මන්දාරම් හැන්දෑවක – 4

මේඝා සිටියේ හිස පුපුරන තරමේ වේදනාවකිනි.තද උණ ඇති බව මාධවී පවසන තුරුම ඇයට ඒ ගැන වැටහීමක් නොවිණි.පුපුරා යන තරමට හිස කකියන්නේ හිතේ වාන් දමනා කෝපය සහ ශෝකය මිශ්‍රිත හැඟීමට ද,පුංචි හිස බිත්තියේ ඇනීම නිසා ද නැතිනම් පැය විසි හතරකට ද වඩා හැඬීම නිසාදැයි ඈ කල්පනා කළා ය.මේ තරමේ ශාරීරික සහ මානසික පීඩාවක් ඇය මීට පෙර නොවිඳ ගත් තරම් ය.

“ගිනි කබල වගේ.ඇඟ හොඳටම රස්නෙයි…”

මාධවී එසේ කියමින් නැගී සිටියා ය.නමුත් ඈ නිවසට එද්දී වරුණ පෙනෙන මානයක නොසිටි වග ඇයට සිහිපත් විණි.

“අයියා හවස ක්ලාස් එකක් කරන්න ගියාද දන් නෑ පොඩී.. කමක් නෑ.මං එක්ක යන්නං ඔයාව. බේත් ගන්න..”

මාධවී ඔසරි පොට ඉනේ ගසාගෙන කියද්දී මේඝාට අම්මාගේ රුව අපැහැදිලි ඡායාවක් ව හදවතේ ඇඳී මැකී ගියේ ය.මාධවී ලොකු අම්මාගේ රුවට වඩා අම්මාගේ රුවට කිට්ටු රූපයක් දරන්නියකි.ලොකු අක්කාට වඩා පොඩි අක්කාට සමීප වන්නට එයම හේතුවක වන්නට ඇති වග සිතමින් මේඝා පුපුරන හිස අතකින් තද කරගෙන බලා හුන්නා ය.

“නංගි.. මේ ළඟ ඉන්නවා ඩොක්ට කෙනෙක්.. අපේ යාලුවෙක්මයි. යං.. ගිහිං බේත් ටිකක් අරන් එමු..”

මාධවී හෙල්මටයක් ද රැගෙන යළිත් කාමරයට ආවේ කලබලයෙනි. මේඝා අවුල් වී ගිය කෙස් වැටිය එකතු කර කොණ්ඩ පටියක් පැළඳ ගන්නා ගමන් අසීරුවෙන් නැගිට ගත්තා ය.මාධවී සොයුරියව වත්තන් කරගත්තේ ප්‍රවේසමෙනි.

“ඔයාට බයික් එකේ ගියෑකිද පොඩ්ඩි.. බෑ නේද? ඉන්නකො. මං ත්‍රීවිල් එකකට කෝල් එකක් දෙන්නං..”

මේඝාට අක්කාගේ ස්කූටියේ නැගී යාමේ අපහසුවක් තිබුණේ නැත.නමුත් ඇගේ හදවත වෙනත් බියකින් පෙළෙන්නට ගත්තා ය.ඇය වචන සොයා ගත්තේ අපහසුවෙනි.

“අක්කා,ඒ ඩොක්ට තරුණ කෙනෙක් ද? පිරිමි කෙනෙක් ද?ෆේස්බුක් එහෙම ඉන්නව නම් මාව අඳුනා ගනී අක්කේ. අපි මෙහෙම ඉමු..හේරත් මාමගෙන් තෙල් ටිකක් ඉල්ලන් ඔලුවෙ ගාන්නකො. හෙඩේක් එක ඇරිලා යයි..”

මාධවී මේඝාව කාමරයෙන් පිටතට රැගෙන ආවේ එය නෑසුනාක් මෙනි.මේඝා අඬන්නට ඔන්න මෙන්න දෑසක් සහිතව අක්කා දෙස බැලුවා ය. අප්‍රසන්න කතාවක් ඇති තමන්ව අක්කාගේ මිතුරා හඳුනා ගැනීමෙන් අවැඩක් වන්නේ අක්කා ට ය.වරුණ අයියා ට ය.

“පිස්සුද බං.. ඒ මනුස්සයට ෆේස්බුක් ගිහිල්ල ඕපදූප හොය හොයා ඉන්න කිසිම වෙලාවක් නෑ..මෝඩ කතා නොකියා එනවා යන්න..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -13

බරාඳයේ වේවැල් පුටුවක මේඝාව ඉන්ද වූ මාධවී මිදුලට බැස්සා ය.මේඝා අක්කා පස්සේ වැටුණේ බෙහෙත් අනවශ්‍ය බවට නහකුණු ගාමිනි.ප්‍රණීත සනීපදායක සුවඳකින් නැහැපුඩු වෙළී යද්දී ඈ වටපිටාවට ඇස් යොමු කළා ය.වරුණ අයියාගේ අප්පච්චි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහු මිදුලේ කොහොඹ ගසක් යට ඖෂධ සකසමින් හුන්නේ ය. ඔහු සමීපයේ යෞවනයෙකු රැඳී හුන් නිසා මේඝාට ඇස් හංගා ගැනීමට අවශ්‍ය විය.එවැනි තරුණයෙකු මේ වෙද්දී ද තමන් ගැන ඕපාදූපය නොදන්නා කෙනෙකු වන්නට ඉඩක් නැත.

“අනේ බිනර මල්ලි, අර ගාමිණී අයියගෙ ත්‍රීවිල් එක තියෙයිද මේ වෙලාවෙ..”

මාධවී,ඖෂධ භාජනයකට ඇස අලවා හුන් යෞවනයා ඇමතී ය.ඔහු දුමාරය මැදින් පැමිණියේ දෑස් පිස දමමිනි.ඒ වරුණ අයියාගේ ඥාතියෙකු වග මේඝාට සිහි විණි.

“ඇයි පුතේ..”මාමණ්ඩිය ලේලියගෙන් ඇසුවේ ඒ මොහොතේ ය.මේඝා අසනීපයකින් පෙළෙන බව මාධවී හෙළි කරන අතර දවසක් තිස්සේ සිහි කරන්නට තැත් දැරූ මුහුණ ඇස් ඉදිරිපිට හමු වීමෙන් විසදුණු ප්‍රහේලිකාව ගැන බිනර සිතන්නට ගත්තේ ය.සයිබරය පුරා ගොදුරක් ව ඇති “ලින්ක් එකේ හිමිකාරිය” කොහේ හෝ දැක පුරුදු මුහුණක් ව තිබූ බව ඔහුට මතක ය.ඒ මුහුණ ඔහුට සරසවියේ ගෙවී ගිය මාස කිහිපයේ දී මතකයේ නැත.මේ ඇය බවට සැකයක් නොවූව ද ඇගේ විඩාබර සහ ශෝකි මුහුණ දෙස බිනර බලා සිටියේ වටහා ගත නොහැකි හැඟීම් වලින් හිත බරව යද්දී ය.

“මොන කෙල්ලෙකුටවත් එහෙම වෙන්න නරකයි..”

මේඝාගේ දෑස් ඔහුගේ මුහුණේ අහම්බයකින් නතර වෙද්දී පිරිසුදු සිනාවක් ඈ වෙත පා කරමින් බිනර සිතුවේ ය.

“ඇයි පුතේ දැන් දිනිඳු මහත්තය මෙහෙ ඒවිනෙ.. තාම පොඩි එකී එක්ක ගියේ නෑ..”

අප්පච්චී අමතක ව ගිය යමක් සිහි කළේ ඒ අතර ය.

“ආ ඔව් අක්කේ.. සෝමා නැන්දට කොන්දෙ ඇවිලිල්ලක් ඇවිල්ලනෙ.අද දිනිඳු අයියලගෙ ගෙදර වැඩට එන්න බෑ කියල. උදේම ඉනුලි බබාව මෙහාට එක්කන් ආවෙත් මම..තාම එක්ක යන්න ආවේ නෑ..”

බිනර වහා ඕපාදූපයකට මුල පිරුවේ මේඝා දෙස බලා සිටි වෙලාව ඕනෑවට වැඩි යැයි ඔහුට සිතෙද්දී ය.වඩා නරක දේ වන්නේ කොල්ලෙක් ලස්සන කෙල්ලෙකු දෙස බැලීමක් ලෙස ඇය එය බාර නොගතහොත් ය.තරුණයන්ට ඇගේ මුහුණ හුරුපුරුදු යැයි ඇය විස්සෝපයෙන් පසු වෙනවා නම් ඒ හැඟීම තවත් ඇගේ සිතට එන්නට ඉඩ හැරීම නොහොබිනා දෙයකි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 3

“මං දන්නෙත් නෑ..” මාධවී එසේ කියා වාක්‍යයේ ඉතිරි කොටස සම්පූර්ණ කළේ සිනාවක් තොල් මත පළඳින අතර ය.

“අද මගේ ලොකු දුව ඇවිල්ල නිසා මගෙ කෙල්ලයි කොල්ලයි කෝ කියලවත් බලන්න බැරි උනා..චූටි පුතාට නම් නින්ද ගිහින් ඇත්තෙ..”

මාධවී හාත්පස විපරම් කළේ සෙනුරි සොයන්නට ය.ඉනුලි හිඳී නම් ඇයට සෙල්ලමෙන් තොර ලෝකයක් නැත.

“අම්මා ලිඳට අරන් ගියා කෙල්ලො දෙන්නම.. දැන් හෝදලා කවලා දුන්නම දොස්තර මහත්තයට ගිහිං නිදි කරව ගන්න පුලුවන්නෙ..” මාධවී අප්පච්චිගේ පිළිතුරට සිනාවක් නගා ගත්තා ය.පුරුදු ලෙසම අද ඉනුලිව රැගෙන යාම දිනිඳුට පහසු නොවන වග සිතමින් ඈ ඒ සිනාව වඩා පුළුල් කර ගත්තා ය.

හැල්මේ දිව ආ දැරියන් බිනරව සෙල්ලමට මැදි කර ගත්තේ සිනා උතුරවමිනි. දිනිඳුගේ මෝටර් රිය පැමිණියේ ද ඒ මොහොතේ ය. ගෙදර යන්නට නුවුමනා වග සිහිපත් වූ ඉනුලි මාධවීට දෑත් දිගු කරේ වහා පිළිසරණක් පතා ය.මෝටර් රථයෙන් බැස එන තරුණ වෛද්‍යවරයා දැක පුරුදු පෙනුමක් ඇති බව සිතමින් මේඝා කල්පනාවට වැටුණා ය. ඔහුට සමීප රුවක් ලෙස ඇයට සිහියට එන්නේ ඈ මේ මොහොතේ වඩා අප්‍රිය කරන වෛර කරන මිනිසා ය.දෘෂ්ටි මායාවන් මැවෙන්නේ අධික හිස රුදාව නිසා යැයි සිතන්නට ඇයට ඕනෑ විය.විශාල කල්දේරම වට කරගත් ගිනි ජාලා වෙත නෙත් යොමා ගත් ඈ මාධවී ඇගේ රෝග ලක්ෂණ වෛද්‍යවරයාට පහදන අන්දම අසා හුන්නා ය.

“බිනර, මාත් එක්ක යං ද.. මං බෙහෙත් ටිකක් බිනර අතේ එවන්නම් මාධවී..”

කිසිදු පරීක්ෂාවකින් තොරව බෙහෙත් දෙන්නට සූදානම් වෛද්‍යවරයාට එසේ කළ නොහැකි බවට යුක්තිය කියා දෙන මේඝා කෙනෙකු මීට පැය විසි හතරකට පෙර ජීවත් වූවා ය. ඒ කියවිල්ල සහ ප්‍රශ්න කිරීම සහිත මේඝා දැන් මිය ගොස් අවසන් ය.කල්පනා කිරීමත් හැඬීමත් සහනය වග සිතන මේඝා කුඩා දියණිය ද රැගෙන පිටව යන වෛද්‍යවරයාගේ කාරයත් ඒ පිටුපසින් ඇයට බෙහෙත් ගෙන එන්නට නික්ම යන යෞවනයාගේ මෝටර් සයිකලයත් දෙස හැඟීම් විරහිත දෑසින් බලා හුන්නා ය.

4.8 6 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Ruvini Dissanayaka
1 month ago

මයාකාර අකුරු ගැලපීමක් නිබන්ධි අක්කට තියෙන්නෙ ඇත්තටම ❤️❤️