fbpx

පතොක් මලක ප්‍රේමය -17

නැවත නවාතැනට යන්නට ත්‍රීරෝද රථයක් නවත්වා ගත්තේ ධීර ය.ඔහු මා සමඟ එයට ගොඩ වෙද්දී මම ඔහු දෙස බැලුවෙමි.වචනයකුදු නොකීව ද ඔහු මා කියවා ගත්තේ ය.

“මාලකයත් එක්ක වැඩ වගයක් තියනව ඉවර කරන්න..”

ඔහු යන්නේ මාලක අයියා මුණ ගැසෙන්නට ය.මා කැටුව නොවේ.මා සමඟ මා හැරලන්නට එන්නට ඔහු මගේ කවුදැයි මම සිතිමී.එය ද සිතුවිලි තරංගකින් ඔහුට දැනුණා විය යුතු ය.

“මං ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිටියේ.මැසේජ් එකකින් අහන්න හිතලත් ආයෙ හිතුවා මුණ ගැහුණු වෙලාවක අහන්න..”

ඒ සාම්ප්‍රදායික කතාන්දරයකි.ඒ ප්‍රශ්නය මෙතරම් ඉක්මනින් ඇසේවියැයි මම නොසිතීමි.මට වහා කෝපයක් ඉපදිණ. “මම අකමැති” කියන්නට මම හොට මැද ගතිමි.

“මමත් මාලකගෙ වයසනෙ..ඇයි ඔයා මට අයියා කියන් නැත්තේ…”

මට සිනා ගියේ ඉබේටම ය.මා බලාපොරොත්තු වූ ප්‍රශ්නය එකකි.ඔහු අසන්නේ කොහෙටවත් නැති ප්‍රශ්න ය.මම සිනාවතකින් ධීර දෙස බැලුවෙමි.ඔහු පිළිතුරු අපේක්ෂාවෙන් දෑස් දල්වා මදෙස බලා සිටියි.

“අයියෙක් වගේ හිතෙන් නෑ..” මා එසේ කියා හිනැහෙද්දී ඔහු ද මගේ සිනාවට එක් විණි.මට එය වැඩිදුරටත් පහදන්නට ඕනෑ විණි.

“කේතා,මම, චමා අපි එක එක වයස්වල..අපිත් ඉතිං නමනෙ කියන්නෙ.මාලක අයියා හරිම කෙයාරින් නිසා වෙන්න ඇති නම කියවෙන්නේ නෑ අයියටනම්..මට ඔයත් දැනෙන්නේ යාලුවෙක් වගේ..”

අර නිවී යන මඳහස පිපී ආවේ ය.මම ඒ සිනාවේ ගැලී ඇලී මොහොතක් ගෙවූයෙමි.හදවතට අවංකව සිතද්දී ඔහු මාලක අයියාට කිසිසේත්ම සම වෙන්නේ නැත.මාලක අයියා දැනටමත් අපේ ලොකු අයියා වී අවසන් ය.නමුත් ධීරගේ සිනාව හද නිවී යන මට්ටමේ සිනාවකිනි.එදෙස බලා හිඳිද්දී උපදින්නේ සහෝදර ප්‍රේමයක් නොවේ.මේ හැඟීම මියැදී ගිය හැඟීමක් පණ උපදවන බවට ඉඟියක් දැයි මම බිය වීමි.

“ඔයාගෙ හොඳම යාලුවා කවුද..චමත්කාද කේතකීද?”

මග් සිතුවිලි අහුර ඔහුගේ පැනයෙන් බිම වැටිණ.චමත්කා, කේතකී,නිර්වාන් ඒ හැම කෙනෙකුම පාහේ හොඳ යහළුවන් ය.නමුත් හොඳම යාලුවෙකු දැන් මගේ ජීවිතයේ නැත.මම ඒ වග ඔහුට පැවසීමි.

“මගේ යාළුවා ප්‍රාර්ථනා.අපි හයේ ඉඳල හොඳම යාළුවො..දැන් එයා පසන්ලගෙ යුනිවර්සිටි..”

ධීර වහා අතක් එසවී ය.මට එක් වරම සිනා නැඟිණ.මගේ සිනාව ඔහුට ද බෝ විණි.ත්‍රීරෝද රථයට ගාස්තුව ගෙවා නිවසේ ගේට්ටුව හරින අතර ඔහු සිනාවෙන්ම මා ඇමතී ය.

“මං ඒකනෙ කියන්නෙ, ඇමරිකාවෙ දේශපාලනය ශ්‍රී ලංකාවට බලපාන අන්දම ගැන කියන්න කීවත් ඔයා කතාව නවතින්නෙ මැක්කගෙන්…”

ඒ කතාවට මා මුහුණ නාළු කරගෙන යන්නට සැරසෙද්දී ඔහු අර සෙල්ලම් බලු පැටියා මා අතින් තැබුවේ ය.මම සිනා වෙන්නට තැත් දැරීමි.

“මෙයාව හොඳම යාළුවා කරගන්න එහෙනම්..ඔය මැක්කා ගැනයි මැක්කගෙ මැක්කි ගැනයි ඔක්කොම මෙයාට කියන්න..මෙයා මගෙන් තෑග්ගක්..”

මම සිනාවකින් මෘදු සෙල්ලම් බලු පැටියා තුරුලට ගත්තෙමි.ඔහු මට යන්නට හැර මෘදු හඬකින් මා ඇමතී ය.

“ඕනනම් ඉතිං මං මැක්ක ගැන අහන් ඉන්නම්, මං හොඳ යාළුවා නෙවෙයි හොඳම යාළුවා වුණොත්…”

අප හැඳින ඉතා සුළු කාලයකි.ඔහු මට සමීප වන්නේ ජීවිතය මොන අතකට ගෙන යන්නටදැයි මම සිතීමි.කාලයක් පුරා දැන සිටි පසන් මා සම්පූර්ණයෙන් බිඳ දැමුවා නම් මේ නුපුරුදු නගරයක මුණ ගැසුණු නොදන්නා තරුණයා මගේ ජීවිතය මොන දිශාවකට ගෙන යාවිදැයි මම සිතීමි.එහෙත් මට ඔහු අවිශ්වාස කරන්නට සිතුණේ නැත.හොඳ යාළුවෙකු වන්නට ඔහු නරක නැතැයි නොසිතා හිඳින්නට මට නොහැකි විණි.

මම මිතුරියන් එනතුරු දිය නා ගතිමි.අම්මා දුන් ආහාර රත් කොට තබා මුළු නිවසම අස් පස් කර දිය නා ගන්නට තරම් මගේ හද තැන්පත් වීම ගැන මටම පුදුමයක් ඉපිදිණ.නමුදු මොකක්දෝ සතුටකින් මා පිරී අහවර ය.

පහේ කණිසමද ගෙවී යද්දී චමත්කාට හෝ කේතකීට අමතන්නට සිතී මම දුරකථනය අතට ගතිමි.එහෙත් ඇමතුම පමා විණි.මට ෆේස්බුක් අඩවියේ සරන්නට සිතිණ.

ධීර! ගීයක් ඔහුගේ ගිණුමට එක් කර තිබිණ.ඒ අනන්ත වාරයක් ඇසූ ගීයකි.මහා උනන්දුවක් නොදැනුණු ගීයකි. ඔහු ගීයට ඉහළින් එහි පද දෙකක් පමණක් ලියා තබා ඇත.බොහෝ වාරයක් ඇසූ ගීයේ කටපාඩම් පද මුලින්ම කියවන ගතියක් මට දැනිණ.

“කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක්… ගෑනු ළමයෝ”

පසන්ගෙන් මිදී ගෙවී ගිය තෙවසර හුදකලාව උතුරා ගැලූ කාලයක් නොවෙදැයි මට සිහි වූයේ ඉබේටම ය.මම අන්තර්ජාලයට පිව්සී ඇපල් මල භාගත කළෙමි.දෑස් පියාගෙන එය අසන්නට ගතිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x