සුළි සුළඟක සුසුමක් – 9 වන කොටස

කිසිවක් නො සිතා සන්සුන් ව නිදන්නට මට අවැසි වී තිබිණි. නමුත් රතු රිබන් පටිය ද ළදරු හා තුරුණු සංකල්ප ගේ මුහුණුවරයන් ද මගේ මනසේ හොල්මන් කරන්නට වූයේ ය. නින්ද යන්නේ නැති තැන මම නැගිට යූ ටියුබ් එකෙන් කසුන් කල්හාර ගේ ගීතයක් දමා ගතිමි. හැන්දෑවේ සාදයේ දී සංකල්ප එය ගැයුවේ ය.

“මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ

සිහින ඇන්ද සානුවේ

ආශා නැද්ද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැළුණු ඈත නිම්නයේ”

ඒ තරමට හිත තවන්නා වූ ඒ වචන, මගේ හදවත මත කටු තුඩු රිදුම් ඇති කරන්නට හේතුවක් තිබුණේ නැත. නමුත් හේතු විරහිතව ම මිනිසුන් ට රිදෙන අවස්ථා තිබේ. හේතු හොයා ගෙන හෝ මිනිසුන් රිදවුම් ලබන්නට කැමති අවස්ථා ද තිබේ. හේතු තිබියදීත් මිනිසුන් දුක අතැර යන්නට නො කැමති අවස්ථා ද තිබේ.

නින්ද මවෙත ආවේ පාන්දර යාමයේ විය යුතු ය. නමුත් දවල් වන තුරු මට නින්ද ගියේ නැත. හිරු එළිය කාමරයේ ජනේල වලින් එබිකම් කරත්දී ම මම පිබිදුණෙමි. තිර රෙදි දෙපසට කොට වීදුරු කවුළුවෙන් ඈත බලත්දී පෙනුණේ තනිකර ම චිත්‍රයකි. ඈත නිල් කඳු යායේ නිල පෙනුණේ යාන්තමිනි. එය සුදු මීදුමෙන් වැසී ගොස් තිබුණේ ය. දුර ඈත නොව ළඟ පාතින් ම ද තිබුණේ මීදුම් දුමාරයයි. ජනේලය පාමුල වවා තිබූ ගෝල්ඩන් ලිලී යාය පිනි බින්දු දරා ගෙන සීතලෙන් වෙව්ලමින් තිබෙනායුරු මට පෙනිණි. කවුළු පියනක් හැර පහත් වී මම කහ පාට ලිලී කොළයක් අතැඟිල්ලෙන් පිරිමැදීමි. හිම මිදෙන සීතල!

“මීදුම් දුමාරයේ…

ආශා නැද්ද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැළුණු ඈත නිම්නයේ…”

ඈත ගලා හැලෙනා සුසුදු මීදුම දෙසින් ඒ හඬ ඇසෙන්නා සේ ය මට දැනුණේ. මම ජනේලයෙන් පිටත වා තලයට අත පොවා මීදුම අල්ලා ගන්නට තැත් කළෙමි. ඒ තරම් සමීපයේ එය තැවරී තිබිණ. නමුත් සීතලක් අතේ වෙළුණා පමණ ය.

“සුදු බබා ඇහැරුණා ද…මං හිතුව තව සෑහෙන වෙලා නිදියයි කියල”

නීලා උනුසුම් කිරි කෝපි මග් එකක් මගේ අතට පත් කළා ය. එහි සුවඳ මේ මීදුම් දුමාරය සමග යහමින් පෑහිණි.

“ඇයි…”

“ඇයි ඉතිං පාන්දර යාමයක් වෙනකල් ම සින්දු දාගෙන හිටිය නේද…”

මට නො දැනුණත් නීලා මා ගැන ඇහැ ගහගෙන ඉන්නා බව තේරුම් ගන්නට මට ඒ වචන ටික ප්‍රමාණවත් විය. සමහර විට අම්මා ඇයට එසේ උපදෙස් දී ඇතිවා විය හැක. කෙසේ වෙතත් නීලා ගේ මූණේ වූයේ සතුටු සිනහවකි.

“ලොකු නෝනානං සතුටු වෙයි”

“ඇයි…”

“නෑ ඉතිං…ලොකු නෝනා බයේ ඉන්නෙ සුදු බබා හැම දේම අතෑරල මෙහෙණි සස්නට යයි කියල. ඒත් ඔහොම සින්දුවක් අහල…පාටියකට එහෙම ගිහිං ඉන්නකොට…මොන අම්මගෙ පපුවටද ඉතිං සැනසීමක් නැත්තෙ…”

මම මීදුම කඩා හැලෙන කඳු යාය දෙස බලා ගෙන කිරි කෝපි උගුරු කිහිපයක් බීවෙමි. නීලා ගේ වචන වල වන උණුහුමෙහි වන්නේ, මගේ අම්මා තුළ මා නිසා යම් සැනසීමක් ඇති වේ යයි ඇය විශ්වාස කරනවා නම්, ඒ සැනසීම ඇගේ හද තුළ ද ඇති ව තිබෙන බවයි. නීලා කෙරේ මහත් ස්නේහයක් මා තුළ ඉපැදිණි.

“අද හරි ලස්සනයි නේද නීලම්මා…”

පොඩි කාලේ දී ඈ අමතන්නට පුරුදු ව උන්නේ නීලම්මා කියන ආමන්ත්‍රණයෙනි. නමුත් මා උසින් මහතින් ද වයසින් වැඩෙත්දී අම්මා යන්න ඉවත් වී නීලා පමණක් ඉතිරි විය. මේ වෙලාවේ පරණ නමින් මා ඇය ඇමතුවේ අම්මා යන ගෞරවය ඇයට ද හිමි විය යුතු යයි සිතූ බැවිනි.

“හ්ම්…මේ අවට ඉතිං ඕන තරං ලස්සන තැන් තියෙනව. සුදු බබාට ඇවිදල බලන්නයි තියෙන්නෙ. අර ගෙස්ට් හවුසියෙ ඉලන්දාරියගෙං ඇහුවනං පාරවල් කියයි”

මා හැරී බලත්දී ම ඇය සිනහව ගිල ගනිමින් ආපසු හැරුණා ය.

 සීතල පිටින් තබා උදේ වරුව ම මම කාමරයට වී සිටියෙමි. වැඩකට කියා කළේ සින්දු අහන එක විතර ය. එෆ් එම් නාලිකාවේ වසර පහක් පමණ වැඩ කළත් මේ තරම් උන්මාදයකින් මා ගී ඇසුවා ය කියා මතකයක් මට නැත.

වරින් වර ලූනා ඇවිත් මා පිටතට ගෙන යන්නට තැත් කළත් මම උනන්දු නො වුණෙමි. අන්තිමට ඇය තනි ව මිදුලට ගොස් බෝලයක් සමග සෙල්ලම් කළා ය.

දහවල් වන විට යළිත් වැස්ස පටන් ගත්තේ ය. කොළඹට වඩා රත්නපුරය ට වහිනවා වැඩි යයි මට සිතිණ. කාමරයේ වීදුරු කවුළුවෙන් ඈත පරිසරය සුදු පාටට පෙනිණ. මෙතන සිට බලා ඉන්නේ නැති ව පාර දිගේ වැස්සේ ඇවිද යන හදිසි ආශාවක් මා තුළ ජනිත විය. විදේශ සාචාරයකින් පසු යෙහෙළියක තිළිණ කළ සුදු පාට රේන්දයක් ඇල්ලූ රෝස පාට ජපන් කුඩය ගත් මම බරාඳයෙන් මිදුලට පැන්නෙමි.

“අනේ දෙයියනේ මේ වැස්සෙ කොහෙද සුදු බබා යන්නෙ…”

නීලා කෑ ගැසුවා ය.

“පාර දිගේ ටිකක් ගිහිං එන්නං. වැස්ස බලන්න. බය වෙන්න එපා නීලම්මා”

හිතට දැනෙමින් තිබුණේ අලුත් සැහැල්ලුවකි. ඒ කුඩය ඒ වැස්සට කොහෙත් ම ඔරොත්තු නො දෙනා එකක් බව දැනුණේ ටික දුරක් පෙත් මගෙහි ඇවිද යත්දී ය. කොට ගවුමෙන් නිරුවත් වූ මගේ දෙපා වැහි වතුරෙන් නැහැවී තිබිණි. රතු පාට රබර් සෙරෙප්පු යුගල ලිස්සුවේ ය.

නමුත් වැස්ස ලස්සන ය. පාරේ උස් තැනක පසෙකින් දිස් වන හෙළ ළඟ නතර වී මම බලා සිටියෙමි. මේ මහා විශ්වයේ අංශු මාත්‍රික තිතක් ව මා අහසෙහි පා වෙනවා සේ මට දැනිණ.

“ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැළුණු ඈත නිම්නයේ

මීදුම් දුමරයේ සීත හැන්දෑ යාමේ…”

මා වට කර ගෙන වැස්ස ගැයුවේ එසේ ය. ඇස් දෙක පියා ගෙන මේ ශීත වැහිබර පාළු නිම්නයේ මම ඒ හඬ විඳින්නට වූයෙමි. රියක නලා හඬක් ඇහුණේ ඒ වෙලාවේ ය. මම හැරී බැලුවෙමි. කහ පාට මොරිස් මයිනර් කාර් එකේ සිට සංකල්ප කතා කළේ ය.

“කොහෙද මේ යන්නෙ…”

ඒ ඇස් වල පුදුමයක් විය. මම හෙමිහිට රියදුරු අසුන දෙසට ලං වීමි.

“වැස්ස බලන්න”

“මොකක්…”

මගේ දෙතොල් අතරේ ළදරු උත්තරා ගේ අකීකරු දඟකාර සිනහව තිබුණා ද කියා දන්නේ ඔහු විතර ය. සංකල්ප ඇස් කුඩා කර ගෙන බලා සිටියේ ය.

“මෙහෙ වැස්ස කොළඹ වගේ නෙවෙයි. කඳු වලට වහිනකොට ඈතට ලස්සනයි. ගෙට වෙලා නිකං ඉන්න එකේ මං චුට්ටක් ඇවිදං යනව. ලස්සන තැං වල නතර වෙලා වැස්ස දිහා බලං ඉන්නව”

“නගින්න”

ඔහු විධානයක සරින් කීවේ ය. ක්ෂණික නො රිස්සුමක් මා තුළ උපන.

“අනේ බෑ. ඔයා ඔය ගෙදර පැත්තටනෙ යන්නෙ. මට ගෙදර යන්න ඕන නෑ”

“කිව්වහම අහල නගිනවද…”

එවර ඔහු ගේ හඬ සේ ම බැල්ම ද තරවටුවක් වූයේ ය. මම මූණ නරක් කර ගෙන ඉවත බැලීමි.

“මට බෑ”

සංකල්ප රිය දොර හැර ගෙන වහා බැස ගත්තේ ය. ඊළඟට තදින් මගේ අත අල්ලා ගෙන මා ඇද ගෙන අනිත් පසින් ගොස් රියට ගොඩ කළේ ය. නැවත වරක් වටෙන් විත් රියට නැගෙත්දී ඔහු හොඳට ම තෙමී සිටියේ ය.

“හිතුවක්කාර කමනෙ”

ඔහු ගේ කෙහෙ රැල් දිගේ වැහි බින්දු රූරා ආවේ ය.

“ඔයානෙ හිතුවක්කාර. ඒකනෙ ඔය පිස්සෙක් වගේ තෙමුණෙ”

ටිෂූ බොක්ස් එකෙන් ටිෂූ කිහිපයක් ගෙන ඔහු හිස හා මුහුණත් දෑතත් තෙත මාත්තු කළේ ය. මගේ කකුල් සීතල වී ඇති බවක් මට දැනිණ.

ඔහු නැවතත් රිය හරවා ගත්තේ ය. යන්නේ ගෙදර නොවන බව දැනුණ නිසා මම සතුටු වූයෙමි.

“ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැළුණ ඈත නිම්නයේ”

මා වට කොට මුළු විශ්වය ම ගැයුවේ එසේ ය. සංකල්ප ඉතා හෙමිහිට රිය පැදවූයේ ය. තද වැස්ස නිසා ඇතැම් විට පාර ලිස්සුවේ ය. කඳු නිම්න ඈතට පෙනෙන දිව්‍යමය පෙදෙස් හිදී ඔහු රිය නතර කර ගෙන සිටියේ ය. මම වීදුරු කවුළුව මත නළල තියා ගෙන සුන්දරත්වයෙහි කිමිදී සිටියෙමි.

ගියේ කොහේද කියා මා දන්නේ නැත. ඔහු කීවේත් නැත. මට දැන ගන්නට ඕනෑ වූයේ ත් නැත. මීවිතක මත් බවක් ඒ මොහොතේ සුන්දරත්වය තුළ තිබී මා විඳ ගත් බව පමණක් මම දනිමි.

“අපරාදෙ ඔයා රස්තියාදු වුණේ”

මම කීවෙමි. සංකල්ප මුණිවත රැක්කේ ය.

“අර ගර්ල් කවුද…”

ඒ ප්‍රශ්නය ඒ වෙලාවට කොහෙත් ම නො ගැලපෙන්නට ඇත. නමුත් අසා ගන්නා තෙක් එය මගේ ඇතුල් හද ගැබට වද දෙමින් තිබි බවක් මට සිතුණේ, ඇසූ පසු දැනුණ සැහැල්ලුව නිසා ය.

“මොන ගර්ල් ද…”

සංකල්ප ඇස් කුඩා කළේ ය.

“මල්ෂා…”

මඳක් තුරල් වූ වැස්ස දෙස බලා ගෙන මා කතා කළේ වැස්සට සේ ය.

“ඊයෙ බර්ත් ඩේ පාටි එක තිබුණ ළමයනෙ…”

“හරි ඉතිං…මං ඇහුවෙ විශේෂ හිතවත් කමක් එයා එක්ක නැද්ද කියල”

එහෙම තිබුණත් මට මොකද? ඔහු ගේ කට කොනක් සිනහවකට ඇද වෙනවා මම දුටිමි.

“නැහ්”

“ඒ වුණාට එයාගෙ හිතේනං එහෙම දෙයක් තියනව වගේ. ඔයා දිහා බලන විදිහෙං ඒක තේරෙනව”

මට පිස්සුද කියා මම ම සිතුවෙමි. අනුන් ගේ වැඩක් නැති ඕපාදූප කතා කරන තරමට මා පහළ මට්ටමකට වැටෙන්නට හදන්නේ ඇයි?

“ඒක ඉතිං මට අදාල නෑ”

ඔහු ගාණකට නැතුව කීවේ ය.

“අදාල කර ගන්න ඉතිං. ලස්සන පොඩි ගෑනු ළමයෙක්නෙ. ඔයාගෙං චූටිහරි අනුබලයක් ලැබිල ඇති එයා එහෙම හිතන්න”

මා හිටියේ කවුළුවෙන් ඉවත බලා ගෙන ය. රිය පදවන ගමන් ම ඔහු මගේ කොණ්ඩයෙන් ඇද්දේ ය. ළදරු සංකල්ප ස්කූල් වෑන් එකේ මට පිටුපස අසුනේ සිට වසර විසි ගණනකට පෙර මගේ කොණ්ඩයෙන් ඇද්දයුරු මා ඉසිරියේ මැවී පෙනිණ. එදා ට වඩා අද මට රිදුණේ ය. නමුත් එදා සේ බොරුවට හඬන්නට මට ඕන වුණේ නැත. ඒ තබා ඌයි කියා හෝ නො කියන්නට තරම් මම ප්‍රවේසම් වීමි.

“මං කාටවත් අනුබල දීල නෑ”

ඔහු ඒ වාක්‍යය කීවේ උගුර යටිනි. ඒවා ඉපැදුණේ හදවත පත්ලෙන් බව මට දැනිණ.

“නීලම්ම කිව්ව ඔයාගෙං ඇහුවොත් මේ පැත්තෙ තියෙන ලස්සන තැන් ගැන කියයි කියල”

මා කතා කරන්නට ගත්තේ අලුත් ප්‍රීතියකිනි. වැස්ස තිබුණේ අඩු වෙමිනි. මුලදී ට වඩා ඈත දර්ශනය වන්නට විය. ඉතාමත් ම හෙමිහිට රිය පදවන ගමන් සංකල්ප ඕනෑකමින් මගේ මුහුණ දෙස බලා සිටියේ ය.

“මේ…මමත් ඉන්නව මේ කා එකේ. ඉස්සරහ බලං පරිස්සමට ඩ්‍රයිව් කරන්න හරිද…”

ඔහු ගේ ඇස් වල නලියන සිනහව මම ඉදිරි කැඩපත තුළින් දුටිමි.

“මං එක්කං යන්නං”

“මට යන්න පුළුවන්. කා එක තියෙනවනෙ”

“මං කිව්වනෙ මට එක්කං යන්න පුළුවන් කියල”

මම දෙතොල් තද කර ගෙන නිහඬ වුණෙමි. සංකල්ප ගීයක් මුමුණමින් ද උරුහම් බාමින් ද රිය පදවන්නට වූයේ ය. මම නෙතගින් ඔහු දෙස බැලුවෙමි. මේ කොල්ලා ගේ සැර කිරීම් වලට මේ හැටි මා අවනත වන්නේ ඇයි කියා සිතන්නට මට ඕනා විය.

“බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නැද්ද…”

හදිසියේ ම ඔහු ඇහුවේ මා අහසින් පොළොවට තල්ලු කර දමනා විදිහේ ප්‍රශ්නයකි.

“හිටියෙ නැද්ද කියල අහන්නෙ…ඕක අහන්න ඕනෙ වර්තමාන කාලයෙන්නෙ…”

මම කැත්තට පොල්ල සේ කීවෙමි. සංකල්ප ගේ දෙතොල් මත්තේ මන්දස්මිත මලක් පිපිණි.

“වර්තමානෙ ඉන්න විදිහක් නෑ කියල දන්නව”

“ඒ කොහොමද…”

“එහෙනං මෙහෙම ඇවිත් ඉන්නෑනෙ”

මම මොහොතක් නිහඬ ව බිම බලා සිටියෙමි. යළි හිත හයිය කර ගෙන හිස නගා ඔහු දෙස බැලුවෙමි.

“දෙතුන් දෙනෙක්ම ඉඳල තියෙනව”

“හම්මෝ…එච්චර…”

මට සිනා නැගිණි. මම ඒ සිනහව ඔහු ගෙන් හංගා වම් පස ට වත හැරවීමි.

“ලොකු සම්බන්දකං නෙවෙයි. හරියන්නෑ කියල දැනුණ. මාසෙං දෙකෙං පැත්තකට වුණා. එහෙම වුණ එක හොඳයි”

“ඇයි…”

“බැඳීම් කියන්නෙ දුකක්මයි සංකල්ප”

ඒ අන්තිම වාක්‍යය ගිලිහුණේ සුසුමකිනි. ඒත් එක්ක ම මම සිනහවකින් ඔහු දෙස බැලුවෙමි. ඒ මුහුණේ වූයේ සිනහවක් නොව භීතියකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles