සුහදිනී -25

සමහර මිතුරියන් ජීවිතය තුළ සමහර අත් වැරදීම් කර ගන්නේ ඉතා ඉක්මන් තීරණ නිසා බව සකී දැන සිටියා ය.ජීවිතය කියන්නේ ඉක්මනින් තීරණ ගත යුතු තැනක් නොවේ.ඉතා කල් බලා ගන්නා තීරණ හොඳම දේ ලබා දෙන්නට සමත් ය.

“ගෑනු ළමයො? බය වෙලාද ඉන්නේ?”

යක්ෂයෙකු තරම් ආවේගයක් ඇතැයි පවසන තරුණ ක්‍රීඩකයාට මේ තරම් මුදු සිනාවක් කොහෙන්දැයි සකී කල්පනා කළා ය.ඔහු මුලින්ම දුටු දිනය සිහි කරන්නට උත්සාහ කළා ය.එය එතරමට පහසු නොවේ.කිසිසේත්ම පහසු නොවේ.ඔහු සිහින වන සරන්නේ ඇය ඒ තරමට  ළාබාල කාලයේ සිට ය.අහස් රථය නවතා ගත්තේ ජනාකීර්ණ නොවන මාවතක ය.සකී ඔහු දෙසට එක් බැල්මක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූවා ය.මෙතැන අනතුරුදායක නොවේ.නමුත් ඇයට  අපහසු හැඟීමක් ද දැනේ.

“නිදහසේ කතා කරනවා කියන්නෙ මේකට නෙවෙයි.ඒත් කලබලේ දුවගෙන යන හොස්පිටල් එකේදිත් කවුරු හරි ෆොටෝ එකක් අරන් සෝෂල් මීඩියා දානකොට තව මොන කතාද?”

ඒ හඬ පිරී ඇත්තේ ශෝකයට බව සකී සිතී ය.ඔහු තුළ මේ වන දේවල් සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවකි.

“ජනප්‍රිය වුණාට ආස නැද්ද?”

මෝඩ බව හැඟෙන ප්‍රශ්නය නොඅසා සිටින්නට සකීට නොහැකි විය.ඔහු අර වඩා කාන්තිමත් සිනාව තත්පර කිහිපයක් ඇය වෙත තිළිණ කළේ ය.

“අතන පොඩි එකෙක් වෙලා ඉගෙන ගන්න කාලේ ඉඳලා මට ඕන වුණේ මෙතනට එන්න තමා.ඒත් ජීවිතේ මෙච්චර සංකීර්ණ වෙයි කියල හිතුවෙ නෑනෙ.අපිත් සාමාන්‍ය මිනිස්සු.මිනිස්සුන්ගෙ ආදරේ ටිකක් වැඩියෙන් ලැබෙනවා.ඒ ලැබෙන ආදරේට නම් ලෝබත් හිතෙනව.නරක මේවා තමයි.”

අහස් කියන්නේ මෑතින් පෙනෙන ඔහුගේ පාසල පෙන්වන අතර ය.එතැන අධ්‍යාපනය ලැබීම ම සීමිත දරු පිරිසකට ලැබෙන අවස්ථාවකි.සියුම්ට ශිෂ්‍යත්වය සමත් වීම එතැන දොර හැරෙන්නට හේතු වූවාට අහස් එතැනට ආවේ ආසන්නතම පාසල වීම නිසා බව සකී දන්නී ය.ඔහු සීමිත අවස්ථා බොහෝ ගණනක් ඉතා පහසුවෙන් ලබාගත් වාසනාවන්තයෙකි.

“මිනිස්සු ඕනෙම කෙනෙක්ගෙ දේවල් හොයනවා කියලා අයියට හිතෙන්නෙ නැද්ද? අපිත් එක්කම ඉන්න අපේ කිට්ටුම අයගෙ දේවල් වුණත් එයාල හොයනවා.ඒ වුණාට ඒ දේවල් ගැන එළිපිට කතා කරන්නේ නෑ.ඒ ඇරියස් පියවගන්නේ ජනප්‍රිය මිනිසුන්ගේ දේවල් ගැන එළිපිට කතා කරලා”

සකීට හොඳ ජීවන දර්ශනයක් ඇතැයි අහස්ට සිතේ.ජීවිතය එක්ව යාමට අත අල්ලා ගත යුත්තේ ජීවිතාබෝධය සහිත ගැහැනියක බව කොහෙන්දෝ අසා තිබූ අන්දම ගැන ඔහුට සිහිපත් විය.කොහොමටත් ඇය ඔහුගේ ය.ආත්මීය සහකරුවන් යන සංකල්පය ගැඹුරින් විස්තර කරන්නට නොදන්නා නමුත් මේ එවැන්නක් බව ඔහුට සිතේ.

“මට මොකක් හරි නරකක් වෙන්න තියෙනවා නම් ඒක කලින් තේරෙනවා.ඒ කියන්නේ මං ඊටකලින් දවසේ නරක හීනයක් දකිනව.මං ඒ දකින හීනේ ගෑනු ළමයෙකුත් ඉන්නව.”

අහස් කියවාගෙන යද්දී සකීට සිනා ඉපදිණ.ඔහු කතා කරන්නේ කුඩා දරුවෙකු කතාන්දරයක් කියන පරිද්දෙනි.ජීවන දර්ශනයක් ඇතිව ඉතා සංයමයකින් වචන පාවිච්චි කරන ඔහු මේ කතාව කියන්නේ කටපාඩම් කරගත් ස්වරූපයකින් ය.

“ගෑනු ළමයෙක්ට කියන්න පුළුවන් සුරංගනා ම කතාවක් මම කිය කියා ඉන්නවා කියලා හිතලා ද හිනා ගියේ?”

අහස් වහා විමසී ය.ඇතැම්විට සිහිනය සහ ඇය සම්බන්ධ සිදුවීම් අදාළ වන්නේ ඔහුට පමණක් විය හැකි ය.මේ කතාව අසා සිටීමෙන් අනතුරුව සකී මේ සම්බන්ධයෙන් පිටත සමාජය දැනුවත් කළහොත් තමා ලැජ්ජාවට පත්වන්නේ ස්වල්ප වශයෙන් නොවන බව ඔහු දනී.නමුත් ඇය ගැන එවැනි මඳ සැකයක්වත් ඇති වන්නේ නැත.හදවතට දැනෙන සමහර හැඟීමකට වැට බඳින්නට අහස්ට නුවුමනා විය.

“මං අහලා තියේ සමහරු කියනවා අයියට වැඩියෙන්ම කම්ෆටබල් වෙන්නේ ඉන්ග්ලිෂ් වලින් කතා කරන එක කියල.එහෙනම් ඒ කතාව ඉන්ග්ලිෂ් වලින් කියන්න.මට හිනා ගියේ වචන ගළපපු හැටියට.”

සකී ඔහු වඩාත් සැහැල්ලු කළා ය.තමන් කුමන හෝ අසීරුතාවයක හිඳින මොහොතක වහා ඒ අපහසුව තීව්‍ර කරන සාරණ්‍යාව අහස්ට සිහියට නැගිණ.

“මට ඇත්තටම එක දිගට කතාවක් තියෙනව.ඒ හීන ගැන කියන්න යන කතාව ඔයාට විහිළුවක් වෙයිද කියලයි මට බය.”

ඒ හීන ගැන හෙළි කරන්නට බිය විය යුත්තේ තමා බව සකී සිතුවා ය.ඔහු තාරකාව ය.ඔහු හිඳින සිහින දකින්නේ ඉතා කුඩා කෙල්ලක කාලයේ බව කියන්නට බිය විය යුත්තේ ඇය ය.කොල්ලෙකුට එපමණ සුරංගනා කතාවක් පැවසූ පසු අසරණ වන්නේ ඈ නිසා ඒ සිහින සම්බන්ධ කතාව ජීවිත කාලයටම රහසක් කරගන්නට සකී සිතමින් සිටියා ය.නමුත් කෙනෙකු සමඟ වඩාත් පහසුවෙන් කතා කරන්නට දැනෙන හැඟීම ඇයට අහස් අසල දැනේ.මේ රටක් බලාපොරොත්තු තබා ගන්නා ක්‍රීඩකයා වග ඇයට දැනෙන්නේ නැත.ඇය ඔහුගේ බව දැනෙන හැඟීම ද ඔහු ඇයගේ බව දැනෙන හැඟීම ද නවතන්නට ඇයට නුවුමනා විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles