සුළි සුළඟක සුසුමක් – 4වන කොටස

සංකල්ප ගේ මුහුණ මා වඩාත් හොඳින් දුටුවේ ඒ වෙලාවේ කියා සිතමි. ඔහු ගේ තළ එළළු මුහුණ මත, විකට හා කොපුල් වසා ගෙන රැවුලක් නඩත්තු කරමින් තිබිණි. ඒ අතරෙහි වූ දෙතොල් තැඹිලි පැහැයකට හුරු වූයේ ය. සිගරට් බොන්නේ නැති කොල්ලෙකු වන්නට ඇතැයි සිත මට කීවේ ය.

ඒ ඇස් සිහින් ය. ඒවා නිතර ම සිනහ වෙමින් තිබිණි. මේ වෙලාවේ ඇස් ඇතුළේ මා දුටු එළිය, හැම වෙලාවේ ම තිබෙන එකක් ද කියන්නට මා දැන සිටියේ නැත.

“මොකද්ද අර කියපු අවුරුදු විස්සක කතාව…”

කාරණාව අමතක වී යන්නට පෙර මම සිහි එළවා ගතිමි. ඒ දෙතොල් මතට පිවිසියේ තෘප්තිමත් සිනහවකි.

“ඕගොල්ලො මෙහෙං යද්දි අපිට අවුරුදු හතයි. දැං විසි හතයි”

“ඉතිං…”

“ඒ අතරෙ ගෙවිච්ච අවුරුදු විස්සෙදිම මං බලං හිටිය ඔයා එයි කියල. ඔයත් එක්ක කතා කරන්න ඕන කියල…ඔයා සමහර කාල වල ඉඳ හිට ඇවිත් ගියා. ඒත් ඒ කිසි දවසක මට ඔයා එක්ක කතා කරන්න ලැබුණෙ නෑ. සමහර දවස් වලට ඔයා ආවා කියල දැන ගත්තට මං ඔයාව දැක්කෙවත් නෑ”

පපුවේ අමුතු හිර වීමක් වගේ දෙයක් දැනිණි. ඒ වගේ කතාවක් අහත්දී එහෙම සංවේදනයක් දැනීම ගැන පුදුම නො විය යුතු ය.

“ඉතිං මොකටද ඔය තරං බලං හිටියෙ…හරි වැඩක්නෙ…”

මම තරමක නො මනාපයක් හැඟවීමි. ඔහු කෙලින් ම මගේ මුහුණ දෙස බැලුවේ ය. ඊළඟට සුසුමකින් ඈත නිල් කඳු යාය දෙස බලා ගත්තේ ය.

“ඒක ඇත්ත”

ඒ සුසුමේ මැද හරියේ දී සංකල්ප මිමිණුවේ ය. සුසුමත් එක්ක ම ඒ වචන දෙක ද නිල් කඳු යාය පැත්තට ගසා යන්නට ඇත.

“මේ සැරේ ටික දවසක් ඉන්නවද…”

ඔහු මොහොතකින් සිය ශෝකාකූල ඉරියව්ව වෙනස් කරමින් කතා කළේ ය. එය මා තුළ පහසුවක් දනවන ලදී.

“කියන්න බෑ”

මම ඕනාවට එපාවට වාගේ කීවෙමි. කොහොමටත් නන්නාඳුනන තරුණයෙකු ඉදිරියේ පෞද්ගලිකත්වය නිරාවරණය කරන උවමනාවක් මට වූයේ නැත.

“ඇවිදින්න යනවද..ලූනා..”

ඔහු ලූනා ගේ හිසත් ගෙලත් පිරිමැද්දේ ය. ඇය කෙඳිරි ගාමින් ද ඔහු ගේ සිරුර මත සිය ඉදිරි ගාත් තබමින් ද ළෙංගතුකම පෙන්වූවා ය.

“රෑට සින්දුවක් කිව්වට කමක් නැද්ද දන්නෑ නේ…”

“ඊළඟට ඔහු එසේ ඇසුවේ මගෙන් නොව කඳු යායටත් එහා දුර ඈතකින් ඉන්නා කෙනෙකු ගෙන් සේ ඈත බලා ගෙන ය. මට සිනහ නැගෙන්නට ආවේ ය. මම ඒ සිනහව තද කරගෙන ලූනා දෙසට හැරුණෙමි.

“යමු නේ ලූනා…”

සංකල්ප ගේ ඇස් කාන්දම් බලයක් සේ මදෙසට ම ඇලී ඇති බව දැනුණත්, මම වැරදීමකින් හෝ ඔහු දෙස නො බලන්නට ප්‍රවේසම් වීමි. ඔහු අවුරුදු විස්සක් තිස්සේ නඩත්තු කළ බැඳීමක් වෙනුවෙන් මට ය කියා කරන්නට යමක් ඇත්තේ නැත. මම මේ දුක් දෙන ජීවිත සංසාරය දිගු කරවන බැඳීම් වලින් අත්මිදිය හැකි මගක් සොයන්නියක් මි.

ලූනා බලාපොරොත්තු වූ පරිදි ඒ හැන්දෑවේ බුලී හමු වූයේ නැත. අහස වැස්සකට අරාඳිමින් තිබුණා ට වැස්සේ ද නැත. පොතක් කියවන්නට හෝ හිතක් නොවන අලස බවක් මා වෙලා ගෙන තිබිණ. විදුලි පහන් හෝ නො දල්වා මම කාමරයේ, අඳුරේ යහනට ගුලි වී ගෙන සිටියෙමි.

“ඔහොම ඉඳල සුදු බබාට නින්ද යයි. කෑම කාල ඉමු සුදු බබා”

කියමින් නීලා මගේ අලස නිද්‍රාව බිඳ දැමුවා ය. මා යහනෙන් නැගිටිනකොට ම හයිලන්ඩ් ගෙස්ට් පැත්තෙන් ගී හඬක් පා ව ආවේ ය.

“ඔබ ගාව මම ඉන්නෙමී

සුසුමන් වගේ යා වෙවී

තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී

රෑ සීතලේ ලං වෙවී…

තරු මල් කඩා දෙන්නෙමී…”

නීලා මදෙස බැලුවේ බිය වී ගෙන වාගේ ය.

“අනේ මේ කොල්ලන්ට කියන සිංහලේ තේරෙන්නෙ නෑනෙ. සුදු බබා රණ්ඩු වෙන්න යන්න එපා. මං කියල එන්නං ඔය බජව්ව නවත්තන්න කියල”

අප කෑම මේසය වෙත ඇවිද යත්දී නීලා යෝජනා කළා ය.

“එපා එපා”

මම වහා කීවෙමි.

“තාම රෑ දහය පහු වුණෙ නෑනෙ නීලා. දහයෙං පස්සෙ තමයි සද්ද බද්ද කරල අහල පහලට ඩිස්ටර්බ් කරන්න බැරි”

කෑම මේසයට ද ඒ හඬ මනා ව ඇසුණේ ය. පෙර දා සේ කොල්ලන් රෑන ම නොව මේ ගයන්නේ සංකල්ප බව ඒ හඬින් මට හැඳින ගත හැකි විය. ඔහු ට තිබෙන්නේ ගැඹුරු මුණිවර නදකැයි මට සිතිණි. මා එසේ සිතන්නේ එෆ් එම් නිවේදිකාවක සතු අත්දැකීම් මත කියා ද එසැනෙන් මම සිතට කීවෙමි.

“මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ

ඔබ ගේ සිනා දෑස නේදෝ

නොසැලී තියෙන්නේ සසැලී නො යන්නේ

ඔබගේ මගේ ස්නේහෙ නේදෝ

හිත මාගෙ සනසන්නෙ සරසන්නෙ ඔබමයි ළඳේ

වෙන කවුරුවත් මාගෙ තුරුළේ නිදන්නෑ ළඳේ…”

බත් පත අනමින්, ඇනූ ටික මුවෙහි ලන්නට තරම් හෝ හිත වෙන අරමුණකට නො යවමින් මම ඒ හඬ අසා උන්නෙමි. සංකල්පගේ දිළිසෙන සිහින් ඇස් දෙක, ඒ ගායනයත් සමග හිනැහෙනයුරු මට මැවී පෙනුණා සේ ය.

“මං හෙට කියන්නංකො. රෑට බජව් දානවනං අහල පහලට ඇහෙන්නෙ නැති වෙන්න ඒව කර ගන්න කියල”

නීලා ගේ කතා, ඒ ගීය රස විඳින්නට වන බාධාවක් සේ මට දැනිණි.  වචනයක් වුව පිට නොකර සිටියේ ඒ හේතුව නිසා ම මිස නීලා ට අනුබල දෙනු වස් නම් නොවේ.

“මතු ජීවිතේදී මෙලොවින් තුරන් වී

ගුවනේ පියාඹන්න වේවී

අභ්‍යාවකාශේ ග්‍රහ ලෝක ගානේ

මිතුරන් සොයා යන්න වේවී

ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ

දෙව් දූ වරුන්ගෙන් අහන්නෙත්

ඔයාමයි ළඳේ..

ඔබ ගාව මම ඉන්නෙමී…”

එය කිසියම් වශී දැහැනක් සේ ය. සංකල්ප ගේ හඬ තුළ එහෙව් මායාවක් වෙතැයි කලින් මට සිතී තිබුණේ නැත..මෙහෙම දුර සිට නොව ඔහු සමීපයේ හිඳ මේ ගී නද අසා ඉන්නට තිබුණා නම් කියන හදිසි සිතිවිල්ලක් මා තුළ පහළ වූයේ ය.  

ගීත ගායනයක් කියන්නේ මට අමුතු දෙයක් නොවේ. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වශයෙන් මම ඕනෑ තරම් ගීත තෝරමි. අසමි. ඒ අතරින් බොහොමයක් දෙනා ප්‍රවීණ ගායක ගායිකාවන් ය. ආධුනික වුවත් ඉතා දක්ෂ අය ඒ අතරේ සිටිති. නමුත් ඕගන් එකක් පමණක් වයමින් සංකල්ප කළ මේ ගායනය, ඒ කිසිවෙකුට හෝ කළ නොහැකි තරම් දෙයක් මගේ හද තුළ සිදු කරන්නට මගේ පෙර පාසල් සගයා ට හැකි විණි යයි සිතන්නට මා පොළඹවාලූයේ ය.

රාත්‍රියේ මා නින්දට ගියේ ද නිම්නාද වන ඔහු ගේ ගැඹුරු ගීතවත් හඬ මැද ය. නමුත් ඒ ප්‍රතිරාවය සිදු වූයේ මගේ හද තුළ ය. ඊට පස්සේ සංකල්ප තනි ව ගැයුවේ නැත. ඔහු ගේ සගයෝ සමූහ වශයෙන් ගැයූහ. එදා සේ ඒ ගැන මා තුළ කෝපයක් උපන්නේ ද නැත.

උදේ මඳ වෙලාවක් උද්‍යානයේ කැරකෙමින් උන් මම ලූනා පිටින් තබා පාර පැත්තට ගියෙමි. මට ඕනා වූයේ කුමක් ද කියන්නට මම ම නො දනිමි. කළු ගල් බැම්ම මත හිඳ උන් සංකල්ප සිනහවකින් ඉන් බිමට පැන බුලී ද සමගින් අප වෙතට ආවේ ය.

“බුලී බල බල හිටියෙ. යාළුව කෝ කියල”

ඔහු ලූනා ව හුරතල් කළේ ය.

“ලස්සනයි”

ලූනා වෙතට පහත් වී සිටි හෙතෙම නැගී සිටියදී, මට කියවිණ. ඒ වෙලාවේ අපේ ඇස් එක රේඛාවක එකට හමු වී තිබුණා මතක ය. ඊළඟ නිමේශයේ මම ඇස් වෙනතක හැරවීමි.

“මොකද්ද…”

ඔහු ගේ හඬෙහි අවංක නොතේරුම් බවක් විය.

“සින්දුව”

“ආ…”

සිනහවකින් ඒ වත පිපුණේ ය. ඒ සිනහව පිරිමි ළමයෙකු ගේ මුහුණට සිරියාවන්ත යයි සිතුණ සිතිවිල්ල ගැන ඊළඟ නිමේෂයේ මම ම ලජ්ජා වීමි.

“අපි වැඩිය රෑ වෙනකල් සින්දු කිව්වෙ නෑ. ඔයාට නිදියන්න ඩිස්ටර්බ් වෙන්න නැතුව ඇතිනෙ…නේ…”

මම ඊට පිළිතුරක් නොදී ඉවත බැලීමි. මෙ විදිහට වචන වලින් හෝ කෙනෙකු සමගින් ඇති වන්නේ බැඳීමක් නොවේද? බැඳීම් කියන්නේ ම කෙළවර දුක් දෙන කරදරයකි.

“ඔයා කොච්චර වෙනස් වෙලාද…”

හදිසියේ ම ඔහු කීවේ මගේ කල්පනා ලෝකය තිගස්සවමිනි.

“මට තාම මතකයි පොල් ගස් දෙකක් වගේ කොණ්ඩ දෙකක් දාගෙන හිටපු බෝල මූණක් තියන බෝනිකි කෙල්ල. පාට පාට කොණ්ඩ කටු ගොඩක් ගහ ගෙන…රේන්ද අල්ලපු ලස්සන මේස් දාගෙන නර්සරි ආවෙ. මං තමයි බොඩි ගාඩ් වගේ පස්සෙං හිටියෙ”

“පිස්සු”

මම සරල ලෙස කියා දැමුවෙමි. නමුත් ඔහු කියනාකාරයේ කොණ්ඩයකින් ද මේස් වලින් ද බෝල මුහුණෙන් ද යුතු මගේ පින්තූර, පෙර පාසල් සමයේ පින්තූර ඇල්බමයේ තිබෙන බව මට හොඳට ම මතක ය.

“ඒ කාලෙත් ඔහොම තමයි…”

ඔහු සුසුමකින් කීවේ ය.

“දැං එහෙනං කිව්වෙ කොච්චර වෙනස් වෙලාද කියල…”

මගේ හඬෙහි සමච්චලයක් තැවරී තිබිණි. ඇතැම් විට මට ඕනා වෙන්නට ඇත්තේ ඔහු කියනා දේවල් ඒ හැටි වැදගත් නොවෙනා බව හඟවන්නට වන්න ඇත.

එක අතක් පපුවෙහි බැඳ අනිත් අතින් නිකට පිරිමදිමින් ඔහු මා විනිවිද බලා සිටියේ ය. ඒ විදිහට කිසිදු පිරිමියෙකු මදෙස බලනවා දකින්නට මට ඕනෑ නැත.

“මොකද ඔහොම බලන්නෙ…”

මම රවා බැලීමි. සංකල්ප ට සිනා ගියේ ය. ඒ කතාව තවත් දුර දිග නො යන එක හොඳ යයි වහා ම මගේ ඉව මට දැනුම් දෙන ලදී.

“දැං ඇති ලූනා අපි යමු”

දම් වැල දමා තිබුණෙන් මට පහසුවෙන් ඇය බුලී ගෙන් මුදවා ගෙන යා හැකි විය.

ආගන්තුක බරක් සිත් හි වූයේ ය. පොල් ගස් දෙකක් සේ කොණ්ඩය දමා ගත් බෝල මූණක් ඇති ළදරු උත්තරා කෙනෙක් මගේ සිතිවිලි ලෝකයට වද දෙමින් සිටියා ය. ඒ වූ කලී මට මතක නැති වී ගිය කතාවකි. බෝ පහසුවෙන් මෑත අතීතය පවා අමතක කරන නරක පුරුද්දක් ඇති මට, මගේ පෙර පාසල් විය සිහිපත් කොට දෙන පෙර පාසල් සගයෙකු හමු වී තිබේ. ඔහු ට ඒ තරම් දිග මතකයක් තිබෙන්නේ කෙසේ ද? මම ළදරු සංකල්ප සිහි කර ගැනීමේ උත්සාහයක් ගතිමි. නමුත් මා අසාර්ථක වූයේ ය.

වත්තේ සිට දිව ආ ලූනා , හවස මා වැරැන්ඩා පුටුවෙහි වැටී සිටියදී පඩිය මත වමනය දමන්නට වූවා ය. ඌ කුමක් හෝ අසාමාන්‍ය තත්වයකට පත් ව ඇති බව මට වහා දැනිණ. ඇය ව ඉක්මනින් ම වෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතු ය. නමුත් මේ රත්නපුරයේ පශු වෛද්‍යවරයෙකු මේ වෙලාවේ කොතැනින් සොයා ගන්නද කියා මා දන්නේ නැත. සංකල්ප ව ඇසිල්ලකින් මට සිහිපත් විය. බුලී ව ගෙන යන වෛද්‍යවරයෙකු සිටිනවා ඇත. මම හැල්මේ හයිලන්ඩ් ගෙස්ට් වෙත දිව ගියෙමි.

“සංකල්ප…සංකල්ප…”

මා කෑ ගැසුවේ ඔවුන් ගේ ගේට්ටුවෙන් ඇතුලු වන්නටත් පෙර ම ය.  ඔහු කොහේදෝ සිට ඉදිරියට ආවේ ය.

“ලූනාට සනීප නෑ. කොහෙද වෙට් කෙනෙක් ඉන්නෙ…එයාව ඉක්මනට ගෙනියන්න ඕනෙ”

මා කීවේ හති දමමිනි.

“මං වාහනේ අරං එන්නං”

ඔහු කීවේ එපමණකි. මම ආපසු දිව ආවෙමි. ලූනා බරාඳයේ වැතිර සිටියා ය. මට හැඬිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles