අනියම් පෙම නිසා සිරගත වුනු බිරිදක්..

මල්කාන්ති ගේ සැමියා   වුණ සෝමදාස හදිසියේම නැති වෙලා තිබුණේ ඇලේ ගිලිලා. මුලු ගමේම සෝමදාස තරම් පිහුණුම් ශූරයෙක් උන්නේ නැති හින්දා මේ මරණය ගැන ගමේ තැන් තැන් වල කසු කුසු කතා නොතිබුණාම නෙවෙයි. ඒත් ඒ ගැන එළිපිට කතා කරන්න කිසිම කෙනෙකුට උනන්දුවක් තිබුණේ නෑ.  කසු කුසු කතා අස්සේම ඒ ඕපාදූප එහෙමම යටපත් වෙලා තිබුණා. 

ඒ ඕපාදූප තහවුරු වුනේ සෝමදාසගේ මරණෙන්  තුන්මාසේ පිරෙන්නත් කලින් මල්කාන්ති කඩේ මුදලාලිගේ හොර අඹුව කියලා අතටම අහු වුණාම. මුදලාලි හාමිනේ මල්කාන්ති ගේ පස්සෙන් එලව එලවා කොස්සක් කැඩෙනකල් ගහලා තිබුණා.

” මඟුල් විසේ ඔලුවට ගහලා අර අහිංසකයවත් මරාගත්ත ගෑණිනේ උඹ …” 

ඒ  අතර මඟදී මුදලාලි හාමිනේ එහෙම කියවලා තියෙන බව කිහිප දෙනෙක්ම රස කර කර කියවලා තිබුණා. 

ඊට පස්සේ මල්කාන්ති ගේ ජීවිතේ අපායක්ම වෙන්න පටන් අරගෙන තිබුණා. මල්කාන්ති ගේ දුව ටව්මේ ත්‍රීවිල් කාරයෙක් එක්ක පැනලා ගියේ  සෝමදාසගේ තුන් මාසේ පිරිලා මාස දෙකකින්. මොන දේ තිබුණත් රූප රාජිණියක් වගේ හිටපු කෙල්ල, කටු ගැහුණු කොල්ලෙක් එක්ක වහං වුණ එක මල්කාන්ති ට දරාගන්න පුළුවන් වුනේ නැහැ. 

ඔය අතරේ තමයි සෝමදාසගේ මරණය සැක සහිත බව කියලා සෝමදාසගේ එකම් බාල සහෝදරී පොලිසියේ පැමිණිලි කලේ.  පොලිසිය සෝමදාසගේ මරණය ගැන සාක්කි විමසන්න මල්කාන්තිව පොලිසියට කැඳවලා තිබුණා. 

ඒත් මල්කාන්ති ගේ කතාවෙ වෙනසක් පොලිසියට අහු වෙලා තිබුනෙත් නැහැ. 

මල්කාන්ති ගේ දුව කැමැත්තෙන්ම පොලිසියට ගිහිල්ලා සාක්කි දීලා තිබුණේ ඊට පස්සේ. සෝමදාසගේ නංගී මල්කාන්ති ගේ දුවගේ තනියට පොලිසියට ඇවිල්ලා තිබුණ බව ආරංචි වුණාම මල්කාන්ති ගේ හිස ගිණි ගත්තා. 

” උඹට සහ ගහනවා මගේ කෙල්ල ඕවට පටලව ගන්නවට …”

මල්කාන්ති ගෙදරටම ගිහිල්ලා නෑනට බැනලා ආවා.  

“උඹට සහගහන්නේ නැද්ද රජෙක් වගේ හිටපු මගේ අය්යව මරාගත්තට…”

දෙන්නා පාර මැදම රණ්ඩු වුණා. මල්කාන්ති නැවතෙන්න උත්සාහ කලෙත් නෑ. අන්තිමේදී මල්කාන්ති ගෙදර ආවේ ලේ පෙරාගෙන. 

ඩිස්පෙන්සරියෙන් බෙහෙත් දාගෙන එන ගමන් මල්කාන්ති මුදලාලිගෙර් කඩේ ළඟ නැවතුණා. මුදලාලි වෙනදාට දෙන ඉඟි බිඟි නැතුව හීන් සීරුවේ ලිස්සලා යන විදිය මල්කාන්ති බලාගෙන හිටියේ ගිණි ගන්න හැඟීම් එක්ක. 

“මට පොතට බඩු ටිකක් ඕනි …”

ඒ ගිණි වලට වඩා බඩගින්න ලොකු නිසා මල්කාන්ති කඩේ අත් උදව්වට හිටපු කොල්ලට කිව්වා.

“හාමිනේ කියලා තියෙන්නේ මල්කාන්ති නැන්දාට බඩු දෙන්න එපා කියලා ….”

ඇවිලුණ ගින්නට පිදුරු වැටුණා. මල්කාන්ති යක්ශාවේශයෙන් වගේ කඩේ ඉස්සරහට වෙලා කෑ ගහන්න ගත්තා.

” එන්න කියපංකෝ ඔය හාමිනේට… ඇයි යකෝ මම ණය නොබේරලා තියෙනවද ? මම විතරද පොතට කන එකම ගෑණි මෙතන …”

අත් උදව්වට උන්න කොල්ලා මල්කාන්ති ව සන්සුන් කරන්න උත්සාහ කලත්, මල්කාන්ති ගේ සද්දේ නැවතුණේ නම් නැහැ. මුදලාලි ඉස්සරහට ආවෙ මල්කාන්ති ගේ සද්දේ උපරිම වෙල තියෙද්දී.

“උඹ මේ සද්දේ දාන්නේ උඹේ හතර මායිමක නෙවෙයි මල්කාන්ති … හොඳ හිතින් එළියට බැහැපං…”

මුදලාලි මල්කාන්ති ට සැලකුවේ නන්නාඳුනන ගානට. මල්කාන්ති මොහොතකට නිහඬ වුණා.  ආදරෙන් බඳාගෙන පෙම් බස් කියපු කෙනෙක් මෙහෙම වෙනස් වෙන්න පුළුවන් බව මල්කාන්ති ට වැටහුණා.

සෝමදාසගේ අහිංසක ඇස් දෙක මැවිලා අතුරුදන් වෙලා ගියා.

“දැන් උඹ යමං මල්කාන්ති නැන්දේ …”

මුදලාලි ගේ බිරිඳ එනවා පේනකොටම අත් උදව්වට හිටපු කොල්ලා කිව්වේ එතන ඊළඟට ඇති වෙන තත්වය වටහාගෙන. ඒත් මල්කාන්ති ට වහන් වෙන්න උවමනා වුණේ නැහැ. 

“උඹ පලයංකෝ නැන්දේ ….”

“මං කොහෙවත් යන්නේ නෑ..  ඉඳා ..මෙන්න මේ රුපියල් දාහ අරගෙන මට දීහං හාල් කිලෝ එකයි, පරිප්පු දෙසිය පනහයි, හාල් මැස්සෝ සීයයි, පොල් ගෙඩියයි…”

හැට්ටේ අස්සෙන් එළියට ගත්ත රුපියල් දාහ මල්කාන්ති කැශියර් මේසේ උඩට විසි කලා.

ඒත් එක්කම මුදලාලි හාමිනේ මහ සද්දෙන් කෑ ගහන හඬ ඇහුණා.

මල්කාන්ති අඩියක්වත් පිටිපස්සට තියන්නේ නැතුවම හිටියා. 

“උඹට දෙන්න මෙහෙ බඩු නෑ..  පලයං ..ං

“සල්ලි දුන්නම බඩු දෙනන් බැරි නෑනේ…?”

“පුලුවන් ….මං දෙන්නේ නෑ..”

“උඹ නොදුන්නට කමක් නෑ බොල…. මුදලාලි මට මේ බඩු ටික දෙනවද නැද්ද ?”

මල්කාන්ති මුදලාලි ට අභියෝග කලා.

මල්කාන්ති ගෙන් එහෙම ප්‍රතිචාරයක් හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නැති මුදලාලි වචනයක් වත් කියාගන්න බැරුව ඔහේ බලාගෙන හිටියා.

“ඔහේ මේ ගෑණිට ජවුසං නටන්න දෙනවද මහත්තයා තව …”

මුදලාලි හාමිනේ නැති ආලෙකින් එහෙම ඇහුවා. 

“පලයං මල්කාන්ති … ආයේ අහන්න දෙයක් නෑනේ.. උඹ පල්ලෙහා කඩෙන් බඩු ගනින්..

මල්කාන්ති ට ඒකෙන් තව රිදුණා. 

සෝමදාසගේ ගේ අහිංසක ඇස් මැවිලා අතුරුදන් වුණා. 

“උඹට මාත් එක්ක නිදි වැදෙනකොට මට කිව්වේ මැරෙනකල් මේ කඩේ ඔනෑ දෙයක් මට කියලනේ… ඔය මැද පිටි මුට්ට ගොඩ ගහපු කෑල්ලේ මගේ ඇඟ පොඩි වෙනකොට කිව්වේ නෑනෙ මුදලාලි පහල කඩෙන් බඩු ගන්න කියලා …”

මුදලාලි හාමිනේ යක්ශාවේශයෙන් කඩාගෙන පැන්නා. මල්කාන්ති ගේ හිසකේ එක මිටකට අරගෙන පිට මැදට තදි බෑවා. මල්කාන්ති ත් මුදලාලි හාමිනේට පෙරළා ගුටි දෙන්න පැකිලුණේ නැහැ.

මුදලාලි ගැහැණු දෙන්නව දෙපැත්තට කරගන්න අත් උදව්වට උන්න කොල්ලා ත් එක්ක නොසෑහෙන්නම උත්සාහ කලත් සාර්ථක වුනෙ නැහැ.

“අනේ බුදු මුදලාලි … මෙන්න මේ ගෑණි හාමිනේව තල්ලු කලා….”

අත් උදව්කාරයාගේ හඬ ඇහුණා. හාමිනේ උඩුබැල්ලෙන් වැටිලා හිටියා. වැලි පොලවටත්  රතු පාට කාන්දු වෙමින් තිබුණා.

මල්කාන්ති හති ඇර ඇර එහෙමම බිම වාඩි වුණා.

.

.

.

“මට ඒ ගෑණිව මරාගෙන කන්න පුළුවන් … ආයේ මුණ ගැහුනොත් මං ඒත් ඔය ගෑණිට ගහනවා…”

මල්කාන්ති ගේ ඇස් කෝපයෙන් දිලිසුණා. මුදලාලි ගේ බිරිඳ ඝාතනය කරන්න ට උත්සාහ කලායැයි තමා ට සිර දඬුවම් නියම වූ වග ඇය කිව්වා.

“සිරිසෝම මැරුණේ හිතේ අමාරුවට බීලා ඇලට බැහැපු නිසා … ඒ මිනිහා දැක්කා මං මුදලාලි එක්ක නිදි වැදලා කඩෙන් එළි බහිනවා…. මගේ මිනිහා මරාගත්තේ උන් දෙන්නා…. මං ඕකුන්ට යහතින් ඉන්න දෙන්නේ නෑ…”

මල්කාන්ති වියරුවෙන් කිව්වා. 

ඇය තවම කල වරදක ඉමක් කොනක්වත් නොවැටහෙන සමනලියක් වෙලා කූඩුවේ අගක  තටු හකුලන් ඉන්න විදිය මට මේ දැනුත් මැවිලා පේනවා.

| අපේක්ෂා ගුණරත්න |

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles