සඳ කත් මිණි ඇස් – 35

ආලෝක ගේ රිය ගෙමිදුල ට විත් නතර වන හඬින් චාන්දනී ඉක්මන් ගමනින් ගෙතුළ සිට ආලින්දය හරහා පිටතට ආවා ය. පුතු සමග ම රියෙහි අනිත් පසින් බසිමින් උන් සූර්යා ව දැක ගත් ඕ ක්ෂණික ගැස්මකට ලක් වූවා ය. ඇය ගෙදරටත් එන්නට පටන් ගෙන තිබේ!

චාන්දනී එහෙම ම හැරී යළි ගෙතුළට යන්නට සිතුවා ය. නමුත් ආලෝක ‘අම්මෙ’ කියා ඇමතූ හඬින්, ගමන් වේගය බාල විණි. චාන්දනී ගේ මූණේ වූයේ හොඳක් නොවේ. ඇගේ වත අඳුරට හැරෙමින් තිබිණ. පුතා තමන් ට වඩා මේ ස්ත්‍රියට විශේෂයක් දක්වතැයි ඊර්ෂ්‍යා සහගත හැඟීමක් මත ඇති වූ වෙනසකි එය.

කුසයේ තියා ගෙන හිඳ දුක් විඳ හැදූ පුතුන් දිනෙක වෙනත් කාන්තාවකට තමන් ට වඩා සමීප වන බව හැම අම්මා කෙනෙක් ම දනී. නමුත් ඒ කාන්තාව තමන් නොරිසි කෙනෙකු වත්දී මේ අඳුරු හැඟීමෙන් මිදීම දුෂ්කර වේ. චාන්දනී ද මේ වෙලාවේ දුක් විඳින්නේ ඒ අන්ධකාරය තුළ ය.

“අම්මෙ සූර්යාව එක්කං ආව මං”

චාන්දනී ආලෝක ගේ මුහුණ වෙතට දැඩි බැල්මක් හෙළා ඉවත බලා ගත්තා ය.

“හිතුවද මගෙ ඇස් පෙනිල්ලත් අඩු වෙලා ගිහිං කියල…”

ආලෝක කේන්ති ගත්තේ නැත. මෙවන් මොහොතක වඩා වැදගත් වන්නේ උනුන් තේරුම් ගන්නට දරනා උත්සාහය මිස කෝපය නොවේ. අනිත් අතට අම්මා කියන වචනය තුළ වන පරිත්‍යාගශීලී බව ගැන ආලෝක තරම් දන්නා පුතෙකු තව කොයින් ද? තමන් වෙනුවෙන් ඒ තරම් පරිත්‍යාගයන් සිදු කළ අම්මා වෙනුවෙන් ඉවසන්නට, බැරි ම තැන වුව ඔහු සූදානම් ය.

“අම්ම මෙතනිං ටිකක් ඉඳ ගන්නකො”

ආලෝක චාන්දනී ගේ දෙඋරහිසින් අල්ලා අසුන් ගත කරවීමට තැත් කළේ ය. මුරණ්ඩු වන්නට ඕනෑ තරම් හැකියාව ඇය ට  විය. නමුත් චාන්දනී  ඉවසන්නට හිතුවා ය. එය වූ කලී ක්ෂණික තීරණයකි. ගැහැනුන් කියන්නේ එවන් වූ සත්ව කොට්ටාසයකි. ඔවුන් ට සිය මනස වහා වෙනස් කර ගන්නට පුළුවන.

“අපිට අම්මත් එක්ක කතා කරන්න ඕන”

‘අපිට’ කියන වචනයෙන් ඇය යළිත් නො රිස්සුම් නොවූවා නොවේ. නමුත් චාන්දනී නිහඬ ව අසුන් ගත වූවා ය. ඈ අභියස යුගල අසුනේ සූර්යා ගේ අතකින් යන්තම් අල්ලා හිඳ වූ ආලෝක එහි අනිත් කෙළවර හිඳ ගත්තේ ය.

“අම්මෙ”

ආලෝක කතා කළේ හෙමිහිට ය. නමුත් ඒ හඬින් සිය හදවත දෙදරා ගියා සේ චාන්දනී ට දැනිණ. සූර්යා හිටියේ බිම බලා ගෙන ය. චාන්දනී ඇදෙස බලා යළි සිය පුතණුවන් දෙස බැලුවා ය.

“අපි ඉක්මනට මැරි කරන්න හිතං ඉන්නව අම්මෙ”

අර දෙදරීම ඉතා කුඩා කැබලි වලට විසුණු වීමක් බවට පත් විය. පුත්‍රයා අන්තිමට සිය තීරණය පිච්චියකට මායිම් නො කොට සූර්යා ව ම තෝරා ගත් බවට රිදුමක් චාන්දනී ට දැනිණ. එය වූ කලී තමන් ව නො සලකා හැරිණැයි දැනීමෙන් ඇති වන්නා වූ රිදුමකි.

නමුත් එසැනෙන් ඇය සාමාන්‍ය අතට හැරීමට උත්සාහ ගනිමින් ද සිටියා ය. මේ පරාජය පිළි ගත යුතු ව තියේ. ආලෝක ගේ තීරණය වෙනස් කරන්න ට කිසි සේත් නො හැකි වනු ඇත.

“අම්මෙ…සූර්යා…මේ…මං..අම්මෙ මේ…”

කවරාකාරයෙන් මෙය කියන්න දැයි අවබෝධයක් ආලෝක ට වූයේ ම නැත. මගදී අම්මා ට කිව යුතු දේ කට පාඩම් කර ගෙන නො ආ එක ගැන පසුතැවීමක් ඔහු ට දැනිණ.

සූර්යා ගේ මොළකැටි රතදර අතරේ මන්දහාසයක් පිපී ආවේ ය. ආලෝක සිටින්නේ පඹ ගාලක පැටලී ගෙන ය. ඔහු ව මේ අපහසුවෙන් මුදවා ගැනීම ඇගේ යුතුකමකැයි සූර්යා ට සිතිණ.

“අම්මෙ…අම්ම ආච්චි අම්ම කෙනෙක් වෙන්න යනව”

ඈ එය කීවා ය. ආලෝක ඇදෙස බැලවේ එය කියන්නට හොඳ ම විදිහ ඇය දැන ගත්තේ කෙසේද යන විමතියෙනි.

චාන්දනී ට එක වර ගින්දරක් ද සිසිලසක් ද දැවිණ. ඇතැම් විට එය තත්පර කිහිපයකට පියවි තත්වයෙන් ඈත් වීමක් වන්නටත් පුළුවන.

“ඔයා තාත්තෙක් වෙන්නයි යන්නෙ”

ඇගේ ම හඬ අතීතයේ සරමින් තිබී, වහා මේ මොහොතේ ඉදිරියට විත් ඇයට ඇසෙන්නට විය. ඒ වෙලාවේ දේශප්‍රේමියා ගේ මූණේ ඇඳුණ සිනහව, ඔහු විනාඩි ගණනක් යන තෙක් පියවි සිහියෙන් ඈත් වූවා සේ ඇදෙස බලා උන් අයුරු, අවුරුදු හතලිස් තුනකට ද පස්සේ ඇස් පියකුදු වෙනස් නැතිව ඇය ට මැවී පෙනිණ.

සීයෙකු වෙන්නට යනවා යි දැන ගන්නට මේ මොහොතේ ඔහු ජීවතුන් අතර සිටියා නම්!

චාන්දනී ගේ උගුරේ හිර වීමක් ඇති විය. නාස් පුඬු දැවුණේ ය. ඇස් වල මීදුමක් බැඳුණා සේ බොඳ වී යමින් තිබිණි.

ආච්චි අම්මා කෙනෙක්!

පුංචි මුණුපුරෙක්!

“අනේ”

ඇය ට කියා ගත හැකි වූයේ එපමණකි. ඇස් වල බොඳ වී තිබි මීදුම පින්නක් ව කඩා වැටුණේ ය. සූර්යා වහා නැගිට චාන්දනී වෙත ගොස් පුටු අත මත හිඳ ගත්තා ය.

“අම්ම”

නැන්දම්මා සිය හැබෑ හැඟීමට ඉඩ දුන්නා ය. ඇයත් නො දැන ඇය සූර්යා ව තදින් වැළඳ ගෙන තිබිණ. විනාඩි කිහිපයක් තෙක් ඒ වැළඳ ගැනීම දිගු වූයේ ය. අවුරුදු ගාණක් තිස්සේ, දේශප්‍රේමියා මිය ගියාට ම පස්සේ පාළුවට ගොස් වල් වැදී තිබි හදවත එසැනෙන් පැහැදුල් වූ බවක් දැනිණ.

“දෙයියන්ගෙ පිහිටයි. අපි කිරි අම්මලට දානයක් බාර වෙමු. මොනාද දුව කන්න ආස…මං ටක් ගාල හදල දෙන්නං”

“අම්ම හදල දෙන ඕන දෙයක් මං ආසාවෙන් කනව අම්ම”

එවර කඳුළු පිරුණේ ආලෝක ගේ ඇස් වල ය. මේ වියවුල මේ තරම් පහසුවෙන් විසඳා ගත හැකි වනු ඇතැයි ඔහු කොහෙත් ම සිතුවේ නැත. අම්මා ට අකීකරු පුතෙකු වී සිය ජීවිතයට පතිණියක ගෙවැදගනු වෙනුවට, ඇය ගේ ආශිර්වාදය මත එසේ සිදු වෙන එක සැනසීමකි.

“සූර්යාගෙ අම්මටත් කියල…අපි අද හෙට ම රෙජිස්ටර් කරන්න ඕන අම්මෙ”

මුළුතැන්ගෙයි, චාන්දනී පෑන් කේක් පිළියෙල කරන්නට වන් කල ආලෝක එතැන දැවටී හිඳිමින් කීවේ ය. චාන්දනී ගේ ඇස් වලට උනන කඳුළු නතර කර ගැනීමේ සටනින් අන්තිමට ඇය පැරදුණා ය.

“තාත්තත් හිටියනං අද…”

බිඳුණු හඬකින් අන්තිමට ඇය කියා ගත්තා ය.

ඔහු නික්ම ගොස් වසර තිස් ගණනකි. පිරිමියෙකු ගේ හයියක් කෙසේ වතුදු ඇල්මක් බැල්මක් හෝ නොමැති ව දරුවෙකු ද හදා ගනිමින් ජීවිතයට මුහුණ දීම තනි ගැහැනියක ට ඒ තරම් පහසු නැත. චාන්දනී කොළඹ ට පය තැබුවේ කොළඹ ගැන මළ පොතේ අකුරක් දන්නේ ද නැතිව ය. ගාමන්ට් එකක ජීවිතය මැසූ ඇය ඉදිරියට නොයෙකාකාරයෙන් ජීවිතය පැමිණියේ ය. උහුලා දරා ගන්නට ම බැරි ව තනි ව හැඬූ නිමේෂයන් ඕනෑ තරම් පසු වී යන්නට ඇත. නමුත් ඒ කිසිදු අවස්ථාවක චාන්දනී සිය පුතු ඉදිරියේ මේ තරම් දිය වී ගොස් නැත. කවදාවත් ඇය ආලෝක ට ඇහෙන්නට ‘අනේ තාත්ත හිටියනං පුතේ’ යි කියා නැත. ඇගේ හදවත, දේශප්‍රේමියා ටයර් සෑයක දැවුණ දින සිට හැම මොහොතක ම එසේ කෙඳිරූ බව ඇත්ත ය. නමුත් මුව තර කොට පියා සිටියා ය.

ගැහැනුන් එසේ ය. ඔවුන් ගේ හදවත් වෙඬරු පිඬක් සේ උණු වෙන බව ඇත්ත ය. නමුත් හදවතට දැනෙනා ගින්දරෙහි රස්නය වැඩි වන්නට වන්නට එය වෙඬරු වෙනුවට බිත්තර සේ දැඩි වෙන්නට ගනී. චාන්දනී සිත දැඩි කර ගෙන සිටියේ ද එසේ ය.

“තාත්ත ඉන්නව අම්මෙ කොහොමත්…”

පෑන් එකට පිටි දියරය දමා කරකැවූ චාන්දනී ගේ පිටුපසින්, ආලෝක ඇගේ උරහිස් වටා දෑත් යවා ගත්තේ ය.

“අම්මවත් මංවත් තාත්ත ගැන කතා කරන්නෙ නැතුව හිටියට…එයා නැති හුස්මක්වත් අපි දෙන්නම අරගෙන නෑනෙ…”

සූර්යා චාන්දනී අතින් පැතලි හැන්ද ගෙන රොටිය බෑවා ය. ඊළඟට පෑන් එකට යළිත් පිටි දියරය දැමුවා ය.

“තාත්ත බලාපොරොත්තු වුණ දේ මං කරනව අම්මෙ…ඕගොල්ලො ඔක්කොමලව මං බලා ගන්නව”

“මන්නං දැන් උන්නත් එකත් මළත් එකයි. ඔයාගෙ දරුවෙක්ගෙ මූණ දැක්කට පස්සෙ…මැරෙන එක ගැන මට හිතන්න දෙයක් නෑ. ඔයා කැමති විදිහකට මේ දේවල් කර ගන්න. මට වෙන කියන්න දෙයක් නෑ පුතා”

“අම්ම අපිට සමාව දෙන්නෙ නැද්ද…”

“මේ නාකි ගෑනියෙක්ගෙං මොන සමාවක්ද…අනික ඔයා හිතනවනං ඔයා වරදක් කළේ නෑ කියල… මට වඩා ඉගෙන ගත්තු ළමයෙක්නෙ ඔයා”

අම්මාගේ හා පුතා ගේ කතා වලට මැදිහත් වන්නට නොයා සූර්යා පසෙකට වී සිටියා ය. පෑන් කේක් කන්නට දී චාන්දනී ඉඟුරු දමා තේ හැදුවා ය. මහත් අභිරුචියකින් සූර්යා ඒ තේ පැන් සංග්‍රහයේ රස වින්දා ය. සූර්යා ගේ මූණෙන් ම චාන්දනී ට ඒ බව හැඳිනිය හැකි විය.

“බඩ පැලෙන්නම කෑව අම්ම”

බඩ පපුව දැවී යන්නා සේ චාන්දනී ට දැනිණ. ඇය සූර්යා ගේ අත් ගොබයක් පිරිමැද්දා ය.

“මං රෑ කෑම හදන්නං”

“අද එපා අම්ම”

ආලෝක වහා ඉදිරිපත් විය.

“මෙයාගෙ යාළුවෙක් එක්ක ඩිනර් ගන්න…”

“ඉතිං අපි නටාෂාට මෙහෙ එන්න කියමුකො”

ආලෝක ට කියන්න ගිය දේ සම්පූර්ණයෙන් කියන්නට ලැබුණේ නැත. සූර්යා මැද්දෙන් පැන්නා ය.

“මට අම්ම උයන ඒව කන්න ආසයි”

ඒ වූ කලී මේ මොහොතේ ම උපන් ආශාවකි. මීට පෙර දරු පිළිසිඳ ගැනීම් වල දී පැරීසියේ පදිංචි සිංහල කාන්තාවන් දොළදුක් කෑම පිස ගෙන ආ හැටි සූර්යා ට සිහි විය. නමුත් ඇයට දැනුණා වූ දොළදුකක් නැත. ඒ සියල්ල ආදරය හා බැඳුණ හෝමෝනමය ක්‍රියාකාරිත්වයන් වන්නට ඇතැයි සූර්යා ට සිතිණ.

“මං උයන්නං”

“එහෙනං අපි ඕගොල්ලංගෙ ගෙදරට ගිහින් එමු. අම්මට කතා කරල..”

ආලෝක සූර්යා දෙස බලා ගෙන විචාළේ ය. ඇය එකඟතාවය හඟවමින් හිස සැළුවා ය.

“ඕව ඔහොම කරල හරියනවද ළමයො…”

චාන්දනී එකඟ වන බවක් පෙනෙන්නට තිබුණේ නැත.

“සිරිත් කියන දේවල් කරන්න දැන් ඉතින් විදිහක් නෑ තමයි. ඒ වුණත් ඉතිං..යමු. මමත් එන්නං”

“එතකොට උයන්නෙ…”

“ඇවිත් උයනව”

චාන්දනී නැගිට කාමරය දෙසට යන්න ගියා ය. ආලෝක සූර්යා දෙස බැලුවේ ය. ඈ සිය උදරය මතින් අතක් තබා ගෙන හිස පහලට හරවා ගෙන සිටියා ය. ආලෝක හෙමිහිට පිය තබා සූර්යා වෙත ගියේ ය.

“මෙයා ආව දවසෙ ඉඳංම හොඳයි වගේ…සාම නියෝජිතයෙක් වගේ හැම දේම හොඳ අතට වෙනස් කරනව”

ආලෝක සූර්යා දෙස බලා ගෙන ම සිටියේ ය. ඔහු ගේ හිතේ යමක් වන බව ඇයට දැනිණ.

“ඇයි…”

“මට හිතෙනව එක දෙයක්”

“මොකද්ද ආලෝක…”

“මේ එන්නෙ තාත්තද කියල..”

ඇය ආදරණීය සිනහවකින් ඔහු ගේ පපුවෙහි අතක් තැබුවා ය.

“දේශප්‍රේමී පැටියෙක්…අපි මීටියාගොඩ ගිහිං එමු”

කැබිනෙට්ටුවක් මත තවමත් අලුත් සුදු මල් මාලයක් පළඳිමින්, පින්තූර රාමුව ඇතුළේ සිට අඩ සිනහවකින් දේශප්‍රේමියා බලා සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles