“මනුජා මූණට පෙන්නගෙන නම් උන්නෙ කොහොමද? බුදු අම්මේ පණ දෙන්න වගේනෙ හිටියෙ. මං හිතුවෙ ඒ තරං යාළුවෙක් ඔයාට ආයෙ මේ ලෝකෙ කොහෙන්වත් හම්බුවෙන එකක් නෑ කියලා.
ඒ උනාට බලන්නකො අන්තිමේ කරපු තුට්ටු දෙකේ වැඩේ. මහ ලොකුවට “අනී එයා මට මේඝනව යාළු කරගන්න උදව් කරාවි” කියලා නේද ප්‍රාති ඔයා මට කිව්වෙ. මං එවෙලෙත් කිව්ව, එවෙලෙ විතරක් නෙවෙයි ඕකිව ඔයා මට ඉන්ට්‍රඩියුස් කරපු පලවෙනි වතාවෙම මම ඔයාට කිව්වනෙ මහ ටොක්සික් බඩ්ඩක්, මලාට ඕකිව විශ්වාස කරන්න එපා කියලා.
ඒ උනාට ඔයා කිව්වෙ කොහොමද?
ඕන මනුස්සයෙක්ගෙ හොඳ වගේම නරකත් තියෙනවය. අපි කවුරුත් කලු මිනිස්සුවත් සුදු මිනිස්සුවත් නෙවි අලු මිනිස්සුය. බුදු අම්මේ ඒ බන කිව්ව විදියට මම හිතුවෙ තව ටික දවසකින් මේඝනව සෙට් කරගන්න එක කෙසේ වෙතත් තමුසෙ බුදු වෙයි කියලා. ඒ තරං සත්ත්ව කරුණාවෙන් නෙ ලෝකෙ දිහා බැලුවෙ.
යකෝ යාළුවො කියලා උනුත් තමන් උන්ට කරන විදියටම කරාවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒකිගෙ හැටි මොන වගේද කියලා එකපාරක් අර ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙච්ච වෙලෙ හොඳටම තේරිච්ච වෙලේ අත් අරින්න අතටම චාන්ස් එක හම්බෙලත් ඒක මගෑරගත්ත ගොං ගෑනිනෙ තමුසෙ. මං එවෙලෙත් කිව්වා, ඒකි අඬාගෙන ආ පළියට ඕකිව සර්කල් එකට රිංගවගන්න එපාය කියලා. ඇහුවද ඇහුවද? ඔයින් ගියා ඇති. ඕකිට පුළුවන් නම් තමුසෙ කසාද බැන්ද කාලෙක ඒ මිනිහව හිතට සෙට් වුනොත් යාළුවා කියලා බලන්නෙ නෑ කසාදෙ කඩලා දාලා හරි මිනිහව තමන්ගෙ කරගනීවි.
ඒ තරං බඩ්ඩ. බුදු අම්මේ” කියලා රශ්මිතා කියාගෙන කියාගෙන ගියාට මොකෝ මං උන්නෙ ඒව ඇහෙන මානෙකද කියලවත් මට ඇත්තටම විශ්වාසයක් තිබ්බෙ නෑ. මං උන්නෙ වෙන ලෝකෙක. රශ්මිතා කිව්ව වචනයක් වචනයක් ගානෙ ඇත්ත උනත් ඒ වචන අනේ ඇත්තක් නොවුණා නම් කියලා මටම හිතිච්ච වාර අනන්තව තිබුණා.
මනූජායි මායි වැඩ කරේ එක ඔෆිස් එකේ. එයා අපෙ ඔෆිස් එකට ආ දවස්වල මම එයා එක්ක එහෙමකට ලොකුවට යාළු උනේ නැති උනාට කල් යද්දි අපිට කතා කරන්න එක වගේ මාතෘකා තිබ්බ හන්දයි, එයා හානියක් නැති මනුස්සයෙක් විදියට මම දැක්ක හන්දයි මම එයා එක්ක යාළුවෙන්න දෙපාරක් හිතුවෙ නෑ. හැබැයි ඒ දවස්වල ඉඳන්ම මගෙ අවුරුදු ගානක යාලුවෙක් වෙච්ච රශ්මිතාට නම් මනුජාව පේන්න බැරි සීන් එකක් තමයි තිබුණෙ.
“මං දන්නෙ නෑ මොන හේතුවකටද මන්දා කියලා මට දැක්කම හොම්බට දෙකක් අනින්නමයි හිතෙන්නෙ” කියලා රශ්මිතා මං මනුජා ගැන කියන හැම වාරෙකම ඒ කතාව ඉවර කරේ එහෙම කියලා.
ඒ වුණාට මට නම් ඒකට කියන්න තිබ්බෙ ඉතින් “එහෙම මිනිස්සුන්ගෙ මූණ දැක්ක පලියට අපිට එයාලට ගහන්න හිතෙන්නෙ නෑනෙ රශ්. මනුජාගෙ ඔයා ඔය කියන තරං නරකක් නෑ අනේ. මට නම් එයාගෙ එහෙම අවුලක් පේන්නෙ නෑ. අපි එහෙම මිනිස්සුන්ගෙ මූණ බලලා ජජ් කරන එක වැරදිනෙ” කියල මම ඒ වෙලාවට කියද්දි රශ්මිතා කට වහගත්තෙ සමහර විට ඕනවට වඩා දේවල් කියන්න ගිහින් මගෙයි එයාගෙයි යාලුකම නැතිකරගන්නෙ මොකද කියලා හිතිච්ච හන්දා වෙන්නැති.
මම මේඝනට කැමති බවත්, මගෙ හිතේ මේඝන ගැන ලොකුම ලොකු ක්‍රශ් එකක් තියෙන බවත් ඇත්තටම රශ්මිතාටත් කළින් මම කිව්වෙ මනුජාට. මොකෝ මේඝනව රශ්මිතාට වඩා මනුජා දැනගෙන හිටියා. මේඝනත් මට ඉන්ටරස්ට් වගේ පෙනිච්ච නිසාද මන්දා මං හිත ඇතුළෙන් මේඝන ගැන සෑහෙන හීන දැක්කා. කල්පනා කරා. ඔෆිස් එකේ වැඩවලට නිතර නිතර හම්බෙන මේඝන චුට්ට චුට්ට මගේ හීන අස්සට එද්දි අපේ ඔෆිස් එකේ නැති රශ්මිතා එක්ක මේඝන ගැන කතාකරනවට වඩා මනුජා එක්ක මේඝන ගැන කතා කරන එක මට ඉන්ටරස්ට් එකක් වුණා.
“මේඝන අද මං දිහා මෙහෙම බැලුවා” කියලා මං කියද්දි ඒකට පෝර දාන්න වගේ
“එයා යද්දිත් හැරිලා ඔයා දිහා බැලුවා” කියන්න අමතක නොකරපු මනුජාව මං හොඳ යාළුවෙක් විදියට පිළිගත්තා.
“ඔයා මේඝනට ඔච්චර ලව් එකේ මේඝනට ඕක කියලා දාන්නකො” කියලා මනූජා මට දවසක් කිව්වෙ අන්න ඒ අතරෙ. මේඝනට ආදරේ බව ඇත්තක් වුණත්, එයා වෙනුවෙන් ලියවෙච්ච දාහක් කවි කතන්දර මගේ Google Keep එක පුරවල දාන්න හේතුවක් වුණත් මට ඇත්තටම ගට් එකක් තිබ්බෙ නෑ මේඝනට ගිහිල්ලා මගෙ ආදරේ කියන්න.
මොකෝ මං බය වුණා “කෙල්ලො කවද්ද කොල්ලන්ට ආදරෙයි කිව්වෙ” කියලා මේඝන හිතාවි කියලා.
ඒ සිතුවිල්ලම මගෙයි එයාගෙයි අතරෙ තියෙන මේ පුංචි බැඳීම කඩන්න හේතුවක් වෙයි කියලා මම බය වුණා.
“අනේ බෑ අනේ. මේඝනට තේරෙන්න ඕන නෙ ඉතින් මම එයාට කැමති විත්තිය. එයත් මාත් එක්ක කතා කරන්නෙ සමහරවිට එයාගෙ හිතෙත් මං ගැන ෆීලින් එකක් තියෙන නිසා වෙන්නැතිනෙ. මං ඉස්සර වෙන්නෙ මොකටද? මේඝන ඉස්සර වෙයි ඉක්මනටම” කියලා මං එවෙලෙට හිත හදාගත්තා.
මනූජා ඒත් ඇහුවා “ඔයාට කියන්න බැරි නං මං හරි ගිහින් මේඝනට කියන්නද? ඔහොම බලන් ඉඳියොත් ඔය කොල්ලව වෙන කවුරුහරි කෙල්ලෙක් අල්ලගනීවි හොඳේ, මොකෝ මොනවයින් අඩුවක්ද? උසද, පෙනුමද, සල්ලිද, රස්සාවද හැමදේම ගානට මිම්මට තියෙනවනෙ” කියලා.
ඒත් මං කීයටවත් ඒක කරන්න කැමති උනේම නෑ. මං ඒ දවස්වල කියව කියව උන්න Little Prince පොතේ කියන විදියට “ if you love something set it free. if it comes back it’s yours. if it doesn’t it never was” කියන එක මම පිස්සුවෙන් වගේ විශ්වාස කරා. ඒ නිසාම මට ඕන උනෙ නෑ මම ඉස්සරවෙලා මේඝනව හිර කරන්න. මට ඕන උනේම එයාට නිදහසේ ඉන්න දෙන්න. මගෙ ආදරේ නිදහස් බව එයාට තේරෙන්නෙ ඉඩ දෙන්න. එයා මට ආදරේ නම් එයා මං ලඟට ඒවි කියලා මම බලාගෙන උන්නා.
එයා එව්ව මැසේජ් අස්සෙ ආදරේ පොඩියට පොඩියට තැවරිලා තියෙනවා මම දැක්කා. එයාගෙ සමහර වචන අස්සෙ එයා මට ආදරේ ප්‍රකාශ කරන්න හදනවා කියලා මට තේරිච්ච අවස්තා තිබ්බා. මම දාන ෆොටෝ වලට කමෙන්ට් කරද්දි, පලවෙනිම හාට් රියැක්ට් එක එයාගෙන් වෙද්දි, එයාගෙ ඇස්වලින් මගෙ ඇස්වලට කාන්දු වෙච්ච මොකක් හරි කතාව කියන්නෙම ආදරේ කියලා මම හිතුවා.
ඒ නිසාම මම උන්නෙ හිත ඇතුළෙන් මේඝනව මගෙ කරගෙන.
හැබැයි මනූජා කිව්වා වගේම මේඝනව වෙන කෙල්ලෙක් අල්ලගෙන කියලා දැනගනිද්දි මට ඒක දරාගන්න බැරිවුණා.
මට දරාගන්න බැරි වුනේ මේඝන වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙච්ච එක නෙවෙයි. “ඔයා මේඝනට ආදරේ බව මම දන්නවා, ඔයාට තියෙන්නෙ මේඝනට ඕක ගිහින් කියන්න, ඔයාට බැරි නං මං ගිහින් කියන්නං අපි යාලුවො ඉන්නෙ යාලුවන්ගෙ ආදර කතන්දර වලට පෝර දාන්න තමයි. එහෙම නැත්තං අපෙ යාලුකං වලින් වැඩක් තියෙද” කියලා කිව්ව මනුජාම මගේ ඇස් පිටිපස්සෙ හැංගිලා මේඝනව අල්ලගෙන, ඩැහැගෙන, මට අහිමි කරල තිබිච්ච එක.
“මනූජා මගෙන් ඇවිල්ලා ආස්ක් අවුට් කරද්දි ඉට් වස් සෝ අනෙක්ස්පෙක්ටඩ්. මම කවදාවත් හිතුවෙ නෑ ගර්ල් කෙනෙක් මගෙන් එහෙම ඇවිත් අහවි කියලා. මම ඒ දවස්වල ඇත්තටම වෙන ගර්ල් කෙනෙක්ට ට්‍රයි කරන ගමනුත් හිටියෙ. මනුහා අයි ජී එකේ මට රික්වෙස්ට් එක දාලා මගේ ස්ටෝරි වලට එහෙම රිප්ලයි කරන්න පටන් ගත්තට පස්සෙ තමයි අපි දෙන්න චුට්ට චුට්ට කතා කරන්න පටන් ගත්තෙ.
මං මුලින් කවදාවත් හිතුවෙ නෑ අපෙ ඒ කතාබහ රිලේශන්ශිප් එකක් වෙයි කියලා. ඒත් මනුජා මගෙන් ආස්ක් අවුට් කරද්දි මට ඒක රිජෙක්ට් කරන්න කිසි හේතුවක් තිබ්බෙ නෑ” කියලා මේඝන අපේ ඔෆිස් එකේ වෙන ළමේක් එක්ක කියනවා ඇහෙද්දි මං කඳුළු ඇස් අස්සෙ හංගගත්තෙ කරගන්න දෙයක් නැති හන්දා. ඔෆිස් එකේදි අඬන්න බැරි හන්දා. ඒ වෙද්දි මනුජා උන්නෙ රෙසිග්නේශන් දීලා. එයාට වෙන ඔෆිස් එකකට යන්න චාන්ස් එකක් ලැබිලා තිබුණා. මට මනුජාගෙන් අහන්න ඕන උනා ඇත්තටම “ඔයා මට උදව් කරන්නං කියලා මේඝන එක්ක කතා කරලා ඇයි මේඝනව මගෙන් උදුරගත්තෙ” කියලා.
ඒත් මම ඒ ප්‍රශ්නෙ එහෙම ඇහුවෙ නෑ.
මොකෝ ඒ වෙද්දිත් මම විශ්වාස කරා “ if you love something set it free. if it comes back it’s yours. if it doesn’t it never was” කියලා Little Prince කතාව ආපු කෝට් එක. මට කවදාවත් ඕන උනේ නෑ මේඝනව බලෙන් මගෙ ළඟ තියාගන්න.
අඬන්න හේතු කාරණා දාහක් තිබ්බත් ඇත්තටම මට අඬන්න පුළුවන් වුණේ රශ්මිතා ළඟදි.
“ඇයි රශ් මනූජා මට එහෙම කරේ. ඊටත් වඩා මාත් එක්ක මාස ගාණක් ආදරේ කරන්න ඔන්න මෙන්න වගේ කතා කර කර උන්න මේඝන කොහොමද මාව අමතක කරලා මනූජා එක්ක සෙට් වුණේ. මනුජා කියන්නෙ බැල්ලියෙක් කියලා ඔයා කිව්ව කතාව ඇත්ත ඒත් මේඝන ඊට වඩා ජරා මිනිහෙක්. එයා හොඳටම තේරුං අරගෙන තිබ්බෙ මම එයාට ආදරේ විත්තිය. දෙයියනේ රශ් මම මනුජාට මගෙ හිතේ මේඝන ගැන තිබිච්ච හැම ෆීලින් එකක්ම කිව්වෙ මම එයාව විශ්වාස කරපු හන්දා. එයා කොහොමද මට එහෙම කරෙ? මං ආදරේ කර මනුස්සයවම මගෙන් උදුරගන්න තරං එයා නරක ගෑනියෙක් උනේ කොහොමද?” කියලා මං අහපු ප්‍රශ්නෙට මට බණිනවා වෙනුවට රශ්මිතා කවදාවත් නැතුව පුදුමාකාර උත්තරයක් දුන්නා.
“මිනිස්සු එහෙම තමයි ප්‍රාති. මං ඔයාට මුල ඉඳලම කිව්වෙ ඒකයි මනුජාට ඕනවට වඩා දේවල් කියන්න එපා කියලා. අපි කියන දේවල් අපි හිතුවෙ නැති උනාට සමහර මිනිස්සු තමන් ලඟ එක්කහු කරගෙන ඉන්නවා පස්සෙ කාලෙක අපිට විරුද්ධව පාවිච්චි කරන්න.
ඔයා මනුජාට කිව්ව දේවල් ඔයා කිව්වෙ ඔයාගෙ හිත හොඳකම හන්දා උනාට මනුජා ඒව එයා ලඟ ගොඩ ගහගෙන ඉඳලා තියෙන්නෙ ඔයාට හානියක්, රිදවීමක් කරන බලාපොරොත්තුවෙන් විතරයි. ඔයා හිතුවට එයා හැමදේම කරන්නෙ ඔයාට උදව් කරන්න කියලා ඒ හැමදේම මවා පෑමක් විතරයි. එයා දේවල් ඕනවටත් වඩා තියෙනවා කියලා මවාපානවා විතරයි. ඇත්තටම ඇති දෙයක් නෑ. එයා මුල ඉඳලම කරන්නෙ බොරුවක් කියන එක මට තේරිච්ච හන්දයි මම ඔයාට ඒක කිව්වෙ. එයා ඔයාට මූණට පෙන්නගෙන ඉන්නවා එයා මාර හොඳයි කියලා.
ඒත් එයා හැමතිස්සෙම බලලා තියෙන්නෙ ඔයාගෙන් දෙයක් උදුරගන්න. අමතක කරන්න එපා අර ඔෆිස් එකේ ප්‍රශ්නෙ වෙලා මුලින්ම එයා ඔයා එයාට කිව්ව දේවල් තැන තැන ගිහින් කියල තියෙනවා කියලා දැනගත්ත වෙලේ, ඇඟට දැනෙන්නෙ නැති වෙන්න බොස්ලට එහෙම ඔයා ගැන අරවා මේව කියනවා, ඔයා උදව් කරන්නෙ නෑ කියලා අතටම අහුවෙච්ච වෙලේ සමාව දීලා එයාව ආයෙ ඔයාගෙ ළඟම සර්කල් එකට දාගත්ත එකයි ඔයා කරපු ලොකුම වරද.
තුවාලෙ හොඳ උනාට පස්සෙ අපි ප්ලාස්ටරේ ළඟ තියාගෙන ඉන්නෙ නෑනෙ. මොකෝ ඒ ප්ලාස්ටරේ ජර්ම්ස් තියෙනවා. අපි ඒ ප්ලාස්ටරේ ළඟ තියාගන්න තියාගන්න ඒ ජර්ම්ස් අපිට හානි කරන එකයි වෙන්නෙ. මුලින්ම තුවාලෙ වෙච්ච වෙලේ ඔයාට තිබ්බෙ ඔය පැලැස්තරේ ගලවලා විසික් කරලම දාන්න. ළඟ තියාගත්තයිනෙ මේ ඔක්කොම උනේ.
අනික මේඝනට බනින්න මෙතන ඇත්තටම හේතුවක් නෑ ප්‍රාති. මේඝන වැරදි නෑ. ඔයාලා දෙන්න අතර ආදරේ ගැන කෙලින්ම කතාවක් වෙලා තිබ්බෙ නෑනෙ. එහෙමෙකේ මනූජා ආස්ක් අවුට් කරාට මේඝන ඒකට කැමති වෙච්ච එකේ වරදක් නෑ. ඉස්සර වෙච්ච කෙනා දිනනවා කියනවා නෙ. මෙතන උනෙත් එහෙම එකක්. අනික මේඝනට ඔයාව තෝරගන්න ඕන උනා නම් එයාට මනුජාට කැමති නොවී ඉන්න තිබුණා නෙ. ඒත් එයා එහෙම කරේ නැත්තෙ සමහරවිට එයාට අතට ලැබිච්ච දේ කටට දාගන්න පරක්කු වෙන්න ඕන නෑ කියලා හිතිච්ච නිසා වෙන්නැති.
හැබැයි මේඝන දැනුවත්ව හෝ නොදැනුවත්ම ඔයා එයාට ආදරේ කරානෙ. ඒ ආදරේට ගරහන්න එපා ප්‍රාති.
ආදරේ නෙවෙයි මෙතන වෙනස් වුණේ. මිනිස්සුයි වෙනස් වුණේ”
රශ්මිතා එහෙම කිව්වම මම ඇත්තටම කල්පනා කරා. ඇත්තටම ඒක නේද වුණේ කියලා. Little Prince කතාවෙ කිව්වා වගේම “ if you love something set it free. if it comes back it’s yours. if it doesn’t it never was” කියලා, මම එයාට නිදහසෙ දුන්නෙ ආදරේ හන්දා. එයා ආය මං ළඟට ආවෙ නැත්තෙ සමහරවිට එයා මට ආදරේ කරේ නැති හන්දා වෙන්නැති.
ඒත් එහෙමයි කියලා එතනදි ආදරේ වැරදි වෙනවද? ආදරේට බැණලා හරියනවද? නෑනෙ.
අන්න ඒ නිසාම මම හෙමින් සැරේ හිතට තේරුං කරලා දුන්නා.
“මේඝන කියන්නෙ ටික කාලෙකට හරි මගෙ ජීවිතේ උන්න මනුස්සයෙක්. ආදරේ ගැන වචනෙන් කතා නොකරට එයා උන්න කාලෙ මම හිතෙන් එයාට අප්‍රමාණව ආදරෙ කරා. අපි කතා කරා. ඒ දවස්වල ජීවිතේ තිබ්බ වසන්ත කාලෙ එය හින්දා ආයෙ මගෙ ජීවිතෙට ලැබෙන එකක් නැති බව ඇත්ත හැබැයි ඒකෙන් මම එයාට ආදරේ කරා කියන එකවත්, ඒ ආදරේවත් බොරුවක් වෙන්නෙ නෑනෙ.
ඉතින් එහෙම කාලයක් මට දුන්නට මම මේඝනට හරි නං ස්තුතිවන්ත වෙන්නෝන නේද කියලා.
ඉතින්,
සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත
ටික කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත”











