“චිරායු ගැනමට එක පැත්තකින් දුක හිතෙනව තාරා”
චිරායු ඒ කතා බහට පසු නිවසින් පිටව ගිය විගසම පාහේ මහිල් අමතා සියල්ල කියූ තාරාට මහිල් එසේ පැවසුවේය.
“මෙච්චර කාලයක් තනියෙන් මේ කසාද ජීවිතේ ඇදගෙන යන්න මහන්සිවෙච්ච මං ගැන ඔයාට දුකක් නැද්ද එතකොට?”
“නෑ නෑ එහෙම නෙවෙයි මං කිව්වෙ. ඔයා ව්ගේ ලස්සනගෑණියෙක්ව හැම විදියකින්ම අයිති කරගන්න හම්බෙලත් ලඟ තියාගන්න පින නැතිවෙච්ච එක ගැන හිතද්දි මට චිරායු ගැන දුකයි තාරා. අනික මට හිතෙනව මම කියල කෙනෙක් ඉඳියෙ නැත්තම් සමහරවිට ඔයා චිරායුට තව චාන්ස් එකක් දෙන්න තිබුන කියල. මට බයයි කවදහරි දවසක ඔයාගෙ ඇස් දෙකට මාව වැරදිකාරයෙක් කියල පෙනේවි කියල”
“මම කවදාවත් එහෙම හිතන්නෙ නෑ මහිල්. ඔයා තමයි කවදහරි දුන් වෙනනවනම් වෙන්න ඕන ඔයාට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් ගෑණියෙක් එක්ක යාලු උන එක ගැන”
“පිස්සු ඔයාට ඉතින් කොහෙන් ගියත් අන්තිමේ ඔතනින් තමයි නතර වෙන්නෙ. දැන් ඔයා ඩිවෝස් එක ගැන කිව්වම චිරායු මොකද ඒ ගැන කිව්වෙ?”
“එයා මුකුත් කිව්වෙ නෑ. මම එහෙම කිව්වට පස්සෙ එයා මේසෙඋඩ තිබුන කාර් කී එකත් අරගෙන යන්න ගියා. එයා හැමදාම හවසට යනවනෙ යාලුවො එක්ක සෙට් වෙන්න. එහෙම යන්න ඇති”
“එයා කැමති වෙයිද ඩිවෝස් එක දෙන්න?”
“අකමැති උනත් කැමති උනත් මම කීයටවත් තවදුරටත් එයා එක්ක ඉන්නෙ නෑ මහිල්. මට ඒක කරන්න බෑ. හිත එක තැනකයි ඇඟ එක තැනකයි තියාගෙන මං කවදාවත් ජීවත් වෙලා නෑ. මට ඒක කොහොමටවත් කරන්න බෑ. අනික මම එහෙම කරන එක මම ඔයාට වගේම මටත් කරගන්න වැරැද්දක්”
“ඔයා චිරායුට කියනවද අපි ගැන?”
මහිල් ඇසුවේ සෙමෙන් ය.චිරායු සහ තාරා අතර ඇති විවාහය, සබඳතාවය කොයි ආකාරයකින් බිඳුනද, එහිදි චිරායුව කිසිම ආකාරයකින් රවටන්නට යුතු නොවේයැයි මහිල් සිතුවේය. ඒ හැඟීම පවා මහත් බරකි. තමා තාරාට ආදරය කරන බව ඇත්තකි. ඇයව හිමිකරගන්නට සිතන බව ඇත්තකි. එහෙත් තමා වැනිම තවත් පිරිමියෙකු රවටා ඔහුගේ බිරිඳ තමා සතු කර ගැනීම කුමනාකාරයේ වේදනාවක ඔහුව හෙලීමක් බව මහිල් සිතුවේය. තමා තාරාට ආදරය කිරීමෙන් සමග එක රැයක් හෝ ඇය සමග ගෙවීමෙන් චිරායුව දැනටමත් රවටා ඇති බව ඇත්තකි. එහෙත් ඔහුව සදාකාලිකවම එවන් රැවටීමක හෙලන්නට අදහසක් මහිල්ට නැත.
“ඔයා හිතන්නෙ මමඒගැන චිරායුට කියන්න ඕන ද?”
තාරා ඇසුවේ පැකිලීමකිනි. තමා මහිල්ට ආදරේ බව ඇත්තකි. චිරායුගේ පැත්තෙන් කුමනාකාරයේ වරදක් වුවත් විවාහක සැමියා සිටියදී වෙනත් අයෙකුසමග හදවතින් මෙන්ම ගතින් බැඳීම වරදක් බව තාරා නොදන්නවා නොවේ. එහෙත් ඇත්ත පැවසීම හැමවිටම නුවණක්කාරද?
“ඇයි ඔයා එහෙම ඇහුවෙ?”
“මට බයයි මේ ගත්ත ඩිසිශන් එකම, මේ ඩිවෝස් එකම ලොකුමලොකු හිසරදයක්නෙ මහිල්. එහෙම හිසරදේ ඩබල් කරා වෙනව නේද මම අපි ගැන චිරායුට කිව්වොත් කියල. මට කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. ඉන්පස්සෙ එන හිස කරදර අපි දෙන්නම එකතුවෙලා දරාගන්න ගිහින් අපිට සන්තෝසෙන් ඉන්න වෙන එක නැති වෙනව නේද කියන එක”
“එහෙම කියන්න එපා තාරා. මොන දේ උනත් ඔයා චිරායුටයි චිරායු ඔයාටයි ජීවිතේ එකම එක තප්පරේකට හරි අවංකවම ආදරේ කරානෙ. එහෙම දේකට මෙහෙම සලකන්න එපා.ප්‍රශ්නයක් ආවොත් අපි දෙන්න ඒක එකතුවෙලා විසඳගන්න එක වෙනම කතාවක්. ආදරේ හැමදාම මල් යහනාවක් වගේ වෙන්නෙ නෑනෙ. ඒක අපි නොදන්න දෙයක් නෙවෙයිනෙ. එන ප්‍රශ්න වලට මූණ දෙන්නත් අපි ලෑස්ති වෙන්න ඕනනෙ. චිරායුට බොරුවක් කරන්න එපා තාරා තව දුරටත්. ඔයා එයාට ඇත්තකියන්න අපි ගැන. හොරයක් බොරුවක් හිතේ තියාගෙන ඔය මැරේජ් එකෙන් නිදහස් උනාට ඔයාට කවදාවත් හිතෙන් ගැලවීමක් ලැබෙන එකක් නෑ චිරායුට මේ ගැන හැංගුවොත්. ඒ හන්ද ඔයා එයාට ආයෙ එයා අද ගෙදර ආවම මේගැන කියන්න.
ඉන්පස්සෙ කරන දෙයක් ගැන අපි කතා කරමු”
මහිල් කියූ දෙය බොරුවක් නොවන බව හිත දන්නවා වුවද චිරායුගෙ මුහුණ බලාගෙන තමා වෙන පිරිමියෙකුට ආලය කරන බව පවසන්නේ කෙසේද කියා සිතාගන්නට තාරාට නොහැක. එය කියන්නේ කෙසේද?
මම වෙන බෝයි කෙනෙක්ට ආදරේ කරනවා කියන්නද?
ඔයා මාව ගණන් ගන්නෙ නැති හන්ද මට වෙන කෙනෙක්ට ලං වෙන්න සිද්ද උනා කියන්නද?
ඒ කුමනාකාරයෙන් කිව්වත් චිරායුගේ පැත්තෙන් එයට ධනාත්මක සුන්දර පිලිතුරක් ලැබේයයි සිතන්නට හැකිද?
චිරායු සමග දික්කසාදගැන කතා කලද අම්මලා අක්කලා අමතා මේ පිලිබඳව දැනුම් දෙන්නේ කෙසේදයන පැකිලීම තාරාව වසාගෙන තිබුණි.තමන් කුමනාකාරයේ දුකක් වින්දහ, අවතක්සේරුවකට ලකුනද ඒ සියල්ලට ඉහලින් විවාහ ජීවිතය රැඳී තිබෙන බවට අවවාද අනුශාසන ලැබෙන බව තාරා නොදන්නවා නොවේ.
මුලුතැන්ගෙය සිට උඩු මහලේ චිරායුගේත් තමන්ගේත් නිදන කාමරය වෙත යද්දී ලඟඳීම දිනක තමාට මේ සියල්ල අත හැර දමා යන්නට සිදු වන බව තාරාට මතක් වුණි. ඒ කුමන අන්දමේ හැඟීමක්ද කියා ගලපාගන්නට නොහැක. එය වඩා බර වේදනාවටද සතුටකටද නැතිනම් නිදහස ලැබීමකටද කියා සිතාගන්නට නොහැකි ඒ සියල්ල මිශ්‍ර වූ හැඟීමකි.
චිරායු උන්නේ නිහඬතාවයත් අන්ධකාරයත් වටකරගෙනය. සුපුරුදු පරිදි මුතුරන් හමුවන්නට ඔටර්ස් වෙත නොයා බාර් එකක තනිවන්නට සිතුනේ ඇයිද කියා අමුතුවෙන් කියන්නට උවමනා නැත.
“චිරායු අපි ඩිවෝස් වෙමු”
තාරා ඒ වදන් පැවසූ මොහොතේ තමාගේ දෙපයට පහලින් ඇති, තමා සිටගෙන හිඳින මහ පොලොව දෙදරුම් කන බවකුත් කන් දෙපසින් මහ හඬින් හෝ හෝ හඬක් නැග එන අයුරුත් පමණක් චිරායුට දැනුනි.
කිස්ම දිනක එවන් දෙයක් පවසන්නට තාරාට හැකියාවක් ඇතැයි තමා නොසිතා තිබූ බව චිරායුට ඒ මොහොතේත් මතක් විය. එහෙත්…එහෙත් විවාහය නතරකරවා දික්කසාදයකට යන්නට තරම් තමාගෙන් ඇයට අඩුපාඩුවක් වුණාද? මදිපාඩුවක් වුණාද?
මේ ප්‍රශ්න කතාබස් කර විසඳාගන්නට තිබුණා නොවේද?
මත් බව සමග හිතත් හිසත් තමාගෙන් දෙපසකට වෙන් වී යන බව දැනුනද චිරායු උන්නේ කල්පාන්ත කල්පනා ලෝකයක සිරවීය. ඒ කල්පාන්ත කල්පනා ලෝකයේ එක කෙලවරක තාරා මහ හයියෙන් මොනවාදෝ කියමින් උන්නාය. එහෙත් ඒ මොනවාද කියා චිරායුට පැහැදිලි නැත. හිත කොතෙක් තාරාට බැණවදිමින් උන්නද තමාගේ පාර්ශ්වයෙන්ද තාරාට බොහෝ අකටයුතුකම් වූ බව චිරායු අමතක කරේ නැත. තමා මිල මුදල්ද තානාන්තරද හරිහම්බ කරන්නට දිවා රාත්‍රී නොබලා වෙහෙසෙද්දී තමා අතින් ජීවිතයේ වැදගත්ම දේ ගිලිහී ඇති බව චිරායු මත් බව අතරින් තේරුම් ගනිමින් උන්නේය.
“ඒත් ඩිවෝස් වෙන එක ද ඒකට උත්තරේ? අපිට ඒ හැමදේම කතා කරල වෙනස් කරගන්න බැරි ද?
චිරායු කියාගත්තේ තමාටමය. හීනියට වේදනාවක් කොන්ද දිගේ ඇවිලීගෙන එන බව දැනෙද්දී චිරායු හිඳගෙන් උන් උස් ස්ටූලයෙන් නැගිට්ටේ තාරා හනු වී ඇයගේ දෙපා ලඟ වැටී හෝ මේ සියල්ලටම සමාව ඉල්ලන්නටත් තවත් වරක් ජීවිතයට අවස්තාවක් දෙන්නටත් ඉල්ලා හිඳින්න චිරායු සිතුවේය.
තාරා යනු අහිමි කරගත හැකි අයෙකු නොවේ. තමා දිවි හිමියෙන්ම ආදරය කරේ ඇයට පමණකි. ඈව අහිමි කරගෙන කුමන දේ හිමි කරගත්තද එයින් පලක් හෝ වටිනාකමක් තිබේද?
“ඕනවට වඩා සල්ලි හම්බ කරන්න යද්දි අපිට ජීවිතේ මග ඇරෙන්නෙ තේරෙන්නෙවත් නැතුව චිරායු. මම ඒකයි ඔයාට මේ කියන්නෙ. අපි අන්තිමට එලියට ගිහින් කෑමක් වත් කාපු දවසක්වත් ඔයාට මතකද?
අපි ට්‍රිප් එකක් ගියපු දවසක්? අඩුගානෙ අපි මේ ගෙදර කෑම මේසෙ වාඩිවෙලා එකට කෑම කාපු දවසක් ඔයාට මතකද චිරායු?
මෙහෙම ජීවිතයකින් තේරුමක් තියෙනවද?”
කියා තාරා කොතෙක් වරක් ආදරය ඉල්ලා තමා පසුපස ආවාද කියා අමතක කරන්නට නොහැක. එහෙත් ඒ කිසිම වරක තමා ඒ කිසිවක් ගැන අවධානයක් දුන්නේ නෑ නොවේද?
අද මේ විඳවන්නට වී තිබෙන්නේ ඒවායේ ප්‍රතිවිපාක නොවේද?
චිරායු බාරයේ සිට වාහනය වෙත ආවේද බර කල්පනාවක හිරවී අලස ගමනකිනි. ඉලෙක්ට්‍රොනික යතුරෙන් වාහනය පණ ගන්වා චිරායු රියදුරු අසුනට බර වී මොහොතකට අසුනට හේත්තු වී දෙනෙත් පියාගත්තාය.
මොහොතකට පෙර කොන්දේ සිට ඇදී ආ විදිලියක් බඳු වේදනා සැරය මුලු ගතම අප්‍රාණික කරන බවක් චිරායුට දැණුනි.