එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා”

“හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..”

“ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය ඔක්කොම කිව්වෙ අඩුපාඩු.බබා ආවට පස්සෙ මම අවුට් ඔෆ් ශේප්ලු,මහතලු,කලු වෙලාලු,ඇස් ඉදිමිලාලු,හම්මේ තව මොනවද නොකීවෙ”

“ඒකද මේ උදේ පාන්දරම මූණ එල්ලන් ඉන්නෙ”

“එහෙමත් නෙවෙයි අසේලා,වෙලාවකට මට හිතෙනවා මම බබා හදන්න ඉක්මන් වුණා වැඩියි කියලා.මොකද මගෙ හස්බන්ඩ් නිකිල් පවා දැන් මට තව ටික දවසකින් ඔහොමම කියයි.ඔන්න බලන්නකො”

“ඉන්න,අපි මොනාහරි බොමු.ෆෘට් ජූස් කොහොමද”

“හා,මොනාහරි කමුද?මට බඩගිනී.බන්ස් මොනාහරියි,කේකුයි මම ඕඩර් කරන්නම්,ඉන්න”

“හ්ම්ම්ම්,ඒ කියන්නෙ ඔයා තාම ඩයට් ප්ලෑන් එකකට ගියේ නැද්ද ශානා?”

“අනේ ගත්ත අනේ,ඒත් ඒවා කරන්නෙ කොහොමද?මට හරිම අමාරුයි ඒ කෑම අරන් ඉන්න නම්”

“ආ,එහෙනම් ඉතින් ඔයා ඔය දේවල් අහගන්න තව තව වැඩියෙන් ට්‍රයි කරනව වගේ,ඩයට් නොකර නම් ඉතින් අමාරුයි නෙ බස්සගන්න.හැබැයි මහතයි කියලා ඔයා කැත නැහැ.ඒත් ටිකක් බර අඩු කරගත්තොත් ඔයාගෙ හෙල්ත් එකට නම් හොඳ වෙයි කෙල්ල.ඒ වගේම හිතටත් කූල් නෙ”

ශානා සහ අසේලා එක දිගටම කියවන මේ කතාව අල්ලපු මේසෙ ඉන්න මමත් අහගෙන ඉන්නෙ,මට වෙන කරන්නත් දෙයක් නැති නිසා.මේ ස්විමින් පූල් එකක්.තාම ක්ලබ් එක ඕපන් කරල තියෙන්නෙ බාගෙට.මගේ ස්විමින් සගයන් තාම මග නිසාත් උදේම තිබෙන සීතල නිසාත් මම පැත්තකට වෙලා කල්පනාවක් දාගෙන කොෆී එකක් බොමින් ඉන්න අතරෙයි මේ කතා බහටත් කන යොමුකලේ.ශානා වගේම අසේලාත් හරිම ලස්සනයි.ඒත් ශානා කුමක්දෝ අසමබර බවකින්,අවිශ්වාසයකින් පෙලෙමින් ඉන්න කෙනෙක් කියලා එයාගෙ බැල්මෙන්ම තේරෙනවා.එයා හරියට හිතන් ඉන්නෙ තමන්ගෙ අවට ඉන්න ඔක්කොම තමන්ගෙ අඩුපාඩු හොයන්න බලාගෙන ඉන්නව වගේ කියලා සැක සහිත බැල්මකින් නිතරම අවට සිසාරන ඇයගේ දෑස් දකින අයට හිතෙනවා.අසේලා ඒකෙ විරුද්ධ පැත්ත.ඇය නිතරම තමන් ගැන හරිම විශ්වාසයෙන් ඉන්න කෙනෙක් වගේම හරිම සෘජු බැල්මක් සහිත කෙනෙක්.ඇය නිතරම කෙනෙක් දිහා බලන්නෙ ඔවුන්ව පරීක්ෂා කරන්න නෙවෙයි,මිතුරු බව රැදුන සුන්දර සිනහවකින් සංග්‍රහ කරන්න බලාගෙන.ඇයගේ බැල්මට හමුවෙන කිසිවෙක් ඇය සමග සිනහ නොවී නම් යන්නෙ නැහැ.

ලස්සන තියෙන්නෙ හැම තිස්සෙම පර්සනලිටි එකත් එක්ක කියල මම හිතනකොටම ශානාගේ හස්බන්ඩ් නිකිල් ආවා.ඔහු අත ඔවුන්ගෙ කුඩා දරුවා ද සිටි අතර ශානා උදෑසන ව්‍යායාම් පිණිස රැගෙන එන්නට ඇත්තේ ඔහු බව මම හිතුවා.කොච්චර හොඳ සැමියෙක්ද?දරුවාගේ වගකීම් ඔහු මැනවින් ඉටු කරනු ද මම පසෙක සිට බලා සිටියා.එහෙත් ශානා සිය පීඩනය නිතරම මුදා හැරියේ අනුන්ගෙන් නමුත් අසේලා ඉතාමත්ම බුද්ධිමත්ව ඇය සමග සංවාදයේ යෙදී හිටියා.සමහරවිට ශානා පසු ප්‍රසව ආතතියෙන්ද පෙළෙනවා වෙන්න පුළුවන්.ගැඹුරු කතා බහකින් සහ හැසිර්‍රිම් අධ්‍යනයකින් තොරව හරියටම එය කියන්නට හැකියාවක් ඇත්තේත් නැහැ.

නිකිල් දරුවාගේ අත් කරත්තය නවතා ගෙන පොතක් බලමින් සිටිනවා.ශානා අනුන් ගැන චෝදනා කරමින් ,සිය ශරීරය කැත බව පුන පුනා පවසමින් පිටි ගුලි ගිලිමින් සිටිනවා.දරුවාට කිරිදෙන නිසා තමාට නිතරම බඩගිනි වන බවයි ඇය පවසන්නේ.

“ශානා,මේ බලන්න.මට ඔයා ඇත්තම කියන්න ඕන.ඔයාට වෙනස් වෙනවට වඩා අනුන්ට ආඩපාලි කිය කියා ඉන්න එක ලේසියි නේද”

අසේලා සිනාසෙමින් ප්‍රසන්න ලෙස අසන්නේ ශානාගේ සිත නොරිදෙන ලෙස.

“ම්ම්ම්ම්,එහෙමද?ඔයා මගෙන් අලුත් ප්‍රශ්නයක් ඇහුවෙ අසේලා,සමහරරවිට එහෙම ද මන්දා නේද?කමක් නැහැ.මම මේ කෑම ටික අයින් කරනව.සමහරවිට නෙවෙයි ඇත්තටම ඔයා කියන එකයි ඇත්ත.”

“ගුඩ් ගර්ල්,මුලින්ම ඔයා ඔයාගෙ ඇද කුද ටික හොයන් ඒවා හදාගන්න.අනික් අයට ආඩපාලි කියන වෙලාවෙ ඔයාට ඔයා ගැන බලාගන්න පුලුවන් එතකොට.මාස කිහිපෙකින් බලමුකො කෙල්ලගෙ ලස්සන,ඔයා දිගටම ස්විම් වලටයි ජිම් එකටයිත් හැමදාම එන්න.”

“අසේලා අනේ තැන්ක්‍යූ,ඔයා අනික් අයට වඩා වෙනස් වෙන්නෙ මෙන්න මේ නිසා.අනික් අය මගෙ අඩුපාඩු කියල අතුරුදහන් වෙනවා.ඔයා මම ලස්සනයි කියල,හැබැයි ශේප් එකේ මම කරන්න ඕනි දේවල් නොකරන්නෙ ඇයි කියල හේතු හොයනවා.ඒකට ආන්සර් එකක් දෙනවා.

“ඒකටනෙ කෙල්ලෙ යාළුවො ඕන,නැත්නම් වෙන මොකටද?”

ශානා හරිම ආදරයෙන් අසේලාව වැලඳ ගන්නවා.ශානා ගේ ඇස් වල ඇත්තේ දීප්තියක්.ඇය වෙනස් වීමට මුල් පියවර තබනු ඇති වගේම අසේලා ඇයට උදව් කරන බවට කිසිම සැකයක් නැහැ.මගේ කෝපි කෝප්පයත් ඉවර වෙමින්.ඇත්තටම අසේලා වගේ යාලුවො කොච්චර වාසනාවක් ද?අසේලා වගේ යාළුවෙක් ඔයාට ඉන්නව නම් ඔයා හරිම ලකී.එතකොට නැත්නම්?ඔයා එහෙම කෙනෙක් වෙන්න.ඒක ඉක්මනින්ම බෝ වේවි.මට සහතිකයි.

More Stories

Don't Miss


Latest Articles