද මේ කියන්නේ..”
ඈ වඩා තිගැස්මකින් විමසුවා ය.දෑත් මත හිස ගසාගෙන මඳ වෙලාවක් සිටි නිම්න හිස එසවූයේ රත් පැහැ දෑසකිනි.
“මං ජීවිතේ හැමදෙයක්ම හරි පරිස්සමින් ගොඩ නගපු මිනිහෙක් මැණිකේ.මං තාත්තගෙ නම හින්දා බැබළෙන මිනිහෙක් නෙවෙයි.මං හින්දා මං බැබළෙන්නේ.ඒ හැම දෙයක්ම,හැම අවෝඩ් එකක්ම,උපයා ගත්තු හැම සතයක්ම,ඔයාව පවා මං ගොඩ නගා ගත්තේ නම්බුවක් තියා ගෙන..”
නිම්නගේ හඬ බිඳී යයි.ඔහු වෙනුවෙන් තමන් කළ කිසිවක්ම නැති නමුත් ඔහු මේ පවසන දෑ ගැන අදහස රශ්මිට වැටහෙන්නට පටන් ගත්තා ය.ඈ හඬන්නට ගත්තී,හඬමින්ම දිගැසිගේ කාමරයට දිව ගියා ය.කිසිම සිරිතක් සිහි නොවූ හන්දාම රශ්මි එහි පිවිසියේ දොරට සන් කරන්නේ ද නැතිව ය.හඬාගෙන විත් තමන් වැළඳ ගත් නෑනන්ඩිය දුටු දිගැසි කම්පනය වූවා ය.
“ඇයි රත්තරං..ඇයි මේ..බ්ලීඩ් වෙනවද? මොකක් හරි අමාරුවක්ද? ඉන්න මම අම්මට කතා කරන්නං”.
රශ්මි නෑනන්ඩිය නවතාලද්දීම නිම්න කාමරයට පිවිසියේ ය.ප්‍රේමයෙන් ජීවිතය ගෙවන ඔවුන් අතර ගැටුමක් ඇති වීමට කිසිම ඉඩක් නොමැති බව දිගැසි සිතා සිටියා ය.එනිසාම ඇයට මේ වියවුල පුදුමයකි.නිම්න දෙනෑනාවරුන් දෙස කෝපයෙන් බැල්මක් හෙළා ඇඳ මත හිඳ ගත්තේ ය.
“මොකද අයියා වෙලා තියෙන්නෙ.මේ කෙල්ල ඉන්නෙ බනින්නයි සැර කරන්නයි හොඳ මානසිකත්වයක නෙවෙයිනෙ.මොකද මේ?”
දිගැසිගේ හඬ ගලා ආවේ තදිනි.ඈ සොයුරා දෙස රවා ගත් වනම හුන්නා ය.
“මං හිතුවෙ නෑ රශී මට ජීවිතේට මේ වගේ රහසක් හංගයි කියලා..අනිකා නංගි උඹ?”
කළකිරීම පිරී ගිය හඬකින් පැවසූ නිම්න සුසුමක් හෙළුවේ ය.
“මොකක්ද? ඔයා මෙයාට බබාගේ ජෙන්ඩර් එක හැංගුවද රශී..”
දිගැසි ඇසුවේ කෝපයෙනි.නිම්න නැගී සිට කාමරය පුරා සක්මන් කරන්නට ගත්තේ ය.ඒ ඔහු කෝපය පිට කරන අන්දම බව ඔහු ගැන දශක තුනකට ආසන්නට කාලයක් දැන සිටි දිගැසිත් වසර පහ හයක් තිස්සේ දන්නා රශ්මිත් තේරුම් ගත්හ.
“අර අක්කා කියන එකී ආපහු ගෙදර ගිහින් දැන් දවස් කීයක්ද?”
රශ්මිගේ සැකය විසඳෙමින් තිබිය දී දිගැසිගේ කෝපය ඇවිලෙන්නට විය.
“සතියට වැඩි..” ඇය ඒ කෝපයෙන්ම පිළිතුරු දුන්නා ය.
“ඒකි ඉන්නෙ ගෙදර නෙවෙයි.අර රස්තියාදුකාර මිනිහෙක් අල්ලන් රස්තියාදු ගහනව..”
නිම්න බිත්තියකට පහරක් එල්ල කළේ කෝපයෙනි.රෑ කළුවර පිරි එළිමහන දෙස බලාගෙන රශ්මි ගලා යන කඳුලට ඉඩ දුන්නා ය.නමුත් දිගැසි සොයුරා ඉදිරිපිට සිට ගත්තේ කෝපයෙනි.
“අර එරන්ද ද..ඉතිං ඇයි ඔයා ඒ මිනිහගෙ සින්දුවකුත් කරන්න බාර ගත්තේ.අනික අපි මොකක්ද ඔයාට හංගන රහස? තමන්ගෙ පළවෙනි දරුවා බඩේ තියාගෙන ඉන්න තමන්ගෙ වයිෆ්ට කොහෙවත් ඉන්න මෝඩ සහෝදරියක් හන්දා බනින්න ඔයාට පිස්සුද අයියෙ.අපේ අක්කා කරන කිසිම විකාරයකට මංවත් රශීවත් සම්බන්ධ නෑ.එයා මැරේජ් එක ඇතුළේ දුක් විඳිනව නම් අපි එයා වෙනුවෙන් ඉන්නව.ඒත් තිසරු අයියා හොඳ මනුස්සයෙක් බව අපි දන්නවනෙ..”
නිම්න නිවී ගිය බැල්මකින් සහෝදරිය දෙස බැලුවේ ය.අක්කා නිසා තමන් හැසිරුණු අන්දම ගැන ලැජ්ජාවක් දැනෙද්දී ඔහු දෑත් පා රශ්මිව තුරුලට ගත්තේ ය.
“මට අක්කයි ඒ කොල්ලවයි මීට් වුණා.අහම්බෙකින්.ඌත් එක්ක උගෙ ඇනෙක්ස් එකකට ගිහින් උයන්න බඩු ගන්නව.මං නිම්න වික්‍රමාරච්චි නිසා ඉවසුවෙ.සාමාන්‍ය කොල්ලෙක් සුපර් මාකට් එකකදි තව කොල්ලෙක්ට නහයෙන් කටින් ලේ එන්න ගහනවට වඩා නිම්න එහෙම කරාම ගොසිප් සයිට් කාරයො සතියක් ගොඩ..”
නිම්න කියන්නේ දෑත් වේගයෙන් පිරිමදිමිනි.නොවටිනා බැල්මකින් බලා සිටි තරුණයා සහ වැදගත් අන්දමින් හිස වනා තිසරු අයියා කිරා මැන බැලෙන්නේ ඔහුටම නොදැනී ය.
“එහෙම ඒ කොල්ලට ගහලා අපේ අක්කව බේරා ගන්න ඔයාගෙයි මගෙයි අක්කා තාම ඉස්කෝලේ යනවද අයියා? ඔව් මමයි රශීයි මේක දන්නව.ඔයා වැඩ ගොඩක බිසී වෙලා ඉන්නකොට ඒක ඔයාට නොකියා හිටියෙ ඔයා අවුල් වුණොත් මියුසීෂියන් කෙනෙක් හැටියට ඔයාගෙ වැඩ කරන මානසිකත්වය නැති වෙන හින්දා.මෙතන අක්කා ගැන හිතන්න කිසිම දෙයක් නෑ.මං කැම්පස් යන කාලෙ වගේම දැන් වුණත් අසාධාරණයට ලක් වෙන ගෑනු අය වෙනුවෙන් පෙනී ඉන්න කෙල්ලක් අයියා.හැබැයි මං හැමදාම කියන දෙයක් තියනව.සමහර ගෑනු හින්දා පිරිමිත් අසරණ වෙනවා.එයාලා ගැන කතා කරන්නත් ඕන අපිමයි.මං තිසරු අයියාගෙ පැත්තෙ ඉන්නෙ.එයා තවම මොකුත්ම දන්නෙ නෑ.ඒ උනාට දැන ගත්තම එයාට දැනෙන වේදනාව සුළුපටුත් නෑ.”
දිගැසි එසේ කියද්දී නිම්නගේ දෑස නැවත කෝපයෙන් රත් පැහැ ගැනිණ.
“ඔයාලා දන්නවද එයා මහලොකුවට කිව්ව දේ?”