සුහදිනී -38

දිගු දවස් ගෙවී යමින් තිබිණ.සකී සියල්ල දරා ගන්නට වූවා ය.තාත්තා දැඩිව රෝගී මොහොතක අම්මා ශක්තිමත් වන්නට නම් දියණිය සියල්ලම දරා ගත යුතු බව අහස් ලියා එවා තිබිණ.

“මම ඉන්නෙත් මේ කොළඹම තමා.ඔයා ගාවට විනාඩි පහ දහයෙන් එන්න පුලුවන් දුර.එකම දේ එහෙම ඇවිල්ලා ප්‍රශ්න ඇති කරන්න මං ආස නෑ.”

අහස් එසේ කියයි.නමුත් ආදරය කරන ඔහු මේ මොහොතේ තමන්ගේ අත තද කර අල්ලා ගන්නවානම් එය මොනතරමට මිහිරිදැයි සකී අනන්ත වාරයක් සිතුවා ය.

“ඔයා එයාව තෝරා ගන්නකොටම මේක දැනගත්තනෙ.ඇත්ත සකී,එයාට එහෙම එන්න බෑ.මේ මැච් එක සාර්ථක වුණාට අහස් ඉන්නේ මඩ කාලා කාලා හොඳටම ඩවුන් වෙලා කියලා සියුම් අයියා කිව්වා.”

නිම්නා මිතුරියගේ උරහිස පිරිමදින් සිහින් හඬින් පැවසුවා ය.ජීවිතය අපට මොනවා හෝ නොලැබීම් ඉතිරි කරයි.මෙතැන හිඳින්නේ තමන් වූවානම් තමන්ගේ පෙම්වතාට ශල්‍යකර්මය වෙනුවෙන් වැය කරන මුදලින් සියයෙන් එකක්වත් දෙන්නට අසීරු බව නිම්නා දනියි.එහෙත් ඔහු ආරම්භයේ සිට අවසානය දක්වාම මෙතැන රැඳේ.තාත්තාගේ සෑම කටයුත්තක් පවා ඔහු අතින් ඉටු වන ඉඩ වැඩි ය.දැන් සකීගේ තත්ත්වය එහි විලෝමය ය.ඇගේ තාත්තාට විදේශයකින් අවශ්‍ය කරන බෙහෙත් වර්ගවල හොඳම වර්ග ගෙන්වා තිබිණ.ශල්‍යකර්මයට සියල්ල සූදානමිනි.එහෙත් අහස් සකී දෙස බලන්නේ වීඩියෝ ඇමතුමකිනි.

“මං ක්‍රිකටර්ස්ලගෙ වයිෆ්ලගෙ ඉන්ටර්විව්ස් කියෝලා තියනව.ඒ සමහරු ලේබර් රූම් පවා ගිහින් තියෙන්නෙ තනියම.හස්බන් එච්චරකට බිසී.”

නිම්නා තවදුරටත් කියවාගෙන යයි.එවැනි මොහොතක ළඟ නොරැඳුනහොත් අහස්ට ජීවිත කාලයටම සමාවක් නොදෙන්නට සකී තීරණය කළා ය.

“අහස් කියන්නෙ හොඳ මනුස්සයෙක් තමා.ඒත් එයා හරියන්නෙ සාරණ්‍යා වගේ කෙනෙක්ටදත් කියල මට හිතෙනව සකී.ඇත්තටම.ළඟ හිටිය නොහිටියා කියලා ගාණක් නැති කෙනෙකුට මිසක් ඔයා වගේ හැම තත්පරේම ආදරේ හොයන කෙනෙක්ට අහස් ගැළපෙන්නේ නැද්දත් මන්දා “

නිම්නා කියන්නේ සැබෑවටම ය.සකී සෑම මොහොතකම පාහේ ආදරය දැඩිව අපේක්ෂා කරන්නියකි.එතරමට ආදරය අපේක්ෂා කරන ඇය අහස් ඈ අසල රැඳී නොසිටීම ද වේදනාවක් කර ගන්නට ඉඩ ඇති බව නිම්නාට සිතේ.

“සකී,ආදරේ කරන කෙනා තිස්සෙම අපි එක්ක ඉන්න ඕනෑ තිස්සෙම එයාව දකින්න ලැබෙන්න ඕන වගේ දේවල් හැම කෙල්ලෙකුටම හිතෙනව.ඒත් එහෙම නැතුව ඉන්න වෙන නිසා ඒකට හෙමින් හුරු වෙන්න.”

නිම්නා එසේ පැවසුවේ ආදරයෙනි.අහස් ඉලංගසිංහ තරගයකදී ඉතා ආක්‍රමණශීලි ක්‍රීඩකයෙකි.තැන්පත් සිනාවකින් පෙරට පැමිණ අහස්ව දමනය කර ගන්නට නායකයා වහා ක්‍රියා කිරීම ම අහස් අනෙක් රටවල ක්‍රීඩකයන් සමඟ ගැටුම් ඇති නොකරගන්නට එකම හේතුව බව නිම්නාට අනේක වාරයක් සිතී තිබේ.එහෙත් ඔහු රූපවාහිනී වැඩසටහන් වලදී තාරුණ්‍යය උතුරා යන දඟකාරයෙකි. ඒ සියල්ලටම වඩා ඔහු උසස් ගති ගුණ ඇති මිනිසෙකු බව නිම්නාට සිතුණේ අහස් එවා තිබූ කෙටි පණිවිඩයක් නිසා ය.

“ඔයා ලෙක්චර්ස් පවා පාඩු කරගෙන සකී එක්ක ඉන්නවට ස්තූතියි.හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ යාලුවෙකුත් ලැබෙන එක හරිම ආශිර්වාදයක්.එහෙම ආශිර්වාදාත්මක යාලුවෙක් වුණාට ස්තූතියි නංගි.”

“අහස්ගේ ඉංග්‍රීසි” යැයි සමාජ ජාලාවල හඳුන්වන පැහැදිලි සහ ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවකින් අහස් එය එවා තිබිණ.නිම්නා සකීගේ කල්පනාව බිඳ වට්ටවා ඇය පියවි ලෝකයට ගන්නට ඒ පණිවිඩය සකීට පෙන්වූවා ය.

“අහස් හරි හොඳ මනුස්සයෙක්.”

නිම්නා ඉන් අනතුරුව එසේ මිමිණුවා ය.

අහස් අත පොවන දුරක හිඳ සකී වෙනුවෙන් සිටියදී රන්මිණි නොනවත්වාම සකී පාරන්නට පටන් ගත්තා ය.දේශන වලට ඕනෑ එකක් වන්නැයි සිතා නිම්නා සකී සමඟ හෝරා ගණන් රෝහල් රැඳෙද්දී රන්මිණි ආවේ එහෙමත් වෙලාවක ය.

“අපට සත පහක් එකතු කරන්න නොදී මෙයාලා මේක කරගත්තෙ කොහොමද?”

රන්මිණි අසයි.නිම්නා කෝපයට පත් වූවා ය.

“හොස්පිටල් එකෙන් නිකං හරි ඔපරේෂන් එක කරවලා මහසෙන් අංකල් සනීප වෙන්නනෙ ඕන.ඔපරේෂන් එකට තව පැය ගාණයි.”

නිම්නා එසේ මිමිණුවා ය.සකීට මේවා ඇසෙනවාට ඇය සතුටු නොවේ.

“සකීගෙ පවුල සල්ලි නැති මිනිස්සු නෙවේනෙ බං.නුවර පැත්තෙ මිනිස්සු.ආන්ටි ඉඩමක් කඩමක් විකිණුවා මං හිතන්නෙ.”

ඇය වැඩිදුරටත් එසේ කියන්නට සිතුවේ සකී ගැන රන්මිණි එක් එක් වර්ගයේ කතා සිතනවාට අකමැත්තෙන් ය.නමුත් සකීගේ අම්මා ද මුදල් සොයා ගන්නට උත්සාහ කළා ය.ඇය සාර්ථක වූ බව ද නිම්නා දනියි.එහෙත් වැඩි පිරිවැය අහස්ගෙන් බව සකීගේ දෙමාපියන් නොදනී.ඔවුන් සිතන්නේ සරසවි සිසුන් ඉතා ඉක්මනින් මුදල් එකතු කළ බවකි.

“මෙයාගේ සීනි තාත්තා සත පහක් එවල නැද්ද?”

රන්මිණි කේක් කැබැල්ලකින් කැත ඕපාදූපයක් මවා ගත් අන්දම නිම්නා දරා සිටියේ කෝපයෙනි.රන්මිණිගේ කම්මුලට පහරක් දී ඇයව මෙතැනින් එලවා ගන්නා තරමේ ආවේගයක් නිම්නාට මතුව ඒ.සෑම මොහොතක ම සල්ලිකාර කොල්ලකු ගැන සිහින වූයේ රන්මිණිට ය.සකීට එවැනි හීන නොවිණ.

“සකීගේ බෝයි ෆ්‍රෙන්ඩ් අපිට වඩා අවුරුදු දෙකයි වැඩිමල්.සකී ෂුගර් ඩැඩීලා හොයන් නෑ.ජරා කතා කියන්න එපා.”

නිම්නාගේ රළු හඬට රන්මිණි තිගැස්සුණා ය.ඔහු මෙතැනට නොඑන කාරණාව දැන ගන්නට රන්මිණිට ඕනෑ විය.

“ඒ අයියා වැඩිය ලංකාවේ නෑ.”

නිම්නාට අවශ්‍ය වූයේ මේ කතාව නතර කරන්නට ය.රන්මිණි තවත් මොනවාදෝ කියන්නට සැරසුණා ය.

“ඔයා හොඳටම දන්නව සකී කියන්නෙ මොන වගේ කෙල්ලක්ද කියලා.එයා අහිංසක හොඳ ළමයෙක්.හරි එයා එහෙම වයසින් වැඩි සල්ලි තියන පාට්නර් කෙනෙක් තෝරා ගත්තම කියමු.එයාගෙ තේරීම් ගැන හිතන්න ඒවා ජජ් කරන්න අපි කවුද? ඇයි අපි එහෙම කරන්නේ? මොනවද අපිට එහෙම කරලා ලැබෙන්නෙ?”

නිම්නා කියවාගෙන ගියේ ආවේගයෙනි.ඒ ආවේගය වෙනුවෙන් කිසිවක්ම නොකියා සිටිය ද රන්මිණිට ඇය පවසන දේ ගැන ලැජ්ජාවක් දැනෙන්නේ ද නැත.පෙනෙනා අන්දමට සකී ඇගේ පෙම්වතා ගැන නිම්නාට කියා තිබේ.ඒ නොදන්නේ ඇය පමණි.ඔහු මෙතැන නැත්තේ තවම සම්බන්ධය ඇරඹුණු කාලය හන්දා බව ද අතිශය කාර්යබහුල ඔහු දුරකථනයෙන් සොයා බලන බව ද නිම්නා පැවසුව ද රන්මිණිට එය නොසෑහේ.

මේ ගැන තවදුරටත් සොයා බැලිය යුතුම බව රන්මිණි සිතුවා ය.

“ගෑනු පිරිමි බේදයක් නෑ බං නංගි.අපි කාටවත් කියන්න එපා වර්ගේ රහසක් කාටමහරි කිව්වොත් ඒ අහන කෙනා ආසයි ඒක තව මොකාටම හරි කියන්න.අපි මේ වයසේ හදාගන්න අෆෙයා ලෝකෙට රහස් වෙන්න ඕන නෑ.ඒත් අහස් තාම ඔළුව උස්සා ගන්නා හැදුව විතරනෙ.ඌ මේ හන්දා මඩ කනවට මං ආස නෑ.කවදහරි අහස් වර්ල්ඩ්ක්ලාස් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕන.මේ තිබ්බටත් වඩා රෙකෝඩ් තියන්නෝන.එතකන් අපි ඌව පරිස්සං කරන්න ඕන”

නිම්නා පැවසූ දේ අසා සියුම් පැවසී ය.රටම දන්නා ආදර කතාවක් මුලින්ම දැනගත් දෙදෙනා වීමේ අභිමානය නිම්නාට නොදැනුණා නොවේ.නමුත් ඇය ඒ හැඟීම පරයා මේ අහිංසක ආදර කතාවක් බව සිතුවා ය.මේ ආදරය දිනා ගන්නට යද්දී එන බාධා වැළකිය යුතු වේ.

එහෙත් ඒ වෙද්දී ද ඒ සුන්දර ආදරයට හිරිහැර කරන පිඹුරු පතක් සැකසෙමින් තිබිණ.

(අහස්-සකී වෙනුවෙන් ඔබේ ආදරය ද මා වෙනුවෙන් ඔබේ අදහස් ද තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles