සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ. මුණිවර තනිව ම රෑ වී යන එක ගැන මගේ යටි හිතේ බියක් වූයේ ඔහු ට සිටිනා සතුරන් ගැන දැන සිටි නිසා ය. 

“මිස්ට මුණිවර ගෙදර ගිහිං මෙසේජ් එකක් තියන්න. රෑ වෙලානෙ හුඟක්”

අම්මා අප්පච්චි ඉන්න තැන ම මා එසේ කීවේ කිසිවෙකු ට වෙනසක් නො දැනෙන පරිදි ය. මට එය ඔහු ට කිව යුතු ම සේ දැනිණ.

“ඔව් ඔව්. පණිවිඩයක් තියන්න ඕන පුතා”

අප්පච්චි ඔහු රියට ගොඩ වෙත්දී මාව අනුමත කරමින් එකඟ වූයේ ය. 

“තරුණ පිරිමි ළමයෙක්ට වුණත් රෑ තිස්සෙ ගමන් බිමන් හොඳ නෑ”

රිය නික්ම යත්දී අප්පච්චි කීවේ ය. ඒ වදන් පෙළ ගැස්මක් සරින් මගේ හද බිත්ති මත හැපෙමින් තිබිණ. නමුත් ඔහු ඉක්මනින් ම ‘ඇට් හෝම්’ යනුවෙන් වට්සැප් පණිවිඩය එව්වේ ය. මම සැනසීමෙන් ඇඳට වැටුණෙමි.

“කොතැනක සිටියද මෙම ලෝ තලේ…රකිමි හැම කලේ..සිහි වේ හැම වෙලේ..”

මුණිවර ගේ හඬින් ගැයුණු ගීයේ ඒ කොටස් මගේ ආත්මය තුළ නතර වී පිළිරැව් දෙමින් තිබිණ.

ප්‍රේමය නමැති හංස තුඩගින් පෑරෙන ලද සිතැති ඕනෑ ම ගැහැනු ළමයෙකු මා මේ විඳිනා චමත්කාරය අත්විඳිනු ඇත. නමුත් දැන් මගේ ඒ චමත්කාරය අතරේ අදිසි ගැස්මක් ද මුහු වී තිබේ. එක පැත්තකින් මුණිවර ගේ පරම්පරාගත සතුරු පිරිවර ය. අනිත් පැත්තෙන් ධාරා ය. 

ධාරා යන සිතිවිල්ල ම මගේ හිතේ ඇති කරන්නේ බරක් බව කිව යුතු ය. ඇය මුණිවර ගැන ඇත්තෙන් ම ආතුර වූ ප්‍රේමයකින් පසු වීම මගේ හිත් බර පපුවේ රිදුමක් බවට පත් කරයි. ඇය නරක යන කුළකයට දමා සිතිය හැකි යුවතියක වී නම් මට ඒ බර නො දැනෙන්නට තිබිණ. ධාරා  බටහිරකරණය වූ බාහිර පෙනුමෙන් ද ඇවතුම් පැවතුම් වලින් ද යුතු ගෑනු ළමයෙකු බව ඇත්ත ය. නමුත් ඒවා මත ඇය ‘නරක’ යයි ලේබල ගසන්නට තරම් පටු මානසිකත්වයක් ඇති කර ගන්නට මට නුපුළුවන. දැනට මට වැටහෙන පරිදි ඇගේ ප්‍රේමය අවංක ය. ඒ නිසාවෙන් ම මුණිවර ගැන තනි අයිතියක් හිතෙන් මවා ගැනීමේ හැකියාවක් මට නැත. ඔහු ඇය ව ප්‍රතික්ෂේප කොට ඇති බව මා දන්නා බව ඇත්ත ය. නමුත් ඒ මත පමණක් ගෑනු ළමයෙකු ගේ හදවත තුළ පිළිසිඳ ගත්තා වූ බලාපොරොත්තුවක් අවතක්සේරු කිරීම කිසි සේත් නො කළ හැක්කකි. 

කොහොමත් මම අනුන්ගේ දේවල් වලට ආශා වඩන්නට රිසි නැති ගැහැණු ළමයෙකු වෙමි.

ගුරු මා පිය යුවළක ගේ දියණියක ලෙස ඇති දැඩි වූ දැරියක වශයෙන් මට ළමා වියේ සිට ම හිත පාලනය කර ගැනීමේ පෙර හුරුවක් ලැබී තිබේ. ගුරු වැටුපක් යනු මහ මෙරක් නොවන බව නො දන්නා කෙනෙකු නැත. ඒ නිසා ම අපේ ගෙදර විය හියදම් කටයුතු වලදී අම්මා විශේෂ කලමණාකාරිත්වයකින් යුතු වූවා ය. මා මේ කියන්නේ අපේ ගේ තුළ ආර්ථික අර්බුධ තිබූ බව නොවේ. නමුත් ගුරුවරියක විය හියදම් කටයුතු කරන්නේ හිඟන්නියක සේ යයි කියමින් අප්පච්චි ද ඕනෑ තරම් සිනහ වී ඇතුවා මට මතක ය.

අම්මා ගේ ඒ අරපරෙස්සම නිසා හිතෙන හිතෙන දේ ඕන ඕන වෙලාවට ලබා ගන්නට මට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැත. පාසලේ පන්තියේ අනිත් ළමයින් විවිධාකාර පොත් බෑග්, වතුර බෝතල්, පැන්සල් පෙට්ටි ආදිය මාරු කරමින් ගෙන එත්දී අපට ඒවා අලුතෙන් ලැබුණේ වසරකට වරකි. එද හොඳ තත්වයෙන් තිබුණොත් ඊළඟ පන්තියට ද පාවිච්චි කරන ලෙස අම්මා ගෙන් උපදෙස් ලැබේ. පන්තියේ දැරියන් පාසලට ගෙන එන විචිත්‍ර වූ දේ ගැන මගේ ළමා සිත්හි ආශාවක් ඇති නොවුණා යි කීවොත් මුසාවකි. ඇතැම් දවසක මා ගෙදර ගොස් එවන් පැන්සල් පෙට්ටියක් ඉල්ලා අම්මා ට කරදර කරන්නට ඇත. නමුත් අපට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට දෙන්නට ඇය කියූ පරිදි ඈ හොඳින් දැන සිටියෙන් අනවශ්‍ය ඉල්ලීම් වලට කිසි දා යහපත් ප්‍රතිචාර දැක්වී නැත.

“කොයි පෙන්සිල් කේස් එකෙන් කෙරෙන්නෙත් පැන්සල් දාන එක විතරයි. කොයි වෝටර් බොට්ල් කෙරෙන්නෙත් වතුර බොන එක විතරයි. දකින දකින දේට ආස හිතෙන එක පාලනයක් නැති හිතක විදිහක්. ඒක තේරුං ගත්තහම වැඩිහිටියො වුණාමත් ජීවත් වෙන්න ලේසියි”

අම්මා ඉතා සන්සුන් ව කියා දුන්නේ ලොකු ජීවිත පාඩමක් ය කියා දැන් මම පිළිගමි. මුලදී මේ ගැන හිත් රිදවා ගෙන හඬා වැටෙන්නට වුව පසු බට නොවුණ ද හැඬුවාය කියා ඉල්ලීම් දිනා ගත නො හැකි බව මම ඉක්මනින් ම වටහා ගතිමි. ඒ නිසා පන්තියේ ළමයින් ට ලැබෙනා විචිත්‍ර දේ වලට ඊර්ෂ්‍යා නොකර ඒවා ගැන සතුටු වෙන්නට ඉන් පසු මට හිත හදා ගත හැකි විය. 

“සෑහෙන්න එක්ස්පෙන්සිව් බ්‍රෑන්ඩඩ් වොච් එකකින් කෙරෙන්නෙත් ගාණ අඩු ඔරලෝසුවකින් කෙරෙනනෙත් වෙලාව පෙන්නන එක විතරයි”

අවසන මම ඒ සත්‍යය පසක් කරගෙන සිටියෙමි. නමුත් අනුන් සතු කෙතරම් අගනා වස්තුවකට වුව ඊර්ෂ්‍යා හෝ අපහාස නොකරන්නට තරම් මට හොඳ හිතක් තිබුණේ ය.

ඒ නිසා ම ධාරා නරක ගෑනු ළමයෙකු සේ සලකා මුණිවර ට ඇය නො ගැලපෙතැයි සිතමින් ආත්ම තෘප්තියක් ලබන්නට මට නුපුළුවන. එසේ ම මුණිවර දැන් මට දැනෙන්නේ මගේ ළමා වියේදී මා චමත්කාරයට පත් කළ, අනුන් සතු වූ වස්තුවක් සේ ය. 

නමුත් මම ඔහු ට ප්‍රේම කරමින් සිටියෙමි. ඒ ප්‍රේමය කාලයට සමානුපාතික ව ත්වරණය වෙමින් පැවතී ද මම එක තැනක නතර වී සිටියෙමි. විස්ථාපනයකුදු නොවී සිටියෙමි.

මුණිවර ප්‍රේමය ගැන දරන්නේ කෙබඳු අදහසක් දැයි මට ස්ථිර ව සිතා ගත හැකි තත්වයක් නැත. ඔහු මගේ හදවතට දැනුණ ද, ධාරා ව ප්‍රතික්ෂේප කළ ද ඔහු කිසි සේත් මා කෙරේ කැමැත්තක් පෙන්වා ද නැත. ඒ ඇස් බැල්මක් මා ප්‍රේමය කියා වරදා ගනු ඇතැයි විටෙක මම මා ගැන ම බිය වීමි. නමුත් මම ඔහු ට පෙම් කරමින් සිටිමි. 

මෙවන් සිතිවිලි සුළි සුළඟකට හසු වූ ලතාවක් සේ දුබල ව සිටි මට ලොකු තාත්තා වනස්පතියක් සේ වූ බව කිව යුතු ය. මම ඉතා කැමැත්තෙන් ඔහු ගේ ශක්තිය නමැති කඳෙහි එල්ලී ගෙන මානසික වශයෙන් රැකවරණයක් පැතුවෙමි. එසේ ම ඔහු මා විශ්වාස කිරීමේ සුවය මට දැනිණ.

“දුව ලොරි වලට මල් පටවන්නෙ හරියට බලල ගණං කරලද..”

දිනක් ලොකු තාත්තා මා විමසී ය.

“මං අපේ ඕඩර්ස් බලල ලිස්ට් එකේ හැටියට ලේබල් ගහල ඔක්කොම කරලයි එන්නෙ ලොකු තාත්ත. පටවගන්නෙනං ඒගොල්ලො”

“අන්න ඒක තමයි තැන”

ඔහු අත්තල ගැසුවේ ය. ඒ ඇස් වල ඔහු ගැන විශ්වාසයක් තිබිණි.

“ඒ කිව්වෙ ලොකු තාත්තෙ..”

“ඔයා ලේබල් ගහල චෙක් කරල මෙහාට වුණාට පස්සෙ ඕඩර්ස් වලට අයති නැති…ලේබල් කරපු නැති මල් මිටි පැටවෙනව. අන්න ඒකයි වෙන්නෙ”

“ලොකු තාත්ත කියන්නෙ අපේ මල් අර මිනිස්සුන්ගෙ ශොප් එකට යන්නෙ අපේම ලොරි වල කියලද…”

“වෙන කිසිම මාර්ගයක් නෑ මට පේන විදිහට. මං මේ දවස් ටිකේ ඔය හැම තැනම කරක් ගහල බැලුව. මං කියන්නද…”

“කියන්න ලොකු තාත්ත”

“හෙට මල් පැටෙව්වට පස්සෙ දුව එතනට යන්න ඕන…ලොරිය පිට වෙන්න කලින්”

“හ්ම්”

“මාත් ඒ වෙලාවට එතනට එනව”

අප ගේ මෙහෙයුම ඇරඹුණේ කිසි සේත් ඔවුන් ට දැනුම් දීමකින් නොවේ. ලොරියට සියලු මල් පැටවූ පසු ඒවා යළි බාන්න ය කියා ලොකු තාත්තා අණ දුන්නේ ය. ලොරි සේවකයන් දෙදෙන ද පටවන්නන් අතරේ උන් කම්කරුවන් ද ඊට එකඟ වූයේ නැත.

“ආයි බාන්න ගිහින් මල් තැලෙයි. අන්තිමට ඕඩරේ රිජෙක්ට් වෙයි”

ලොරියේ රියදුරු එක හෙලා විරුද්ධ වූයේ ය. ලොකු තාත්තා ලොරිය තුළට නැග ගත්තේ ය.

“මට කියන්න දුව ඕඩර්ස් ටික. මං මෙහෙමම චෙක් කරන්නං”

සේවකයන් සිටියේ බිරාන්ත ව ය. පෙර ඇනවුම් වලට අමතර ව විශාල මල් ප්‍රමාණයක් ලොරිය තුළ වූයේ ය. 

“මේව මොනාද…”

ලොකු තාත්තා ගේ ඇස් වල ගින්දර විය. මගේ ද හද ගැස්මෙහි වෙනසක් මට දැනිණ. 

“මේ මල් කොහෙට ගෙනියන ඒවද..”

ලොකු තාත්තා ගේ ප්‍රශ්න කිරීමට කිසිවෙකු ට දෙන්නට සාධාරණ පිලිතුරක් වූයේ නැත. හැම කෙනෙක් ම කීවේ ඒ මල් මොනවා දැයි තමුන් නො දන්නා බවයි. මින් පෙර කිසි දාක ඇනවුම් වලට අමතර මලක් හෝ ලොරිය තුළ නොවූ බව ද අද මේ මල් මිටි කෙසේ පැමිණියාද කියා නො දන්නා බව ද ඔවුහු පුණ පුණා කීහ. 

“හැබැයි මං නිකං ඉන්නෑ. මේ වංචාව ගැන කොනක ඉඳල හොයනව. රස්සාව කරං කන තැනට වංචා කරපු එකෙක් හරි අහු වුණොත්…ඌට කරන දේ මං බලා ගන්නං”

මල් වල වංචාවක් සිදු වන බව මුණිවර දැන ගත්තේ ඉනික්බිති ය. ලොකු තාත්තා ඔහු ට මට පැමිණි දුරකතන ඇමතුම් ගැන දැනුම් දුන්නේ ද ඒ වෙලාවේ ය. ඉවසීමෙන් අසා සිටි හෙතෙම අන්තිමට සන්සුන් ව දෙඩුවේ ය.

“ඇයි ලොකු තාත්තෙ ඕව මට කලින් නොකිව්වෙ…මන්දාකිණී…දන්නවද කොච්චර රිස්ක් එකක්ද ඔයා ඉස්සරහ තියෙන්නෙ කියල…අපි මල් චෙක් කළේ උන් ඔයාට කෝල් කරල ඒ ගැන කියපු නිසා කියල දැං උන් දන්නව. දන්නවද ඊළඟට ඔයා පස්සෙන් පන්නන්න ගන්නව කියල”

ඔහු එසේ කියත්දී භීතියකින් මගේ ඇඟ හිරි වැටී නො ගියා නොවේ. 

“ඒක මං බලාගන්නං”

ලොකු තාත්තා මගේ බියෙහි ප්‍රසාරණය මඳක් සංකෝචනය කරමින් නැගී සිටියේ ය.

“ලොකු තාත්තෙ…මලක් දෙකක් නිසා වෛරක්කාරයො හදාගෙන බෑ. ලොකු තාත්ත දන්නවනෙ…”

“ඔව් මං දන්නව. මං හොඳට දන්නව. රජ්ජුරුවෝ…දැං අපේ කාලෙ ඉවරයි. හැබැයි උඹල නිදහසේ හුස්ම ගන්න ඕනෙ. මට දැන් නැති වෙන්න දෙයක් නෑ. හැබැයි මැරෙන්න කලින් මං මේ හැම දේම නිරවුල් කරනව. මේක තමයි පළවෙනි ගිනි කූර. බලමුකො නූල ඇවිලිල ගිහිං වෙඩි බේත් පත්තු වෙද්දි එන සද්දෙ කොහොමද ගල පුපුරන්නෙ කොහොමද කියල. අපි දන්නව කියල උන්ට දැනුම් දෙන්න තමයි මට ඕනෙ. මං මේ කෙල්ලගෙවත් උඹගෙවත් ඇස් පිහාට්ටකටවත් අත තියන්න ඉඩ තියන්නෑ උන්ට…එහෙම අත තියන්න ආවොත් අත් කඩනව මං බෝංචි කඩනව වගේ”

එදා මිස්ට් ෆීල්ඩ් වලට ගිනි ඇවිලී තිබිණි. වෙනදා සිනහ වෙවී සතුටෙන් වැඩ කළ ගැහැනු පිරිමින් ගේ මුහුණු මත දෙගිඩියාවක් විය. වෛරයෙන් වෛරය නො සන්සිඳෙනා බව අපි කවුරුත් දැන සිටියෙමු. නමුත් වරදක් වන තැනක නොදුටුවා සේ ඉවත බලා ගෙන සිටීම ද බරපතල වරදකි. එන දේකට මූණ දෙන්නට මම හිත හදා ගතිමි.

“මැඩම්…එහෙනං ගින්න ඇවිලෙව්ව නේද”

බලාපොරොත්තු වූ ලෙස ම ඒ දුරකතන ඇමතුම ආවේ ය.

“ගින්නක් ඇවිළුවෙ නෑ. ඒත් මං වැඩ කරනකල් මං වැඩ බලන සෙක්ෂන් එකේ වංචාවක් වෙන්න දෙන්න බෑ. මට හිතට එකඟව එහෙම කරන්න බෑ”

“ඕහෝ…එහෙමද එහෙනං”

කියමින් සබඳතාව බිඳ දැමිණ. ඇයිදෝ මන්දා මට බියක් දැනුණේ නැත. ඒ වෙනුවට මගේ දෙතොල් මත්තේ ඉසිහින් සිනහවක් විය. 

අප්පච්චි ලා ගේ පාසලේ ගුරුවරුන් පිටතට ගොස් විනෝද වන්නට යොදා ගෙන තිබුණ දිනය යෙදී තිබුණේ පසු දා- සෙනසුරාදා ට ය. මුණිවර මග වැනුම් කර තිබූ විලාශය නිසා මා ඒ ගමන ගැන ආශාවෙන් සිටියද, සිකුරාදා හැන්දෑවේ ඔහු එහි යනවා දැයි විමසත්දී මම ගත් කටට ම නෑ කීවෙමි.

“ඒක ස්ටාෆ් අවුටින් එකක්නෙ. මං ස්ටාෆ් එකේ නෙවේනෙ”

“අම්..මාත් යන්නෙ..”

මම නෙතු පුරා බැලුවෙමි. ඔහු ඉවත බලා ගත්තේ ය.

“මිස්ට මුණිවර ඉතිං…ඕල්ඩ් බෝයිනෙ. අනිත් එක…”

“ක්වාටර්ස් වල ඉන්න ටීචර්ස්ලගෙ ෆැමිලි එකම එනව ඕකට කොහොමත්”

“ඒ වුණාට මට කම්මැළියි”

මට ඕනෑ කර තිබුණේ ඔහු ලවා මට පැමිණෙන ලෙස ඇවිටිලි කරවා ගන්නට වන්න ඇත. නමුත් ඔහු කීවේ මා බලාපොරොත්තු නොවූ දෙයකි.

“අම්…මට ඔයාට කියන්න දෙයක් තියනව”

“කියන්න මිස්ට මුණිවර”

“අම්…ධාරාට මං කිව්ව එයාව මැරි කරන්න විදිහක් නෑ කියල”

මට ඔහු දැනුණේ වරදක් කරන්නට ගොස් හසු වී අම්මා ළඟ ගතු කියනා අත්දැකීම් අඩු කොලු ගැටයෙකු සේ ය. හිතේ හිර කර ගෙන ඉන්නා යමක් එළියට ඇද දමා ගන්නට හෙතෙම උත්සාහ දරමින් සිටියේ ය. ඒ කොපුල් සීතල පැහැයකට හැරී තිබූ අතර, ඇස් වල තෙත පාටක් විය.  මගේ මුවග වූයේ හිර කර ගත් ආශාවේ සිනහවකි. සමහර විට මේ, උදා වන තුරු මා මහත් අපේක්ෂාවකින් බලා සිටි මොහොතක් වන්නට පුළුවන.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content