නිබ්බුත ගීත – 02

මා ඒ ඔබට කීවේ මීට වසර ගණනාවකට පෙර අතීතයේ දවසක් ගැන ය. ඒ මගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ දිනයයි. මා හා මල්ලී අපේ මිදුලේ ලෑලි බංකුව මත හිඳ ගෙන ලෝචන මදුරාපුර ගැන සිතිවිලි ලෝකයේ කිමිද සිටියෙමු. 

‘අපේ ගේ’ කීවාට ඒ ගේ කෙබඳු දැයි අදහසක් දැනටමත් ඔබට වන බව මම දනිමි. දර පොල් කොළ දමන්නට තැනූ කුඩා කාමරයක් ගෙයක් කර ගන්නට සිදු වූ මිනිසුන් ගේ ඉරණම ගැන වෙන ම කතා කළ යුතු ය. තමන්ගේ පියා විසින් ගෙදර දර පොල් කොළ දමන්නට තැනවූ මඩුව නිවහන කර ගන්නට මගේ අම්මාට සිදු වීම ඉරණමේ විශාල අත් වැරැද්දක් කියා මම සිතමි. ඒ ගැන දිගට දුරට කතා කිරීම පසුවට තබා මම යළිත් අපේ මාතෘකාව පැත්තට එමි. 

එය තනි කාමරයකි. ගලින් බැඳ තිබුණාට වහල නූස් ය. ඉතා පහලින් ගැසූ වහලට තහඩු කිහිපයක් දමා තිබුණේ ය. අව් රශ්මිය වැඩි වෙත්දී ඒ ටකරන් රත් වී ඒ තුළ සිටිනා මිනිසුන් ගේ ඉහින් කනින් දහඩිය වැගිරෙන්නට ගනී. නමුත් අපේ සියලු කටයුතු වලට හෙවන දුන්නේ ඒ නූස් ටකරන් වහල බව අදට ද මම ගෞරවාදරයෙන් සිහිපත් කරමි. 

අම්මා කුස්සියක් ලෙස මඩුවක් පිටුපසින් අටවා ගෙන සිටියා ය. එය වත්තේ ම පොල් ගස් වලින් වැටෙනා පොල් අතු, වත්ත පහලින් ගලනා කුඩා දිය පහරක් සහිත කාණුවේ දමා පොඟවා වියා ගැනීමෙන් සෙවිලි කොට වට කොට ගත්තකි. කාලයෙන් කාලයට ඒ කුස්සිය වේයන් අල්ලා දිරා වැටුණේ ය. එතකොට අලුත් පොල් අතු ටිකක් වියා නැවත ද අටවා ගත යුතු ය. එහෙම අලුත් කුස්සියක් හැදෙත්දී මම මොකක්දෝ ආශ්වාදයක් ලැබුවෙමි. එය හරියට අලුත් මැදුරකට ගෙවදුණා වාගේ එකකි. කුස්සියක් තිබුණාට එහි නිතර බත් ඉදුණේ නැති බව ද කිව යුතු ය. හාල් ටිකක් ගන්නට අම්මා අත මුදලක් නැති ම වුණොත් අපි දෙතුන් වේල කුස ගින්නේ හිඳ ඇත්තෙමු. බතක් විතරක් උයා ගන්නට ලැබුණොත් ලුණු ටිකක් ඉහා ගෙන හෝ පොල් ටිකක් ගා ගෙන කුස් පුරවා ගෙන ඇත්තෙමු. මා හා මල්ලී කුඩා කල පටන් ම එදුකින් පදම් වී සිටි නිසා ද මන්දා අපි කිසි දා ක බඩගිනියි කියා අම්මා ට කරදර නොකළෙමු. මට යමක් කමක් තේරෙන්නට ගත්තාට පස්සේ කුස්සිය පැත්තේ මිදුලේ මඤ්ඤොක්කා දඬු කිහිපයක් සිටුවා අලයක් හාරා ගන්නට පටන් ගතිමි. නමුත් හැමදාම මඤ්ඤොක්කා බහින්නේ නැත. පස්සෙ පස්සේ මල්ලී ද ගේ පිටුපස්සේ කිරි අල සිටවූයේ ය. නමුත් දවසක් ආච්චි මමී වත්ත සුද්ද කරන මිනිසා ලවා ඒ කිරි අල පඳුරු ගලවා විසි කරවූයේ කැලේ වවාගෙන මදුරුවන් බෝ කරන බවට අපට චෝදනා කරමිනි. 

ඉස්සරහ මිදුල අපේ කුඩා ‘සෙල්ලම් ගෙදර’ට නො ගැලපෙන විදිහේ මල් උයනකි. හැමදාමත් එහි තාරකා හා දාස්පෙති මල් පිපුණේ ය. මම වියළි මල් ඇට නැවත ද මිදුලේ තැන තැන විසි කරමි. එතකොට ආයේ ම පැල හැදී මල් පිපෙන්නේ ය. ඒ අනුව අපේ මිදුල මල් වැරුවේ ම නැත. 

මල් එක්ක බැඳුණ වෙන ම ජීවිතයක් මට තියේ. මගේ ලෝකය ම මල් වලින් ගැවසී ගත්තේ ය. බුදු රුවක් සහිත වෙසක් කාඩ් පතක්, පිටි ටින් එකකට කෝට්ටක් ගසා සාදා ගත් බුදු කුටියක තබා පහනක් දල්වන්නට මා පටන් ගත්තේ ඉස්කෝලේ යන්න ගත්තාට පසු ය. ගුරුතුමී බුදුන් වඳිනා ළමයින්ට අත ඔසවන්නයි කීවා ය. මා අත එසවූයේ නැත්තේ බොරු කියන්නට බැරි කමට ය. එදා ඇය මුළු පන්තිය ඉදිරියේ මාව දණ ගස්වා තැබුවා ය. ඒ මා පාසලේ දී දඬුවම් විඳි ප්‍රථම අවස්ථාවයි. මගේ කුඩා සිත රිදී තිබුණේ ය. බුදුන් නො වඳින්නට හේතුවක් ගුරුතුමිය ඇසුවේ නැත. මට දුක හිතුණේ ඒ ගැන නො විමසා දඬුවම් කළ එක ගැන ය. ඇතැම් විට ඈ විමසූවත් අපේ ගෙදර බුදු පහනක් නැත ය කියා මා නො කියනු ඇත. කුඩා සා වියේ පටන් ම මම නැති බැරි කම් ගැන කිසිවෙකු සමග කතා කරන්නට මැළි වූයෙමි. අපේ නැති කම් අපේ හිත් තුළ ම තබා ගන්නට මට ඕනෑ විය. නමුත් ගුරුතුමී දඬුවම් කරන්නට පෙර ඊට හේතුව සොයා බැලුවා නම් ඒ වේදනාව නො දැනිය හැකි ව තිබි බව අද ද මම විශ්වාස කරමි. 

බුදු කුටියක් අටවා ගෙන මැටි පහනක් සොයා ගත්ත ද හැම දා ම පහන් දල්වන්නට පොල් තෙල් අපේ ගෙදර තිබුණේ නැත. ඉඳ හිටක අම්මා පොල් තෙල් අරික්කාලක් කඩයෙන් ගෙන ආ දාක  මා පහනට එය වත්කරත්දී ඇය කෑ ගැසුවා ය.

“ඔන්න ඕක පහනට වක්කොරන්නැතුව හිටහං. අපිට මොන පහන්ද බං…බුදු හාමුදුරුවො තරහ වෙන්නෑ අපි වගේ මිනිස්සු පහන් පත්තු නොකළා කියල. ඔන්න ඕක තිහාං හාල්මැස්සෙක් හරි තෙල් දා ගන්න”

මා මහත් පාප කර්මයක් කර ගන්නට ගිය බවක් මට දැනිණ. මා දණ ගස්වා ගුරුතුමී ද පාපයක හවුල් කාරියක් වූවා ය. එදා පටන් මගේ බුදු කුටියට වැඩියේ මල් පමණකි. මම වට්ටි ගණන් මල් කඩා වෙසක් කාඩ් එකේ උන් බුදු සමිඳුන් වැහෙන තරම් මල් කන්දක් පූජා කරන්නට පුරුදු වූයෙමි. 

බාලිකාවේ ළමයින් උපන් දින වලට සුබ පැතුම් පත් තිලිණ කළහ. මගේ උපන් දින වලට ද ඒවා ලැබී තිබේ. නමුත් කඩෙන් එවැන්නක් මිල දී ගැනීමක් ගැන සිතිය හැකි තත්වයක් මට නොවුණෙන්, මම වේලා ගත් මල් කාඩ් බෝඩ් කැබැල්ලක අලවා මගේ හැඩ අකුරෙන් සුබ පැතුමක් ලියා මිතුරියන් ට තිලිණ කළෙමි. කඩෙන් ගන්නා ඒවාට වඩා ඔවුහු ඒවා අගය කළෝ ය. එය මට සතුටක් සේ ම සැනසිල්ලක් ද විය.

කොණ්ඩේ මල් ගහන්නට ඇති වූ පුරුද්ද නම් මා කොහෙන් ගෙන ආවක්ද කියා මම නො දනිමි. පාසල් ගොස් ආවාට පස්සේ, ගේ ඇතුළේ වන අධික රස්නය නිසා මා හා මල්ලී වැඩිපුර ගැවසුනේ මිදුලේ ය. පැදුරු කැබැල්ලක් එලා ගෙන ඒ මත සෙල්ලම් කිරීම හෝ පාඩම් කිරීම සිදු වූ අතර, ඒ වෙලාවට තාරුකා මල් කිහිපයක් කඩා ගෙන ගෙතූ කොණ්ඩා කරල හෝ දෙක මත ඒ මල් ගවසා ගෙන හැඩ බලන්නට කුඩා කල පටන් ම මම ආශා වීමි. පසු ව මල්ලී ලී කොටයක් ගෙනැවිත් එහි දමා මට පාඩම් කරන්නට තැනක් හදා දුන්නේ ය. අප වයසින් වැඩෙත්දී ඔහු ලෑල්ලක් ගසා බංකුවක් තැනුවේ ය. 

“සුදූ”

මගේ කල්පනා ලෝකය බිඳ වැටුණේ මල්ලී ගේ මිමිණුම් සරිනි. මම වහා නෙතු ඔසවා ඔහු දෙස ද, ඉන් පසු ඔහු ගේ ඇස් දිගේ ඒවා යොමු වී තිබූ දෙස ද බැලුවෙමි. පත්තර කොළයකින් එතූ පිඟානක් ඉණට තබා අල්ලා ගෙන කඩිමුඩි ගමනකින් වසන්ති පුංචි අප වෙත එමින් සිටියා ය.

“බත් කෑවද නිබ්බුතා…උයල නැතුව ඇති කියල හිතල මං මේ බත් එකක් බෙදං ආව”

ඇය බත් පත මවෙත පෑවා ය. ඔවුන් අප කෙරේ අනුකම්පාවෙන් අපට බත් නො අදින බව මා හා මල්ලී තේරුම් ගෙන සිටින්නේ දුරාතීතයේ පටන් ය. නො එසේ වී නම් අම්මා ගේ මහ ගෙදර ඇත්තන් අත පොවන මානයේ සිටියදී බඩ ගින්න කියනා ස්වභාවික සන්සිද්ධිය සමග අපට ඒ තරම් ඔට්ටු අල්ලන්නට සිදු වන්නේ නැත. ඔවුන් ගේ ගෙදර ඉදෙනා බත් මුට්ටි වල අඩියේ ඉතිරි වන දංකුඩය හෝ අපේ ගෙදර පොඩි උන් දෙන්නා ගේ කුස් පුරවන්නට ය කියා කිසි දා ක ඔවුන් එවා නැත. මුට්ටියේ ඉතිරි වෙන බත් ටික කුණු වළට විසි කරනා එක, අපට දී එය පුරුද්දක් වෙනවාට වඩා හොඳ යයි ඇතැම් විට ඔවුන් සිතන්නට ද ඇත.

මල්ලී බංකුව මතින් නැගිට ගෙට රිංගා ගත්තේ වසන්ති පුංචි ගැන වන නො පැහැදීමෙන් බව මම දනිමි. සමහර විට පුංචී ද එය දන්නවා විය හැක. මා මෙන් ඕනෑ ම දේකට සිනහ වී කර බා ගන්නා පුරුද්දක් මල්ලී ට නැත්තේ ය. අප ළමා විය ගෙවා නව යොවුන් වියට එළඹෙන සමයේ සිදු වූවා වූ හෝමෝනමය පරිවර්තන වල ප්‍රතිඵලයක් ලෙස ද මන්දා ඔහු හිතේ ඇති දෙයක් මූණට ම කියා දමනා පුරුද්දක් ඇති කර ගත්තේ ය. නමුත් මා දිගට ම සිතුවේ ඔවුන් ගේ සිත් නොරිදුවා හිඳීම ගැන ය. මට රිදි රිදීත් කිසිවෙකු නො රිදුවීම ගැන ය.

“ඇත්තද නිබ්බුතා අර මල්ලි කිව්වෙ…”

ඈ ආවේ කුමට දැයි මා කළ අනුමානය නිවැරදි වූයේ ය. අඩ සිනහවක් නැගුණ ද එය පුංචී කෙරේ අපහාසයකින් උපහාසයකින් නැගුණක් නොවන බව හඟවා සිටිනු වස් මම ඒ සිනහවේ අහිංසක පැහැයක් තැවරුවෙමි.

“මෙඩිසින් කරන්න පාස් වෙලාද නිබ්බුතා…”

“ඔව් පුංචි”

“අනේ ඒත් ඕවට වියදං කරන්නෙ කොහොමද නේද…”

මම බිම බලා ගතිමි. 

“ඕව කරන්න පුළුවන් ලොකු පවුල් වල මිනිස්සුන්ට. ඔය කෝකටත් වඩා හොඳම දේ ඉක්මනට රස්සාවක් හොයා ගෙන මේ ගෙදර තියන ප්‍රශ්න ටික විසඳ ගන්න එක නේද…අම්මට කියලත් දැන් ඔය ගෙවල් වල ලිප් බොක්කෙ දුං කන්න බෑ. බලහල්ලකො නන්දනී අක්කගෙ හැටි. දර සෑය වගේ. ඔය මිනිස්සු ගෙදර වැඩට වෙන කෙනෙක් හොයා ගෙන මෙයාට එන්න එපා නොකියනව පුදුමයි තාමත්. මාත් බලන්නංකො බාප්පට කියල මොකක් හරි රස්සාවක් හොයා ගන්න පුළුවන්ද කියල…”

“නෑ නෑ කරදර වෙන්න එපා”

මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ සේ මල්ලී ගෙයින් පිටතට හිස පොවමින් කීවේ ය. ඔහු ගේ ස්වරයේ ද බැල්මේ ද වූයේ වසන්ති පුංචි වෙත එල්ල කළ අභියෝගයකි. මගේ ඇස් ලොකු වී ඔහු දෙසට බැගෑපත් ව දැල්වෙන්නට ඇත්තේ ඔය කතාව නතර කරනා ලෙස කියන්නට ය. නමුත් මල්ලී මා ගැන කිසිදු අවධානයක් යොමු කළේ නැත.

“සුදූ ජොබ් වලට යන්නෙ නෑ. එයාගෙ වැඩ ටික කරන විදිහ ගැන මං බලා ගන්නං”

“අනේ මේ ලොකු මිනිහෙක් වෙන්නෙ නැතුව හිටහං රාහුල්. උඹට පුළුවන් ද අක්කගෙ වගකීම් ගන්න…ඔය දොස්තර විභාග වලට ඉගෙන ගන්න ගියාම සුවල්ප සල්ලියක් යනවයි කියලද හිතන්නෙ…”

“නිදහස් අධ්‍යාපනේ කියල එකක් තියනවනෙ. සුදූ බය වෙන්නෙ නැතුව ඉතුරු ටිකත් ඔය විදිහට අදිනව. කොහොමත් ඕලෙවල් ලියපු ගමං මං මොනා හරි කරනව”

“බලහල්ලකො උගෙ ලොකු කම. හරියට ඌ දොස්තර විභාගෙ පාස් කළා වගේ”

කියමින් බංකුවෙන් නැගිට ගත් වසන්ති පුංචී ගස්සා ගෙන යන්නට ගියා ය. 

“ඇඟිල්ලෙ තරමට ඕනෙ ඉදිමෙන්න. මේ පැල් කොට වලින් දොස්තරල හැදුනොත් ඉතිං ශෝක්”

ඇය යන ගමන් ද බණිනු මට ඇසිණ. මල්ලී කට ඇද කොට සිනහ වූයේ ය.

“පණ්ඩිතය. ලොකු අයත් එක්ක එකට එක කියන්න ඕන නෑනෙ”

“ආව මෙතන බත් එකකුත් උස්සගෙන…අපේ හොඳට වගේ උපදෙස් දීල යන්න”

“එනෝ බත් ටිකක් කවන්න”

මා බංකුව මත හිඳ මල්ලී ට බත් කවමින් මා ද කමින් සිටියදී අපේ ගේ අයිනෙන් යන අතුරු පාරෙන් වත්ත මායිම් කරනා කම්බි වැට අතරින් රිංගා ගෙන ලෝචන මදුරාපුර අප වෙතට ආවේ ය. 

“මට ආරංචියි”

ඔහු මදෙස බැලුවේ සිනහ වෙවී ය. මම ඇස් වලින් සිනහ වී බිම බලා ගතිමි. බාලිකාව තුළ ඔහු ගේ හිතවතියන් ඕනෑ තරම් හිඳිනා බව මම දන්නෙමි. 

“කන්ග්‍රැජුලේෂන්ස්”

“තෑන්ක් යූ”

බත් පත දෙස බලා ගෙන යළිත් මම මල්ලී ට බත් කටක් කැව්වෙමි. මල්ලී ඒ බත් පිඬ මුවට ගෙන බංකුව මතින් නැගී සිටියේ ලෝචන ට එහි හිඳ ගන්නට ඇරයුම් කරන්නා සේ ය. ලෝචන ද වාචික ඇරයුමකින් තොරව ම බංකුවෙහි මගේ අනිත් පස හිඳ ගත්තේ ය. මට මගේ සිරුරේ වම් පස දැඩි උණුහුමක් දැනෙන්නා සේ විය. බත් පත ඇනුවා විනා ඉනික්බිති මා එක පිඬක් හෝ මුවට නොලෑ බව විශ්වාස ය. මල්ලී වරින් වර ගෙතුලට යමින් ද යළි පිටතට එමින් ද බත් කටක් කෑවේ ය. 

ඒ මුළු කාලය පුරා මා හා ලෝචන අතරේ එක වචනයක් හෝ හුවමාරු නොවිණි. නමුත් දස දහසක් හැඟුම් එතැන වූ බව මට ඉඳුරා කිව හැක. මගේ නෙතගට ඔහු පෙනෙමින් තිබිණ. නිල් හා සුදු කොටු වැටුණ කමිසයක් ද තද නිල් පැහැති ඩෙනිම් කලිසමක් ද හැඳ ලෙදර් පාවහන් යුගලක් පැළඳ සිටි ඔහු ගේ මුහුණේ රැවුල් කොට වැවී තිබුණේ ය. කමිසයේ අත් වැලමිට සන්ධිය තෙක් සිහින් ව නැවුණු අතර, නග්න අත් බාහු වල ඝණ ව වැඩුණු රෝම තට්ටුවක් විය. ඔහු ළඟින් ගැහැනු හිතක් වසඟ කරනා පිරිමි සුවඳක් විහිදුණේ ය.

“ඔයාට මාත් එක්ක කතා කරන්න මොනාත්ම නැද්ද නිබ්බුතා…ම්…”

එහඬින් මගේ හද තත් සුසර ව කම්පිත ව ගියේ ය. වියළී යමින් තිබි ඉඳුල් තැවරුණු අතැඟිලි වලින් මම පිඟානේ ඉරි ඇන්දෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles