එයා මැරිලා හුඟක් කල් 4

එදා අපි කැලිඩෝ එකෙන් එළියට යනකොට  රෑ එකොළහත් පහුවෙලා තිබුණා. ලෙමන් ජින් බෝතලය මදි කියලා බිටර් ස්කොච් ජින් එකක් ගමු කියලා රාජරත්නම්ගෙ එකම පොරයයි.

“ඩොක්ටර් ඉන්නකො.. මං ගන්නම්.. අද අපේ බටා ඩේ එක.. සල්ලි තියෙනවා මට අද…
ඩොක්ටර් දන්නවා ද.. මට අද මාර සැහැල්ලුවක් දැනෙන්නේ …මගේ හිතේ තියෙන දේවල් වලින් බාගයක් මම ඩොක්ටර්ට අද කිව්වා…ඉතුරු ටික හෙට..කවදටද.. හෙට.. හෙට….”

මොනවා උනත් ඉතින් පොලිස් ලොක්කෝ පොලිස් පොඩ්ඩො අරක්කුවලට බොහොම කෑදර බව මම කලින් ඉඳන් දැනගෙන හිටියා.තවත් ටිකක් වැඩි වුනොත් මේ මනුස්සයා හොයාගත්ත දේවල් හෝටලේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන්න කියයි කියලා මට බය හිතුණා.ඒ හින්දා බොහොම අමාරුවෙන් යාප්පුවෙන් ඇල්කොහොල් වැඩි ප්‍රතිශතයක් ශරීරගත වෙන්න හොඳ නැහැයි කියන දේ බොහොම අමාරුවෙන් තේරුම් කරලා දීලා ඒකෙන් මරණය උනත් සිද්ධ වෙන්න පුළුවන් කියන දේ බීරි අලියකුට වගේ කියලා දීලා එළියට ඇදගෙන ආවා.රාජරත්නම්ව තනියම වාහනේ  යවන්න බය හිතිච්ච හින්දා එයාගේ පොලිස් ක්වාර්ටස් වලට බස්සලා එන්න කියලා මම මගේ ඩ්‍රයිවර් නන්දනව මගේ වාහනයෙන් ඇරියා.නන්දන ගිහිල්ලා එනකන් මම රාජරත්නම්ගේ කාර් එක ලොක් කරලා යතුරු අතට ගත්තා.

“මට තනියම යන්න පුළුවන්..අයියෝ ඩොක්ට නිකං කරදර වෙනවා..පිස්සු ද අප්පා..”

කිය කියා රාජරත්නම් කෑගහනවා එයා ගිහිල්ලා ටික වෙලාවක් යනකනුත් මට ඇහුනා.
ඇත්තටම මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්.මානසික රෝගී වෛද්‍යවරයෙක් වෙච්ච මාවත් කරකවල අත ඇරියා වගේ වුණා රාජරත්නම්ගෙ කතා ටික අහගෙන ඉන්නකොට. මට හිතුනා මේ ප්‍රශ්නය මහා විනාශයක පෙර නිමිත්තක් කියලා . රාජරත්නම් කළු ගලක ඔළුව ගහගන්න යනවා කියන එකයි මට හිතුණේ. ඒ උනාට රාජරත්නම් එක්ක කතා කළාට පස්සේ මගේ ඇඟේ නිදාගෙන හිටපු සී අයි ඩී කාරයයි නිදාගෙන හිටපු සමාජවාදීයයි දෙන්නම එකපාර නැගිට්ටා කියලයි මට හිතුනේ.

“රාජරත්නම් සර් ව පරිස්සමට ගිහින් ඇරළුවද..”

“ඔව් සර්.. අම්බෝ.. මිනිහට හොඳටම වැඩියි..මට කාමරය ඇතුලට එක්කගෙන යන්නත් වුණා.. “

නන්දන එහෙම කිව්ව හිනාවෙවී.

“මිනිස්සු ලිකර්  ගන්න ඕනේ රස විඳින ගමන්. මේ මිනිස්සු ලිකර් ගන්නෙ තිබහට වතුර බොනවා වගේ.කිසිම රසයක් විඳින්නේ නැහැ.”

මම එහෙම කිව්වහම නන්දන හයියෙන්  හිනා උනා.

“සර් නං කියයි . බෝතලේ කැඩුවම එතන ඉන්න අයට බය හිතෙනවා තමන්ට ඇතිවෙන ප්‍රමාණයට හම්බවෙන්නේ නැතිවෙයි කියලා.. ඉතින් හැමෝම තමන්ට තියෙන  උපරිම වේගයෙන් බීගෙන බීගෙන යනවා .. බෝතලයයි තියෙන්නේ..බොන්න ඉන්නවා හය හත් දෙනෙක්.. හහ්.. සර් නං කියයි. .”

අපි වාහනයට නැගලා පාරේ තියෙන ලයිට් එලි වලින් එළිය අඳුරු වෙවී තියන ඉමක් පේන්නෙ නැති පාර  දිගේ හිනාවෙවී කියෝ කියෝ ගියා…

පහුවදා මම වාට්ටුවට යනකොට ප්‍රහාන්ගේ ඔක්කොම වෛද්‍ය වාර්තා ඇවිල්ල තිබුණා. ඒ වාර්තා වල ලොකුවට මොළේ ඇතුලේ වෙනස්කම් සිද්ධ වෙලා තිබුනේ නැතත් පුංචි ප්‍රමාණයක වෙනස්කම් සිද්ධ වෙලා තිබුණා. ඒවා නම් බෙහෙත් වලින් හොඳ කරන්න පුලුවන් මට්ටමේ තිබුණා.

ජංගමයා අඩන හින්දා අරං බලනකොට රාජරත්නම් තිරයේ පෙනුනා. එයාගේ වාහනේ යතුර මම උදේම නන්දන අතේ ඇරපු හින්දා ස්තුති කරන්න කතා කරනවා වෙන්න ඇති කියලයි මම හිතුවේ..

“ඩොක්ටර් ..ගුඩ් මෝර්නින් ..
ඊයේ  මාර වැඩේ නේද උනේ…. සොරි ඩොක්ටර් ගොඩාක් කරදර උනා..”

රාජරත්නම් කතා කරපු විදිහට මට හිනා ගියා..

“පිස්සු ද කොල්ලෝ… ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ.ඔයාගේ වාහනය පරිස්සමට හම්බ වුණා නම් එච්චරයි. “

“ඩොක්ටර් .. අද උදේ පත්තරේ බැලුවද..”

“ම්ම්.. මම උදේ බැලුවා.. “

“ඩොක්ටර් දැක්කද රත්නාලෝක ලොක්කා යෝග ව්‍යායාම කරන රූප වගයක් දාලා තිබුණා.අර ලණුවක් එක  කකුලක ගැට ගහලා  සම්පූර්ණයෙන්ම බාල්කේ එල්ලිලා ඉන්න රූපය..”

“ආ ඔව්..ඒකනම් මාරයි තමයි..අවුරුදු අසූවක මනුස්සයෙකුට ඒ වගේ කරන්න පුළුවන් කියලා දැක්කහම මටත් පුදුම හිතුනා. හරියට අවුරුදු දහසයක කොල්ලෙක් වගේ.. හැබැයි රාජා මෙහෙමයි.. ඔය යෝග ව්‍යායාම් ජිම්නාස්ටික් වගේ දේවල් සෑහෙන කාලයක් පුරුදු පුහුණු උනහම ඔහොම කරන්න පුළුවන් නේද..”

මම එහෙම කිව්වහම රාජරත්නම් හයියෙන් හිනා වුණා..

” ඩොක්ටර්  ..මට ටික දවසක් දෙන්න.. බොහොම වැදගත් විස්තර වගයක් හොයන්න පොඩ්ඩක් දුරට යනවා.ඩොක්ටර් ..මම ආපු ගමන් ඩොක්ටව හම්බවෙන්න එනවා.මම ආව ගමන් ඩොක්ටර්ට පුළුවන් වෙයි නේද පුරුදු විදිහට කැලිඩෝ එකේදිම හම්බවෙන්න..”

“පුළුවන් පුළුවන් මොකද බැරි.. ඊයේ  වෙලාවටම කැලි ඩෝ එකේදී හම්බවෙමු..”

“හරි ඩොක්ටර්..එහෙනම් තියන්නම්..”

රාජරත්නම් ගෙ ඇමතුමෙන් පස්සේ  මම ආපහු ලෙඩ්ඩුන්ගෙ ෆයිල් එක්ක තනි උනා .
අනිත් අයගේ ප්‍රතිකර්ම කිරීමේ කාලය ඉවර වුණාට පස්සේ මට ප්‍රහාන් එක්ක තනියම කතා කරන්න උවමනා වුණා. ඊට කලින් මම රෝහල් පරිපාලන අංශයේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා හම්බවෙන්න ගියා.

එතකොට රෝහලේ ඩිරෙක්ටර් වෙලා හිටියේ මිසිස්
විධානපතිරණ..

“ආ.. ඩොක්ටර් අසේල … එන්න එන්න .. ඉතින් .. කොහොමද …”

කොහොමත් මිසිස් විධානපතිරණ බොහොම මිත්‍රශීලී කෙනෙක්. මගේ සේවා කාලයේදී මම බොහොම පහසුවෙන්ම වැඩ කරපු කාලය වුණේ මේ කාලය තමයි.ඇත්තටම හරියට වැඩ කරන දොස්තර කෙනෙකුට තමන්ගේ සේවය ආත්ම තෘප්තියකින් කරන්න පුළුවන් වෙන්නේ තමන් ඉහළින් ඉන්න ආයතන ප්‍රධානියා අනවශ්‍ය විදිහට අතපොවන්නේ නැත්නම් විතරයි. මිසිස් විදානපතිරනත් ඒ වගේ බොහොම වැදගත් ආයතන නිලධාරියෙක් උනා.

“මට සමාවෙන්න මැඩම්  කරදර කලාට.. මං ආවේ ඊයේ අපේ වෝඩ් එකට අලුතෙන් ඇඩ්මිට් වෙච්ච ප්‍රහාන්  වීරකොඩි කියන පේෂන් ගැන පොඩ්ඩක් කතා කරන්න..”

“ඔව් අසේල කියන්න..මොකක්ද වෙන්න ඕන..”

“මැඩම් .. මේ පේෂන්ට් මට ටිකක් වැදගත්.මෙයා  බොහොම වැදගත් නඩුවක සාක්ෂිකාරයෙක් වගේම සැකකාරයෙක්.ප්‍රශ්නය තියෙන්නේ මෙයා කතා කරන්නේ නැති එක.මැඩම් බෙහෙත් වලින් කරන්න පුළුවන් treatments මට හොස්පිට්ල් එක ඇතුළෙදි කරන්න පුළුවන්.ඒත් මට හිතෙනවා ෆිසිකලි ලෙඩාට treatments ඕනේ කියලා.ඒකට මට ප්‍රහාන්ව හොස්පිටල් එකෙන් එළියට ගෙනියන්න සිද්ධ වෙනවා. “

මම එහෙම කිව්වහම මැඩම් බොහොම බැරෑරුම් මුහුණකින් මං දිහා බලාගෙන හිටියා.

“මේකයි ඩොක්ටර් අසේල ඔතන තියෙන ප්‍රශ්නය..මට මතකයි ඔය පේෂන්ට්‍ව.. අර උසාවි නියෝගයකින් අපිට භාර දීපු කෙනා නේද..උසාවි නියෝගයකින් hospital එකට භාර දීපු ලෙඩෙක්ව  එළියට යවන්න අපිට බැහැ.හැබැයි මට ඩොක්ටර් අසේලගේ ඉල්ලීම තේරෙනවා.අපිට ඕන නම් මෙහෙම කරන්න පුළුවන්.අපේ දැනට එක  ක්වාර්ටස් එකක්  හිස් වෙලා තියෙනවා. අපිට ප්‍රහාන්ව ඒකට දාන්න පුලුවන්. “

“මැඩම් එතකොට එයාගේ ආරක්ෂාවට අපිට සේවකයින්වත් වෙන් කරන්න වෙයි නේද..”

“ඔව් ඒක නම් ගැටලුවක් තමයි.. උසාවියෙන් භාර දීපු ලෙඩෙක් හින්දා අපි එයාගේ ආරක්ෂාවට පොලිසියෙන් උදව් ඉල්ලන්න සිද්ධ වෙනවා. “

“මැඩම් මට මේ පේෂන්ට් සෑහෙන්න වැදගත් කෙනෙක්. මොකද මෙයාව කතා කරවන්න පුළුවන් වුනොත් ලොකු රහසක් එළි කරගන්න පුළුවන්. මැඩම් කැමතියි නම් මට පුළුවන් ක්වාර්ටස් වල ප්‍රහාන් එක්ක නවතින්න.. උදේ වරුවට මම වෝඩ් එකට එන වෙලාවට විතරක් මට මේල් නර්ස් කෙනෙක්ව දෙන්න ප්‍රහාන් ගාවින් තියන්න.. “

මම හිතුවට වඩා ප්‍රශ්නය බොහොම සාර්තකව විසඳ ගන්න පුළුවන් උනා.ඇත්තටම මම මැඩම්ට ගොඩක් ස්තූතිවන්ත වුණා මාව තේරුම් ගත්තට.

“ආ.. පුශ්පා මිස් ලෙඩ්ඩු බලන වෙලාවට ප්‍රහාන් ගෙ ගෙදරින් කවුරුහරි ආවොත් මට ටිකක් මුණ ගස්සන්න… “

මම එහෙම කිව්වේ අපි ප්‍රහාන් ව වෙන් කරන්න යනවා කියන එක ගෙදර අයට දැනුම් දෙන්න ඕන හින්දා.

එදා ප්‍රහන්ව ගෙදරින් බලන්න ඇවිල්ලා හිටියේ එයාගේ අම්මා.

“අම්මේ ..අපිට ප්‍රහන්ව ඉක්මනට සනීප කරගන්න පුළුවන් වෙයි.ඒ හින්දා අපි ටික දවසක් එයාව මේ වෝඩ් එකෙන් වෙන් කරලා වෙනම කොටසක  නවත්තනවා.අම්මට එතනට බලන්න එන්න පුළුවන්.”

එහෙම කිව්වහම ප්‍රහාන්ගේ අම්මා අඬන්න පටන් ගත්තා.ඇත්තටම මට හරියට දුක හිතුනා.කුරුළු කූඩුවක් වගේ තිබිච්ච පවුලක් නොහිතපු මොහොතක මේ විදියට කැඩිල බිඳිලා විනාශ වෙලා යනවා දැක්කහම මොන අම්මටද ඉවසන්න පුළුවන් කියලා මට හිතුනා.

“කොල්ලා සනීප වෙනවට මට බයයි මහත්තයෝ.. ඌ සනීප වෙලා ගෙදර ආවහම වෙච්ච  දේවල් ආපහු ඔක්කොම දැනගනී. එයාගේ නෝනා..ලමයා..සේරම නැති වුණා කියලා ආපහු මතක් උනහම.. ඌ..ආපහු පිස්සෙක් වෙයි මහත්තයෝ…”

පිරිමියෙක් වෙච්ච මගේ හිත නන්නාදුනන මේ ගෑණු පරානයේ මව් ගුනයට වෙනුවෙන් හඬා වැටුනා. මොන අම්මද ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවට සනීප වෙන්න එපා කියලා..ඒත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ ප්‍රහාන් සනීප වුනොත් ආපහු ඇත්ත ලෝකයට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි..

“අම්මගේ දුක වේදනාව මට නොතේරෙනවනම් මම මනුස්සයෙක් නෙමෙයි අම්මේ ..අපි පුළුවන් තරම් උත්සාහ කරමු ප්‍රහාන්   සනීප කරගන්න වගේම ඊට පස්සේ ඇතිවෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් මනුස්සයෙක් කරන්න …”

මැඩම් විධානපතිරණ හවස් වෙනකොටම අපිට ක්වාර්ටස්  එක හදලා දුන්නා. ජයනෙත්ති මේල් නර්ස්වත් දවල් කාලයට ලෑස්ති කරලා දුන්නා. ඒක මට ඇත්තටම විශාල සහනයක් වුණා. මගේ වියදමෙන් මම ප්‍රහාන් ට වෙන්කරලා තිබිච්ච කාමරය ලා නිල් පාටින් සැරසුවා. තිර රෙදි දාලා ඇඳ රෙදි දාලා මේසයට රෙදි දාලා ලස්සන මල් පෝච්චියක් තියලා කාමරයේ බිමට ලා නිල් පාටින් කාපට් එකක් දැම්මා. ඇත්තටම ඒ කාමරයේ ජනෙල් දෙකක් ඇරියහම බටහිර පැත්තෙන් බොහොම සනීප හුළං රැල්ලක් පවා ගලාගෙන ආවා. එතනම තියෙන විශාල කොහොඹ ගහ හින්දා ජනේලයෙන් එළිය හිත නිවන පරිසරයක් හදලා දුන්නා.
හැන්දෑවේ මට වෙන වැඩ වගයක් තිබිච්ච නිසා ක්වාර්ටස්  එකට ප්‍රහාන් ව ගෙනියන වැඩේ උදේට දාගත්තා.මම මෙච්චර දවසක් හිටපු මගේ ක්වාර්ටස් එකෙන් මට ඕන කරන බඩු මුට්ටු ගෙනල්ලා ප්‍රහාන් ගෙ ක්වාර්ටස් එකේ තාවකාලිකව අඩුක්කළා.

පහුවෙනිදා ඉඳලා මගේ ජීවිතේ මෙච්චර කාලෙකට නොකරපු විදිහේ ප්‍රතිකර්ම වගයක් කරන්න මම ප්‍රහන්ට හිතාගෙන හිටියා.මේක ගොඩක් ඉවසීමෙන් කරන්න ඕන දෙයක්.
ප්‍රහන්ට කරන්න ඕනේ ප්‍රතිකර්ම ගැන මම ජයනෙත්ති  එක්ක ගොඩක් කතා කළා.හොඳ වෙලාවට මිනිහා බොහොම පළපුරුදු මේල් නර්ස් කෙනෙක්.රටේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක දැන් අපිට හොඳ නර්ස් කෙනෙක් හොයාගන්නවා කියන එකත් අමාරුවේගෙන එන වැඩක්.සේරම අය රට යනවා.දොස්තරල  උනත් එච්චර තමයි.රාජරත්නම් කොයි   වෙලාවක හරි ආපහු ඇවිල්ලා මට දුරකථන ඇමතුමක් ගන්නකම් මම මග බලාගෙන හිටියා.රාජරත්නම් ගිය දිහාවට  ඒ තරම්ම දුරකථන සංඥා නැහැයි කියලා දැනගෙන උන්නා….

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles