අකල් වැහි – 23

“සිතිජට කිසිම අවුලක් නෑ කියලා ඩොක්ටස්ලා කියනවා.ඔපරේෂන් එක සාර්ථක වෙලා.”

අඳුර ද බිය ද පැතිරී ගිය දවසක ඒ ආරංචිය තරම් මිහිර උපදවන ආරංචියක් තවත් ඇතිදැයි හිරුදි සිතී ය.ඔහු සුවෙනි;ආරක්ෂිතව ය.

ඒ හැඟීම අසීරු පැය කිහිපයකට පසුව හෝ ලබා දීම ගැන ඇය දෙවියන්ට ස්තූති කළා ය.

“ඔයාලා සිතිජට කතා නොකරම යන්නද හදන්නේ?”

සිතිජ සුවයෙන් බව අසා නික්ම යන දෙමිතුරියන්ගෙන් කසුන් විමසුවේ ය.ඔවුන් මේ මොහොත දක්වාම මෙතැන රැඳුණේ ඇස කඳුළු පිසිමින් වග දුටු නිසාම සිතිජව නොබලා යන්නට ඉඩ දෙන්නට කසුන්ට හිතක් නොවිණ.නමුත් හිරුදි ඔහු දෙස බැලුවේ නිවුණු සිනාවක් ඇතිව ය.

“දැන් එයා සේෆ්නෙ කසුන්.මොනාම හරි උදව්වක් ඕන වුණොත් කියලයි අපි මෙතන හිටියේ.සිතිජට කියන්න අපි එයාව ඉක්මනින්ම සනීප වෙන්න විෂ් කළා කියලා.සනීප වුණු දවසක ආයේ ගෝල්ෆේස් එකේදී මුණ ගැහෙමු කියන්න.”

මිතුරාගේ ස්වභාවය හොඳින්ම දන්නා කසුන් හිනැහිණ.ඉනික්බිතිව ඔහු දන්නා සිතිජ ගැන යුවතියන්ට කියන්නට ඔහුට සිත් විණ.

“ඔය මනුස්සයා සනීප වුණු ගමන්ම කෙලින්ම ගෝල්ෆේස් එකට යයි.ඔන්න බලන්නකො.”

එසේ පැවසූ ඔහුට තවත් කතාවක් කියන්නට තිබිණ.සිතිජ ගැන ඕනෑවටත් වඩා වද වෙන්නේ හිරුදි මිස නිපුනි නොවන වග ඔහුට හොඳින්ම දැනුණු කාරණාවකි.අනෙක් අතට නිපුනිට සිතිජ ගැන වද වෙන්නට කාරණා නොවේ.ඇගේ වෙඳැගිල්ල රන් පැහැයෙන් දිදුලයි.

“ඕවට කෑගහන්න කෙල්ලක්වත් නෑනෙ ඉතිං.ඒ නිසා මනුස්සයා එයාට හිතෙන හිතෙන දේවල් කරනවා.”

ඒ කතාව හදවතේ තැනෙක තදින් ලියැවුණු වග සිතුණේ හිරුදිට ය.

ඔහුට පෙම්වතියක නොවීම සතුටට කාරණාවක් වන්නේ කෙසේදැයි ඇය අනතුරුව සිතුවා ය.ඔහු තනිකඩයෙකු වූවාට ඇය විවාහක ගැහැනියකි.ඒ විවාහය එසේ මෙසේ මිනිසෙකු සමඟ නොවේ. ප්‍රබල දේශපාලන පවුලක නැගී එන තරුණ දේශපාලකයෙකු සමඟ ය.

“හිරූ,ඔයා චේතන බලන්න යන්නෙ නැද්ද?”

ජාතික රෝහලෙන් පිටතට පැමිණි වහා නිපුනි මිතුරිය විමසුවා ය. හිරුදි අඩ සිනාවක් දෙන්නට ප්‍රවේසම් වූවා ය.

“ඒ මගේ දරුවගෙ තාත්තනම් තමා නිපූ.ඒ වුණාට ඕක ඒ මනුස්සයට ලැබිය යුතු දෙයක් කියලයි මට හිතෙන්නෙම.ඇත්තටම එයාලා වැඩ කළේ රටේ මිනිස්සු හැමදාම එයාලට ඔළුව පාත් කරන් එයාලා කියන ඕනම නැටුමක් නටයි කියන හිතිවිල්ලෙන්.ඒක එහෙම නෙවෙයි කියලා එයාලට තේරෙන්න ඕන.චේතන ඔය ගුටි කෑවේ මිනිස්සුන්ගේ ආවේගය පුපුරලා ගිය නිසා නිපූ.ඇත්තටම මෙහෙම වෙලාවක ආවේගෙ පුපුරන්න ඕන තමයි.සිතිජලාට එයාලා කරේ හරි දෙයක් නෙවේනෙ.”

නිපුනි කිසිවක්ම නොකියා මිතුරියගේ ඇඟිලි තුඩුවලින් අල්ලා ගත්තා ය.හිරුදි විඳිය නොහැකි තරමේ ආවේගවලින් ද වේදනාවකින් ද පීඩිත වග දැනේ.නමුත් කරන්නට කිසිවක්ම ඉතිරි වී නැත.ඇය මේ දේවතිලක පවුලට ගැලවීමක් නොමැතිව බැඳී අවසන් ය.

“කර්ෆිව් දාලා නේද?”

රියට නැග ගන්නට පළමු හිරුදි එසේ ඇසුවා ය.ඉන්පසු ඈ හිනැහෙන්නට වූයේ යමක් සිහි වීමෙනි.

“මම මිසිස් දේවතිලක කියන එක මේ වගේ වෙලාවට ප්‍රයෝජනවත්.අපි යං.”

නමුත් ඒ වාසගම ඇයට ආභරණයක් නොවන වග නිපුනි දන්නී ය.පාළු වෙමින් පවතින මාර්ගයට රිය ධාවනය කරන අතර ඈ හිරුදි ඇමතූයේ සුසුමක් ද සමඟ ය.

“ඔයාට මේ මනුස්සයා බැඳගන් නැතුව සමාධි අක්කා ගාවට යන්න තිබ්බෙ හිරූ.මං කියන්නෙ ඔයා තාම පරක්කු නැහැ.දරුවෙක් බලාගෙන සින්ගල් මම් කෙනෙක් වෙන එක ඒ වගේ රටක ඒ හැටි දෙයක් නෙවේනෙ.”.

මිදී යා නොහැකි හේතුවක් හදවතේ ජනිත වෙමින් පවතින වග මිතුරියට කියන්නට තරම් දිරියක් හිරුදිට නොදැනිණ.එහෙත් ඈ හිනැහුණා ය.ඒ සිනාව හඬන්නට නොහැකිව මුදා හරින සිනාවක් වග නිපුනිට වැටහේ.ඇයට මිතුරිය ගැන උහුලා ගන්නට නොහැකි තරමේ වේදනාවක් දැනිණ.

“නිසල් අයියා නැති වුණාම එහෙම වෙන්න හේතුව හිතා ගත්තට පස්සෙ මට එහෙම පැනලා යන ආශාව නැති වුණා නිපූ.මං ඉන්නේ හිම කන්දක් වගේ මිදිලා.එහෙම නොවුණානම් චේතන එක්ක ජීවත් වෙන්න,ඒ මනුස්සයා එක්ක ළමයි හදන්න මට පුලුවන් වෙන් නෑ.මට ආදරේ කරපු වරදට නිසල් අයියා ජීවිතෙන් වන්දි ගෙව්වා.මං ඒකට දඬුවමක් විඳින්නෝන.ඒ දඬුවම තමයි මේ.චේතන වගේ මිනිහෙක් එක්ක ජීවත් වීම.”

ඈ ඒ දඬුවම විඳින්නට ඕනෑ නැති වග කියන්නට නිපුනි සිතුවා ය.

නමුත් මේ එළඹ ඇත්තේ අතිශය බැරෑරුම් මාතෘකා සම්බන්ධයෙන් සංවාද විසංවාද කරමින් රිය පැදවීමට මොහොතක් නොවේ.පිටත ලෝකය ගිනි ගනිමින් පවතී.ඒ ලෝකයෙන් මිදී වහා නිවසට යාමේ උවමනාවක් නිපුනිට ඇති විණ.භීෂණය යන වචනය අසා තිබුණාට ඒ ගැන සැබෑ හැඟීමක් ඇති වන්නේ මේ මොහොතේ ය.තිස් වසරක යුද්ධයේ අවසන් කාලයේ දැනුණාටත් වඩා භීතියක් ඇයට දැනෙමින් තිබිණ.

“මිනිස්සු ගිනි තිබ්බෙ දේවතිලකලාගෙ කියලා දන්න ගේ.නොදන්න ගෙවල් කීයක් තියද?”

හිරුදි එසේ කීවේ ඇය හැරලවන තැන ගැන නිපුනි විමසද්දී ය.එය සැබෑවකි.රාජගිරියට ආසන්නයේ පිහිටි නිවස වෙත හිරුදි ගෙන යන ගමන් ඒ නිවස හිමි හිරුදිට වග නිපුනි දැන ගත්තා ය.

“මට ආදරේටයැ ඔය ගේ මගෙ නමට ලීවෙ.මොනවා හරි වංචා දූෂණ එළියට එනවට බයේනෙ.ඇහුවොත් කියයි අපේ තාත්තා මට අරන් දුන්න ගෙයක් කියලා.”

මේ විනාශකාරී මිනිසුන් මිතුරිය පටලවා ඇත්තේ විශාල උගුලක වග නිපුනිට වැටහේ.නමුත් කරන්නට කිසිවක් නොවේ.ඈ ගලවා ගන්නට සමත් කිසිවෙකුත් නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...