බිම්මල් – 03

අම්මා දුටු සැනින් හේෂාන් සහ ඔහුගේ මිතුරා පසෙකට වූයේ මන්දැයි මට නොවැටහිණ. ඇතැම් විට අම්මා ඔවුන්ට දොස් නගනු ඇතැයි ඔවුන් බිය වන්නට ඇත. 

“අනේ බයටම මම ටුක් එකක් අරගෙන ආවා. කොහොමද පුතේ දැන් ඔයාට?”

මා වැළඳ ගත් අම්මා පැවසුවාය. ඇගේ දෙනෙත් වලින් ගලා ගිය කඳුළු බිඳු මගේ මුහුණෙහි තැවරිණ.

“කෝකටත් ආන්ටි නිතර නිතර ෆේන්ට් වෙනවනම් ඩිනාලිව හොඳ ඩොක්ට කෙනෙකුට පෙන්නන්න වෙයි.”

තම මෝටර් රථයෙන් අම්මාත්, මාත් අප නිවස කරා කැඳවාගෙන යන හේෂාන් පැවසුවේය.

මගේ කාමරයේ දොර එක්වරම විවෘත වූයෙන් මම හේෂාන් හා සම්බන්ධ අතීත මතකයෙන් මිදුනෙමි. සුදු නංගී පැමිණ මගේ යහන මත හිඳ ගත්තාය.

“නිදාගන්නවා කියලා ඇවිත් මනෝ පාර දාගෙන ඉන්නවා නේද?”

යහන මත වූ පුලුන් පිරවූ සුදු හාවා තුරුලු කරගත් සුදු නංගී කොට්ටය ඇද එහි හිස තබා ගත්තාය.

“මට හේෂාන් හමුවුන දවස මතක් වුනා සුදු.”

“ඔයාට එදා ලස්සන දවසක් වෙන්න ඇති. ඒවුනාට එදා හේෂාන් එක්ක කාර් එකේ ආවා කියලා තාත්තා අම්මට ගහපු ගැහිල්ල මතක් වෙනකොට මට නම් තාමත් මාර තරහයි.”

“මටත් එහෙම තමයි. අම්මා පව්. ඇත්ත සිද්ධිය කියලත් තාත්තා ඒක පිළිගත්තෙ නෑනෙ. දුව ඉස්සර කරගෙන කොල්ලෙක්ගෙ කාර් එකේ ආවා කියලා අම්මගෙ ඔලුව බිත්තියෙ හප්පපු හැටියට එදා මට මැරෙන්න තරම් හිතුනා.”

“එයාට තිබුනෙ අම්මා එක්ක ඉරිසියාව. දැඩි ඉරිසියාව කියන්නෙත් එක්තරා විදියක මානසික රෝගයක් කියලා මම අහලා තියෙනවා. එක අතකට අම්මා එයාගෙන් වෙන්වෙන්න ගත්ත තීරණය හොඳයි. මොන තරම් උසස් තත්වයක හිටියත් මානසික රෝගියෙක් එක්ක මොන ජීවිතයක්ද? අම්මා නිසා ඉවසුවා වුනාට මම අම්මා වුනා නම් මේජර් වංශනාථව ගෙදරින් එලවන්නෙ දතක් දෙකක් කඩා දාලා.”

ඉදිරිපස දත් දෙකක් කැඩී ඇති තාත්තාගේ මුහුණ මට මැවී පෙනිණ. මට හඬ නගා සිනා පහළ වූයේ නිතැතිනි.  මා හා එක්ව සිනාසෙමින් සිටි සුදු නංගී කාමරයට පැමිණි වජිරා දැක ආයාසයෙන් සිනාව වළක්වා ගත්තාය.

“දෙන්නා මෙතන කැකිරි පල පලා ඉන්නවා. ආන් බබා… ඇවිත්…”

වජිරා පැවසුවාය.

“ඇවිත්? කවුද?”

“බබාගෙ මනමාල මහත්තයා.”

මම ඇඳෙන් බැස්සා නොව බිමට පැන්නෙමි. යටපත්ව තිබූ උදරයේ වේදනාව යළිත් සැනින් මතු වී ආවේය.

“ඇයි බබා?”

මගේ වේදනාත්මක මුහුණ දුටු වජිරා ඇසුවාය.

“නෑ. මුකුත් නෑ.”

කණ්ණාඩි මේසය ඉදිරිපට සිටගෙන යන්තමින් හිස පීරා ගත් මම පැවසුවෙමි.

“ආයෙම බඩ රිදෙනවද?”

වජිරා විමසුවේ සැක සිතින් යුතුවය.

“නෑ කිව්වනෙ. වජිරා ගිහින් අපට බොන්න මොනවා හරි හදන්න”

“අපි කියන්නෙ ඒකට මාත් අයිතියි.”

තවමත් පුලුන් පිරවූ හාවා තුරුලු කරගෙන සිටින සුදු නංගී පැවසුවේ වජිරා සිනා ගන්වමිනි.

“මැඩම් උදේම මැන්ගෝ ලැසී හැදුවා. ගේන්නම්.”

“ලැසී හරි සිසී හරි මටත් කට කපලා ග්ලාස් එකක් ගේනවකෝ.”

වජිරා සිනාසෙමින් කාමරයෙන් පිටවූ අතර, මම පහත මාලයට බසින පියගැට පෙළ බැස්සේ සෙමෙනි. සෝෆාව මත හිඳගෙන ජංගම දුරකතනයේ තිරය දෙස බලා සිටින හේෂාන් දුටු සැනින් මගේ සිත තුළ දහසක් මල් පිපිණ. 

                    *

අම්මා විසින් වවන ලද කහ රෝස පඳුරෙහි වූ රෝස පොහොට්ටුවක් සිය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන හේෂාන් දෙස සිමෙන්ති බංකුව මත හිඳ ගත් මම බලා සිටියෙමි. අප නිවසට පැමිණෙන අවස්ථා වලදී මෙන්ම අප දෙදෙනා එක්ව යන ගමන් වලදී ද දකින සෑම සුන්දර දසුනක්ම ඡායාරූප ගත කිරීමට හේෂාන් පුරුදුව සිටියේය. සිය පියාගේ උරුමයක් වූ මුද්‍රණාලයෙහි වර්තමාන හිමිකරු වන්නේ හේෂාන්ය. තමා විසින් ගන්නා ලද ඡායාරූප මුද්‍රණ කර්මාන්තයේදී ඇතැම් කටයුතු සඳහා ප්‍රයෝජනවත් වන බව හේෂාන් නිතර පවසයි. මුද්‍රණ කර්මාන්තය පිළිබඳව හසරක් නොදැන සිටියද, ඔහු පවසන වදන් ඉස් මුදුනින් පිළිගැනීම මගේ සිරිත විය.

“හරිම ලස්සනයි.”

ඡායාරූප ගැනීම නිමා කර පැමිණි හේෂාන් මා අසළින් හිඳ ගත්තේය.

“සම්පුර්ණයෙන් පිපුන මලකට වඩා මල් පොහොට්ටුවක මාර ලස්සනක් තියෙනවා. නේද ඩිනාලි?”

තමා විසින් ගන්නා ලද ඡායාරූප නරඹන හේෂාන් පැවසුවේය.

“ඔව්. ලස්සනයි.”

මම එකඟ වීමි.

“අපේ අම්මත් කහ රෝස වවලා තියෙනවා. හැබැයි ඒ මල් ප්ලාස්ටික් වගේ. මේ තරම් සුවඳක් නෑ. ලස්සන විතරයි.”

“මේ රෝස අත්ත ගමේ ගිය වෙලාවක අම්මා ගෙනත් පැල කරේ.”

“ඩිනාලිගෙ අම්මා හරි වාසනාවන්තයි. ලස්සන මල් වත්තක් වවා ගෙන තියෙනවා. ඒ වුනාට මේ මල තරම් ඒ මල් කිසිම දෙයක් මට ලස්සන නෑ.”

මගේ නිකටට අත තබා හිස මඳක් ඔසවා බැලූ හේෂාන් පැවසුවේය. මම කිසිවක් නොපවසා සිනාසුණෙමි. උදරය තුළින් නැග එන වේදනාව එවර තදින් දැනුනද, මා එය හේෂාන්ගෙන් වසන් කර ගැනීමට උත්සාහ කලේ අපගේ ප්‍රීතිමත් සමාගමයට එය බාධාවක් වන බව දැන සිටි හෙයිනි.

“ඇයි ඩිනාලි?”

හේෂාන් ඇසුවේය.

“මුකුත් නෑ හේෂාන්.”

“නැතිනම් කමක් නෑ. ඔයාගෙ මූණ හිටිගමන් වෙනස් වුනා. ඒකයි. ඒක නෙමෙයි. මං මේ ගෙදරට හරිම ආසයි. හරියට පරණ මාළිගාවක් වගෙයි.”

අප නිවස දෙස උනන්දුවෙන් බලා සිටින හේෂාන් පැවසුවේය.

“මේක අපේ සීයගෙ මහ ගෙදර. අම්මා පුංචි කාලෙ ඉඳලම මේක කවදාහරි දෙන්නෙ සකුන්තලාට තමයි කියලා සීයා නිතර කිව්වලු.”

“ආන්ටිත් දවසක් මට ඔය කතාව කිව්වා.”

“අපේ මාමයි, පුංචියි දෙන්නම ඉන්දැද්දි සීයා ගේ ලියලා තියෙන්නෙ අම්මා නමට. අම්මගෙ ඩව්රි එකට සීයා දීලා තියෙන්නෙ මේ ගේ තමයි.”

“ආන්ටි හරි ලකි. එතකොට ආන්ටි මැරි කරලා තියෙන්නෙ ප්‍රපෝසල් එකකින්ද?”

“නැතිව? මේජර් වංශනාථ අපේ ගෙදරට ඇවිත් තියෙන්නෙ සීයගෙ දැනහැඳුනුම්කමටලු. එයා අම්මා දැකපු ගමන් කැමති වුනාලු.”

“ආන්ටි තවමත් ලස්සනයිනෙ. ඒ කාලෙ කොච්චර ලස්සනට ඉන්න ඇත්ද?”

“නැතිව? අත්තම්මා කියනවා ඒ කාලෙ ගමේ මිනිස්සු අම්මට කියන්නෙ පබාවතී කියලලු.”

“එතකොට අංකල් කුස රජ්ජුරුවොද?”

හේෂාන් සිනාසුනේය.

“අපෝ නෑ. රූපෙන් නම් ජයම්පති කුමාරයා. ඒ වුනාට ක්‍රියාවෙන් නම්…”

මා වදන් ගිල ගත්තේ තාත්තා එකල අම්මාට කළ පීඩාවන් සිහි වීමෙන් උපන් වේදනාවෙනි.

“එහෙම පිරිමි ඉන්නවා. ලස්සන දක්ෂ වයිෆ්ලට ඊර්ෂ්‍යා කරනවා. මං හිතන්නෙ අංකලුත් ඒ ටයිප් කෙනෙක් වෙන්න ඇති.”

“ඔව්. එහෙම වෙන්න ඇති.”

මම එකඟ වූයෙමි. තාත්තා අනියම් සම්බන්ධතා කිහිපයකම පැටලී සිටින බව අම්මාගේ සමීපතම මිතුරිය වන සාෂා අප නිවසට පැමිණ අම්මා සමග පවසනු මට ඇසී තිබුණ ද, ඒ බව හේෂාන් සමග පවසන්නට මම ඉක්මන් නොවීමි.  තාත්තා නිවසින් පිටව යන්නට ආසන්න කාලයේ තමාට වඩා වසර විසිපහකින් පමණ ලාබාල තරුණියක සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව සාෂා පැවසූ විට ද, අම්මා එය දරා ගත්තේ මහත් උපේක්ෂාවකිනි.

“මං මේ ගැන කිව්වා කියලා ඔයා අප්සෙට් වෙන්න එපා සකුන්තලා. මම මගේ දෑහින් දැක්ක නිසයි කියන්නෙ. තරුණ දුවලා දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද?”

සාෂා ආන්ටි පවසද්දී අම්මා නැගූ මඳ සිනාව මගේ මතකයට කිසිදිනෙක අමතක නොවේ.

“ඔය කිසිම දේකින් මට රිදෙන්නෙ නෑ සාෂා. මැරි කරපු දවසෙ ඉඳලාම එයා ගැන මං ඔය වගේ කතා අනන්තවත් අහලා තියෙනවා. මට දුක ඒ ගෑනු අය ගැනයි.”

“උන් ගැන මොනවට දුක් වෙනවද? උන් තමයි මායම් පාලා ඔය මනුස්සයාව දපනෙ දාගන්නවා ඇත්තෙ.”

සාෂා ආන්ටි එවේලෙහි කෝප සහගතව පැවසුවාය.

“නෑ සාෂා… මං වගේම ඒ ගෑනුත් අසරණයි. එයාගෙ ලස්සන කතාවට ලස්සන රූපෙට ගෑනු අය කාන්දමකට වගේ ඇදිලා යනවා ඇති.”

“උන් දැනගන්න එපායැ මේ අනුන්ගෙ හස්බන්ඩ් කෙනෙක් කියලා.”

සාෂා ආන්ටි පැවසූ විට අම්මා මඳ සිනාවක් නැගුවාය.

“ආදරේ හැටි එහෙම තමයි. අයිති කාටද කියලා මතක් වෙන්නෙ නෑ හිත ගියාට පස්සෙ. මට වුනත් මුලින්ම එයාව දැක්ක ගමන් කතා කරපු ගමන් කවදාවත් නැති විදියට හිත ඇදිලා ගියා සාෂා.”

අම්මා එවර පැවසුවේ දෑසට නැගූ කඳුළු මිරිකා හරිමිනි.

“ඩිනාලි…”

හේෂාන්ගේ කටහඬින් මම අතීතයෙන් මිදුනෙමි. ඔහු මගේ දෑසට එබී බලා සිටියේය.

“මොනවද ඩිනාලි ඔය හැටි කල්පනා කරන්නෙ?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles