පතොක් මලක ප්‍රේමය -12

මා දවසම ගෙවා දැම්මේ කෝපය සහිතව ය.ඕනෑවටත් වඩා ධීර හා මිතුරු වන්නට ගොස් ලැජ්ජා වන්නට සිදු වූ බව හැඟෙන විට මට මහත් ලැජ්ජාවක් ද හට ගත්තේ ය.මම ඔහුගෙන් ආ එකම පණිවිඩයක්වත් නොබලන්නට ප්‍රවේසම් වීමි.මාලක අයියා නරක කොල්ලෙකු නොවේ.ඔහු සැබෑවටම අපේ වැඩිමහල් සහෝදරයාට සමාන ය.නමුත් ඔහුගේ මිතුරෙකු සමඟ ඕනෑවට වඩා හිතවත් වෙන්නට යාම මා මටම කරගත් අසාධාරණයක් බව මම සිතුවෙමි.එනිසා මම ධීරගේ එකම පණිවිඩයක් වත් නොබලන්නට ප්‍රවේසම් වූයෙමි.

හවස් වෙද්දි උසුලා ගත නොහැකි කම්මැලිකම ද හිතේ ඇති බර ද නිසාම මම කේතකීලා ඒදැයි බලන්නට ගෙමිදුලට බැස්සෙමි.ඊයේ අනෝරා වැස්සක් වැටුණ ද අද වැස්සක සේයාවක්වත් නැත.පාසලේ අමතර පන්තියක් නිම කළ නිවුන් සහෝදරයන් නිවසට ගොඩ වූයේ ද ඒ මොහොතේ ය.

“දැන් අඩුද අක්කා..”

නිසල් මගෙන් අසද්දී මා බැලුවේ විසල් දෙස ය.ඔහුගේ උඩුතොල ඉදිමී ගොස් ය. සුදු ඇඳුමේ මඩ පැල්ලම් ය.නිසල්ගේ ද මඩ පැල්ලම් නැතුවා නොවේ.

“මේ මොකද මේ..”

විසල් මට නිහඬ වන්නට අණ කර මා අසලින් උද්‍යාන බංකුවේ හිඳ ගත්තේ ය.මම ඔහුගේ මුහුණ අල්ලා පරීක්ෂා කළෙමි.විසල් සිටියේ කෝපයක් සඟවාගෙන ය.

“මේ මොනව කරගෙනද මේ..” මාලක අයියා එතැනට ආවේ එහෙම අසාගෙන ය.ඔහු අසල ධීර වූ නිසා මට නිවසට යන්නට ඕනෑ විණි.තවදුරටත් ඔහු සමඟ මගේ මිතුරුකම් නැත.

“වලියක් ගියා..” නිසල් වචන ගලපා ගත්තේ ය.

“කොහෙ කෙල්ලෙක්ටද තමුසෙල රණ්ඩු වුණේ..” මාලක අයියා විසල්ගෙන් ඇසුවේ සැරෙනි.විසල් නිවුන් සහෝදරයන් දෙදෙනාගෙන් හැඩකාරයා ය.මේ ගැහැනු ළමයෙකුගේ ගැටලුවක් විය යුතුයැයි සිතුණු මට ද පහළ වූයේ සිනාවකි.

“වලිය ගියේ පොඩි දේකට.ඒත් කෙල්ලෙකුත් ඉන්නව සීන් එකේ.සී පන්තියෙ කෙල්ලෙක් මල්ලිට ක්‍රෂ්.ඒ කෙල්ලට භාතිය ට්‍රයි කරනවා..”

නිසල් මාලක අයියාට කරුණු දක්වන්නේ සීරුවෙනි.නමුත් කෝපත් වූයේ ධීර ය.ඔහු වහා විසල් සමීපයට ආවේ ය.

“මල්ලිට මේ ලේ එන්න ගැහුවෙ ඌද?”

විසල් කිසිත් නොපැවසී ය.මාලක අයියා ධීරගේ උරහිසකින් අල්ලා ගත්තේ ” උඹ ඕවට පැටලෙන්න ඕන නෑ..” කියන අතර ය.

“මං වැඩිපුර කන්නෙ බොන්නෙ මෙහෙන්.මං පාඩමක් කරගන්න හරි ඉන්නෙ මෙහෙ.ඌට මඟුල් විසේ තිබ්බට මුංට ගහන්න ඕන නෑනෙ බං..ඇන්ටිත් මොනව හිතයිද මන්දා..”

ධීර එතරම් කතාවට සමතෙකු නොවන බව මට සිතී තිබේ.නමුත් ඔහු දැන් සිටින්නේ කෝපයෙන් වෙව්ලමිනි.ඔහුගේ මල්ලී ඉගෙන ගන්නේ විසල්ලාගේ පන්තියේ බවට විසල් පැවසූ කතාව මට සිහි විණි.මම ප්‍රහේලිකාව ගලපා ගතිමි.

“හරි..ඒත් ඒක මුංගෙ ප්‍රශ්නයක්..ඒක උන් උන් විසඳා ගනී..අපිට වැඩක් නෑනෙ..මුනුත් ගහන්න ඇතිනෙ.දෙගොල්ලම.වැරදි.ගෙට යනවලකො තමුසෙලා.ක්‍රෂ් කෙල්ලොයි වලියි ගැන වොෂ් එකක් දාන් ආවම මම බලා ගන්නං..”

මාලක අයියා අවසන් තීන්දුව දුන්නේ ය.විසල් ද නිසල් ද නිවසට රිංගා ගනිද්දී ද ඔහු බැන වදිමින් ඔවුන් පසුපස ම ගියේ ය.

“මට මේ මිනිස්සු එපා වෙලා තියෙන්නෙ.ඉවරයක් නැති ප්‍රශ්න.කා එක්කවත් හොඳින් ඉන්න දන් නෑ…”

ධීර කියවන හඬ ඇසේ.අඩුම තරමේ මෙතන බෲනෝවත් නැත.එසේනම් ඔහු මේ කතා කරන්නේ මා සමඟ ය.මම ඔහු වෙත හැරී මෝඩ සිනාවක් පෑවෙමි.

“භාතිය ඔයාලගෙ මල්ලිද?”

ඔහු හිස සැලුවේ ඒ මගේ මල්ලී ගාණට ය.ඒ නොදන්නා කොලුවාව මලයෙකු කරගැනීමේ හීන් සිතුවිල්ලක් ඊයේ මහ වර්ෂාවේ නම් මට පහළ වෙන්නට තිබිණ.නමුත් මට දැන් ධීර ගැන පහන් හැඟීමක් ඇත්තේ ම නැත.

“අවාසනාවකට වගේ එහෙම තමා…”

ඔහු පැවසී ය.මගේ පණ්ඩිතකම සහ කියවිල්ල මට පෙර ක්‍රියාත්මක විණි.මම ඔහු අසල හිඳ ඔහුට උපදෙස් දෙන්නට පටන් ගතිමි.

“ඉතිං සහෝදරයෙක් ඉන්න එක අවාසනාවක් නෙවෙයිනෙ.එයා නරක නම් ඔයාට පුලුවංනෙ හදා ගන්න.මාලකයියා කිඹුල්ලු දෙන්නට බයිනවා විතරක් නෙවේ ගහනවත්.ඔයත් ඒ භාතිය මල්ලිව එහෙම හොඳට හදා ගන්න..මං ඔන්ලි චයිල්ඩ්.ඇත්තටම මට හරි පාලුවක් තනිකමක් තියනවා..කේතකියි චමත්කයි ඇරුණම මට ඉන්න යාලුවා නිර්වාන් විතරයි.ඒත් ඒ යාලුවොනෙ..සහෝදරයෙක් හිටියනම් කියල මට හැමවෙලේම හිතෙනවා..එහෙම හිටියනම් පසන්ට වුණත් මට රිද්දන්න බෑ…”

මම කියවාගෙන ගියෙමි.ධීර මදෙස බැලී ය. “ඔය ඇති!” ඒ මුළු හෑල්ලම අසා ඔහුට කියන්නට තිබුණේ එපමණකි.

“ඔයා දන් නෑනෙ ඒක කොහොම ගෙයක්ද කියල.ඔයා ඇත්තේ ආදරේ තියන ගෙදරකනෙ..මේ මාලකලගෙ ගෙදර තියන ආදරේ පේනවනෙ.එහෙම ගෙවල්වල ඉන්න ඔයා මොනවද අපේ ගෙදර ගැන දන්නේ..”

මොකක්දෝ හේතුවකට මට කැතී ග්ලාස්ගේ පොත් සිහිව ආවේ ය.මේ සිටින්නේ ද වැඩිවියට පත් බිඳුණු බිළිඳෙක්දැයි මට සැකයක් ඉපිදිණ.ඔහුට යළිත් මිතුරු වී ඔහුගේ කතාව අසා හිඳිනා උවමනාව බිඳෙන්නට තත්පර දෙකක්වත් ගත නොවිණ.

“අනික තමයි ඔයා එක්ක ලංකාවෙ ආර්ථිකෙ කතා කරත් ඉවර වෙන්නෙ ඔය පසන්ගෙන්ද..මහ විකාරයිනෙ.මට තරහ එනවා..”

තරහ ආවේ මට ය.පසන් ගැන ඇසීම පවා ඔහුට තරහ උපදවන්නේ ඇයිදැයි මට අසන්නට සිතිණ.එහෙත් මම වේගයෙන් නැගී සිටියෙමි.ආයේ නම් මේ පිළිවෙලකට නැති කොල්ලාගේ මුහුණක්වත් නොබලන්නට මටම සපථ කරගත් මා නිවස වෙත ගියේ පුපුරා හැලෙමිනි.ඔහු මගේ නම කියා අමතන හඬ ද ඇසිණ.මට හැරී බලන්නටවත් සිත නොවිණි.තරප්පු පෙළ තරණය කළ යන්තමට ඇස පහළ මාලයට යොමද්දී ඔහු එතැන සිටියේ නැත.

චමත්කා සහ කේතකී පුදුමයෙන් දෑස් විසල් කරගෙන මදෙස බලා සිටියහ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...