මන්නත් මන්දිරයේ සිට උපන්දිනයට රසිකයන් මුණ ගැසෙන ෂාරුක්

ඉන්දීය පාසල් සිසුන් පිරිසක් වසර ගණනාවකට ඉහතදී දවසක ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වූ ආකාරය ඔබට මතක ඇති.සිනාවක් නොමැති මුහුණකින් ඉවත බලා සිටි කෙට්ටු සුදු කොල්ල වටා සිටි පිරිස එදින කිසි ලෙසක නොසිතූ දෙයක් තිබෙනවා.

“අපි එක්ක මේ ඉන්නේ තව අවුරුදු කිහිපයකට පස්සේ බොලිවුඩි සිහින කුමාරයා වෙන කෙනා.”

ඒ සිහින කුමරු අද ඔහුගේ පනස් හත් වැනි උපන් දිනය සමරනවා.

පනස් හතක්? ඔහු තවම ජීවිතයේ තෙවැනි දශකය ගත කරන බව පිළිගන්නට කැමති රසිකාවියන් අනන්තවත් ඇති.ඉතා ළාබාල වියේ පසුවන යුවතියන්ගේ පවා මුල්ම ක්‍රෂ් එක වීමේ භාග්‍යය අයත් ඔහුට.

ෂාරුක් ඛාන්.

ඔහු බොලිවුඩයට නැතිවම බැරි සිහින තාරකාවයි.මේ වෙද්දී ඔහු 87 කට අධික ප්‍රමාණයකට දායක වී ඇති බව කියවෙනවා.1965 නොවැම්බර් දෙවැනිදා ඉන්දියාවේ නවදිල්ලියේ උපදින ෂාරුක් පියාගේ අකල් මරණයෙන් පසුව ජීවිතයේ බොහෝ දුක් කම්කටොලු ඉසිළූ තරුණයෙක්.ලතීෆ් ෆාතිමා ඛාන් නම් ඔහුගේ අම්මා පුතුගේ සිහිනය සැබෑ කර ගන්නට අත්වැලක් වූ බව පැවසෙනවා.ආර්ථික අර්බුද දරාගෙන ඇය පුතුට සිනමා පාසලට යාමට ධෛර්යය සපයා තිබුණා.

1988 වසරේදී ෂාරුක් Dil Dariya නම් ටෙලි නාට්‍ය මාලාවකට දායක වුණත් එය විකාශය වීම ප්‍රමාද වෙනවා.ඉන්පසු රඟපෑ Fauji ටෙලි නාට්‍යය ඔහුගේ පලමු ටෙලි නාට්‍යය ලෙස සැලකෙන්නේ එනිසා.

1991 වසරේ දී විසි හය හැවිරිදි ෂාරුක් මුම්බායි නගරයට එන්නේ ඉන්දීය රුපියල් එක්දාස් පන්සීයක් අතැතිව.එදා මැරීන් ඩ්‍රයිව් හි හිඳ මුම්බායි නුවර දෙස බලාගෙන “කවදා හෝ මේ නගරය පුරා නම පතුරනවා” යැයි සිතූ ඔහු දැන් ඒ නම ලෝකය පුරා පතුරවා අවසන්.අද වෙද්දී ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 700 ට වඩා වැඩි වත්කමක් හිමි ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ දෙවැනියා වී හිඳිනවා.1992 වසරේ ඔහු රඟපෑ Deewana ෂාරුක් ඛාන්ගේ පළමු චිත්‍රපටියයි.ඔහු ෆිල්ම් ෆෙයාර් උළෙලේ දී හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය පවා දිනා ගන්නවා.

ඒ ඔහුගේ ගමනේ ආරම්භය.

තමන්ගේම අනන්‍යතාවයක් සමඟ දිගු ගමනක් යාම බොලිවුඩයේ අතිශය අසීරු ක්‍රියාවක්.නමුත් ෂාරුක් ඛාන් king Khan වී ඔහුගේ නම බොලිවුඩය තුළ සළකුණු කර හමාරයි.ලෝකයේ විශාලම රසික පිරිසක් සිටින ලොව ජනප්‍රිය ම සිනමා තරුව ලෙස ඔහු හැඳින්වෙන්නේ ඒ නිසා.මුලින් ප්‍රතිවීර චරිතයකින් ගමන ආරම්භ කළත් ඔහු මේ වෙද්දී බොලිවුඩයේ රෝමාන්තිකයා බව ලිවිය යුතු ද නැහැ.

ෂාරුක් ඛාන්ගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වන්නේ බොලිවුඩයේ සදාතනික ආදරය – Dilwale Dulhania Le Jayenge චිත්‍රපටියයි.ෂාරුක්ගේ දක්ෂකම නිසාම එය බොලිවුඩයේ ද හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව පැවසෙනවා.90 දශකය පුරා බොලිවුඩයේ ප්‍රේමවන්තයා වන්නේ ඔහු.එය සහස්‍රයේ ද වෙනසක් වන්නේ නැහැ Kuch Kuch Hota hai, Kabhi kushi kabhi Gam,Devdas,Kal Hoo Naa Hoo,Main Hoo Na,Veer Zaara,Kabhi Alvida naa kehena,Don,Ashok, Chak de India, Om shanthi O,Rab Ne Bana Di Jodi ආකාරයෙන් මේ චිත්‍රපටි ලැයිස්තුව බොහෝ දිගුයි.ඔහු තවමත් ප්‍රේමවන්තයෙකු බව Dilwale චිත්‍රපටිය හරහා ඔහු නැවතත් ඔප්පු කළේ 2015 දී.ඔහුගේ රංගන ජීවිතය ගැන නොදන්නා කෙනෙකු නැති තරම්.

ඉතා ළාබාල වයසකදී ම ෂාරුක් ට ආදරය කළ තනි කැමැත්තට ඔහු සමඟ විවාහ වී ජීවිතය දිග අත නෑර ඇවිද ආ ගෞරි ඛාන් ෂාරුක්ගේ වාසනාව බව ද බොහෝ අය පවසනවා.ඇය රංගන ශිල්පිනියක නොවුණ ද ඉන්දියාවේ දැනට සිටින සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක්.ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස ගෞරි ඇගේ දක්ෂතා පෙන්වූ අවස්ථා ඕනෑ තරම්2018 Forbes සඟරාවට අනුව බලවත්ම කාන්තාවන් පනස් දෙනාට පවා ඇතුළත් වූ ඇය ෂාරුක්ගේ ගමනට විශාල සවියක් දෙන බව නොරහසක්. සුහානා,ආර්යයන් සහ ඒබ්‍රහම් දරු තිදෙනා ඔවුන්ගේ ජීවිත මිහිරෙන් පුරවමින් සිටිනවා.

ස්ථිර නිවසක්වත් නොමැතිව විවාහ වූ ෂාරුක් අද ඉන්දියාවේ වැඩිම වටිනාකම් ඇති නිවෙස් අතරට එක්වන මන්නත් මන්දිරයේ හිමිකරු වනවා.රාමසාන් දිනයටත් ඔහුගේ උපන්දිනයටත් ඒ මන්දිරය ඉදිරිපිට විශාල ජනකායක් රැස් වෙනවා.ඒ අතරින් වඩාත්ම සුන්දර වන්නේ නොවැම්බර් 2 වැනිදා  ෂාරුක් මන්නත් මන්දිරයේ සිට ඉන් පහත සිටින රසිකයන්ට ආචාර කිරීම යි.ඔහු දකිනවිට මිනිසුන්ගේ ඔල්වරසන් නැගීම සහ තමන්ගේ කුඩා ත්‍යාග ඔහු වෙත විසි කිරීම,ඉන් සුබ පැතීම සිදු වෙනවා.ෂාරුක් සියල්ලන්ටම හස්ත සංඥා නගමින් ස්තුති කරනවා.පියාඹන හාදු විසිකරනවා.මෙත් එකතුකර ආචාර කරනවා.තමන් වෙනුවෙන් බොහෝ දුරක් ගෙවා පැමිණීම ගැන විශාල කාලයක් නාස්ති කිරීම ගැන ඔහු ඒ අයට ස්තුති කරනවා.ඉන් නැවතෙන්නේ නැහැ.ඔහු තමන්ගේ iconic pose රඟ දක්වා තමන්ගේ රසිකයින් ප්‍රීති ප්‍රමෝදයට ලක්කරනවා.සැබෑවටම තාරකාවකට ඊට වඩා වැඩි දෙයක් ඇතැයි සිතන්නට බැහැ.

ෂාරුක් ඛාන් ඉන්දියාවේ දැවැන්තම ජීවමාන බ්‍රෑන්ඩ් එක.එහි කිසිම සැකයක් නැහැ.ඔහු තමන්ගේ මානුෂිකත්වය ද විවිධ අවස්ථාවල ඕනෑවටත් වඩා පෙන්වා තිබෙනවා.සමහර වැඩසටහන් සහ වීඩියෝ පට හරහා ඒවා ලෝකය පුරා රසිකයින් අනන්ත වාරයක් දැක ඇති.

වීරයන් බිහි වන්නේ කලාතුරකින්.තමන්ගේ වීරත්වය පවත්වා ගන්නන් බිහි වන්නේ ඊටත් වඩා කලාතුරකින්.බොලිවුඩයේ රෝමාන්තිකයා එවැන්නෙක්.

ඔහුට සුබ උපන්දිනයක් වේවා!

Related Articles

Don't Miss


Latest Articles