අලුත් අවුරුද්දට පැය භාගෙන් කෑම මේසෙට වෙනස්ම රසයක් ගේන ඉන්දියන් චිකන් බුරිටො හදමු… 

බුරිටෝ (burrito) අපි අතර වැඩිපුර ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ කෙටි කෑමක් විදිහටනේ. 

හැබැයි මේ රසම රස බුරිටො හදාගත්තොත් එය රස ගුණ පිරුණු සම්පූර්ණ උදේ හෝ රාත්‍රී කෑමක් පිළියෙල කරගත්ත වගේ ඔබට දැනෙයි කියල අපිට විශ්වාසයි.

වැඩි වෙහෙසක් නැතුව පෝෂ්‍යදායී වගේම රසවත් ආහාරයක් පිළියෙල කරගන්න කැමති ඔබ වෙනුවෙන් ඔන්න පැය භාගෙන් හදාගන්න පුළුවන් රසම රස කුකුල් මස් බුරිටො පිළියෙල කරගන්නෙ විදිහ කියල දෙන්නයි අද මේ ලිපියෙන් අපි සූදානම් වෙන්නෙ. 

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය මොනවද කියල?

ඉන්දියන් චිකන් බුරිටෝ (indian chicken burrito)

අවශ්‍ය ද්‍රව්‍ය

රොටී සඳහා

පාන් පිටි 260 g ක්

ලුණු කුඩු තේ හැඳි ½ ක්  

තෙල් තේ හැඳි 02 ක් 

නිවිති කොළ 50 g ක් 

උණුසුම් කිරි 100 ml ක් 

පිරවුම සඳහා

තෙල් මේස හැඳි 01 ක්

සූදුරු තේ හැඳි 01 ක්

සිහින්ව ලියාගත් ලොකුළූණු ගෙඩියක්

සිහින්ව කපාගත් සුදුළූණු බික් දෙකක්

සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 02 ක් 

සියඹලා ඉස්ම තේ හැඳි 04 ක් 05 ක් හෝ ලෙමන් ගෙඩියක යුෂ

කුඩාවට කපාගත් සම ඉවත් කරගත් කුකුල් කකුල් වල කලවා කොටස් 04 ක් හෝ කුකුල් මස්

කුඩාවට කපාගත් 3 cm ක ඉඟුරු කැබැල්ලක්

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

දුඹුරු සීනි තේ හැඳි 01 ක් 02 ක්

මිරිස් කුඩු තේ හැඳි 01 ක් 

කොත්තමල්ලි කොළ මිටක්

සිහින්ව ලියාගත් අමු මිරිස් කරලක් (අත්‍යාවශ්‍ය නැත)

බත් සඳහා

සුදුබත් මේස හැඳි 04 ක්

යෝගට් 01 ක්

තල ඇට තේ හැඳි ½ ක් 

පිළිඟැන්වීමට

නැවුම් නිවිතිය කොළ මිටක්

සාදාගන්නා ආකාරය

රොටිය සාදාගමු

මුලින්ම වතුර භාජනයක් ලිපතබා රත්වීමට තබන්න.

වතුර රත්වූ පසු එයට නිවිතිය කොළ මිට දමා විනාඩියක් පමණ තබා නිවිතිය කොළ ඉවතට ගෙන ඒවා සිසිල් ජලයෙන් සෝදාගන්න. 

දැන් තම්බාගත් නිවිතිය කොළ සහ කිරි බ්ලෙන්ඩරයට දමා හොඳින් කොටාගෙන පසෙකින් තබාගන්න.

වෙනම භාජනයක් ගෙන එයට පිටි සහ ලුණු කුඩු  දමා හොඳින් කලවම් කර එයට සාදාගත් නිවිති මිශ්‍රණය දමා අතින් අනමින් මෘදු පිටි ගුලියක් සාදාගන්න. 

වතුරේ පොඟවා හොඳින් වතුර මිරිකා ඉවත් කරගත් රෙදි කැබැල්ලකින් පිටි මෝලිය වසා විනාඩි 20 ක් පමණ තබාගන්න. 

මේ විනාඩි 20 අතරතුර පිරවුම සූදානම් කරගන්න ඔබට පුළුවන්. 

පිරවුම සාදාගමු

භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කර තෙල් රත්වූ පසු සූදුරු සහ ලූණු එකතු කරගන්න. ලූණු රන්වන් පැහැයට හැරෙන විට කුඩාවට කපාගත් ඉඟුරු, අමු මිරිස් සහ සුදුළූණු එක්කර හොඳින් කලවම් කරගන්න.

විනාඩි 02 ක් 03 ක් පමණ පිසගන්න. 

දැන් කුඩාවට කපාගත් කුකුල් මස් සහ සියඹලා යුෂත් වතුර මේස හැඳි දෙක තුනකුත් එක්කර සියල්ල හොඳින් කලවම් කරගෙන භාජනයේ පියන වසා විනාඩි 20 ක් පමණ පිසගෙන මස් කැබලි ටික ඉවත්කර ගන්න. 

භාජනයට සීනි දමා සීනි දියවන තුරු මඳගින්නේ හැඳිගා ගන්න.

විනාඩි 05 කට පමණ පසු මිරිස් කුඩුත් එක්කර හැඳිගාන්න. 

ඉවත් කරගත් කුකුල් මස් කුඩා කැබලි වලට ඉරා නැවත මේ මිශ්‍රණයටම දමා හොඳින් කලවම් කරගන්න. 

විනාඩි දෙකක් පමණ තබා ලිපෙන් ඉවත්කර කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ සහ අමුමිරිස් උඩින් ඉසඟන්න. 

බත් සාදාගමු

බත්, යෝගට් සහ තල ඇට භාජනයකට දමා හොඳින් මිශ්‍රකර ගන්න. ඔබේ කැමැත්ත අනුව යෝගට් ප්‍රමාණය අඩුවැඩි කරගන්න පුළුවන්. 

සකසා ගැනීම

දැන් කලින් සාදා වසාගත් පිටි ගුලිය ඝනකමින් අඩු රොටියක හැඩයට සකසා මඳ ගින්නේ රත්කර ගත් රොටී තැටියේ හෝ පැතලි භාජනයක අතුරා දෙපැත්ත හරවමින් පුළුස්සා ගන්න. 

ලිපෙන් ඉවත් කරගත් රොටිය පිඟානක අතුරා පිරවුමෙන් පිරුණු මේස හැන්ඳක්, බත් වලින් පිරුණු මේස හැන්ඳක් සහ නිවිති කොළ කීපයක් සමඟ මැදිකර රෝල් කරගන්න.

උණුසුම්වම රස විඳින්න. 

එහෙනම්, රසම රස ඉන්දියානු චිකන් බුරිටෝ හදල බලමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles