බර අඩු කරගන්න උදෑසන ආහාර වේලකට සුදුසුම ආහාර

උදෑසන ආහාර වේල කියන්නෙ අපේ දවස ප්‍රබෝධමත්ව අරඹන්න හොඳ සහයක් ලබාදෙන තීරණාත්මක සාධක වලින් එකක් කියල ඔබ දන්නව. 

විශේෂයෙන්ම, ඔබ ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න හිතන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් පවතින බර පාලනය කරන කෙනෙක් නම් ඔබ උදෑසනට ගන්න ආහාර ඒ සඳහා ලොකු බලපෑමක් කරනවා. 

සීනි අඩංගු පැණිරස ආහාර, පෝෂණ ගුණයෙන් අඩු ක්ෂණික ආහාර ඔබට වෙහෙසක් ගෙන එනව වගේම ආහාර ගෙන අවසන් වී ටික වෙලාවකින් නැවත කුසගිනි බව ඔබට දැනෙන්නටත් සලස්වනවා. 

ඊට අමතරව, රුධිරයේ අඩංගු සීනි, කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වැඩි කරන්නත්, හෘදයාබාධ වගේ විවිධ බෝ නොවන රෝග ඇතිකිරීමේ අවධානමත් මේ ආහාර වර්ග අනුභවයේ අතුරු ප්‍රතිඵල ලෙස ඇතිවීමේ අවධානමක් තිබෙනවා. 

අන්න ඒ නිසා බර අඩු කරගන්න වගේම ඔබේ ශරීරයේ පෝෂණය නිසි පරිදි පවත්වා ගන්නත් උපකාරී වෙන උදෑසන ආහාර වේලක් සඳහා සුදුසුම ආහාර වර්ග මොනවද කියල ඔබත් එක්ක බෙදාගන්න අපි අද තීරණය කරා. 

බිත්තර

Smart lady අපි නිතරම බිත්තර ගැන අපේ ලිපි වල කතා කරනව ඔබ දැකල ඇතිනෙ. 

බිත්තර වල පෝෂණීය ගුණය එතරම්ම වැදගත්. 

ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන සහ විටමින් ඇතුළු අනෙකුත් ඉතා වැදගත් පෝෂක රාශියකින් පරිපූර්ණ බිත්තර පෝෂණ බලාගාරයක් ලෙස හඳුනාගන්න පුළුවන්. 

බිත්තර වල තිබෙන ඉහල ප්‍රෝටීන ප්‍රතිශතය නිසා උදෑසන ආහාරය සමඟ බිත්තර එකතු කර ගැනීමෙන් ආහාර ස්වල්පයක් ගත්තද කුස පිරී ඇති ස්වභාවය වැඩිපුර දැනෙන නිසා එය ඔබේ අනවශ්‍ය බර අඩු කිරීමට ඍජුවම බලපාන්න පුළුවන්. 

කෙසෙල් 

තන්තු වලින් පරිපූර්ණ සහ කැලරි ප්‍රමාණය අඩු කෙසෙල් කියන්නෙ දෛනික ෆයිබර් අවශ්‍යතාවයෙන් ඉතාම හොඳ ප්‍රතිශතයක් සම්පූර්ණ කරන්න උදව් වෙන පළතුරු වර්ගයක්. 

මේ අඩංගු ඉහල තන්තු ප්‍රතිශතය නිසා, කෙසෙල් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන්නත් එමඟින් ශරීරයේ බර අඩු කරන්නත් උදව් වෙන බව පර්‍යේෂණ මඟින් තහවුරු කරගෙන තිබෙනවා. 

යෝගට්

යෝගට් වලත් ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතයක් අඩංගු බව ඔබ දන්නවා.

එමඟින්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන්නත්, කුස පිරී ඇති ස්වභාවය වැඩිපුර දැනී නිතර නිතර ආහාර ගැනීමේ අවශ්‍යතාවය අඩු වීමත් සිදුවන නිසා යෝගට් කියන්නෙත් අනවශ්‍ය බර අඩු කරගන්න ඉතාම හොඳ විසඳුමක් කියල පර්‍යේෂකයන් සඳහන් කරනවා. 

ස්මූති වර්ග 

යෝගට්, පළතුරු, පිපිඤ්ඤා වගේ එළවළු වර්ග, මින්ට් වගේ කොළ වර්ග එකතු කරල අපි කැමති විදිහට පිළියෙල කරගන්න ස්මූති වර්ග ඉතාම හොඳ උදෑසන ආහාරයක් කියල හඳුන්වන්න පුළුවන්. 

ස්මූති කියන්නෙත් හොඳ ප්‍රෝටීන සහ තන්තු අඩංගු පානයක් නිසා එමඟිනුත් නිතර නිතර ආහාර ගැනීමේ අවශ්‍යතාවය අඩු කර බර පාලනයට ඉතාම හොඳ සහයක් ලබාදෙනවා. 

බෙරි වර්ග 

ස්ට්‍රෝබෙර්, බ්ලූ බෙරි වගේ බෙරි වර්ගත් ඔබේ උදෑසන ආහාර වේලට එකතු කරගන්න පුළුවන් සිරුරේ අනවශ්‍ය බර අඩු කරගන්න දායක වෙන ඉතාම වැදගත් පළතුරු වර්ග විදිහට හඳුනාගන්න පුළුවන්. 

ඒ මොකද, විටමින්, ප්‍රෝටීන ඇතුළු ඉතාම වැදගත් පෝෂක රාශියකින් මේ බෙරි වර්ග සමන්විත වෙලා තියෙන නිසයි. 

අනවශ්‍ය බර අඩු කිරීමට අමතරව, හෘ ද රෝග සහ විවිධ පිළිකා වර්ග ඇතිවීමේ අවධානම අඩු කරන්නත් බෙරි වර්ග නිතර ආහාරයට ගැනීම හේතු වෙන්න පුළුවන් කියල සමහර පර්‍යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා. 

කෝපි 

උදෑසන ආහාර වේලට කෝපි එකතු කරගැනීමෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්නත්, මේදය දහනය කරන්නත් හොඳ සහයක් ලැබෙන බව සොයාගෙන තිබෙනවා. 

නමුත්, කෝපි වල අඩංගු ඉහළ කැෆේන් ප්‍රතිශතය නිසා ඔබ පානය කරන කෝපි ප්‍රමාණය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

කිවි 

විටමින් C, විටමින් K, පොටෑසියම් සහ ඉහළ ෆයිබර් ප්‍රතිශතයක් අඩංගු කිවි බර අඩු කිරීමට අමතරව, රුධිර පීඩනය ක්‍රමවත් කරන්න, ප්‍රදාහ තත්වයන් අඩු කරන්න සහ කුස පිරී ඇති ස්වභාවයක් දැනෙන්නට සැලැස්වීම මඟින් නිතර නිතර ආහාර ගැනීමේ අවශ්‍යතාව අඩු කරන්නත් හැකියාව තිබෙනවා. 

ග්‍රීන් ටී / හරිත තේ 

හොඳ වර්ගයේ හරිත තේ වලට තියෙන මේදය දහනය කිරීමේ හැකියාව ප්‍රසිද්ධ කාරණාවක්නේ. 

සිරුරේ බර අඩු කරන්න විශේෂයෙන්ම බඩ ප්‍රදේශයේ මේදය දහනය කිරීමට හරිත තේ වලට හැකියාව තිබෙන බව සොයාගෙන තිබෙනවා. 

ඔබේ ග්‍රීන් ටී කෝප්පයට ඉඟුරු, පැණි වගේ දේවල් අමතරව එකතු කරගැනීමෙන් මේ ප්‍රතිඵල තවත් ඉක්මන් කරගන්නත් ඔබට පුළුවන්. 

මේ ආහාර සහ පාන වර්ග වලට අමතරව චියා සීඩ් සහ ෆ්ලෙක්ස් සීඩ් වැනි ඇට වර්ගත් බර අඩු කරගන්න උත්සහ කරන ඔබේ උදෑසන ආහාර වේලට එකතු කරගන්න පුළුවන් ඉතාම ප්‍රතිඵලදායක විසඳුම් විදිහට හඳුනාගන්න පුළුවන්. 

මේ ආහාර උදෑසන ආහාර වේලට එකතු කර ගැනීම වගේම ව්‍යායාම, මත්පැන් සහ දුම්වැටි පානය සීමා කිරීම හෝ සම්පූර්ණයෙන් නැවැත්වීම වගේම යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමත් ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න ඉතාම වැදගත් කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

ඉතිං, අද ලිපිය ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න වගේම ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න උත්සහ කරන ඔබටත් වැදගත් වෙන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. 

එහෙනම්, මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles