(අ)හිමි සිහින -20

සාර්ථක විවාහයක් අපිට තිබුණේ නැහැ කිව්වම ඒකට මූලිකවම වගකියන්න ඕන මම කියන දේ හැමෝටම හිතෙන සාමාන්‍ය දෙයක්.ළාබාල වයසේ හිටියට මට හොඳ නරක ගැන අවබෝධයක් තිබුණා.මම සුධාරක සිහි නොකළේ ඒ නිසා.

“මතක් වුණේ නෑ?? හරි පුදුමයිනෙ!”

නෑ මට එයාව මතක් වුණා.නැතිවා නෙවෙයි.නමුත් කිසිම දවසක මට නොලැබෙන ඔහුට මම හිතට එන්න ඉඩහැරියේ නැහැ.අනිත් කාරණාව තමයි ඒ දවස් වල මට තිබුණු ප්‍රශ්නත් එක්ක අතීතයේ ගිලී අතීතය සිහිපත් කරමින් ඉන්න මට වෙලාවක් තිබුණෙත් නෑ.කසාදේ කඩාගෙන ගිහින් ඔහුව හොයාගන්න මට හිතුණේ නෑ.එහෙම හිතුණා නම් එහෙම සිතුවිල්ලක් හිතට ආවා නම් මම පිටවෙන්නෙ හෝම්කමින් එක දවසෙම වෙන්න තිබුණා.නමුත් මට එහෙම යන්න හිත තිබුණේ නැහැ.දැන් මම සාමාන්‍යයෙන් දේවල් දන්න කෙනෙක්.ඒ කාලේ ඔහු කොහෙද ඉන්නෙ වත් හොයාගන්න බැරිව අසරණ උනාට දැන් මට ඔහුව හොයාගන්න එක තත්පර කිහිපයකින් කරගන්න පුලුවන් වැඩක්.

අනිත් කාරණාව මගේ ජීවිතයේ රහස් තියාගන්නත් මම කැමතිම නෑ.මම අසංක එක්ක මගේ අරුම පුදුම ආදර කතාවේ ත්‍රාසය භීතිය පිරුණු තැන් කියලා තිබුණා.ආදරය කියන්නේ සැඟවිය යුතු කතාවක් කියලා මම අදටවත් හිතන්නේ නැහැ.ඒ නිසා තමයි මම කිසිම පැකිලීමක් නැතුව ඔබත් එක්ක මේ කතාව කියන්නත් එකඟ වුණේ.සුදාරක එක්ක අත්සනට සීමා වුණු විවාහය ගැන කියන්නට නොගියත් ඒ කතාවේ අනිත් හැම දේම මම අසංක එක්ක කිව්වා.යුද්ධයේ තත්ත්වය රූපවාහිනියේ සහ පත්තර වල දකිනකොට යුද පෙරමුණේ ඉන්නේ එක් සෙන්පතියෙක් තමන්ගේ බිරිඳගෙ පරණ පෙම්වතා කියලා දැක්කත් අසංක මට කිසිම ඇනුම් පදයක් කිව්වේ නෑ.සුදාරක දකිනකොට රූපවාහිනිය චැනල් මාරු කරනවා වගේ බාල වැඩ ඔහු ළඟ තිබුණේ නෑ.

අපි කිසිම දවසක උඹ නොදකිං කියාගත්තේ නැති ජෝඩුවක්!

එතකොට මොනවද අසංකගේ තිබුණු අමුතු ගතිය!

ඔහු අධි පිරිසිදු මනුස්සයෙක්.ලිංගික ජීවිතය අසාර්ථක වෙන්නත් ඒක ප්‍රධානම හේතුවක් වුණා.මම අපිරිසිදු කෙනෙක් නෙවෙයි.නමුත් ඔහු සිපගැනීම් වලට එහෙම ඒ හැටි කැමති නෑ.සරාගී මොහොතක නෙවෙයි,ඔහු උදේට ගෙදරින් එළියට බහිනකොට මම හාදුවක් දුන්නම ඔහු වහාම එතැන පිහින්න පුරුදු වෙලා හිටියා.නිකන් නෙවෙයි! “ඔක්කොම හරිද!”අහලා.ආදරෙන් දෙන හාද්ද අතින් පිහ දාන සැමියෙක් කියන්නේ මොනතරම් වේදනාවක්ද කියලා මං ඔබට විස්තර කරන්න ඕනෑද? සැමියා රැකියාවට යන මොහොතේ පවා නිදාගෙන ඉන්න ගෑනු අය මොනතරම් ඉන්නවද? ඉතින් මම ඔහුගේ හැමදෙයක්ම සකසලා දීලා ඔහුට හාද්දක් දුන්නම ඒක අතින් පිහදාන එක මට මහම මහා වේදනාවක් වුණා.

දෙදෙනාගේ සම්බන්ධතාවය ඉහළ යන්න එකට නින්දට යන්න ඕනෑ කියන්නෙ හැමෝම දන්න කතාවක්.නමුත් මම කිචන් එක අස් කරමින් ඉන්නකොට, ටෙලි නාට්‍යයක් බලමින් ඉන්නකොට ඔහු මම එනකන් බලා හිටියේ නෑ.නිදිමත නම් නිදා ගන්නවා.ඔහු ඔහුගේ පහසුව හිතපු ඔහුගේ කුඩා ලෝකයක ජීවත් වුණු කෙනෙක් බව දැන් මට හිතෙනවා.

ඒ වගේ විවාහයක් ලැබෙන්න මගේ මොකක් හරි පෙර අකුසලයක් පල දෙන්න ඇති කියලා මට හිතෙනවා.ඔහු හොඳ මනුස්සයෙක්.වෙන් වෙන්න අවශ්‍යයි කියලා කාටවත් කියන්න හේතු නොපෙනෙන මනුස්සයෙක්.නමුත් ආදරය කියන දේ බිංදුවක්වත් නැති මනුස්සයෙක්.

ජීවිතය දුක සහ වෙහෙස පිරුණු කාලයක් කරන්න තවත් කුණාටුවක් හමාගෙන ආවේ ඔන්න ඔය කාලයේදී.එක් වෛද්‍ය පරීක්ෂාවක් නිසා මගේ ජීවිතේ ආයේම සැරයක් උස්සා පොළොවේ ගසමින් මහා කලබල සහ කරදර කාලයක් මට අරගෙන ආවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles