ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා ය. අපරාජිතා පිටුපසිනි. 

“මන්න පාරක් හරි ඉස්සරහිං යන මටනෙ. එයා බේරිල”

සමහර වෙලාවට, අපරාජිතා ඇය ව ඉස්සරහට තල්ලු කරන විට දේශිකා ගතු කියයි. ඒ වුණත් ඇය යෙහෙළිය වෙනුවෙන් නො කරනා දෙයක් නැත.

ඔවුන් දැක ඉස්සරහා ට ආවේ අසේල ය. සසංක තුළ යම් දෙගිඩියාවක් විය. මේ ඇත්තටම සිය උපන් දිනය නොවීම ගැන හෙතෙම තවමත් අසහනයෙනි.

“මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ”

දේශිකා ඔහු වෙත සුරත පෑවා ය. අසේල පස්සට පැන්නේ ය.

“නෑ නෑ මන් නෙවේ. අරය තමා බර්ත් ඩේ බෝයි”

අපරාජිතා දේශිකා ගේ අත පිටුපස කෙනිත්තුවා ය. 

“මං කිව්වෙ..හේමාල් කොණ්ඩෙ වැව්වම වගේ  කෙනා කියල”

ඇය දේශිකා ගේ සවනට කෙඳිරුවා ය. 

“කවුද ඕව මතක තියා ගන්නෙ..”

සසංක ඔවුන් ඉදිරියට ආවේ ය. ඔහු ගෙන් දකිත හැකි වූයේ කලබලකාර සතුටකි. දේශිකා ඔහු ට සුබ පැතුවා ය. සසංක ගේ ඇස් තිබුණේ අපරාජිතා ළඟ ය. ඇය චොක්ලට් පැහැති ලිනන් ගවොමක් හැඳ සිටියා ය. ඒ ගවුමේ තද පාට නිසා ඇගේ සියුමැළි සමෙහි ලා පැහැය කැපී පෙනිණ. අත් දෙකේ ඇඟිලි දෙකෙහි සිහින් මුදු දෙක හා ඉසිහින් කුඩා රන් දම්වැල  හැරෙන්නට රත්තරන් නොපැළඳි ඇය ට තිබූ ආබරණය දුඹුරු සිනිඳු වරල ය. දේවතා රූපයක ශාන්ත සුව දනවන දෑසකින් බලා ඇය සසංක වෙත තිලිණය පෑවා ය.

“තෑන්ක් යූ”

ඒ වෙලාවේ නම් සසංක ගේ ඇඟට ලැජ්ජාශීලී කෝඩුකාර කොල්ලෙකු වැහී සිටියේ ය. ඔහු ට ඕනෑ තරම් තිළිණ ලැබී තියේ. දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේදී ඒවා අතිශය සාමාන්‍ය ය. මීට වසර ගණනායකට පෙර සබඳකම් පැවැත්වූ ගැහැනුන් වෙතින් ද ඔහු තිලිණ ලබා ඇත. නමුත් මේ වාගේ සමනල චලන ඒ කිසිදු අවස්ථාවක හදවත ඇති ව නැති බව සසංක ට විශ්වාස ය. 

“අපි ආව වේලාසන වැඩිද මන්දා”

අපරාජිතා මිමිණුවා ය. ඒ වට පිට බලමින් තවමත් අමුත්තන් කිසිවෙකු නොවන නිසාවෙනි.

“නෑ නෑ. ඉඳගන්නකො. ප්ලීස් හෑව් අ සීට්”

සසංක හිටියේ කලබලයෙනි. ඊළඟට මොනවා කරන්න දැයි ඔහු දැන සිටියේ නැත. නොහොත් ඒ කලබලකාර හිතට කිසිදු අදහසක් පිවිසියේ නැත.

“වේලාසන නෙවෙයි..අපේ මේ සසංක බල බල හිටියෙ තාම නැත්තෙ මොකද කියල”

සසංක!අපරාජිතා ගේ මතකයේ එසැනෙන් ඒ නම සනිටුහන් විය. 

“ඔය දෙන්න…සිබ්ලිංස්ලද…”

ඒ ප්‍රශ්නය දේශිකා ගෙනි. තරුණයන් දෙදෙන මුහුණෙන් මුහුණ බලා ගත්හ. ඇයිදෝ මන්දා දේශිකා ට මිස්ට බීන් නාට්‍ය මාලාව සිහි විය.

“අ..නෑ නෑ නෑ.  මූ මගෙ මැංගෝ ෆ්‍රෙන්ඩ්නෙ කාලෙක ඉඳන්”

“අපි හිතුවෙ ඔය දෙන්නම ඉන්නෙ මෙහෙ කියල”

දේශිකා ඇඟට පතට නො දැනී කියා දැමුවේ අමුත්තන් කිසිවෙකු නැති මේ උපන් දින සාදය ඇගේ කුතුහලයට හේතු වී තිබි නිසා ය. සසංක කලබලයෙන් ම සිය මිතුරා අසේල ව හඳුන්වා දුන්නේ ය.

“ඇත්තටම..මේක ලොකු පාටි එකක් නෙවේ. මූගෙ උපන් දිනේ කියල කියපු නිසා…මං තමයි කිව්වෙ එහෙනං අපි ඇනෙක්ස් එකේ අයත් අඳුරගන්න එක්ක පොඩියට සෙට් වෙමු කියල. අපරාදෙ…හස්බන් නැති වුණානෙ අපිට අඳුනගන්න..”

අසේල යමක් නිවැරදි කිරීමේ උවමනාවක් ඇතිව කීවේ ය. සසංක ගේ විකාර වැඩ නිසා ඔහු ද මේ කාන්තාවන් ඉදිරියේ හාස්‍යයක් වන්නට බැරි නැතැයි හිත කියමින් තිබිණ.

“කමන්නෑ. මූට කොහොමත් අවුරුද්දකට උපන් දින දෙක තුනක් තියනව. පස්සෙ බැරියැ මිස්ට…නම දන්නෙත් නෑනෙ ඉතිං අපි…අඳුරගන්න”

අපරාජිතා ඒ හස්බන් කතාවට හ්ම් නොකියා සිටියා ය. මිස්ට කියා ඇගේ මූණ බලත්දීත් ඕ නමක් නොකියා ඔහු ගේ දෑස් මගහැරියා ය. සසංක කලබලකාරී සිහිනයෙන් ම ඇපල් යුෂ වීදුරු දෙකක් ගෙන පැමිණියේ ය.

“කෝ වයිෆ්…”

කඩ ඉම් ප්‍රශ්නය දේශිකා ගෙනි. අසේල හඬ නගා හිනැහුණේ ය. ඇයි හිනා වෙන්නේ වැනි දෑසකින් ඇය ඔහු දෙස බැලුවා ය.

“වයිෆ් කෙනෙක් කඩෙන් තමා ගන්න වෙන්නෙ”

සසංක ට පොළොව පළා ගෙන හැංගෙන්නට හිතුණේ එහෙම කියත්දී අසේල ගෙන් බැහැර වූ ස්කූටර හිනාව නිසා ය. ඔහු දත්මිටි කමින් මිතුරා දෙස බැලුවේ ය.

“මෙහෙම හිටියට බූරුවො හත් දෙනෙක්ගෙ වයස. ඒත් ආත්ම ගෞරවේ බේරගන්න කියලවත් මූ ඔය අතට අහු වෙන කෙල්ලෙක් කසාද බඳින්නෑනෙ. ඕගොල්ලන්ට කියන්න…මූට කවදහරි වෙන්නෙත් අර නස්රුදීන්ට වෙච්ච දේ තමයි. අවුරුදු හතළිහක් පහු වෙන්න ඇවිත් තාම සර්ව සම්පූර්ණ කෙල්ලෙක් හොයනව”

“සර්ව සම්පූර්ණ අයනං නෑ ඉතිං”

දේශිකා එසේ කීවේ මොනවා ම හෝ කිව යුතු නිසාවෙනි. මේ වගේ තැනක අපරාජිතා වැඩිපුර කතා නොකරන බව ඇය අත්දැකීමෙන් දනී.

“ඉන්නව. හැබැයි ඉතිං එහෙම එකක් මූට හම්බ වුණා කියමුකො..ඕගොල්ලො හිතන්නෙ මූව කසාද බඳියිද..නෑ..මොකද ඒකිත් හොයනව ඇත්තෙ සර්ව සම්පූර්ණ බුවෙක්වනෙ”

දේශිකා ට හයියෙන් සිනා ගියේ ය. අපරාජිතා දෙතොල් තද කරගෙන මඳ සිනහවකට විතරක් ඉඩ දුන්නා ය. අසේල විහිළුකාරයෙකු සේ පෙනේ. නමුත් ඔහු කටට එන හැම දේම කියත්දී මිතුරා අපහසුතාවයට පත් වීම ගැන පහන් හැඟීමක් ඇය ට වූයේ නැත.

“මාත් බැඳල නෑ. ඒ වුණාට ඔය බැන්ද අය හිතනව වගේ පාළුවක් පාඩුවක් අපිට දැනෙන්නෑ…නේද සසංක…”

“මුං හිතන් ඉන්න හැටි තමයි”

“මොනවා..ඔයත් බැඳල නැද්ද..”

අසේල ඒ විපරම් කිරීම කළේ සසංක වෙනුවෙන් දේශිකා ගැන නොව අපරාජිතා ගැන වැඩි තොරතුරක් දැනගනු වස් ය. නමුත් සිය සැමියා ගැන ප්‍රශ්න කළ වේලේ අපරාජිතා සීරුවට ඒ ප්‍රශ්නය මග හැරියා ය. ඇය දික්කසාදිත බව කවුරුන් හෝ දැන ගැනීම අපරාජිතා ට ලැජ්ජාවක් සේ දැනෙන්නේ නැත. නමුත් ඒ කවුළුවෙන් කිසිදු පිරිමියෙකු සිය ජීවිතය ට ගොඩ නො විය යුතු යයි ඇය තදින් සිතා ගෙන සිටින්නී ය. නිතර සමාජය සමග ගැටෙන හා මුහු වෙන මාධ්‍ය ආයතනයකට සම්බන්ධ ව වෘත්තීය කටයුතු සිදු කරන ඕ, දික්කසාදිත කාන්තාවන් ට සමාජයේ දී සිදු වන අකටයුතුකම් ගැන මැනවින් දැන සිටියා ය. දැක තිබුණා ය. නමුත් ඇය තව දුරටත් පොදු පුරුෂ කුලකයෙහි කෙළි බඩුවක් නොවිය යුතුය යන්න ඇගේ දික්කසාදයට පෙර ම අපරාජිතා ඇදහුවා ය. සිය ජීවිතයට ඇතුළු විය හැකි සියලු රහස් කවුළු පිරිමින් වෙනුවෙන් වසා ගෙන නිවහල් ගැහැනියක ලෙස ඉතිරි ජීවිත කාලය ගෙවා දැමීම ඇගේ අපේක්ෂාව වේ. අනිත් අතට දික්කසාද වීම කරණ කොට ගෙන කිසිවෙකු ගේ අනුකම්පාවක් ඇය ට උවමනා නැත්තේ ය. 

ඒ සැඳෑව ගෙවී යත්දී තරුණයන් දෙදෙනා හා තරුණියන් දෙදෙනා අතරේ යම් කිසි හැඳින ගැනීමක් සිදු ව තිබිණ. කෙසේ වෙතත් අපරාජිතා ගැන අසේල ගේ සිත්හි සැකයක් ඇති ව තිබිණ. ඒ ගැන පසු දාට මිතුරා එක්ක කතා කරන්නට හිතා ගෙන රාත්‍රියේ ම ඔහු නික්ම ගියේ ය. දේශිකා ව උදයේ කාර්යාලය වෙත ඇරලූයේ අපරාජිතා ය. එන ගමන් ඇය සුරතල් මසුන් අලෙවි කරනා තැනකට ගොස් ගෝලාකාර වීදුරු බඳුන් දෙකක් මිල දී ගත්තා ය. ජීවිතය නිදහස් වී කාලය ඉතිරි වී තියෙනා එකේ කාලයක සිට ඈ ආශාවෙන් සිටි ටෙරාරියම් කලාව අත් හදා බලන්නට ඇයට කල්පනා වූයේ, කුණු බාල්දිය තබන්නට සසංක ගේ නිවස පිටුපසට ගිය විට එහි සෙවනැති කොස් ගසක් මුල දීප්තිමත් කොළ පැහැයකින් වැවී තිබූ පාසි හා සෙලැජිනෙල්ලා පැළෑටි දුටු විට ය. එතැනදී ටෙරාරියම් කලාවේ අංගයක් වන මොස් ටෙරාරියම් ඇයට නිතැතින් සිහි විය. 

ඇගේ රිය ගෙමිදුල නතර වන විට සසංක පිටත් ව යාමට මිදුලට බැස සිටියේ ය. අපරාජිතා තිගැස්සී ගියේ ඔහු හැඳ සිටි ලා දම් පැහැති කමිසය දුටු විට ය. සිය ජීවිතයේ ප්‍රථම වරට ඇය තේරූ කමිසයක් හැඳ සිටි පිරිමියෙකු දුටු ඕ සැබවින් ම කැළඹුණා ය. 

“ගුඩ් මෝනිං”

ඒ සුබ පැතුම සසංක ගෙනි. අපරාජිතා ගේ දෙතොල් මඳහසකට ඈත් විය. ඒ තොල් අතරින් පෙරලා සුබ පැතුමක් පිට වූව ද එය සසංකගේ කනට නෑහෙන තරම් මන්ද්‍ර ස්වරයක් දැරුවේ ය. එපමණකින් ඇය පියගැට පෙළ නගිමින් සිටියා ය. සසංක ඇය යන දෙස බලා සිට රියෙහි නැගුණේ ය.

හදවත ගැස්මක් අපරාජිතා අත්වින්දා ය. ඒ කමිසය ඔහු ට ඉතා කදිමට පෑහී ඇති බව ඇය ට සිතේ. නමුත් ඒ බව කියා ගන්නට තරම් දිරියක් ඇය වෙත වූයේ නැත. ඒ ගැන අමතක කොට ඕ පිටුපස මිදුලට ගොස් සෙලැජිනෙල්ලා හා පාසි ගලවා ගත්තා ය. සසංක ගේ සෙවනැති මිදුල පුරා ඇවිදිමින් ගල් කැට හා දිරූ ලී කැබලි කිහිපයක් එකතු කර ගෙන යළි මතු මහලට නැගුණා ය. අන්තර්ජාලයෙන් ටෙරාරියම් කලාවට අනුව කළ සැකසුම් කිහිපයක් පරීක්ෂා කළ ඕ, ඉන්පසු ඇගේ ම පරිකල්පනයට අනුව මොස් ටෙරාරියම් සැකැස්මක් සිදු කළා ය. ඇය ද නොදැනී උදේ කාලයෙන් හෝරා කිහිපයක් ඒ සඳහා ගත වී තිබිණ. 

ටෙරාරියම් යනු ඉතා සියුම් වූ කලාවකි. වීදුරු බඳුන් තුළ පාසි වැවෙන්නට සැලැස්වීම මොස් ටෙරාරියම් නම් වේ. එය ජලීය මාධ්‍යයක් තුළ සිදු කිරීම මොස් ඇක්වේරියම් ය. පාසි වලට අමතරව කැක්ටස් හා සක්චුලන්ට් ටෙරාරියම් ද නිර්මාණය කරන්නට අපරාජිතා සිතා ගත්තා ය. ඒවා ඇය රිසි ශාක ප්‍රබේධ ය. 

සිය නිර්මාණය හමාර කොට එදෙස තෘප්තිමත් හැඟීමකින් බලා උන් ඇගේ සිතට පිවිසි පැනය නම් එය ස්ථාන ගත කරන්නේ කොතැනකද යන්න ය. ගෘහ භාණ්ඩ අල්ප වශයෙන් භාවිතා වන ඇගේ සරල ජීවන ක්‍රමය තුළ, දැනට මෙය ද සඳැල්ල කොනක තබා ගන්නට ඇය සිතුවා ය.

“මේ…අර බර්ත් ඩේ පාටි එකේ බර්ත් ඩේ කේක් එකක්වත් තිබුන්නෑනෙ”

දේශිකා දුරකතන ඇමතුමක් දී එසේ කියන විට අපරාජිතා සිටියේ පාවුලෝ කොයියෝ ගේ ලියමනක් ඇතුළේ ය. ඇය ට සිනහ නැගිණ. ඒ ගැන දේශිකා නෝක්කාඩු වූවා ය. 

“මොකෝ හිනාවෙන්නෙ…”

“හිනා යන්නැද්ද…ඒ ගැදරින් එක ඉවර වෙලා කාපු බීපුව දිරවලත් ඉවරයි. තාම ඒක ඔළුව උඩ තියාගෙනද හිටියෙ…මේ වෙලාවෙත් වැඩ කර කර ඉන්න ගමන් කේක් මතක් වුණේ”

“ඒ වුණාට…බර්ත් ඩේ එකක්නං කේක් තියෙන්න ඕනමනෙ..”

“හරි ඉතිං…පොඩි එකෙක්ගෙ බර්ත් ඩේ එකක් නෙවේනෙ. ඒක නිසා ඕන්නෑ කියල හිතෙන්නැති. කොහොමත් ඒක එයාගෙ ඇනෙක්ස් එකේ නේබර්ව අඳුරගන්න දීපු ඩිනර් එකක්”

“ඒ වුණාට මට නිකං අමුතුයි වගේ”

“මං දන්නව”

“මොනාද..”

“තේ කෝප්පෙත් කිඹුල්ලු දකිනව කියල”

“ඔහොම යංකො එහෙනං”

දේශිකා එපමණක් කීවා ය. නමුත් ඇය දිගට ම සැක සහගත සිතිවිලි හා පොර බැදුවා ය. සසංක ගේ ඇස් දිව්වේ අපරාජිතා පස්සේ යි ඇයට සිතිණ. ඒ ඇස් වල වූ බැල්ම සාමාන්‍ය එකක් නොවේ. 

අපූ රත්මල්ගොඩ නමින් වන ෆේස් බුක් ගිනුමට ඇය සිය මොස් ටෙරාරියම් නිර්මාණයෙහි සේයා රුවක් එක් කළා ය. එය දැමූ සැනෙන් නාලිකා ප්‍රධානියා ‘රියලි ක්‍රියේටිව්’ යනුවෙන් කමෙන්ටුවක් එක් කළේ ය. ඒ වෙලාවේ ෆේස් බුක් වෝල් එකේ ඉහළ පහළ නිකමට යමින් සිටි සසංක ගේ නෙතට එය හසු වූයේ නාලිකා ප්‍රධානියා ගේ කමෙන්ට් එක නිසා ය. ඇඟිල්ලෙන් ඉහළට තල්ලු කරත්දී උඩට ගිය ඒ ඡායාරුපය, ඔහු යළි පහළට ගෙන වඩා හොඳින් බැලී ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...