” අවුරුදු තුනක් නිරෝධා .. දැන් ඇති කියලා හිතෙන්නෙ නැද්ද .. ? “
අපර්ණා අහද්දි මම අපර්ණා දිහා බැලුවෙ විමතියෙන්.
” මොනවද .. ? “
මම අහද්දි අපර්ණා හිනාවුනේ සරදමට ..
” ආදරේ කරලා එක පාරටම අතුරුදහන් වුන මිනිහෙක් මත්තේ නැහුනා ඇති කියලා හිතෙන්නෙ නැද්ද .. ? “
අපර්ණා පරණ මතක අවුස්සද්දි .. මම තුවාලේ කබල කැඩෙන වේදනාව දරාගත්තෙ වෙනදා වගේම නිහඬව ..
” මේක නැහීමක් නෙවෙයි අපර්ණා .. ඊටපස්සෙ මට විදුර වගේ කෙනෙක් හම්බුනේ නෑ .. මට අදටත් තියෙන ප්‍රශ්නෙ එච්චර අවබෝධයෙන් ආදරේ කරලත් එයා කොහොමද වචනයක් වත් නොකියා අයින් වුනේ කියන එක විතරයි .. අපි දෙන්නට කතා කරලා හැම දේම විසඳගන්න පුළුවන් කියලා මටත් වඩා විදුර හොඳටම දැනගෙන හිටියා .. “
තසිමෙ ඉතුරු වෙලා තිබ්බ අන්තිම බිස්කට් එකත් අතට ගන්න ගමන් මං කිව්වෙ .. තසිම වටේ පෝලිමට හිටගෙන බිස්කට් කුඩු උස්සගෙන යන්න දඟලන කළු කුඹි රැලකට මගේ අතේ තිබ්බ බිස්කට් එකේ කුඩු ටිකත් හලන ගමන් ..
” එතකොට ඔය කසාද නොබැඳ ඉන්න එකේ තේරුම තාම විදුරට ආදරේ කරනවා කියන එකද .. ? “
“හොඳම යාළුවා වුන පලියට සීයට සීයක්ම
තමන්ගෙ යාළුවාව තේරුම් ගන්න ඕනෙ කියලා කොකොහෙවත් නීනීතියක් නෑනේ.. ඒක ඔයාටත් පොදුයි ..”
මම කියද්දි අපර්ණා කට ඇදකරේ කේන්තියෙන් ..
” කොච්චර නෑ කිව්වත් අර අමුතු රදල ජාන ඔයාගෙත් සැරින් සැරේ මතුවෙනවා නේද නිරෝධා ..”
අපර්ණා ප්‍රතිප්‍රහාර එල්ල කරද්දි මම හිනා වුනේ උපේක්ෂාවෙන් ..
“අනුරාධ කැමැත්තෙන් ඉන්නෙ ඔයාට.. “
හිතේ තිබ්බ සැහැල්ලුව ඉගිලිලා ගියේ විදුලි වේගයෙන් ..
“අනුරාධ මං හොයන මනුස්සයා නෙවෙයි .
“
මං ඒ පැහැදිලි කිරීම කරේ කී වෙනි පාරටද මන්දා..
“ඔයා හොයන ජාතියෙ අය නෑ නිරෝධා .. ටිකක් හිතන්න .. තිහත් පැන්නා .. අනිත් එක විදුර අතුරුදහන් වුනේ තනියම නෙවෙයි කියලා හැමෝම දන්නවා ..”
අපර්ණා අහෙන නොඇහෙන ගාණට කියද්දි මම හිනාවුනෙ හිස් අහසට ..
” අර මහීකා විදුර එක්ක ඕනෑවට වැඩියි ..
අපර්ණා ඒ දවස් වලත් හැමදේම දැක්කෙ ඇදේට .
” ඒ විදුරගෙන් ටියුෂන් ගන්න ළමයෙක් අපර්ණා. එයාගෙ හැසිරීම ටිකක් වෙනස්. ඒ කොළඹ ළමයින්ගෙ හැටි .. “
මම එදත් විදුරව විශ්වාස කරේ මේ දැනුත් විශ්වාස කරගෙන ඉන්න තරමටම .
” මම යන්නම් .. හවස මීටින් එකක් .. ..ඇන්ටිව හෙට උදේද එක්කන් යන්නෙ ? “
මම පන්දාහෙ කොල තුනක් මේසෙ උඩින් තිබ්බෙ අපර්ණා මට රවද්දි ..
“ගිය මාසෙත් දුන්නා නිරෝධා .. දැන් මාස කීයක්ද ? “
මම සල්ලි ටික ආපහු අරන් අපර්ණාගෙ ගුරුඅත් පොත ඇතුළට දාලා වැහුවෙ ඉඳන් හිටිය පුටුවෙන් නැගිටින ගමන් ..
” ඒ ..ගිය මාසෙනෙ .. මේ මේ මාසේ .. “
මම එළියට බහිද්දි අපර්ණා මගේ පිටිපස්සෙන් ආවේ තව මොනාදෝ කියවන ගමන් .
” මම කියනවට අනුරාධ ගැන තව ටිකක් හිතන්න .. “
” හිතන්න දෙයක් නෑ.. ඒ මම හොයන පිරිමියා නෙවෙයි .. “
මම අඩියට දෙකට එළියට බැස්සේ අපර්ණා තව මොනවත් කියන්න කලින් ..
මම ගෙදරට තියෙන කිලෝමීටර් භාගෙ ඇවිද්දෙ හිමින් හිමින්. . පප්පගෙ වල්ලපට්ට වගාව ඉවරවෙන තැනින් පටන් ගන්න අපේ මහ ගේට්ටුව ළඟ නැවතිලා මම සරුවට වැවෙන වල්ලපට්ට ගස් දිහා බැලුවේ උනන්දුවෙන් ..
” ඉස්සර මේ වතු ඔයාලගෙ තාත්තගෙ කියලා කියන්නෙ ඇත්තද ..? “
පප්පා ලාභ ලබන අක්කර දෙකහමාරෙ ලොකු වත්ත පෙන්නලා මම විදුරගෙන් අහද්දි විදුර හිනා වුනේ ඔලුව දෙපැත්තට වනන ගමන් ..
” මට නොතේරෙන කාලේ කරපු ගනුදෙනු ගැන මම දැනගෙන ඉන්නෙ කොහොමද නිරොධා .. අනිත් එක ඔයාගෙ පප්පයි අපේ තාත්තයි බිස්නස් කරලා තියෙන්නෙ එකට . “
ඉර බැහැපු හැන්දෑවක හැමදාම හම්බෙන ගල් පොත්ත උඩ ඒ විදුරත් එක්ක මගෙ අවසන් හමුවීම ..
” නිරෝධා මට අසනීපයි .. ඉන්වෙස්ටර්ලාගේ මීටින් එකට ඔයා යන්න . මම ටිකට් එක කොහොම හරි මාරු කරලා දෙන්නම් .. “
එදා ගෙදර ආවම පප්පා අණ කරේ මට දෙපාරක් හිතලා බැහැ නොකියන්න ..
” අපර්ණා .. මට සති දෙකකට සින්ගප්පුරුවෙ යන්න වෙලා. ඔයා විදුරට පණිවිඩේ කියන්න.. “
ධනාත්මක හමුවීම් දෙක තුනකට පස්සෙ මම ලංකාවට ආවේ පප්පා බලාපොරොත්තු වුනාටත් වැඩිය සාර්ථක ප්‍රතිඵල අරගෙන ..
” විදුර මහීකා එක්ක ගිහිල්ලා .. යන්න කලින් මහීකා විදුරලගෙ ගෙදර හිටියා කියලා දෙතුන් දෙනෙක්ම දැකලා “
අපර්ණා ඈත බලන් කියද්දි .. නිවන්න බැරි තරමටම මම ඇවිලුනේ .. පිටට නොපෙන්නුවට අවුරුදු තුනක් ගියත් තවමත් එක විදිහම ඒ ඇවිලිල්ල ඇවිලෙද්දි ..
” ඔයා එහෙම කරේ නෑ විදුර .. “
මම වත්තේ ගේට්ටුව ඇරියේ හිස් සුළඟට මුමුණන ගමන් ..
“නිරෝධා .. ටික දවසකට බිස්නස් එක බලාගන්න . මට යූඑස් වල ටුවර් එකක් ..”
සීතල ස්වරයකින් පප්පා විධාන දෙද්දි මම ඔලුව හෙල්ලුවෙ පුරුද්දට ..
” කෝ මිස්ටර් සෙනරත් .. මෙතන පහුගිය මාස දෙක තුනේ රිපෝර්ට්ස් පිළිවෙළට නෑනේ .. “
කාලයක් ඔහේ අත ඇරලා දාලා තිබ්බ ව්‍යවසායිකාවගේ භූමිකාවට මම ඉබේම ආරූඪ වෙද්දි පප්පගෙ දකුණු අත වුණු සෙනරත් මගේ දිහා බැලුවෙ නොරිස්සුමෙන් ..
” මේවා මිස්ටර් කරලියැද්දගෙ ෆයිල්ස්. මං හිතන්නෙ මිස් නිරෝධාට මෙතන වැඩ පොඩ්ඩක් මැනේජ් කරන්න කියලා විතරයි මිස්ටර් කරලියැද්ද කියලා ගියේ .. ? “
මම හිනා වුනේ ගාණක් නැතුව .
” ඔව් මේ ඒක තමයි කරන්නෙ. උඩින් උඩින් බලන්නෙ . තාම හරියට බැලුවෙ නෑ .. “
ඊතල වචන දෙක තුන එහා මෙහා මාරුවෙද්දි මම පුටුවෙන් නැගිට්ටෙ කේන්තියෙන් ..
” මිස් නිරෝධා යන්නද .. ? “
“ඔව් .. මගේ ක්‍රමයට හෙට ඉඳන් වැඩ පටන් ගන්නම්. උදේ නමය වෙද්දි බෝඩ් මීටින් එකක් ලෑස්ති කරලා තියන්න .. “
‘” මිස් නිරෝධා හෙට අපේ මැනේජර්ස්ල
තුන් දෙනාම නෑ . “
“එහෙනම් මිස්ටර් සෙනරත් විතරක් ඉන්න ..”
මම ඔෆිස් එකෙන් එලියට බැහැලා පයින්ම ඇවිද්දෙ පරණ පුරුද්දට . මේ පාරේ තියෙන වැලි කැටයක් ගානේ විදුරගෙයි මගෙයි කතාව දැකලා ඇති . මම සාක්කුවට අත දාලා අපර්ණාගෙ නමින් කෑගහන දුරකතනය ගත්තෙ අවේලාවෙ කතා කරන්න හේතුව අහන්න .
” හෙලෝ .. “
” මම එන්නම් .. ඔතනම ඉන්න “
පපුව වේගෙන් ගැහෙද්දි අවුරුදු ගාණක් වියලිලා තිබ්බ ඇස් වලට කඳුළු ඉනුවෙ අපර්ණාගෙ අම්මාගෙ අහිංසක මූන මතක් වෙලා ..
” අනේ මන්දා.. ලොකු මහත්තයා නම් කැමති නෑ මල ගෙවල් වල යනවට “
සිලා මගේ වටේ කැරකුනේ මම සේප්පුවෙන් සල්ලි අරන් බෑග් එකට ඔබා ගනිද්දි .
” මම යනවා සීලා . “
ප්‍රතිඋත්තර නොදීම මං පිටත් වුනේ අපර්ණාගෙ ගෙදර වැඩටික බලලා කරන හිතාගෙන ..
” මේ ලෝකෙ ඉපදීම වගේම මරණයත් දුකක් .. “
හාමුදුරුවෝ පාංසකූලෙ දෙද්දි හිත ගැස්සුනෙ මලගෙදර සෙනග අස්සෙන් දැකපු මූණක ඡායාවකට.
යමින් ගමන් ගල් පොත්ත ළඟ නතර වුනාට වඩා කවුරු හරි නතර කරගත්තා කිව්වොත් හරි වෙන්න ඇති .. විදුර ගියාට පස්සෙ පලවෙන් පාරට ගල් පොත්තට අඩිය තියද්දි ඇස් කඳුළින් බර වුනේ හිර කරගෙන හිටිය කඳුළු වාං දාලා පල්ලම් බැහැලා යද්දි .
” නිරෝධා .. “
පිටිපස්ස බලන්නද එපාද කියලා හිතත් එක්ක රණ්ඩු වුනේ අන්තිමට මාව පරාජය වෙද්දි ..
“විදුර ..”
කෙට්ටු වෙලා ඇදිලා ගිහිල්ලා තිබ්බ මූණ මට මතක් කරේ දවස් ගාණක් නොකා නොබී හිටිය මනුස්සයෙක්ගෙ මූණක්.
” නිරෝධා ලස්සන වෙලා .”
මම හිනා වුනේ කහටක් නැතුව .
” ඒ කියන්නෙ මම එවෙලෙ දැක්කෙ විදුරව .. ඇයි එතනදි කතා නොකලෙ ? “
” එතන කතා කරා නම් ඔයාට ප්‍රශ්නයක් වෙනවා .. .”
” විදුර මොනවද දැන් කරන්නෙ ? කසාද බැඳලද .. ? “
විදුර හිනාවුනේ මලානිකව .
” ඇයි නිරෝධා නොබැන්දේ..? “
” කවුද කිව්වෙ මම බැඳලා නෑ කියලා .. ? “
මම අඩියක් ඉස්සරහාට තියද්දි විදුර අඩියක් පිටිපස්සට තිබ්බෙ මම එහෙමම්ම නතර වෙද්දි .
“ඔයාට නොදැනෙන්න මම ඔයා ගැන බැලුවා. ලස්සන මාලයක් .. “
මුල ඉඳලම ඒ ඇස් තිබ්බෙ මගේ කරේ තිබ්බ මාලේ ලඟ ..
“පප්පා දුන්නේ . අම්මගෙ අතේ තිබ්බ මුද්දක ගල් ටිකක් අල්ලලු .. “
මම කියද්දි විදුර හිනා වුනේ සරදමට ..
” එදා මොනාද විදුර වුනේ ..?”
මම අහද්දි විදුරගෙ මූනෙ මලානික හිනාවක් ඇඳිලා මැකිලා ගියේ මගේ කුතුහලය වැඩි කරගෙන .
” මහීකා ආවේ එයා ශිෂ්‍යත්වකයට ජර්මනියේ යනවා කියන්න .. ඒ ළමයා තාම එහේ ඇත්තේ .. “
මම ඔළුව වැනුවෙ කල්පනාබරව .
” නිරෝධා එළියෙන් ශක්තිමත් කියලා පෙන්නුවට ඇතුලෙන් සෑහෙන්න කඩන් වැටිලා .. දැන් මාව හිතින් අයින් කරලා වෙන කා ළඟ හරි නවතින්න කාලෙ හරි .. “
උණුසුම් කඳුළක් පිටට පැන්නෙ මගේ පිටි අත්ලෙන් ඇස් පිහිදෙද්දි ..
” මට විදුර වගේ හොඳ සවන් දෙන්නෙක් හම්බුනේ නෑ කොතනක වත් .. “
” හැම පිරිමියාගෙන්ම මාව බලාපොරොත්තු වෙන්න එපා නිරෝධා .. රික්තකය කොහෙන් හරි පුරව ගන්න . නැත්නම් ඔයාම දන්නෙ නෑ ඇතුලින් ඔයා වැහැරෙනකන් . “
” හැම රික්තකේටම ආදේශකයක් නෑ විදුර .. අපිට බැරිද ආපහු එකට යන්න .. “
ලොකු කම බිමින් තියලා මම අහද්දි විදුර හිනා වුනේ දුක්මුසුව ..
” අපි දැන් පාරවල් දෙකක නිරෝධා .. මන් යන පාරෙ ඔයාට ඉඩක් නෑ .. හැරිලා ආපහු යන්න . තවත් ඉස්සරහට එන්න එපා .. ආවොත් මම ඔයාව අරන් යයි .. මම මේ වෙලාවෙ ඒක කරන්න කැමති නෑ .. මාත් අසරණයි .. “
විදුරගෙන් සමු ගනිද්දි අමාරුවෙන් එකතු කරන් හිටිය මගේ හිත මිලිමීටරේ කෑලි කෑලි වලට කැඩිලා ගියේ ආපහු හදන්න තියා හිතන්න වත් බැරි තරම් දරුණුවට ..
ගෙදරට ඇතුල් වෙද්දි පප්පගෙ කෑගැහිල්ල ඇහෙද්දි මම ඉක්මන් ගමනින් අඩිය තිබ්බෙ කන්තෝරු කාමරේට ..
” මම කිව්වා … මේ ගෙදර එවුන්ව මල ගෙවල් වල යවන්නෙ නෑ කියලා. සීලාට නවත්තගන්න තිබ්බා සෙනරත් .. මුන් ඔක්කොම මගෙ ඔළුව කන්න ආපු එවුන් .. “
පප්පා කෑ ගහද්දි සෙනරත් කතා කරනවා ඇහුණේ හිමින්.
” පොඩ්ඩක් කලබල නොවී ඉමු මහේන්ද්‍ර .. අපි හරියටම දන්නෙ නෑනේ ඌ ආවද නැද්ද කියලා.. එහෙම ආවත් මිනිහාට නිරෝධාට ලං වෙන්න පුළුවන් වුනාද කියලා අපි දන්නෙ නෑනෙ”
අමුතු හැඟීමක් පපුවට දැනෙද්දි මම තවත් අඩියක් ලංවුනේ කතාව හරියට අහගන්න .
” ඌ හැදුවෙ උගෙ තාත්තගෙන් ගත්ත ඉඩම් ටික මගේ කෙල්ලව අල්ලන් කසාද බැඳලා ආපහු ගන්න වෙන්න ඇති .. මේ කරලියැද්දව තම්බන්න බෑ ඔය පොඩි එවුන්ට..”
පපුවෙ ගැස්ම වේගයෙන් වැඩිවෙද්දි මට දැන් ටිකකට කලින් දැක්ක විදුරගෙ මූන මැවි මැවි පෙනුනෙ පප්පගෙ කතාවයි විදුරයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා දැනුන නිසා වෙන්න ඇති..
” නිරෝධාගේ කරේ මාලේ තියෙනවනෙ .. “
” ඒ මගුල තිබ්බට් වැඩක් නෑ .මල ගෙවල් වල කිල්ලට අහු වුනාම බල බිඳෙනවා. ඌ කොහොම හරි නිදහස් වෙලා .. මම දැන් එද්දි ගල්පොත්ත උඩ ඉන්නවා දැක්කා. ආපහු අල්ලලා හිර කරනකන් නිරෝධාට එලියට බහින්න දෙන්න හොඳ නෑ .. සෙනරත් දැන් යද්දි අනිත් පාරෙන් යන්න .”
” අපි කරගත්තේ වැරැද්දක්ද මහේන්ද්‍ර .. ? “
” මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ සෙනරත් .. ඌ මගේ රහස් වලින් භාගෙට භාගයක් දන්නෙ කොහොමද කියලා මම තාම කල්පනා කරනවා. මට විදුරව මරනවා ඇර වෙන විසඳුමක් පෙනුනෙ නෑ.. මූ මැරිලත් මට සැනසීමක් නෑ.. “
උඩට ගත්ත හුස්ම එහෙම්මම හිර වෙලා නවතිද්දි .. මම ළඟ තිබ්බ බිත්තියට බර වුනේ කකුල් දෙක පන නැති වෙලා වැටෙයි කියන බයට ..
” ඌ වලදාපු තැනින් මෙහාට එන්නෙ නෑ. කොහෙ හරි ඈත පන්සලකට දානයක් දීලා මූව ආපහු හිරකරමු .. සෙනරත් ආපහු අර ගුරුන්නාන්සෙව කතා කරන් එන්න..එතකන් මන් නිරෝධාව කොළඹ ඔෆිස් එකට යවන්නම් .. “
එලියට පනින්න දඟලන ඉකිය අමාරුවෙන් වාවාගෙන මම තදින් හුස්ම ගත්තෙ පියවි සිහියට එන්න ..
” අපි දැන් පාරවල් දෙකක නිරෝධා .. මන් යන පාරෙ ඔයාට ඉඩක් නෑ .. හැරිලා ආපහු යන්න . තවත් ඉස්සරහට එන්න එපා .. ආවොත් මම ඔයාව අරන් යයි .. මම මේ වෙලාවෙ ඒක කරන්න කැමති නෑ .. මාත් අසරණයි .. “
මට අන්තිම වතාවට විදුරගෙ වචන මතක් වෙද්දි .. ගේට්ටුවෙන් එලියට අඩිය තිබ්බ මම ගල්පොත්ත පැත්තට ඇවිදගෙන ගියේ වේගයෙන් …
ලිව්වේ – චලනි එරංගා