පොල් මැදි වුණ රසවත් චොක්ලට් අතුරුපස

එකපාරටම එන පොඩි බඩගින්නට මොනා මොනා හරි හදාගෙන කන්න පුළුවන් විදිහට පුංචි පුංචි දේවල් ටිකක් ගෙදර ගෙනත් තියාගන්න එක හරිම වටිනව කියල ඔයාට හිතිල නැද්ද?

ටින් කිරි ටින් එකක්, නූඩ්ලස් ටිකක්, බිස්කට් කුඩු, චීස් කෑලි ටිකක් එහෙමත් නැත්තන් පළතුරු ටිකක්, ජෙලි පැකට් එකක් වගේ දෙයක් ගෙදර තිබ්බොත් අන්තර්ජාලය පිරික්සල මොනව හරි ලේසි දෙයක් හදාගෙන කන්න අනිවාර්යයෙන් පුළුවන්.

අන්න ඒ වගේ පොඩි බඩගින්නක් ආව වෙලාවක ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් සැකයක් බයක් නැතුව් අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම ඔබේ පොඩ්ඩන්ට වුනත් දෙන්න පුළුවන් රසම රස කෑමක් හදන විදිහ ඔබට කියල දෙන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ.

එහෙනම් එන්නකෝ. මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය කළමණා මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

මුලින්ම පොල් ගාගන්න ඕන. ගාගත්තු පොල් ඉතාම අඩු ගින්දරේ රත් වෙන්න තියපු භාජනයකට දාල සෙමින් හැඳි ගාමින් පොල් වල තියන තෙත ගතිය ඉවත් කරගන්න ඕන. 

මේ විදිහට පාට වෙනස් නොවෙන්න පොල් ටික විනාඩියක් විතර කලවම් කරගෙන හෙමීට වේලගෙන ලිපෙන් ඉවත් කරගන්න ඕන.

පාට වෙනස් නොවෙන්න තෙත ගතිය ඉවත් කරගත්ත ගාගත් පොල් කෝප්ප 02 ½ ක් විතර අපිට අවශ්‍ය වෙනවා.

රසකළ උකු ටින් කිරි / condensed milk 380 g ක් 

චොකලට් 200 g ක්

(මේ සඳහා cooking chocolate / dark chocolate හෝ ඔබ කැමති නම් milk chocolate / white chocolate වුනත් එකතු කරගන්න පුළුවන්)

සාදාගන්නා ආකාරය

මුලින්ම, භාජනයක් ගෙන එයට සූදානම් කරගත් පොල් සහ ටින් කිරි එකතු කර හොඳින් කලවම් කරගන්න.

ඉන්පසු පැතලි භාජනයක් ගෙන එහි අඩියට පොලිතීන් හෝ තෙල් කඩදාසියක් අතුරා සකසා ගත් ටින් කිරි සහ පොල් මිශ්‍රණය එයට දමා හැන්දක් ආධාරයෙන් හොඳින් තදකරමින් මිශ්‍රණය  එක මට්ටමට සිටින සේ භාජනයේ අතුරා ගන්න.

දැන් මේ පැතලි තැටිය ශීතකරණයේ අධිශීත කොටසේ පැයක් පමණ තබාගත යුතුයි. 

ඒ අතරතුර අපි චොකලට් දැවටුම සූදානම් කරගමු.

ඒ සඳහා මුලින්ම වතුර භාජනයක් ලිප තබා වතුර නටවා ගත යුතුයි.

වතුර භාජනයකට වඩා විශාල වීදුරු භාජනයක් ගෙන එයට චොකලට් දමා නටන වතුර භාජනයේ උඩින් තබා චොකලට් ටික හැඳිගාමින් ඩබල් බොයිල් කරගෙන චොකලට් ටික දිය කරගන්න ඕන.

මේ අතරේ ශීතකරණයේ තැබූ පොල් මිශ්‍රණය ඉන් ඉවතට ගෙන භාජනයෙන් ඉවත් කර ලෑල්ලක් මත තබා අඟල් දෙකක් පමණ දිග සහ අඟලක් පමණ පළල කොටු කපාගත යුතුයි.

චොකලට් මිශ්‍රණය සමාන්‍ය ප්‍රමාණයට නිමුණු පසු සාදාගත් පොල් කැබලි චොකලට් මිශ්‍රණයේ ගිල්වා පොල් කැබලි වල චොකලට් දවටා ගෙන විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබා චොකලට් සවිවූ පසු රස බලන්න ඔබට පුළුවන්.

එහෙනම් මේ විදිහට coconut bar හදල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles