fbpx

පතොක් මලක ප්‍රේමය -16

නිර්වාන් නිවාඩුව අතරමැද අපේ නිවසට ආවේ නැත.ඒ ගමන අවලංගු අන්දම ගැන මට කිසිම අදහසක් නොවූව ද ඔහු නිවාඩුව අතරමැද අනුරාධගේ නිවසට ගිය බව මම දැන ගතිමි.අම්මා නැවත ඔහු ගැන කිසිත් නොකී හන්දාම නිවාඩුව ගෙවී ගියේ සන්තෝසයෙනි.

“රෑ තිස්සෙ අඬ අඬනම් ඉන්න එපා පුතේ..”

අම්මා මා හට කීවේ නිවාඩුවේ අන්තිම දවසේ ය.මා ඈ දෙස විමසුම් බැල්මක් හෙළීමි.

“මට ඔයාව දැනෙනවනෙ සුදු පුතේ කියන්න එපා ඕං අම්මා..අම්මට කේලම කියන්නෙ කේතාද චමාද?

අම්මා කළේ හිනැහීම ය.ඇය මට ගෙන යන්නට ආහාර සකසන අතර හිනැහෙන්නට ගත්තා ය.

“කේතා..මං අල්ලා ගන්නං එයාව..”

මා ගැන ඕනෑවටත් වඩා විස්සෝප වන්නේ කේතකී ය.කොහොමටත් චමත්කා චරිත සමඟ පැටළුණු කාලයේත් ඇය දවසින් අඩක්ම ගත කළේ හූල්ලන්නට ය.අපේ අම්මා නොවී ඉන්නැයි කේතකීට කොපමණ කීවද ඇය කරන්නේම අපට යහපත් දෑ පමණක් සිදු වීම පිණිස පාලම් තැනීම ය.පාලම ඉදි කිරීමේ ශක්තිය මොනතරම් දැයි කිවහොත් ඒවා කඩාවැටී මගේත් චමත්කාගේත් හොම්බ තැලීම අතිශය සාමාන්‍ය සිදුවීමක් වී තිබුණි.

එහෙත් කේතකී හැදෙන්නේ නැත.

නිවාඩුව අවසන් ව මම උදෑසනම ගෙදරින් පිටත් වූයෙමි.කේතකීද චමත්කා ද එන්නට රෑ බෝ වන බව දැන සිටිය ද මට කල් ඇතුව යන්නට ඕනෑ වූයේ ඇයිදැයි සැබෑවටම මම ද දැන නොසිටියෙමි.බඩුමලු අස් කළ මම පහත ගෙමිදුලට ඇස දල්වාගත්තේ මිතුරියන් එන තෙක් ය.ඔවුන් එන්නට තව බොහෝ වෙලාවක් ගත වුව ද කම් නැත.මා මේ මඟ බලන්නේ ඔවුන් එනතුරු ය.

ඕනෑවට වඩා පාරට ඇහැ අලවා සිටි මට ලැබුණු දෙයක් නැති නිසාම නගරයට යන්නට ද අත්‍යාවශ්‍ය ඇඳුම් කිහිපයක් මිලට ගන්නට ද මට හදිසි සිතුවිල්ලක් පහළ විණි.චමත්කාගේ උපන්දිනයට මොනවා හෝ මිලට ගන්නට සිහි වූයේ ඒ මොහොතේ ය.ඇයට “සොෆ්ට් ටෝයිස්” වලින් තොර ලොවක් නැත.හුරතල් ඉබි පැටවෙකු තුරුළු කරගත් මම ඇඳුමක් සොයන්නට ඉහළ මාලයට ගොඩ වෙද්දී මගේ මඟ හරස් වූයේ ඔහු අතිනි.

“මොන්ටිසෝරි යනවද?”

මෙවැනි කතාවක් කියන කොල්ලෙකුට හොඳ දෙකක් කියන්නට පසු නොබසින සාරදී දෑස් දල්වා ඔහු දෙස බැලුවා ය.කොල්ලෙකු වෙනුවෙන් ඒ තරම් කාන්තිමත් බැල්මක් දෙන්නට පිස්සුදැයි මට පෙර ක්‍රියාත්මක වන කෙළිලොල් සාරදීට බැන වදින්නට මට ඕනෑ විණි.ඇය අතීතය ය.වර්තමානය අයත් නපුරු සාරදී වන මට ය.නමුත් දඟකාර සාරදී නපුරියට මතු වන්නට නොදී ධීරගේ විහිළුවට අනවශ්‍ය තරමට හිනැහෙන්නට ගත්තා ය.

“මේක මේ චමත්කාට..”

දඟකාර සාරදීට ඕනෑ එකක් කරගන්නට ඉඩහැර මම පැවසීමි.ඔහු ද හිනැහුණේ ය.අනතුරුව කෙල්ලෙකුට දියහැකි වෙලාව අවසන් බව පෙන්වා ටී ෂර්ට් ගොඩක් වෙත ඇහැ අලවා ගත්තේ ය.උඩුමහලට යන්නට ගිය මට බාධා කළේ ඔහු ය.දැන් මම ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ නොහරින්නෙමි.

“ඔය ඔයාටද තෝරන්නේ?”

ඔහු හිස සැලී ය.අනතුරුව කිසිම කමකට නැති පාටක් තෝරා ගත්තේ ය.

“ඔයාට ඔය පාට හරියන්නේ නෑ.කොළ පාටක් නිල් පාටක් තෝරගන්නකො..”

ඊළඟට ඔහු පක්ෂ රැස්වීමකට යන්නට මෙන් කැත කොළ පාටක් තෝරා ගත්තේ ය. මට සිනා පහළ විය.

“ඡන්ද රැස්වීමකට යන්න වගේ.කැතේ බෑ..”

මා එසේ කියද්දී ලෙහෙසියෙන් සිනා නොවන ඔහු මදෙස හෙළුවේ වචන දහසක කතාවක් ගැබ් වූ සිනාවකි.නමුත් පැවසුවේ ඉතා මෝඩ කතාවකි.

“අපි පරම්පරාවෙන්ම අනිත් පාට..”

කියවන්නට ගත් විට තැනක් නොතැනක් නැති මම ඔහුට පාට සහ ශරීර වර්ණ ගැන දිගු දේශනයක් දුන්නෙමි.නිමි ඇඳුම් හලේ සේවය කරන තරුණයන් පවා මගේ කටේ සද්දය ගැන විමසිලිමත් වන බව තේරුම් යද්දී මම දේශනය නිමා කළෙමි. අහස් නිල සහ දම් පාට ඔහුට ගැලපෙනම පාට බව මම සොයා ගතිමි.ඔහු දෑතම ඔසවා ඒ තීරණය පිළි ගත්තේ ය. ඒ වර්ණයන් දෙකෙන් පමණක්ම අඳින්නට ඇඳුම් තෝරා ගන්නා ඔහුට නොව නිමිඇඳුම් හලේදී ඔහුට ගැලපෙන පාට ගැන සොයා ගැනීමක් කළ කටකාර කෙල්ල ගැන අනාගතයේ දවසක ධීරගේ බිරිඳ විස්සෝප වන්නට නියමිත බව දැන සිටියා නම් මම වැරදීමකින් හෝ එවැනි පණ්ඩිත වැඩක් කරන්නේ නැත. ඔබ සාරදීගේ පතොක් කටු ඇනෙන කතාවක ප්‍රේමය සොයමින් කලබල අකුරු කියවන මේ මොහොතේ පවා ඇය අල්මාරියකට ඒ තරම් අහස් නිලත් දම් පාටත් වැටුණු කමිස කුමකටදැයි සිතමින් පණ්ඩිත සාරදීට දොස් නඟන බව මම දනිමි.සමහරවිට ඒ කතාව ඔබට ද පසුව දැන ගන්නට ලැබෙනු ඇත.

ධීරට ඕනෑ එකක් කරගන්නට හැර මම ඊළඟ මහලට යාමට සැරසෙද්දී ඔහු මගෙන් ඇසුවේ ප්‍රශ්නයකි.

“ඉතිං චමත්කට විතරක් ගත්තෙ ඇයි.ඔයාටත් සොෆ්ට් ටෝයි එකක් ගන්න එපැයි..ආස නැද්ද”

ඒවාට විශේෂ ආසාවක් නැතැයි මට ඇත්ත කියන්නටත් තිබිණ.නමුත් මම ඔහුට බොරුවක් කීවෙමි.

“මේ වෙලාවෙ සල්ලි තියෙන්නෙ චමාට ගන්න විතරයි..”

මා මගේ ඇඳුම් තෝරාගෙන පිටතට එද්දී ධීර මා එනතුරු පිටතට වී බලා සිටියේ ය.චමත්කාගේ ඉබ්බා ගත් රාක්කයේ සිටි කුඩා බලු පැටියෙකු තමන්ගේ විසුළු දිව දිගු කරගෙන ඔහු අතට වී බලා සිටියේ ය.

“මේක ඔයාට..”ඔහු කිසිම පැකිලීමක් නැතිව එය මා අතින් තැබී ය.

“මං ඇත්තටම ආස ඇත්ත බල්ලන්ට.කවදාහරි මගෙ ගෙදරක කූඩු කරන් නැතුව මං එක්කම පස්සෙන් වැටිලා ඉන්න බලු බබෙක් හදා ගන්න මම ඉන්නෙ..මං එයාට අම්මා වගේ ආදරේ වෙනවා..”

ඔහු කිසිත් නොපැවසී ය.නමුත් අර සිනාව පිපී ආවේ ය.ඒ දවසක හමු වෙන බලු පැටියාට තාත්තෙකු මෙන් ආදරය කරන්නට ඔහුට සිතුණාවත්දැයි සිතු මම මගේම හැඟීම ගැන ලැජ්ජාවට පත් වී ඉවත බලා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x