මුතු බෙලි හදවත – අවසන් කොටස

ආදිත්‍යා බෝනික්කියක සේ පෙනුණා ය. දම් පැහැති දිගු උත්සව ගවුමකින් සැරසී සිටි ඕ, සිය ප්‍රථම විවාහය දා සුදු ඔසරියකින් සැරසී තැලි පිළි පළඳා සිටි මොහොතේ වත් මේ තරම් සුන්දරව නොසිටි බව, පවුලේ සිව් දෙනා සේ ම ඇය වෙනුවෙන් ආරාධනා ලැබ පැමිණි සඳසීලී පවා සිතුවා ය. සියල්ලට හේතුව හිතයි. එදා ඇය සතුටෙන් නො හිටියා ය. වෙන කාගේ හෝ උවමනාවක් මත, තමන්ගේ කැමැත්තකින් තොර ව රජ සිටු පවුලකට බන්දා දුන්න ද හිතක් සතුටු වන්නේ නැත. හිතක් ඇත්තට ම සතුටෙන් නම් මුහුණ කැඩපතක් සේ ඒ බව ප්‍රකාශ කර සිටී.

අද ආදිත්‍යා සතුටෙනි!

ඇගේ ඇස් සිනහ වෙයි. ඇගේ ඇස් කතා කරයි!

තුනී දුකක් සඳසීලී ගේ සිත් හි නොවූවා නොවේ. නමුත් ඇය සිය හිටපු ලේලියට ඊර්ෂ්‍යා කළේ නැත. අන් සියල්ලට වඩා සතුට වටිනා බව ඇය දනී. කාලයක් අපායක් සේ දැනුණ සිය යුග දිවිය හැර දමා යන්නට ඇයට හිත හයිය කර ගත හැකි වූයේ නැත. නමුත් ඇය කඳුළු වලට දිය වෙවී සිටියා ද නොවේ. තමන් ගේ ජීවිතය සතුටෙන් තැබිය හැකි වෙනත් මාවතක් තෝරා ගත්තා ය. එ් සමාජ සේවයයි.

නමුත් ආදිත්‍යා අභීතව සිය පෞද්ගලික ජීවිතය ද ඇගේ අභිමතාර්ථය පරිදි තෝරා ගත්තා ය.

දුමාල් සිටියේ එකතකින් මින්දුල වඩා ගෙන අනිත් අතින් ආදිත්‍යා ව අල්ලා ගෙන අමුත්තන් සමග සුහද කතාවේ ය. ඔහු එක මොහොතකට හෝ ඔවුන් දෙදෙනා ව අත් නො හරින බව සඳසීලී දුටුවා ය. වෙනදාට මෙහෙව් සෙනගක් මැද කලබල ඇති කරනා මින්දුල, දුමාල් ගේ අතේ දී ඒ කිසි කලබලයක් පෙන්වූයේ නැත. ඔහු ද අලුත් තාත්තා ට කැමති බවක් පෙනෙන්නට තිබේ!

සඳසීලී සුසුමක් හෙළුවා ය. සිය පුතා නිසා නහස්ති වූ ආදිත්‍යා ගේ ජීවිතය, සේනක ගේ ම පුත්‍රයෙකු අතින් යළි පිළිසකර කෙරෙන්නට යයි. සිය පුත්‍රයා විකුම් විසින් ප්‍රතික්ෂේප කරන ලද ඔහු ගේ ම පුතණුවන් වන මින්දුල ව තමන්ගේ ම පුතෙකු ලෙස පිළි ගන්නට සේනක ගේ පුතා ඉදිරිපත් වී තිබේ. දෛවය කියන්නේ මොන තරම් පුදුම සහගත වූවක් ද?

සිය දියණිය හා දුමාල් දෙස ම බලා සිටි ජයලත් ට රූපිකා සිහි වන එක නතර කර ගත හැකි වූයේ නැත. එදා තදින් අල්ලා ගෙන සිටි ඔහු ගේ අත අතැර දුම්රියෙන් බැස ගියාට පසු ඔහු ට යළි ඇය දකින්නට නො ලැබිණි. පසුව මාතුරෙකුගෙන් දැනගන්නට ලැබුණ පරිදි ඇය ඒ ආයතනයෙන් රැකියාවෙන් ද ඉවත් වී තිබුණා ය. කොහොමටත් ගැහැනුන් එසේ යයි ජයලත් සුසුමකින් මිදෙමින් සිතුවේ ය. ඔවුන් ට තියෙන්නේ ඉතාමත් මටසිළිටි වූ සිත් ය. බැලූ බැල්මට දුර්වල යයි පෙනෙනා, දිය වී වැගිරෙනා හිත් ය. නමුත් එහෙව් හිතක් හදා ගත් පසු ගැහැනියක තරම් ශක්තිමත් කෙනෙකු මෙලොව ද නැත.  ඔවුන් සිත් සවිමත් කර ගත් පසු අතීතය දෙස හැරී බලන්නේ හෝ නැත. ඒ අතීතය අමතක කර අතැර දා යා හැකි සියලු ක්‍රම අත්හදා බලනු ද ඇත. නමුත් පිරිමියෙකු කරන්නේ අතැර දා ආ අතීතයක ගැන හිතමින් චිරාත් කාලයක් හදවතින් හඬනා එක ය. විඳවන එක ය.

රූපිකා විවාහ වූවා ද කොහේ සිටිනවා ද කියා හෝ ජයලත් ට ආරංචියක් ලැබුණේ නැත. දරු මල්ලන් හදා ගෙන ඇය ජීවිතයට මුහුණ දෙන්නට ඇත. දෛවයේ පරීක්ෂණයන් සාර්ථක ලෙස සමත් වන්නට ඇත.

“අම්ම…”

පවුලේ අය සමග සඳසීලී සිටින මේසය අසලට පැමිණි ආදිත්‍යා, ඇය ව වැළඳ ගත්තා ය. සඳසීලී දුක හිර කර ගෙන සිටියා ය. නමුත් ආදිත්‍යා ගේ ඇස් වලින් හෝ ගා කඳුළු ගලා ගියේ ය.

“අඬන්න එපා ආදි. මේකප් සවුත්තු වෙයි”

සඳසීලී මුමුණා කීවා ය. දුමාල් ඈ අතට ටිෂූ එකක් දුන්නේ ය.

“දුමාල් අයියට හැමදාම වෙන්නෙ ටිෂූ දිදී ඉන්න තමයි. මෙයා දිය වෙලා වැක්කෙරෙනකොට”

ආමන්තා ගේ කතාවට මේසය වටා සිටි කාගේත් මුහුණු වෙතට සිනහවක් පැමිණියේ ය.

“නෑ. ආදි එහෙම දුර්වල ළමයෙක් නෙවෙයි”

සඳසීලී විශ්වාසයෙන් යුතු ව කීවා ය.

“ඔයත් මගෙ පුතෙක් කියල හිතන්න මට පුළුවන් දුමාල්. මං ඔය දෙන්නට සුබ පතනව. ඒ වගේ ම මට දුමාල්ගෙන් එක ඉල්ලීමක් කරන්න තියෙනව. මගෙ මින්දුලව ආදරෙන් බලා ගන්න”

ආත්මය පත්ලේ සිට සැඩ සුළඟක් සේ ඉහළට ආ වේදනා බර රිදුමක් ඇගේ උගුර හිර කළේ ය.

“ඒ ගැන සැකයක් තියා ගන්න එපා අම්මෙ”

දුමාල් ගේ ස්වරයේ රැඳී තිබුණ අවංක බවින් සඳසීලී තිගැස්සී ගියා ය. අම්මා! ඔහු ඇය ට අම්මා කීවේ ය. සඳසීලී මොහොතක් ගොළු වී සිටියා ය. හැඟීම් වලින් දෝරෙ ගලන විට වචන වලින් ගොළු වීම බොහෝ විට මිනිසුන් ගේ හැටියකි.

සිහි එළවා ගත් ගමන් මේසය මත වූ ෆයිල් එක ගත් සඳසීලී එය ආදිත්‍යා අතට දුන්නා ය.

“මොකද්ද අම්ම…”

“ඔයා නර්සරි එක කරන ගෙදර ඔප්පුව. ඕක මං ඔයාගෙ නමට ලියල තියෙන්නෙ”

“අනේ අම්ම. මට මේක ගන්න බෑ. අම්ම මට තව ටික කාලයක් එතන ඉන්න දෙන්න. ඒ හොඳටම ඇති”

ඈ රඟපෑමක් කළා නොවේ. සඳසීලී ගෙන් ඒ වගේ තෑග්ගක් ගන්නට තරම් ආදිත්‍යා ට හිත එකලස් කර ගත හැකි වූයේ නැත.

“මේක මං දවසක මින්දුල ට දෙන්න හිටිය තෑග්ග. එයා ලොකු වුණ දාක ඔයා මේක එයාගෙ නමට හරවන්න. මගෙ මුණුපුරා වෙනුවෙන් මට මෙහෙමවත් දෙයක් කරන්න දෙන්න”

“අම්…ම…”

“මේ…මේක මගුල් ගෙයක් අනේ. ඔය දෙන්නා දැං කී සැරයක් අපේ හුස්ම හිර කළා ද…”

මේ රිදුම තවත් ඉවසා ගත නො හැකි තැන ආමන්තා කීවා ය. ඇගේ ඒ කතාවට ඔවුන් සියලු දෙනාගේ මුහුණු වලට සිනහවක් ආවෙන් හුස්ම හිර කරනා ගතිය මඳක් සමහන් ව ගියේ ය.

සාදය නිම වෙන්නට පෙර ගෙදර ගිය සඳසීලී, ආදි ගේ විවාහ උත්සවයට ගිය බව සේනක ට හා විකුම් ට ඇසෙන්නට කීවා ය. ඔවුන් දෙදෙනා ම සිටියේ ගොළු බෙහෙත් බීවා සේ ය.

“මං මගෙ ගේ ආදිගෙ නමට ලියල ඔප්පුව තෑග්ගට දුන්නා”

“මොකද්ද…”

විකුම් හිඳ උන් අසුනෙන් නැගී සිටියේ ය.

“ඒක මං ඉලෙක්ශන් වැඩ වලට පාවිච්චි කරන්න හිටපු ගේ. අම්ම එහෙම කරපු එක වැරදියි. අනික මගෙ තරහ කාරයෙක්ට ඒක දීපු එක”

“ඔයාට ඔයාගෙ පුතාව අමතක කරල අත්ඇරල දාන්න පුළුවන් වුණාට මට බෑ මගෙ මුණුපුරා එහෙම අත් අරින්න. ඒ ගේ කවද හරි මින්දුලට අයිති වෙයි”

“ඒ ළමයට ඉඩං මොකටද…බට්ට පනින්නද…අඩු ගානෙ එහෙම සෙල්ලං කරන්නවත් දන්න ළමයෙක්ද..අම්ම සෙල්ලං කාර් එකක් දුන්නනං…උඩ බලා ගෙන ඒක කරකෝ කරකෝ ඉඳියි”

“ඔයා තාත්තා කෙනෙක්ද විකුම්…ලැජ්ජයි මට. පුතෙක් කියන්නෙ දෙමව්පියන්ට රජෙක් විකුම්. තේරෙයි ඔයාටත් පස්සෙ. තාත්තට වගේ”

සේනක දෙස ත් විකුම් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් එසේ කියා දැමූ සඳසීලි ගස්සා ගෙන වාගේ එතැනින් නික්ම ගියා ය. සේනක තව දුරටත් සිය ඇතුළු හදවත වෙත ගුළි ගැහෙමින් සිටියේ ය.

සිය මංගල මධු සමය සඳහා දුමාල් සමගින් ආදිත්‍යා නික්ම ගියේ ඔවුන් කුළියට ගත් නිවස වෙත ය. අලුත් ජීවිතය, කුළියට ගත්තත් තමන්ගේ ම තැනකින් පටන් ගන්නා එක හොඳ යයි ඔවුන් දෙදෙනා ම එකඟතාවයකට පැමිණ තිබිණ.

“ඉස්කෝල නිවාඩුව අල්ලල අපි සතියක විතර ට්‍රිප් එකක් යං. ගෙදර කට්ටියත් එක්කම”

“මට ආසයි ලස්සන පැත්තක ලස්සන හොටෙල්ස් වල නතර වෙවී ඇවිදින්න”

“එහෙම යං. අපේ අම්මනං එන්නෙ නෑ මුදලාලි අසනීපෙං ඉන්න නිසා”

ඔවුන් කලින් ම කතිකා කර ගෙන තිබුණේ එසේ ය.

රැ බෝ වී ගෙදර පැමිණි ආදිත්‍යා, ඒ වෙත්දීත් නිදමින් උන් මින්දුල යහනේ තබා නාන කාමරයට වැදුණා ය. මේ අලුත් ජීවිතය කෙසේ පිළි ගත යුතු දැයි ඇය සිතමින් සිටියා ය. රාත්‍රී නිදන ඇඳුම ඇඳ ඒ මත්තෙන් ගෘහ කබාය දමා ගන්නට යත්දී ඇය ට දැනුණේ එය ඇඳිය නො හැකි ලෙස මැදින් මසා දමා ඇති බවයි. අතින් ඇද්දත් ඒ මැහුම් කැඩී ගියේ නැත. ආදිත්‍යා නාන කාමරයේ දොර යන්තම් ඇර ගෙන දුමාල් ට කතා කළා ය.

“අනේ දුමාල් මේ බලන්න. මේකනං නංගිගෙ වැඩක්. මගෙ හවුස් කෝට් එක මහල. මේක ගලවල දෙන්නකො”

ඇදෙස බලා ගෙන ම යහන මතින් නැගී සිටි ඔහු, එතැනට ගොස් ආදිත්‍යා ගේ අතින් ඇද ඇය ව එළියට ගත්තා ය.

“අනේ මේ…මං කලිනුත් දැකල තියනව නයිටිය ඇඳන් ඉන්නව”

ආදිත්‍යා ගේ මුහුණ රතු වූයේ ය. දුමාල් ඇය තුරුලු කර ගෙන දැඩි ව ඒ කොපුලක් සිප ගත්තේ ය.

“වොශ් දාං එන්න. මං කෝපි හදන්නං”

ආදිත්‍යා දුමාල් ගෙන් බේරී මුළුතැන්ගෙට පැන ගත්තා ය. වචන වලට පෙරළිය නොහැකි මිහිරක් ඇගේ සියොළඟ පුරා ඉහිර ගොස් තිබේ. තමන්ට ද ජීවිතයක් කියා දෙයක් හිමි වී ඇති බව දැනෙන්නේ දැන් ය. ආදරේ ලබන්නටත් ආදරේ කරන්නටත් සෑම මනුස්ස ආත්මයකට ම අයිතියක් තිබේ. ඇයගෙන් ඒ අයිතිය වසර කිහිපයක් තිස්සේ ම උදුරා ගනු ලැබ තිබිණ. නමුත් දැන් නැවතත් ඉරණම ඇයට හිමි දේ ලබා දී ඇත.

ආදිත්‍යා කෝපි සාදමින් සිටියදී, දුමාල් ගේ සීතල දෑත් ඈ පිටුපසින් ඇගේ බඳ වටා එතිණි. ඔහු ගේ ලවන් ඇගේ ගෙල පා මුල තැවරිණ. කුළුඳුළේ ම පිරිමි පහසක් ලබනා යුවතියක සේ හිරිගැන්වුණු ඕ, සිය බඳ වටා වූ දුමාල් ගේ දෑත් සිය වමතින් අල්ලා ගත්තා ය.

“කෝ ඉතිං…කෝපි ටික හදන්න දෙන්න”

ඈ එහෙම කීවත් තවත් වරකට දුමාල් ඇගේ කන් පෙත්තක් සිප ගත්තේ ය.

ඒ තරම් ආදරයකින් පිරිමියෙකු වෙනුවෙන් කෝපි කෝප්පයක් තැනූ මුල් ම වතාව ඒ බව ආදිත්‍යා ට සිහි විය. ආදරය තැවරුණ හිතකින් කරත්දී ඕනෑ ම දෙයක් ආදරණීය වන්නේ ය.

ඔවුහු මින්දුල නිදන කාමරයේ ම පිටතට විවර වන පටු සඳැල්ලට ගියහ. රාත්‍රියේ මැදියම ද පසු ව තිබුණන් හාත්පස වූයේ ගණඳුරකි.

 පලමු කෝපි උගුර බිව් දුමාල් කට හැදුවේ ය.

“හෝව් හෝව්..මන් දන්නව කියන්න යන දේ”

ආදිත්‍යා ඔහු ට බාධා කළා ය.

“මොකද්ද…”

” මේ තරං රස කෝපි එකක් මීට කලිං කවදාවත් බීල නෑ කියලනෙ”

දුමාල් ට සිනා ගිය පාරට ඔහු ගේ මුවෙහි වූ කෝපි උගුර ආදිත්‍යා ගේ ඇඟ පුරා විසිර ගියේ ය. නමුත් ඉන් සිදු වූ අකරතැබ්බයට වඩා ඇය ඔහු ගේ ඒ සිනහවට ආශා වූවා ය.

“කොහොමද ඔයා හරියටම දන්නෙ..”

“පොතේ තියෙන හැටිනෙ ඒ”

ඔහු මොහොතක් ඇගේ මුහුණ දෙස බලා හිඳ, ගරාදි නැට මත වූ ආදිත්‍යා ගේ අතක් අල්ලා ගත්තේ ය.

“ආදි. මේ මොහොතෙ ඉඳං අපි දෙන්නගෙං එක්කෙනෙක් මුලිංම මැරෙනකල්ම අපි මේ විදිහට ජීවිතේ බෙදා ගමු. කොච්චර තිත්ත කෝපි එකක් වුණත් ඔයා හදනවනං රසයි කියන්න ඕන නෑ තමයි. ඒත් මට එහෙම කියන්න පුළුවන්නං ඒකත් ලොකුම ලොකු දෙයක්. මේ ලෝකෙ හොඳම හස්බන් මං නෙවෙයි තමයි. ඒත් ඔයා එහෙම කියනවනං…අඩු ගානෙ එහෙම වෙන්න මං ට්‍රයි කරයි. ජීවිතේ හරි අමුතු දෙයක් ආදි. එක එක්කෙනාට එක එක විදිහයි. මං හිතන්නෙ ඒ එක එක්කෙනා ජීවිතේ බාර ගන්න විදිහෙ වෙනස. මං හැමදාම මගෙ ඉරණමට ස්තූතියි කියනව. ඔයාවයි පුතාවයි මට දීපු නිසා. සමහර තැන් අමාරු වෙයි. ඒත් අමාරු තැන් දරා ගෙන අපි මේ ගමන යමු”

ආදිත්‍යා සිය අත අල්ලා ගෙන උන් දුමාල් ගේ අත සිප ගත්තා ය. මෙතුවක් කාලයක් හිත හිස් ව තිබුණේ ආදරයෙනි. හිත ඉල්ලා කෑ ගසන්නේත් ආදරය නම් ඒ විඳ ගන්නවා මිස තවත් ප්‍රමාද වෙන්නට හේතුවක් නැත. කෝප්පය ගරාදි වැට මතින් තැබූ  ඕ සිය සැමියා ගේ පපුවෙහි මුහුණ හොවා ගත්තා ය. ටික වෙලාවක් ඒ උණුහුම් සුවය විඳ ගත් ඕ, බොත්තම් නො පියවූ තැනින් නිරාවරණය වූ ඒ පපුව සිප ගත්තා ය.

“මං මැරෙනකල් ඔයාට ඉන්න වෙයි. හිතේ තිබිච්ච හයිය සේරම දැං දිය වෙලා ගිහිං දුමාල්”

ඔහු ඉතා මුදු ලෙස ඇගේ සුවඳ හිසකේ අතර අතැඟිලි යවා හිස පිරිමැද්දේ ය.

“පුතා ඉලක්කං වලට ආසයි. ඔයා නෝට් කළා ද ඒක…”

ආදිත්‍යා හිස ඔසවා දුමාල් ගේ මුහුණ දෙස බැලුවා ය.

“ඔව් එයා ආසයි වගේ තමයි. අර ඔයා අරං දීපු ඉලක්කං සෙට් එක කියෝනව…වන් ටූ කිය කිය..ඒවගෙ ශේප්ස් දිහාත් එයා බලං ඉන්නව ගොඩක් වෙලා”

“මට හිතෙනව එයා මැත්ස් වලට කැමති වෙයි කියල. මං දැක්ක ආටිකල් එකකත්…මේ වගේ බබාල ගණිතයට ආස වුණොත් පුදුම විදිහට දක්ෂ වෙනවලු ඒ සබ්ජෙක්ට් එකට. මාත් පොඩි කාලෙ ඉලක්කං වලට තමයි ආස”

“ඒක තමයි බෑන්ක් ඔෆිසර් කෙනෙක් වෙලා තියෙන්නෙ”

“හ්ම්. අපි බලමු මෙහෙම යන්න දීල..මින්දුල ගෙ අනාගතේ වෙනුවෙං වෙන රටකට ගියොත් හොඳයි වගේ දැනුණොත් එහෙම කරමු”

“අනේ දුමාල්”

ඇය නැවතත් ඔහු ගේ පපුතුර මුහුණ හොවා ගත්තා ය.

“ඔයාව සතුටෙන් තියන එක තමයි දැං මගෙ ජීවිතේ ලොකුම ආසාව”

“ඒත් මට බය නැතුව නෙවෙයි දුමාල්”

“සේනක විජයවික්‍රම මට මොනාත් කරන්න හිතන්නෙවත් නෑ කියල දැං මං දන්නව. විකුම්ට තව වැඩි දවසක් මාව මතක තියෙන්නෙත් නෑ ආදි. අනිත් එක ඒ මිනිස්සු හිතෙං විඳවනව”

ඔහු සැහැල්ලු සිනහවකින් කීවේ ය.

“බලමුකො. අපිට මෙහෙ ඉන්න අමාරු තත්වයක් වගේ දැනුණොත්…ටික කාලෙකට කොහෙ හරි ගිහිං ඉමු. ම්…”

ආදිත්‍යා යන්තම් හිස සැලුවා ය. ආදරේ කරන පිරිමියෙකු ට කීකරු ව ජීවත් වීම තරම් ආශාවක් ගැහැනියකට තවත් නොවන බව ඇය පසක් කර ගනිමින් සිටියා ය. ආදිත්‍යා හැරී, නිදා උන් මින්දුල දෙස බැලුවා ය. ඔහු ගේ බිළිඳු දෙතොල් අතරේ ලා සිනහවකි. ඉතාමත් ඉක්මනින් ඔහු සාමාන්‍ය දරුවෙකු සේ හැසිරෙනු ඇති බව ඇය ට විශ්වාස ය. දැන් ඔහු ට අම්මෙක් පමණකුදු නොව තාත්තෙක් ද හිඳී!

සමාප්තයි.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...