(අ)හිමි සිහින -126

සුධාරකට රාජකාරි කටයුත්තක් සඳහා ඇමරිකාවට චාරිකාවක් යාමට ලැබුණේ ඔය අතරේදී.ඔහු ඒ ගමනට සැරසුණේ බොහොම ආශාවකින්.මට සුපුරුදු විදිහටම ඔහුගේ ගමන් මල්ල සැකසීමට පැවරුණා.ඔහු කෑම බීම ටික හරියට ගනීද වත් නොදන්න නිසා සැකසූ ආහාර,සැකසූ නූඩ්ල්ස් වර්ග,බිස්කට් ආදියත් යවන්නට මම අමතක කළේ නෑ.මොකද සමහර වෙලාවට ඔහුට කෑම බීම ගැන වගේ වගක් නැති බව මම දැනගෙන හිටියා.

මාව මුණගැහෙන්න ට පෙර ඔහු ඒ වගේ ගමන් අනන්තවත් ගිහින් තියෙනවා.නමුත් මගේ මුණ ගැසීමෙන් පසු සම්පූර්ණයෙන්ම මා මත පදනම් වූ නොකියාම බෑ.ගමන් මළු වල භාණ්ඩ තියෙන තැන ඔහුට කියන්න වෙනවා.

“පාස්පෝට් එක මෙතන”

“මෙතන වීසා එක”

“මේ බෑග් එකේ යතුර”

“මේ ඇඳුම් මෙතන”

“අර යතුර නැති වුණොත් මේ යතුර මෙතන”

ඒ වගේ හැම දෙයක්ම පෙන්නලා පැහැදිලි කරලා දෙන්න මට සිදුවෙලා තිබුණා.මගේ ඕනෑවට වඩා ආදරේ ඔහුව කුඩා දරුව්ව්ක් බවට පත් කරලා ද කියලා මට හිතුනේ අන්න ඒ වෙලාවට.නමුත් ඒ හැම දෙයක්ම හොයල බලල කරන එක මගේ සතුටට හේතුවක් වුණා.මම හැමදෙයක්ම ගැන කියලා දෙනකොට “හා මැණිකේ,හරි මැණිකේ,හා මැණිකේ” කියමින් ඔහු ඒවා අහගෙන හිටපු හැටි මගේ මතකයෙන් කිසිම දවසක මැකී ‍යන්නේ නම් නැහැ.ඔහු ඒ ගමන යන්නට උතුරු නැගෙනහිර රාජකාරි ස්ථානයේ ඉඳලා ගෙදරට ආවේ දිනයක් කල් තබා.එහෙම තමයි! මම හැම දෙයක්ම පිළිවෙළට කරලා දෙන නිසා ඔහුට එහෙම කලබලයක් තිබුණේ නෑ.

“මැණිකේ මට ECG එකක් කරගන්න ඕන.”

විදේශගමන හෙට කියලා තියාගෙන සුදාරක මට එහෙම කියද්දී මට බයක්  නොදැනුණා නෙවෙයි.මම ඒ ඇයි මොකටද කියලා කියලා ඔහුගෙන් ප්‍රශ්න කරද්දි ඒ නිකමට කියලා ඔහු කිව්වෙ මාව කලබලයට පත් නොකර වෙන්න ඇති.

“ආමි හොස්පිටල් නම් යන්න බෑ.අපි ප්‍රයිවෙට් එකකට යං”

ඔහු ඒ වගේ යෝජනාවකුත් ගෙනාවා.අපි පෞද්ගලික රෝහලකට ගිහින් ඒ පරීක්ෂණය සිදු කළා.

“මොකටද මහත්තයා මේ හදිසියේ මෙහෙම ටෙස්ට් එකකට ආවේ?”

හිතට දැනුනු අනියත බිය නිසා මම දිගින් දිගටම ප්‍රශ්න කළා.නමුත් ඔහු නොනවත්වා ම කීවේ නිකමට හිතුන බව මිසක් වෙන කිසිවක් ම නෙමෙයි.

“මේ වාර්තාවේ හැටියට රට යන එක එතරම් හොඳ මදි.රට යන්න නම් එපා.හරි නම් ඔයාව දැම්මම රෝහලේ නවත්ත ගන්න ඕන.විදෙස් ගමන අතරතුර ඔයාට සංකූලතා මතු වෙන්න පුලුවන්.”

වෛද්‍යවරයා වාර්තා බලලා ලබාදුන්නේ ඒ වගේ නිර්දේශයක්.මම මහත් කලබලයට පත් කරන්න ඒ වචන හේතු වුණා.ඉන්පස්සෙ මම කට ගෙවෙනතුරුම ඇමරිකා ගමන අත් හිටවන්න කියලා ඔහුගෙන් ඉල්ලා සිටියා.නමුත් සුදාරක ඒ කිසිම ඉල්ලීමක් කණකට ගත්තේ නෑ.

“අනේ පිස්සු කතා කරන්න එපා මැණිකේ. මං මේ ෆිට් එකේ ඉන්නේ”

ඔහු එහෙම කියමින් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා.නමුත් ඔහු මේ හදිසි ECG පරීක්ෂාව කරගන්න හේතුව සේවා ස්ථානයේ ඉදියදී black out එකක් මතු වීම බව මම දැනගත්තේ පසුකාලීනවයි.

මේ හදිසි රෝගී තත්ත්වය මාව සහමුලින්ම අවුල් කර දැමූ බව නොකියාම බෑ.සැමියා හදිසියේ රෝගීවීම බිරිඳව මොනතරමට බියට පත් කරනවා ද කියන එක මම ඔබට කිවයුතු නැහැ.

මගේ ඉල්ලීම අහකට දමා සුධාරක විදෙස් සංචාරයට පිටත්ව ගියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles