fbpx

පතොක් මලක ප්‍රේමය -18

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය පැමිණියේ ය.තාත්තා අතට දෙන මුදලත් මගේ පොත් කැටයත් ගෙන එහි යන්නට මට තිබුණේ පුදුම උනන්දුවකි.

“ඔන්න තාත්තා ටිකක් වැඩියෙනුත් එක්ක සල්ලි එව්වා..”

අම්මා එසේ කියද්දී තාත්තා හිනැහෙන හඬ මට ඇසේ.මම දුරකථන හඬ දිග ඇසෙන ඒ ආදරයේ හඬට ඇලී ගත්තෙමි.සියල්ල පසෙක දා ගෙදර දුවන්නට හිතෙන්නේ මෙහෙම වෙලාවට ය.

“තාත්තට ඕන පොතුත් කියන්න හොඳේ.මං ගන්නම්..” තාත්තා මට ඕනෑ එකක් ගන්නට කියද්දී ඒ තවත් කීයකට හෝ තට්ටු වෙන වැඩක් කියමින් අම්මා හිනැහෙන්නට ගත්තා ය. ඉතින් මට ඇයට ඕනෑ මොනවාදැයි අහන්නට සිත් විණි.

“ඔයා සතුටින් ගිහින් එන එක තමයි..තනියම යන්න එපා පුතේ.මම කේතකීටත් කිව්වා යන්න කියලා..”

නුගේගොඩ හෝ මරදානේ තනිව පොත් දඩයමට ගිය ද පොත් ප්‍රදර්ශනය වැනි සුවිසල් තැනකට යන්නට මට තනිවම නොහැක.කේතකී ආදර කතා සොයා මා සමඟ පැමිණි අතර රසම රස මඤ්ඤොක්කා සහ කට්ට සම්බෝල කන්නට ගල්කිස්ස හෝටලයේ ගමේ කඩේ කුටිය සොයා චමත්කා පැමිණියා ය.නිර්වාන්ට එන්නට කීවේ කේතකී ය.ඔහුට විෂයානුබද්ධ පොත් කිහිපයක්ම ගන්නට ඇති බව කියමින් ඔහු අපට එක් විය.කොහොමටත් නිර්වාන්ගේ අම්මා මා ගැන මොනවා සිතා හුන්න ද ඔහු මට එවගක් හඟවාම නැත.

“මට පොත් තෝරන්න යන්න ඕන තනියම..” ඇතුළුවීමේ කවුළුව පසු වූ තැනම මම පැවසුවෙමි.කේතකී කම්මුලේ අත ගසා ගත්තා ය.

“මේ හිතුවක්කාරකම මට තේරෙන් නෑ.පොත් හොරකං කරනවද මන්දා මේකි. අපි එනවට කැමතිම නෑනෙ..”

සතියේ දවසක උදෑසන බැවින් ප්‍රදර්ශන භූමියේ වැඩි සෙනඟක් නැත.මම මඳ මුදු සිනා සැලුවේ පොත් මළු උස්සාගෙන යන පිරිස් දෙස බලමිනි.

“කවුරුහරි මං ඒ පොත තෝරාගන්නේ ඇයි.කතාව ලස්සනද වගේ ඒවා අහනකොට මට යකා නඟිනවා…”

මගේ ඒ කතාවට චමත්කා හිනැහෙන්නට ගත්තා ය.කේතකි ඇගේ අත අල්ලා ගත්තේ මට රවමිනි.

“මල විකාර බං..අපි යං..ඕන එකක් කරගත්තාවේ..”

නිර්වාන් අප නැවතුවේ සිනා සලමිනි.ඔහුට කෙල්ලන්ගේ වලි බේරන්නට වී දැන් සෑහෙන කාලයකි.බොහෝ විට ඔහු කේතකීගේ පැත්තට නඩු තීන්දුව ලබා දුන්නේ ය.එහෙත් ඒ තීන්දුවට හේතුව තම ජීවිතය බේරා ගැනීමට ඇති ආශාව බව කියමින් රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කේතකීගේ පෙම්වතා ගැන ද කණගාටු වූවේ ය.

“මම ඉක්මනින් පොත් ගන්නව.අරන් මම බී හෝල් එක ගාව ඉන්නව.ඔයාල එන්න එතනට..”

චමත්කා මුහුණ නොරොක් කර ඔහු දෙස බැලුවේ ය.

“ඉඳා..ඔයත් තනියමද යන්නේ..” ඇය අසද්දී නිර්වාන් ඈතට ගියේ “උඹල දෙන්නා අත්දෙකේ එල්ලන් ගියාම මට කෙල්ලෙක්වත් ටෝක් කරන්න පුලුවං ද” අසමිනි.

මම බොහෝ වෙලාවක් පොත් අතර සැරිසැරීමි.පොත් එක දෙකක් තෝරා ගතිමි.කොහොමත් මට මුල්ම දවස ඕනෑකරන්නේ පොත් අතර ඇවිදින්නට ය.එහි ඉමිහිරිම සුවඳ විඳ ගන්නට ය.අනාගතය ගැන ඇති මියුරු සිහිනයක් ගැන තනිව විඳින්නට ය.දෙවැනි දවසේ අපේ අධ්‍යන කණ්ඩායමේ කා සමඟ හෝ විසල් නිසල් ජෝඩුව සමඟ මෙහි ආ හැකි බවත් එදිනට පොත් මිලට ගත හැකි බවත් මම දනිමි.

දකින්නට අමිහිරිම දසුනක් දෑස් මත ඇඳෙද්දී මම හුන් තැනම ගල් ගැසී ගියෙමි.අඩියක් ඔසවා අඩියක් තබන්නට නොහැකි තරමට පාද අවසඟ වෙද්දී මගේ දුරකථනය නොනවත්වාම නාද වන බව මට ඇසිණ.මම එයට ඇමතූවේ සිහියකින් නොවේ.

“ඔයා ඉන්නෙ ජේ හෝල්නම් එළියට එන්න සුදූ..පොඩි හදිස්සියක්..”

චමත්කා පවසයි.ඇය පවසන දේ කුමක්දැයි මම දනිමි.මම වචන දෙකකින් ඇයට පිළිතුරු දුනිමි.

“මම දැක්කා..”

මා මිතුරන් සොයා ගියේ විකල් වූ සිතක් ඇතිව ය.නිදහස් තැනක වැටී සිටි ඔවුන් වහා මා අල්ලා නොගත්තේනම් මා ඇද වැටෙන්නට පවා තිබිණ.

“කේතා පොත් බලනකොට මං කම්මැලිකමට ෆේස්බුක් ගියේ.එතකොට තමා අර සරනි ගෑනි අප්ලෝඩ් කරපු ෆොටෝ එක දැක්කෙ..අනේ එතකොට ඔයා උන්ව දැකලනෙ සාරා..මේක මහ කරුමයක්.කොහෙන්හරි පේනවා..”

චමත්කා කියවා යන්නට පටන් ගත්තා ය.කේතකී තැන නොතැන නැතිව සරනිට සාප කරන්නට ගත්තා ය.මම පඩියක් මත හිඳ ගතිමි.

“එයා තාම පොත් කියෝනවා..”

බොර වූ මගේ ඇස් වලට හඬන්නට ඕනෑ වන්නට ඇත.එහෙත් සිර වූ ඉකිය පිටතට ආවේ නැත.ඔහේ බලාගත් අත බලාගෙන මම ඔහේ සිටියෙමි.

“මෙතන බෙලිකටු මලු හොලවන් නැතුව කූල් ඩ්‍රින්ක්ස් මොනව හරි අරන් එනවලා..”

නිර්වාන් දෙමිතුරියන්ට අණ දුන්නේ ය.ඔවුන් මුහුණට මුහුණ බලා ගනිද්දී ඔහු මුදල් නෝට්ටුවක් ද දිගු කර බැන වැදුණේ ය.කේතකී එය උදුරාගෙන බැන වදිමින් යන අන්දමත් චමත්කා ඇය පසුපස වැටුණු අන්දමත් මට පෙනුණේ සිහිනයෙන් මෙනි.

“ලංකාව හරි පුංචි රටක් සාරා..ඔයාට පසන්ව ඕනෑ තැනක පේන්න පුලුවං..ඔයා ඒකට මූණ දෙන්න හයිය වෙන්න ඕන..”

නිර්වාන් එසේ කියා මගේ අතකින් මෘදුව අල්ලා ගත්තේ ය.මා පියවි ලෝකයට ආ නමුදු මට හඬන්නට ඕනෑ විය.

“ආගියු කරන් නැතුව පොත් තෝරා තෝරා යන්න පුලුවං එයා එක්ක විතරයි නිර්වාන්..ඉස්සර අපි ටවුන් එකේ බුක් ෂොප් ගිහිං පොත්වල කැමතිම තැන් හොයන් කියෝනවා.සමහර තැන් තිබුණා කවදාවත් එකඟ වෙන්න බැරි වුණු..ඒත් මෙහෙම තැනක එයා එක්ක ඇවිදින්න මට ඕන නිර්වාන්..අනේ මට කා ළඟවත් එහෙම කම්ෆටබල් නෑ…”

මම තව බොහෝ දේ කියා හඬන්නට ගතිමි.නිර්වාන් වදනකුදු නොදොඩා මඳ වෙලාවක් හිඳ මගේ හිස ඔහුගේ උරහිසට වාරු කර ගත්තේ ය.ඔහු එසේ කරන්නට හේතුව මට පෙනුණේ මා පසු කර යන දෑස නිසා ය.

වෙනදා තාරකා එළි සේ මට පෙනුණු දෑස මා දෙස බැලුවේ එක් වරකි.සරනිගේ අත පටලාගෙන ඔහු යන්නට ගියේ ය.ඔහු ඈ අත දරා ගෙන ය.නිර්වාන් මා උරහිසේ හොවාගෙන ය.මම වහා නිර්වාන්ගෙන් මිදුණෙමි.නමුත් පසන් ඒ මිදීම දුටුවේ නැත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x