අනෝරා මල් වැහි 02

තාරා කණ්ණාඩිය ඉදිරියේ අසුන් ගෙන සැරසෙමින් උන්නාය. ඒ පෙඩිකියෝර් මැනිකියෝර් සත්කාරයක් සඳහා ආයුර් ස්පා එක වෙත යනු පිණිසයි. 

අද චිරායු නිවසේ නැති දවසක. චිරායු කොහොමත් සති අන්තයක වුවත් නිවසේ රැඳී සිටින්නේ ඉතාම අඩුවෙනි. සති අන්ත සැඳෑ කාලය මිතුරන් සමග කෙලිදෙලෙන් ගෙවන්නට කාලය වැය කරන චිරායු සති අන්ත උදේ වරුවලත් බොහෝ විට කාර්‍යාලයට යයි. එයත් නොමැති දිනක වැඩිපුර නිදියන්නට කාලය වැය කරන චිරායු හිඳින්නේ මේ නිවසේ තමා වන් කෙනෙකු නොමැති අයුරින් බව තාරා අත්දැකීමෙන් දනී. 

අදත් චිරායු නිවසේ නැති දවසකි. උදෑසන අවදි වී තාරා කිරිබත් පිසුවද නිහඬවම එය අනුභව කල චිරායු නිවසින් පිටත්ව ගියේය. 

“මම පෙඩිකියෝ එකකට යනවා” තාරා කිව්වේ යුතුකමකටය. චිරායුට එය ඇසුණාවත්ද කියා වගක් තිබුනේ නැත.

උදෑසන දහයට පෙඩිකියු සහ මැනිකියු එකකට ඇණවුමක් දමද්දි තම සුපුරුදු තෙරපිවරිය නොමැති බව තාරා දැනගත්තාය. එහෙත් නිවසට වී කම්මැලි කමේ කාලය ගෙවනවාට වඩා එලියට ගොස් පෙඩිකියු සත්කාරයෙන් පසුව තේකක් බොන්නට යාම හෝ ශොපින් කරන්නට යාම මනසට සැනසුමකි. ගෙයක් නිවහනක් වෙන්නේ ආදරය රැඳුණ තැනක ය. චිරායුත් තමාත් අතර ආදරයක, සෙනෙහසක අංශු මාත්‍රයක්වත් තවම රැඳී තිබෙනවාද යන්න තාරා නිරතුරුවම සිතෙන් අසමින් උන්නාය.

තමා ජීවිතයේ කෙදිනකවත් ආදරය සොයා ගිය අයෙකු නොවේ. එහෙත් පෙම් සබඳතාවයකදී ලැබුණ ආදරය විවාහයෙන් පසුවත් ලැබෙතැයි සිතීම ගැහැණියක ලෙසින් වරදක්ද? තමා බලාපොරොත්තු උනේ ඒ ආදරය සදහටම හිමිවෙතැයි කියාය.

ඉතින් එය වරදක්ද?

“යාලුවෙලා ඉන්න කාලෙ වගේ ලමයො බැන්දට පස්සෙ එහෙම තුරුල් වෙලා ඉන්න බෑ.  අසංක උනත් සමහරවෙලාවට වැඩම තමයි. එහෙම මේ යාලුවෙකා ඉන්න කාලෙ වගේ නිතර දෙවෙලෙ තුරුල් වෙල ඉන්න තිබුන චිරායුට වගකීමක් තිබ්බෙ නැත්තං සල්ලි හොයන්න.

මොනවයින් අඩුවක්ද කියන්නකො ඔයාට? චිරායු කොච්චර හොඳ මනුස්සයෙක්ද? හැම පැත්තෙන්ම හොඳයිනෙ? ඉගෙන ගෙන මදිද සල්ලි මදිද පෙනුම මදිද? හැමදේම තිබිලත් ඔයා මේ නැති ප්‍රශ්න ඔලුවෙ පුරවගෙන බොරුවට දුක් වෙනවා”

අම්මාගේ හිත තවනු බැරි තැන අක්කා ආර්‍යාට කතා කරද තමා කියන දේ තේරුම් ගන්නට බැරි තරම් අක්කා පවුල් ජීවිතයේ කඩිමුඩියට පුරුදු පුහුණු වී උන්නාය.

“අසංක අයියත් චිරායු වගේ රෑට අනිත් පැත්ත හැරිල නිදාගන්නවද?” කියා අසන්නට හිතුනත් තමන්ගේ පවුල් ජීවිතයේ ඇතැම් ගැටලු කිසිවෙකුට කියන්නට නුසුදුසු ඒව බව මතක් වීම ඒ සිතුවිලි සිත අස්සේම සිරකර තබයි.

“ඔයාට මොනවයිද අඩු” කියා කවුරුන් ඇසුවත් තමා ලඟ තිබී අනතුරුව අහිමි වී ගිය කුමක් හෝ වටිනා දෙයක් හිත අස්සේ විසල් හිස්තැනක් මවා ඇති බව තාරාට දැනුනාය. ඒ හිස්තැන පුරවාගන්නට තනිකමේ ගැලි සිටීමෙන් නොහැකි බව තාරා දැනගෙන උන්නාය. එහෙත් විසල් නිවසක සියල් සැප සම්පත් මැද හොඳින් මුදල් සොයමින් වුවද ඒ තනිකමේ හිස්තැන මකාලන්නට කල යුත්තේ කුමක්ද යන්න ගැන හරි අදහසක් තාරාට තිබුනේ නැත.

ආයුර් ස්පා එකට තාරා ආවේ තමන්ගේම මෝටර් රිය පදවාගෙනය. චිරායු පදින විසල් ජිප් රිය කිසිදිනක සිත ගත්තක් නොවේ. සුදු පැහැ අවුඩි කාරය චිරායු විසින්ම මිල දී ගෙන දුන්නකි.

“මං නැතත් දැන් ඔයාට පුලුවන් ඔයාගෙ වැඩ කරගන්න එහෙට මෙහෙට යන්න”

“අනේ මං ආස ඔයා එහා පැත්‍තෙන් වාහනේ වාඩිවෙලා කතා කර කර යන තැනක යන්න”

එදා චිරායු එහෙම කියද්දි විරුද්ද වුවද අවසානයේ එකඟතාවයකින් තොරවම චිරායු තමාව තනි කර තිබේ. ඒ තනිකම දැන් බොහෝ කලක් පුරා විඳ දරාගෙන තාරාට මහන්සිය. වේදනාවක් කියන්නට කෙනෙක් නැති වීමම මොන තරම් වේදනාවක්ද?

ජීවිතය අතාරින්නට සිතුනු නිමේශයන් ගෙවුණු පසුගිය කාලය පුරාවටම තිබෙන බව දැනුනත් අම්මා සිහිවෙද්දී ජීවිතය කිසිසේත් අතාරින්නට බැරි බව තාරා දනී. තාත්තා නැතිවුනේ තමන් උසස්පෙලට ඉගෙන ගනිද්දිය. අක්කා උන්නෙ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේය. තාත්තාගේ මරණයෙන් අනතුරුව ඔහු වෙනුවෙන් ලද පාරිතෝශික දිමනාව බැංකුවේ දමා ඉන් ලැබෙන පොලියෙන් අම්මා තමාත් අක්කාත් සමග ජීව්තය ගැටගසා ගන්නට දැරූ අපමණ වෙහෙස තාරා දැක තිබුණාය. අම්මා ඒ වේදනාවන්ගෙන් යම් තරමකට හෝ මිදුනේ තමාත් අක්කාත් විවාහ කරදුන් පසුව බව තාරාට අමතක නැත. 

ඉතින් ඒ අතීතය යලිත් වරක් ඇගේ දෙපා ලඟට ගෙනවිත් තබන්නට හැකිද?

ආයුර් ස්පා එකට තාරා නුපුරුදු කෙනෙකු නොවේ. දැන් මාස කිහිපයක සිටම මෙහි යන එන නිසාවෙන් එහි කාර්‍ය මණ්ඩලය තාරාව හොඳින් හඳුනයි. 

“අද මාධවී නෑ කිව්ව නේද?”

“ඔව් මැඩම්. මාධවී මැඩම්ගෙ ගෝ ටු තෙරපිස්ට් නෙ නේද?” කියා ලොබියේ උන් සොඳුරු යුවතිය සිනාසෙයි. ඇය සමග මද සිනාවකින් එකතු වූ තාරා මුදල් ගෙවා තමන්ගේ ඇණවුම ලබා ගත්තාය.

ඒ වන් අවර් පෙඩිකියූ එකක් සහ මසාජ් එකක් සමගින් 30 මිනිට්ස් මැනිකියු එකකි. 

“කැබින් 4 එකට යන්න මැඩම්.තෙරපිස්ට් ඒවි. මොනවහරි බොනවද?”

ආයුර් ස්පා එකෙදී හර්බල් ටී එකක් සමගින් කුඩා රස කැවිල්ලක් කන්නට ලැබෙන බව ඉතින් තාරා අත්දැකීමෙන් දනී. ආයුර් ස්පා එක දැන් ලංකාවේ අරඹා වසර තුනකට වඩා වැඩිය. තාරා රැකියාවට යන්නට පටන් ගත් මුල් කාලයේ මෙවන් දේවල් වලට පුරුදු නොවුනත් කෙමෙන් කොළඹට හුරුපුරුදු වෙද්දී ආයුර් ස්පා එකට තම රුපලාවන්‍ය කටයුතු සඳහා යෑම ඇරඹුවාය. දේශීය ප්‍රමුඛ රූපලාවන්‍ය නාමයක් යටතේ පවත්වාගෙන යන ආයුර් ස්පා එක දිවයිනේ බොහෝ තැන්වල පිහිටා ඇති අතර ලබා දෙන සේවයත් විශ්වාසයත් ඉතාම ඉහල බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

එක උරහිසක එල්ලාගෙන ආ අත් බැගය ස්පා චෙයා එකට පසෙකින් ඇති ටේබල් එක මත තබා තාරා පුටුවේ ඇලවී දෙනෙත් පියාගත්තාය. ඒ චිරායුත්, ඔහු නිසාවෙන් සිත තුල තැවරී ඇති වේදනාවත් යලිත් සිත ඉදිරියට එන්නට ඉඩ දෙමිනි.

තෙරපිස්ට් වරයා එන හඬ ඇසුණද හිස ඔසවා බලන්නටත් දෙනෙත් හැර බලන්නටවත් තාරාට උවමනාවක් තිබුනේ නැත. සුපුරුදු පරිදි තෙරපිස්ට් පැමිණ මුලින්ම තම හිස සහ උරහිස් ප්‍රදේශ මසාජ් කරන බව තාරා දනී.

නිහඬවම එහි ආ තෙරපිස්ට් වරයා පුටුවේ ඇලවී උන් තාරාව මදක් ඉදිරියට කර උණුසුම් කොට්ටයක් පිටුපසින් තබා සුවපහසු කලේය. අනතුරුව තාරා උඩට කර කැරලි කෙස් වැටිය ගැට ගසා තිබූ ස්ක්‍රන්චි එක ගලවා පසෙක තබා හෙමින් සැරේ තම අතැඟිලි ඇයගේ හිස මත ගෙන යන්නට වූවේය.

ඒ වූ කලී පුදුමාකාර සැනසීමකි. මෙතෙක් වේලා හිස අස්සෙ දඟලමින් උන් චිරායු පිලිබඳ දුක්බර හැඟීම් කන්දරාව සෙමෙන් දියවී යද්දී ඒ වේදනාව තාරා ගේ දෙනෙත් ඔස්සේ වැගිරෙන්නට ගත්තාය. එහෙත් ඒ දැනෙන සනිපය නිසාවෙන්ද නොඑසේනම් බොහෝ දිනකින් නොලැබුන චිරායුගේ පහස මතක් වීම නිසා ඇතිවුණ දුක ද කියා තේරුම්ගන්නටවත් කාලයක් තාරාට තිබුණේ නැත.

ඒ පහස සැනසුමකි. ඒ සැනසුම සිත අස්සේ ගොඩ ගැසී තිබෙන වේදනාව පහ කරවන්නකි. ඊයේ රැයේ සිට හිත රිදවමින් නැගී ආ සියුම් හිස කැක්කුම මදින් මද පහ වෙමින් තිබෙන බව තාරාට දැනුනාය. දෙනෙත් ඔස්සේ වේදනාවේ රැලි ගලා යද්දී තෙරපිස්ට් වරයා කලබල වූවේය.

“මගේ ග්‍රිප් එක තද වැඩි ද මැඩම්?”

තාරා දෙනෙත් හැරියේ ඒ හඬටය. මෙතෙක් වේලා තමන් සු වපහසුව තැබුවේත් වේදනාව දිය කර හැරියේත් පිරිමි අතක පහසින් බව තාරා සිතා තිබුනේ නැත. චිරායුව සිතෙන් ඉවත් කර ඔහු නිසා රිදෙමින් තිබූ හිස සැනසුමට පත් කලේ තවත් පිරිමි අතක පහස බව තාරා සිතා තිබුනේ නැත. 

ඇය තිගැස්සුණාය. 

හිස හරවා ඔහුගේ හඬ ඔස්සේ ඒ දෙනෙත් දෙස බලද්දී වචන වලින් කියන්නට නොහැකි අන්දමේ නිස්කලංක බවක් මුහුණ මත තවරාගෙන බලා උන්නෙ ඉතාම ලාබාල පෙනුමැති තරුණයෙකි. මින් පෙරත් වතාවක හෝ දෙකක පිරිමි තෙරපිස්ට්වරුන් පැමිණියද මෙතරම්ම සනීපයක් ඒ අවස්තාවල නොලැබුන බව සහතිකය.

හිත ගැස්සුණේ ඒ හැඟීම නිසා ය. 

චිරායුට වඩා ඒ පහස සනීප බව දැනුන නිසාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles